වෘත්තීය සමිති ඉල්ලීම් වසර අවසානයට කල් තැබෙයි
සිංහල දමිළ අලූත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසීන්ට නවමු මංගල්‍යයකි. එහෙත් 2022 වසරේ නම් ජනතාවට අවුරුදු චාරිත්‍ර සමරන්නට සිදුවූවේ ගෑස් පෝලිමේ හෝ ඉන්ධන පෝලිමේ සිටය. ජනපති රනිල් වික්‍රමසිංහ පාලන බලය සියතට ගෙන මාස 8 ක් ඉක්මයද්දී ජනතාවට නිවසේ සිට සිය දූවා දරුවන් හා ඥාතීන් හා එක්ව අලූත් අවුරුදු සමරන්නට හැකියාව උදා විය.
පළමුව ඉන්ධන මිල අඩුවූවේය. පසුව ගෑස් මිල පහළ දැමූ අතර ඉන්ධන කෝටාව ද ඉහළ දැමුවේය. එදා පෝලිමේ සිටි ජනතාවට අද බියෙන් සැකයෙන් තොරව නෑ ගම් යාමට ඉඩ හසර විවර වී ඇත. විපක්ෂය අවුරුද්දට පෙර අයි.එම්.එෆ් ණය පහසුකම නොලැබෙන්නැයි ප්‍රාර්ථනා කළ ද ජනපති රනිල්ගේ කැපවීම තුළ විපක්ෂ ප්‍රාර්ථනා බොදව ගියේය.
රටේ ආර්ථිකය ගැන කතා බහ කෙරුණේ ඉකුත් බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයේදි ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. වජිර හා සාගලට අමතරව ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය ඇමතිවරුන් සමඟ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද එහි පැමිණ සිටියහ.
” තෙල්, ගෑස් මිල අඩුවීමත් එක්ක ජනතාව තුළ ආණ්ඩුව ගැන අලූත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා.” ජනාධිපති උපදේශක ආචාර්ය සමරතුංග කීවේය.
” ගිය අවුරුද්දේ මේ කාලේ මිනිස්සු හිටියේ පෝලිම්වල. ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මාස කිහිපයකින් මේ තත්ත්වය වෙනස් කලා.” සාගල ද කතාවට අලගු තැබීය.
” අයි.එම්.එෆ් වැඩපිළිවෙලත් එක්ක ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. මේ විදියටම අපට තව මාස කිහිපයක් ඉදිරියට යන්න පුළුවන් වුනොත් රටේ ආර්ථිකය ඉතා හොද තැනකට ගන්න පුළුවන්.” ඇමති ෂෙහාන් කීවේ එවැන්නකි.
” කොහොමත් අපිට ජුනි ජුලි මාස පසු කළාට පස්සේ අලූත් දිසාවකට ආර්ථිකය හැරෙන නිසා ජනතා ප්‍රශ්න බොහෝමයක් විසදේවි.” ඇමති සියඹලාපිටිය ද කතාවට එක්වූවේ එලෙසිනි.
” මෙතුමා අගමැතිවෙලා හිටපු හැම වෙලාවෙම ජනතාවට සිංහල අවුරුද්ද ජයටම සමරන්න ලැබුනා. දැන් ජනාධිපති. ඒ නිසා ජනතාවට ජයක් මිස පරාජයක් නොවන බව නම් විශ්වාසයි.” මන්ත්‍රී වජිර කියද්දී සැවොම හිස සැලූවේ ගෞරවයෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මානවහිමිකම්, රටේ ප්රජාතන්ත්රවාදය වැනි කරුණු ගැන අවධානයෙන් පසුවන බවට විපක්ෂය ගෙන යන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදි කරුණු මතුවූ අතර එහිදි ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග විග්රහ කළේ ඔවුනට අවශ්‍ය දුෂණ මර්ධන පනත ගෙන ඒම ගැන මිසක් වෙනත් කාරණා ගැන නොවන බවය.
ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා සිටියේ අනුරාධපුරයේ ය. ඔහු අනුරාධපුරයට පැමිණිමට පෙර සිය නිල නිවසේදී රාජකාරී හමුවීම් කිහිපයකට ද එක්විය. ඉන්දීය ප්රජාතන්ත්රවාදී සන්ධානයේ සාමාජික ආචාර්ය භාරතී ලාල් ද ඒ අතර විය.
එදින සවස අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත ජනපති පැමිණියේ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත රටේ ආරක්ෂාවත්, ආර්ථිකයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැනත් පැහැදිලි කර දීමටය. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා රඳවනයේ රැස්ව සිටි ත්‍රිවිද හමුදාවේ හා පොලීසියේ 2000 ක පමණ පිරිසක් අමතමින් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය හා නීතිය සාමය රකිනාකාරය පැහැදිලි කර දුන්නේය.
සිය කතාව අවසන් කළ ජනපති රනිල් ගුවන් හමුදා සහ නාවුක හමුදා සාමාන්‍ය සෙබළුන් සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටළු ගැන සාකච්ඡා කළේය. ජනපතිවරයෙකු එසේ පැමිණ සිය රාජකාරි කටයුතු ගැන විමසන පළමු අවස්ථාව වූ බැවින් බොහෝ දෙනෙක් කතා කළේ අඩුවෙනි. පසුදින උදේම ජනපති ශ්‍රී මහ බෝධීන් වහන්සේ අසලට ගියේ අලූත් සහල් මංගල්‍යයට එක් වීමටය.
සම්ප්රදායක් ලෙස ජනපති එහිදි කතා කරනමුත් මෙවර එය සිදුවූවේ නැත. කෘෂි ඇමති මහින්ද අමරවීර රජය වෙනුවෙන් කතා කළේය. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් රන් නැලියට සහල් දමමින් චරිත්රානුකූලව අලූත් සහල් මංගල්‍යය ආරම්භ කළ අතර ජනපති, කෘෂි ඇමති ඇතුළු පැමිණ සිටි පිරිස ද ඊට සහල් එකතු කරමින් රාජකීය චාරිත්‍රය ඉටු කරනු ලැබූහ.
මෙහිදි ආදීවාසි නායක වන්නිල ඇත්තෝද පැමිණ සිටියේ සම්ප්රදායක් ඉටු කිරීමටය. එනම් අලූත් සහල් මංගල්‍යයේ මී පැණි පූජාව ඉටු කිරීමටය. ඔහු එය රාජ්‍ය නායකයා වෙත පිළිගැන්වූවේ චාරිත්‍රනුකූලව අටමස්ථානාධිපති හිමියන් වෙත පූජා කිරීමටය. ජනපති රනිල් එම චාරිත්‍රය මෙවර වෙනස් කරමින් පැමිණ සිටි කුඩා දරු පිරිසකට එය භාරදුන්නේ අටමස්ථානාධිපති හිමියන් වෙත පූජා කිරීමටය.
” මෙයාලා තමයි රට බාර ගන්න ඉන්න අනාගත නායකයෝ.” යි කියමින් ජනපති. දරුවන් අතින් අටමස්ථානාධිපති හිමියන් වෙත මී පැණි පූජාව ඉටු කළහ. ඉන් නොනැවති ජනාධිපති මාධ්‍ය අංශය වෙත ඔහු උපදෙස් දුන්නේ දරුවන්ට එම අවස්ථාවේ ගත් ඡයාරූප ද යවන ලෙසටය.
ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කිරීමට ජනපති උඩමළුව වෙත පියනගද්දී ඔහු වෙත පැමිණි දරුවෙක් ජනපති සමඟ වැඩ කිරීමට කැමති බව සෘජුව ප්‍රකාශ කළේ කවුරුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය. ” ආ මේ කළින් වතාවක මම අනුරාධපුරේ ආපු වෙලාවේ සෙල්ෆි ගහපු දරුවා නේද?” යි කියමින් ජනපති සිය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හට කීවේ මේ දරුවා ජනපති කාර්යාලයට කැදවන ලෙසට ය.
උඩමළුවේ සිට අටමස්ථානාධිපති නාහිමියන්ගේ ආවාසය වෙත එන අතරතුර මාර්ගය දෙපස රැදී සිටි දරුවන් පිරිසක් ජනපති හා කතා කිරීමට ඉදිරිපත් වූවේ නිතැතිනි. ඔවුන්ගේ ගම් පෙදෙස විමසු ජනපති ” ආ මෙයාලා අපේ ගමේනේ” යැයි කියමින් ඔවුන් සමඟ සෙල්ෆි ඡයාරූපවලට ද පෙනී සිටියේය.
පසුව ජනපති රනිල් අටමස්ථානාධිපති හිමියන් සමඟ සුහද පිළිසදරක නිරතවූවේය. ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත පිවිසෙන මාර්ගයේ තදබඳය ගැන ද මෙහිදි සාකච්ඡා වූ අතර විකල්ප මාර්ගයක් ගැනද එහිදි අවධානය යොමුවිනි.
නවීන තාක්ෂණය භාවිතා කරමින් පූරා විද්‍යා ස්ථාන හදුනාගෙන එයට හානියක් නොවන ලෙස නව වැසිකිලි කැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට කළ අටමස්ථානාධිපති හේමරතන හිමියන්ගේ ඉල්ලීම ජනපති රනිල් සිය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත පැවරුවේය. ඔහු නාගරික සංවර්ධන අධිකාරිය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට එම කටයුතු කරන බවට එහිදි සහතික වූවේය.
ජනපති නැවත කොළඹ බලා එන අතරතුර හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ අවමංගල්‍යයට ද සහභාගී වීමට ද අමතක නොකළේය. පසුව මුදල් අමාත්‍යාංශය වෙත ඔහු පැමිණියේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන පැහැදිලි කර දීමටය.
මෙම ගිවිසුම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළ 18 වෙනි වතාවට නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දුන්නේය. අප්‍රේල් , ජුනි මාස ඇතුළත රටට ඉදිරිපත් කරන නව පනත් 3 ක් ගැන ද ඔහු ආචාර්යවරුන් දැනුම්වත් කළේය.
සදුදා දිනයේ යොදාගත් රාජකාරි ගණනාවකට එක්වූ ජනපති රනිල් සවස ඇමති මණ්ඩල රැස්වීමට ද සහභාගී වූවේය. පසුදින ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ජනපති මුණ ගැසීමට පැමිණ සිටි අතර මේ අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානි සගල රත්නායක හා ජනපති ලේකම් සමන් ඒකනායක ද එක්ව සිටියෝය.
එහි පැමිණි විදේශ ඇමති අලි සබ්රි දැනුම් දුන්නේ නාවුක හමුදාව විසින් කච්චතිව් හි බුදු පිළිමයක් තැන්පත් කිරිම සම්බන්ධයෙන් ඉන්දියන් පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීවරු අදහස් දක්වමින් විරෝධයක් පළකර ඇති බවය. විදේශ ඇමතිගේ කාරණය සාවදානව ආසා සිටි ජනපති ඔහුට දුන්නේ කිසිවෙකු අපේක්ෂා නොකළ පිළිතුරකි.
” රාෂ්ඨපති භවන් වෙත ඇතුළු වෙනකොටම තියෙන්නේ බුදු පිළිමයක්. ඉන්දියාවෙන් බිහි කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයා කියලා තමයි බුදුන්වහන්සේ හදුන් වන්නේ. ඉතින් අපි මේකට විරුද්ධ වෙන්න හේතුව මොකක්ද?” ජනපති රනිල් කී දේ ඇසු හමුදා නිලධාරීන් පවා විමතියට පත්වූහ. එහි සිටි පිරිස පසුව කතා වූවේ ඉන්දියන් පාර්ලිමේන්තුවේ මේ ගැන කියන්න කිසිවෙකු නොසිටීම ගැනය.
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය මුණ ගැසුණු ජනපති මැයි දිනය ගැන සාකච්ඡා කළේය. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය සුගතදාස ක්‍රිඩාංගණයේ පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව මහලේකම් රංගේ බණ්ඩාර දැනුම් දුන්නේය. ජනපති ද මැයි දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරන අතර එය සජිවීව මෙහිදි ප්‍රදර්ශනය කරනාකාරය ගැන ද එහිදි සාකච්ඡා කෙරිනි.
පසුදින පොහොය දිනයක් වූ බැවින් ඔහු රාජකාරි කළේ නිවසේ සිටය. වෘත්තීය සමිති කිහිපයක් ලබන සදුදා විරෝධතාවයක නිරතවීමට ගෙන ඇති තීන්දුවත් සමඟ එම පිරිස හා සාකච්ඡා කිරීමට ජනපති පවරා තිබුණේ ලේකම් සමන් ඒකනායකට හා ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග වෙතය.
ආචාර්ය සමරතුංග විසින් වෛද්‍යවරු, ආචාර්යවරු ඇතුළු වෘත්තීය නියෝජිතයන් පිරිස වෙන වෙනම මුණ ගැසුණේ රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කර දීමටය. ඔහු සියලූ වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයත් සමඟ රටේ ආර්ථිකයේ දිශානතිය ජුනි මාසයෙන් පසු වෙනස් වන බැවින් මෙම වසර අවසානය වන තෙක් ආණ්ඩුවට යම් අවස්ථාවක් දෙන ලෙසය.
ඉන් පසු වෘත්තීය සමිති නායකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුවට සුබදායි උත්සාහයක් ගත හැකි බවද ඔහු වෘත්තීය සමිති නායකයන් දැනුම්වත් කර තිබුනි. ජනපති රනිල් අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ කොළඹින් බැහැරව ගියේ සිකුරාදා දින සවසය.