වියදම් කරන හැම සතයකම වගකීම අපේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරටට හිමිවුව ද අර්බුදය අවසන් නැත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහනයක් හිමිවුවද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ගත යුතු පියවරයන් රාශියක් ඉතිරිව ඇත. ජනපති රනිල් වෙහෙසෙන්නේ ආර්ථිකය නගා සිටුවීමේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටය. එය අතුරේ යාම හා සමානය.

ජනපති රනිල් ඉකුත් ඉරිදා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකිර්ණය වෙත ගියේ ඔහු අගමැති ලෙස 2016 දී ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ද සිතෙහි දරාගෙනය. එම ස්ථානයට ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ, ඇමති බන්දුල ගුණවර්ධන, ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සේම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හා ක්‍රිඩා ඇමති උපදේශක සුදත් චන්ද්‍රසේකර ද පැමිණ සිටියහ.

ක්‍රිඩා සංකිර්ණය නිරීක්ෂණය කිරීමට යාමට පෙර ඔහු නිලධාරීන් හා සාකච්ඡාවක් වෙනුවෙන් අසුන් ගත්තේ ක්‍රිඩා සංකිර්ණ සාකච්ඡා ශාලාවේය. එහිදි ක්‍රිඩා විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිලධාරියෙකු කරුණු දක්වන්නට විය. ඔහු ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ජනපතිට වැටහී ගියේ එය ක්ෂණිකව සකස් කළ වාර්තාවක් බවටය. තමන් ඉදිරියේ බොරු රÛපෑමක් ඔහු කරන බව දැනගත් ජනපති ඔහුගේ කතාව නවතන ලෙස ඉල්ලා සිටියත් දිගින් දිගටම ඔහු අදහස් දැක්වීම නිසා ජනපතිට කතාව නවතන ලෙස උස්හඩින් කීමට සිදුවිය.

”2016 න් පස්සේ මම ඉදිරිපත් කළ මේ ක්‍රිඩා විශ්ව විද්‍යාල යෝජනාව ගැන හැරිලවත් බලලා නෑ. දැන් ඒක ගැන බොරු කතා කරන්න එපා. අපි වියදම් කරන හැම ශතයටම අපි වගකියන්න ඕනේ.” ජනපති කීවේ උස් හඩිනි.
අර්ජුන රණතුංග ද ක්‍රිකට් ක්‍රිඩාව ගැන අදහස් දැක්වූ අතර පසුව ජනපති ඔහුට කීවේ තමන්ට ඔහුව හදුනා ගැනීමට නොහැකි වූ බවය. එහි සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද කීවේ තමන්ට ද එකවර ඔහු හදුනා ගැනීමට නොහැකි වූ බවය.

බෝලය විපක්ෂයට
ඉන් පසු පිරිස ගියේ ක්‍රිඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමටය. එහිදි බේස් බෝල් ක්‍රිඩා කරමින් සිටි ක්‍රිඩකයන් පිරිසක් ද ජනපති අසලට පැමිණියේය.
“සර් අපි බේස්බෝල් ක්‍රිඩා කරනවා. ලංකාවේ බේස්බෝල් ක්‍රිඩා කරන එකම කණ්ඩායම අපි. මේක ජාත්‍යන්තරයට ගෙනි යන්න උදව් කරන්න.” එහි සිටි දරුවන් ඉල්ලා සිටියේය.
ජනපති වහාම මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පාලනාධිකාරිය වෙත උපදෙස් දුන්නේය. එහි සිටි එක් ක්‍රිඩකයෙක් ජනපති වෙත බේස් බෝලයක් පෙන්වමින් එහි අගය කියද්දී ජනපති කීවේ “අපි මේ බෝලය විපක්ෂයට පාස් කරමු.“ කියාය. ජනපතිගේ පිළිතුරෙන් රැදී සිටියවුන්ට සිනහව නවතා ගැනීමට නොහැකි විය.

කැබිනට්ටුවේ හරක් කතාවක්
සදුදා සවස ඇමති මණ්ඩල රැස්වීම පැවැති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල්වලින් කොටසක් විදෙස් සමාගම් තුනකට පිරිනැමීමේ යෝජනාව ඇමති මණ්ඩලයේදි සම්මත කෙරිනි.
පොලිස්පති සී.ඩි වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් පිරිනැමීමේ යෝජනාව ඉදිරිපත් වූ අතර එයටද ඇමතිවරුන්ගේ අනුමැතිය හිමිවිනි. අත්අඩංගුවේ පසුවන ප්‍රධාන අපරාධකරුවෙකු වූ හරක් කටා ගැන ද එහිදි කතා බහට ලක්විනි.

“හරක් කටා වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑම නීතිඥයෙකුට අයිතිය තියෙනවා. හැබැයි නීතිඥ සංගමයේ සභාපති ඔහු වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ රටට ලෝකයට යන්නේ වැරදි චිත්‍රයක්.“ ඇමති බන්දුල කීවේය.
“අරගලය වෙලාවේ කට්ටිය කිව්වේ නීතිඥ සංගමයේ සභාපතිව වැඩබලන ජනාධිපති කරන්න කියලානේ. මට නම් එදා ඉදලම මේ ගැන සැකයක් තිබුණා. අද වෙනකොට ඒ සැකය අත්තක් බවට පත් වෙලා තියෙන්නේ. අරගලයේ හිටපු තරුණයෝ බොහෝ දෙනෙක් මත් වෙලා හිටපු බව දැන් තහවුරුයි.“ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඔහුගේ සැකය දුරුකර ගත්තේ එලෙසිනි.

“ලතින් ඇමරිකානු රටවල් බොහෝමයක් පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය මාෆියාව විසින් පත් කරගත්තු ජනාධිපතිවරු අගමැතිවරු විසිනුයි. ලංකාවටත් ඒක කරන්න හදපු බව දැන් නම් හොදටම පැහැදිලියි“ ඇමති කාංචන ද කතාවට අලගු තැබීය.

රනිල් එක්ක කබීර්
ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට පැමිණි ආයෝජකයන් ජනපති රනිල් මුණ ගැසුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එදින සවසය. හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ජනපති මෙහිදි කීවේය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නිලධාරීන් පිරිසක් ද එදින ජනපති මුණ ගැසුණේය. විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් ද මේ අවස්ථාවට එක්ව සිටියේය. හරිත බලශක්ති සමුළුව සදුදා පෙරවරුවේ පැවැති අතර ඊට දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ද සහභාගී වී සිටියේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වුනේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙද ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවටයක් 28 හා 29 දිනවලදී පැවැත්විනි. මෙහි ප්‍රධාන කාර්ය භාරය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සංවිධානය කරනු ලැබීය.

ආනන්දෙ ඉල්ලීමට රනිල්ගේ උත්තරය

ජනපති කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ ඉකුත් බදාදාය. ඒ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නැයි ලද ආරාධනාවකට අනුවය. ජනපති රනිල් ආනන්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වී තිබුණේ මීට වසර ගණනාවකට පෙර විදුහල්පති වී.එස් කුඩලිගමගේ යුගයේදී ය.

ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු ජනපතිට ප්‍රධාන ආරාධිත දේශනය ඉංග්‍රීසි බසින් ආමන්ත්‍රණය කරනා ලෙස ඉල්ලමින් ඉංග්‍රිසි බසින්ම ආරාධනයක් කරනු ලැබීය. එම අරාධනය පිළිගෙන සභාව ඇමතීමට පැමිණි ජනපති “ගොඩක් අය මට ඉංග්‍රිසියෙන් කතා කරන්න ආරාධනා කරනවා. හැබැයි ආනන්ද විද්‍යාලයේ සම්ප්‍රදාය සිංහල මවු බසින් කතා කිරීම.“ සිනහසෙමින් එසේ කී ජනපති සිංහල බසින් කතාව කරගෙන ගියේය.

විද්‍යාලයේ අතීතය ගැනත් වර්තමානය ගැනත් කතා කළ ජනපති අනාගත තාක්ෂණය ගැන කතා කරද්දී පැමිණ සිටි සැවොම මුහුණට මුහුණ බලා ගත්තේ ඔහුගේ ඇති නව තාක්ෂණ දැනුම ගැන මවිතයට පත් වෙමිනි. ටික්ටොක්, ෆෙස්බුක් සේම ඒ.අයි තාක්ෂණය ගැනත් ඔහු කතා කළේය. ජනපතිව තේ පැන් සංග්‍රහය සඳහා කැදවාගෙන ගියේ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය විධායක මණ්ඩලයේ සිසුන් විසිනි.

ජනපති තේ පැන් සංග්‍රහය භුක්ති විදිද්දී ඒ අසලට පැමිණි ආදී ආනන්දියෙකු වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න “ටික් ටොක්, ෆෙස්බුක්, වට්ස්ඇප් ගැන නම් යම් දැනීමක් තියෙනවා. හැබැයි මේ අලූත් චැට් ජී.පී.ටි ගැන නම් දන්නේ නෑ ජනාධිපතිතුමා.“ කීවේය.
“මම හැමදාම අලූත් අලූත් තාක්ෂණය ගැන හොයනවා. අපි හැමදාම අලූත් ලෝකයත් එක්ක අප්ඩේට් වෙන්න ඕනේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමා.“ ජනපති කීවේ සිනාසෙමිනි.

සිසුදරුවන් ඔහු සමÛ සෙල්ෆි ඡයාරූප ගැනීමට පවා පෙළඹුණේ වයසින් වැඩිමහළු වුවා සේම අදහස්වලින් ඔවුන්ට වඩා පරිණත වූ නිසාවෙනි. පැය දෙකක කාලයක් එහි රැදෙන්නට පැමිණිය ද ඔහු ආනන්ද විද්‍යාලයෙන් නික්මෙද්දී පැය 3 ට අධික කාලයක් ඉක්ම තිබුනි. ඇමති සුසිල් ප්‍රේමජයන්ත සමÛ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

සාගලගෙන් කාංචනට සහතිකයක්
විදෙස් සමාගම් තුනකට තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් පවරාදීමට ඇමති මණ්ඩලය ගත් තීන්දුවට එරෙහිව තෙල් සංස්ථාවේ සේවකයෝ ආරම්භ කළ උපවාසය වර්ජනයක් දක්වා දුරදිග ගොස් ඇති බව ජනපති දැනගත් මොහොතේම ඔහු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට කතා කොට මේ ගැන සොයා බලන ලෙස දැනුම් දුන්නේය.
ඔහු වහාම මේ ගැන බලශක්ති ඇමති කාංචන විf–සේකර අමතා සාකච්ඡා කළේය. “අපි මේ ගැන අවස්ථා කිහිපයක දීම වෘත්තිය සමිති හමුවෙලා කතා කලා නේද?“ සාගල ඇමති කාංචනගෙන් විමසා සිටියේය.
“ඔව් අපි තුන් හතර වතාවක් මේ ගැන කතා කලා. හැබැයි එයාලා සමාගම් 3 කට අලූතින් ෂේඩ් 50 බැගින් 150 ක් හදන්න දෙන යෝජනාවට එකඟ නෑ. මේ ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කරන්න.“ ඇමති කාංචන ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට කීවේය.

“ඔබතුමා නිවැරදී දේ කරන්න. ජනාධිපතිතුමා ඔබතුමාත් එක්ක ඉන්නවා. ඒ ගැන සැකයක් තියා ගන්න එපා.“ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමති දැනුම්වත් කළේය.
විදෙස් සමාගම් 3 ට ඉන්ධන පිරවුම්හල් 150 ක් අලූතින් ඉදි කිරීමට අනුමැතිය ලබාදීමේ ගිවිසුම්වල ඉදිරි මාස දෙක තුල අත්සන් තැබීමට නියමිතය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු පිරිසක් ඉකුත් සතියේ ඉන්දියානු මහකොමසාරිස් නිල නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්වූවේය. එහිදි ලංකා රජය හා ජනාධිපති සමÛ තවදුරටත් එක්ව වැඩ කටයුතු කිරීමට සුදානම් බව ඉන්දීය නියෝජිතයන් මෙහිදි ඔහුට දැනුම් දී තිබුනි.

පැරණි සගයට සමුදෙයි
ජනපති රනිල් පැරණි පාර්ලිමේන්තු සගයෙකු මෙන්ම හිටපු කතානායකවරයෙකු වූ ජෝශප් මයිකල් පෙරේරා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය. පක්ෂයේ සිය සගයා වෙනුවෙන් සිය ශෝකය පළ කළ ජනපති සුළු වේලාවක් එහි ගත කොට නික්ම ගියේය.
පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත්ව ඔහු සෘජුව පැමිණියේ “අයි.එම්.එෆ් සහ ඉන් ඔබ්බට“ යන මැයෙන් වූ සාකච්ඡාවේ මුඛ්‍ය දේශනය කිරීමටය. එහි සාකච්ඡා මේසයට ද එක්වීමට ජනපති කටයුතු කරමින් ව්‍යාපාරිකයන්ට හා වෘත්තීකයන්ට මේ පිළිබඳ පවතින ගැටළුවලට පිළිතුරුදීමට ද අමතක නොකළේය.

ජනපති රනිල් සති අන්තයේ අනුරාධපුරය බලා පිටත්ව ගියේ අලූත් සහල් මංගල්‍යයට සහභාගීවීමට සහ ගුවන් හමුදා උත්සවයකට එක්වීමටය.