ගොඩ බෙහෙත් නිසා සජබ හත්පොළේ ගාගෙන !
“මුදල් රාජ්‍ය අමත්‍යවරයා හා මහබැංකු අධිපතිවරයා දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරිම සිදු නොකරන බව කිව්වත්, මේ වන විට දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරිමට ආණ්ඩුව සියලු කටයුතු සුදානම් කර අවසන්. ඉතිහාසයේ කිසිම විටක ඉරිදා දිනයන්හි පාර්ලිමේන්තුව කැඳවා නැහැ. ආණ්ඩුව මේ ඉරිදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් තුළින්ම ආණ්ඩුවේ උනන්දුව පෙනී යනවා. මෙය ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පනතක් නෙමෙයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ දේශපාලන පක්ෂ අතර අර්බුදයක් නිර්මාණය කිරිමට. පිහිටුවාලිමට නියමිත විපක්ෂයේ පුඵල්ම සංවිධානය කඩාකප්පල් කිරිම මෙහි ප්‍රධාන අරමුණ ලෙස පෙන්වාදිය හැකියි.”
පසුගිය 29 වනදා පැවති සජබ මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් පසුව මේ ගජබින්නය ප්‍රසිද්ධියේ අත්හැර සිටියේ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. මුදල් අමාත්‍ය ධුරය දරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනය. ඔවුන් කිසිම අවස්ථාවක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොකරන බවක් පවසා නැත. එතනම මරික්කාර් දෙසන්නේ ගජබින්නයක් ය. අප එසේ කියන්නේ ආවාට ගියාට නොවේය.
2022 වසර අවසානය වන විට මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83ක් විය. එයින් විදෙස් ණය ඩොලර් බිලියන 41 වූ අතර, දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42ක් විය. 2022 අප්‍රේල් මාසයේ මෙරට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියේද මෙරටට ණය තිරසරභාවය අහිමිව ගිය නිසාය. මේ හමුවේ රට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දුන් අතර, ගැලවිල්ලක් පෙනෙන තෙක් මානයක තිබුණේ නැත. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතුවද ඔවුන්ද කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර සිටියේ ණය තිරසරභාවය ඇතිකර ගන්නා ලෙසය. ඒ සඳහා වන පැහැදිළි විකල්පය නම් මෙරට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමය. පළමුව මෙරට විදෙස් ණය හිමියන් සමඟ ඒ පිළිබඳ එකඟතාවකට පැමිණීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සමත්විය. නමුත් දේශීය ණයද ප්‍රතිව්‍යුහගත කිරීම ද අත්‍යවශ්‍ය විය.
දේශීය ණය ප්‍රමාණය, විදෙස් ණයට ඉහළින් තිබියදී විදෙස් ණය පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟවීමට තරම් විදෙස් ණය හිමියන්ට අමුතු බඩේ අමාරුවක් නැත. එවැන්නක් ගැන සිතීමත් පවා මුග්ධකමක්ය. අනෙක් අතට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බලාපොරොත්තු වන්නේ රජයේ දළ මුල්‍ය අවශ්‍යතාවය (Gross Financial Need) සඳහා ඉදිරි කාලය තුළ රජයට දළ වශයෙන් ගන්න තිබෙන ණය බර අඩු කිරීම ය. නැතිනම් ඇති අන්තරාව කුමක්ද යන්න තේරුම් ගන්න අවශ්‍ය නම්, තමන් දන්නා දරුණුම අන්තරාව ගැන සිතා ගත්තට වැරදි නැත. අන්න ඒ නිසාම රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් වන සාකච්ඡාවට යොමුවූයේ ම දේශීය ණය ද අවශ්‍ය පරිදි ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය ලබා දෙමින්ය. කයිවාරු අයියලා, කයිවාරු දාසලා මොන බින්නය දෙසා බෑවත් ආණ්ඩුවද කාගේ වුවත්, මේ හැර වෙනත් විකල්පයක් රට හමුවේ නැත.
ඒ අනුව මරික්කාර් මන්ත්‍රීගේ ප්‍රකාශය අසත්‍යයක් පමණක් නොව, නරුමය. 2022 වසර ආරම්භයේ ආර්ථික අර්බුදය මෙරට හිස මුදුනට දෂ්ඨ කිරීමටත් පෙර අනාගත අනතුරක අවධානම පළමුව පෙන්වා දුන්නේ රනිල්ය. එයින් නොනැවතුණු රනිල්, ඊට ඇති විසඳුමද යෝජනා කළේය. ඒ වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුවන ලෙස පවසමින්ය. ආර්ථික අර්බුදය සාහසික ලෙස කඩාවැදුණු අවස්ථාවේද යලිත් රනිල් මේ බව අවධාරණය කර සිටියේය. එදා රනිල්, මට දුන්නොත් මං කරනවා කියමින් පොරටෝක් දෙන්න ගියේ නැත. ඒ වෙනුවට අන්තරාව නිවැරදිව පෙර කියවූ අතර විසඳුම ද යෝජනා කළේය. රටක ජාතික නායකයකු ගොඩනැගෙන්නේ එබඳු ආදර්ශ හරහා මිස කයිවාරුවලින් නොවේය. ආර්ථික අර්බුදයත් සමඟ රටම අරාජිකත්වයකට වැටුණු මොහොතේ, රට භාරගත යුතු නායකයා ලෙස රටේ සාතිශය බහුතරයේ තේරීම බවට රනිල් පත්වූයේ ද ඒ නිසාය.
වැටුණු රට පියවරෙන් පියවර ජනාධිපති රනිල් ගොඩනගන විට සජිත් උත්සාහ කළේ කෙසේ හෝ එය කඩාකප්පල් කිරීමටය. විශේෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙලකට යාම වැලැක්වීම එහි ප්‍රමුඛ අවශ්‍යතාව විය. ඒ කාලකන්ණි උත්සාහය කොතරම් දුරදිග ගෙනයාමට සජිත් කටයුතු කලාද කියනවා නම්, වත්මන් ආණ්ඩුව සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතිකරගන්නා කිසිම ගිවිසුමක් සජබ ආණ්ඩු සමයක වලංගු නොවන බවට තර්ජනය කළේය. එහෙත් ඒ නොමෙරූ කතා IMF හෝ වෙනත් කවුරුත් මායිම් කළේ නැත. එනිසා IMF සමඟ වැඩසටහනකට යාම සාර්ථක විය. ඒ අවස්ථාවේ සජිත් ප්‍රමුඛ සජබ මොර දුන්නේ මුලින්ම IMF වෙත යාමට යෝජනා කළේ තම පක්ෂය බව කියමින්ය. ඒ සමඟ වත්මන් ආණ්ඩුව IMF සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අර්බුදය විසඳීමට නොව එය තවත් තීව්‍ර කරනු ඇති බවට බිල්ලන්ද මැවීය. නමුත් ඒ වෙනුවට සිදුවූයේ වැටුණු රට පියවරෙන් පියවර ගොඩ ඒමය. යළි ගොඩගැනීමක් ගැන සිතන්නවත් බැරි බවට ජාත්‍යන්තරය පවා සිදුකළ තක්සේරු කණපිට හරවන්න ජනාධිපති රනිල් සමත් විය. අවසානයේ අර්බුදය තීව්‍ර කරනවා කියූ ජනපති රනිල්ගේ වැඩපිළිවෙල, වර්තමානයේ දරුණු ආර්ථික අගාධයන්ට වැටුණු රටවල් ගොඩ ගැනීමේ ලාංකේය ආදර්ශයක් ලෙස ලෝකය හමුවේ තහවුරු කෙරිණ.
විපක්ෂයේ අවලාද සටන් පාඨ හකුළමින් ඉදිරියට යන රට, පසුපසට හැරවීමට සජිත් ප්‍රමුඛ සජබ විපක්ෂය ඊළඟ උත්සාහය දියත්කර සිටියේ රට නැවත ගොඩ නැගීමත්, IMF වැඩසටහන සාර්ථක කරගැනීමටත් අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩාකප්පල් කිරීමය. ඒ සඳහා වන අඩව්ව ඇල්ලුවේ ජනවරමක් නැති ආණ්ඩුවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කොහෙත්ම සාර්ථක නොවනු ඇති බව කියමින් ය. නමුත් විදෙස් ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟතාව පළකිරීම සමඟ සජබ අඩව්ව වෙනස් කෙරුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අඩාල කරවීමටය. එහිදී දියත් කළ නින්දිත සහ සාහසික ප්‍රචාරය වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් සමස්ථ බැංකු පද්ධතියම බිඳ වැටෙන බව පවසමින්ය. කොහොම නමුත් ඒ සාහසික කොටළු කතා ජනතාව විහිළුවටවත් නොගත්තේ මෙරට මිලියන 22ක ජනතාවගේම වාසනාවටය. එසේ නොවී කිසියම් හෝ බැංකු තැන්පතු ඉවත්කර ගන්න ජනතාව ක්‍රියා කළා නම් රටේ ආර්ථිකයට වෙන්නේ ටයිටන් සබ්මැරීනයට අත්වූ ඉරණමය.
කෙසේ හෝ වේවා අවසානයේ බැංකු පද්ධතියට කිසිඳු හානියක් නොවන ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ජනගත කෙරුණු අතර එතැන් සිට සජිත් ප්‍රමුඛ සජබ විපක්ෂය අඩව්ව යළිත් මාරු කර සිටියේ ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල නැති කරන්න යනවා කියමින්ය. ඒ ප්‍රකාශවල කිසිඳු සත්‍යක් නොමැති බව ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දිගින් දිගටම සහතික වන විට මරික්කාර් වැනි ආර්ථික විද්‍යාව සම්බන්ධව මෙලෝ හසරක් නොදන්නා සහ බොරු කියන්න බය නැති මන්ත්‍රීවරුන් වේදිකාවට ගොඩකර ඇත.
වඩාත් හාස්‍ය දනවන සිදුවීම වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව සජබ තුළත් එක මතයක් නොමැති වීමය. මෙතෙක් සජබ ආර්ථික ඔස්තාර්වරුන් ලෙස සජිත්ම හැඳින්වූ, අවස්ථා කිහිපයකදීම සජබ ආණ්ඩුවක මුදල් ඇමති ලෙස සජිත්ම හඳුන්වාදුන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සහ සජබ මන්ත්‍රී කණ්ඩායමේ තීන්දුව අතර ඇති පරස්පරය සුළුපටු නැත. මන්ද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බැංකු පද්ධතියට හානියක් වේ නම් ඊට සහය නොදෙන බව සජබ පළමුව දැරූ ස්ථාවරය විය. එහි ප්‍රකාශකයා වූයේද මන්ත්‍රී හර්ෂ ද සිල්වා ය. ඔහු පසුගියදා සජිත් සමඟ ගොස් සිදු කළ ජනාධිපති හමුවෙන් එළියට ආවේ, බැංකු සම්බන්ධ තිබු බිය පහවූ බව පවසමින් ය.
එහෙත් දැන් සජිත් අලුත් අඩව්වක් ලෙස සේවක අර්ථ සාධක අරමුදලට අත තැබීමක් ගැන මාරු කියවන්න ගෙන ඇත. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නම් මේ අලුත් නාඩගම සජිත්ට ලියාදී ඇත්තේ නිදහස නමින් වෙස්ගෙන සිටින හිටපු ජනාධිපති ගෝඨාභය ගේ ආර්ථික උපදේශකයන්ය. රාජපක්ෂ නැව, අරගලය සමඟ ගිලෙන්න ගිය අවස්ථාවේ පැනපු ඒ මීයන් දැන් සජිත්ගේ උපදේශකයන් වී ඇත. දැන් සජිත් ලිබරල් ආර්ථිකය ප්‍රතික්ෂේප කරන අතර, ඒ වෙනුවට කතා කරන්නේ සුබසාධක ආර්ථිකයක් ගැනය. ඒ නාලක ගොඩහේවා වැනි අවස්ථාවාදී සටකපට උපදෙස් මතය. මේ වන විට සජබ ආර්ථික ඔස්තාර්ලා ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න සිටි ස්ථාන දැන් නිදහස නඩේ ගොඩහේවා, චරිතලා, ජී.එල්.ලා අත්පත් කරගෙන ඇත. රනිල්ගේ මතය වෙනුවෙන් පෙනී සිට සජබ පරාජයට පාර කපනවා කියමින් හර්ෂලා, කබීර්ලා පක්ෂ අභ්‍යන්තරයට පව්කාරයන් කර ඇති අතර නිදහසේ පිරිස ගැලවුම්කාරයන් ලෙස ඉදිරියට ගෙන ඇත.
එසේම මේ වන විට ගොඩහේවාලාට, චරිතලාට මෙන්ම ජී.එල්.ලාට දෙන තනතුරු ගැන එකඟතා පවා ඇති කරගෙන තිබෙන බවත් දැනගන්නට ඇත. තවදුරටත් ආර්ථිකය ගැන පමණක් නොව ඕනෑම කරුණක් ගැන විශ්වීය සත්‍ය වෙනුවට රනිල් විරෝධී ස්ථාවරය ගන්නා පිරිසට හැර වෙන කාටවත් සජබ තුළ ඉඩක් නොලැබෙනු ඇත.
මෙහි ඇති ලස්සනම කාරණය වන්නේ, ආර්ථිකය ගොඩනගන ආකාරයට අදාළව සකස් කළ සජබ මූලික ලියවිල්ල පවා දැන් කුණු කූඩයට දමන්නට සිදුව තිබීමය. එහි පැහැදිළිව IMF වැඩසටහන අනුමත කර ඇතිවා පමණක් නොව ණය ප්‍රතිව්‍යුහගතකරණයද පිළිගෙන ඇත. ඒ තුළ සජිත් අමාරුවේ වැටෙන්නේ රට තිබෙන තත්වය අනුව විදෙස් ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ය. එවිට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අසාර්ථක වන අතර එවැන්නක් සිදුවුවහොත් සජිත්ට පමණක් නොව මිලියන 22ක ජනතාවගේ නියත විනාශය වළක්වන්න තිස්තුන් කෝටියක් දේව සභාවටත් නොහැකි බව ස්ථිරය. එසේම මේ කාලගුණයටත් ඉක්මනින් වෙනස් වෙන වෙනස් විල්ල හරහා තහවුරු කරන්නේ සජිත් කියන්නේ, නායකයකු ලෙස කිසිම දැක්මක්, ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙලක් නැති නිකංම නිකං කයිවාරුකාරයෙක් පමණක් බවය. කාලෙන් කාලෙට ළඟට එන නලාකාරයන්ගේ වාදනයට නටන, වැටෙන, පිනුම් ගහන “පුංචිරාල රිලා රාළ” වැන්නෙකු බවට තහවුරු වීමය.
සැබවින්ම නිදහසේ උදවියටත් අවශ්‍ය සජිත්ට ඒ ටික කරන්න විය හැකිය. ජනාධිපති තේරීමේ පාර්ලිමේන්තු ඡන්දය අවස්ථාවේ සජිත්ට තිබූ අපේක්ෂකත්වය උදුරා ගන්නට කටයුතු කළේද මේ නඩයමය. දැන් එදාට වඩා පහසුවෙන් “පුංචිරාල රිලා රාළ” තැනට වැටෙන සජිත්ගෙන් අවස්ථාව උදුරා ගැනීම නිදහස නඩේට පහසු වනු ඇත.
“මෙය ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පනතක් නෙමෙයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ දේශපාලන පක්ෂ අතර අර්බුදයක් නිර්මාණය කිරිමට. පිහිටුවාලිමට නියමිත විපක්ෂයේ පුඵල්ම සංවිධානය කඩාකප්පල් කිරිම මෙහි ප්‍රධාන අරමුණ ලෙස පෙන්වාදිය හැකියි.” කියා මරික්කාර් 29 වනදා මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධියේ කිව්වේද එවැනි ඉවක් නිසා වෙන්නත් පුළුවන.
ජනපති රනිල් ගැන භීතිය නිසා තමන්ද ආතුරව රටම ආතුර කරන්නට වෙරදරන “වෙන්ඩ ජනාධිපති” කෙසේ වෙතත් “වෙන්ඩ පුංචිරාල රිලා රාළ” ට මේ ඉව සිඳීගොස් තිබෙන්නත් පුළුවන. ඒ නිසා ඒ අසරණයාට මේ ටික වැදගත් වනු ඇත. “ඔබ යමකට භීතියකට පත්වෙයිද ඊට අදාළ මනෝකායික දුර්වලතාව ඇත්තේ ඔබ තුළ මිස, ඔබ භීතියට පත්වන වස්තුව තුළ නොවේය. ඔබ එය නිවැරදිව හඳුනාගෙන කටයුතු නොකරනතාක්, සියලු කටයුතු සිදුවන්නේ භීතියේ මෙහෙයවීමෙන්ය. ඒ නිසා අමුඩේ දැක සතුටු වීමට පෙර වැලේ ඇති රෙද්ද කාගේද? ඔවුන් මොකද කරන්නේ කියා සැළකිලිමත්වීම වැදගත් වනු ඇත.”
-කල්ප අනුත්තර ලියනගේ