Sorry නතාශා කොමඩියක් නෙමෙයි ට්‍රැජඩියක්!

ඉතා මෑත කාලයේ අප සමාජය හරහා එක පෙළට සිදුවීම් ජාලයක් ගලාගෙන ගියේය. තවම ඉවර නැති ඔළු කරකවන වියරු හුළඟක් වගේය. විටෙක එය පරුෂ වචන පිරුණු ඔන්ලයින් බණක්ය. තවත් විටෙක දේව බලයෙන් සුව කැන්දන පපට් ෂෝ එකක්ය. ඒ වගේම මෝඩාභිමානයෙන් හිටං කරපු, කඳුළු උන්නපු විහිළුවක්ය‍. එතැනින් එහාට ගියාම වාසිය කොතනද එතැන උතුරු සළු උනා දමන කොළඹ උපාසක නාඩගමක්ය. ඒ විතරක් නොව, ජාතිය ආගම වෙනුවෙන් දිවි දෙවැනි කොට කටාභිමානය ප‍්‍රකට කරන මංසානි තස්ස වඞ්ඪපු පුරුෂාත්මයක ඝෝෂාවක් ය.

මේ සෑම සිදුවීමක්ම ඇසූ දුටු බොහෝ ඇත්තෝ තමන්ට අහුවන තැනින් අල්ලාගෙන තම තම නැණ පමණින් අටුවා ටීකා ටිප්පනි නැතත් ගැටපද විවරණය කිරීම් සමාජය පුරා වපුරා හළේය. එහි සීමාවක් ද නොවීය. එය මිනිස් නිදහස යැයි කියන්නෝය. සත්‍යයකි, යහපාලිත සමාජයක පුරවැසියනට අදහස් ප‍්‍රකාශ කිරීමේ සීමා නොතිබිය යුතුය. එය ඇගයිය යුතුය. එහෙත් ඒ කතා ගොන්න ඇතුළේ සමස්ත සමාජයට ලැබෙන ලාභයට හෝ පාඩුවට වගකියන්නේ කවුද? යන්න මෙහි ඇති මූලික ගැටලූව ය. මන්ද හෙටත් ජයග‍්‍රහණයට සුජාත පියවරු බිහිවෙනවාට සැකයක් නොමැති වුවද පරාජය අවජාතක වුණේ අදක ඊයෙක නොවන නිසාය. හෙටටත් එය වලංගුය. එම නිසා කෙසේ හෝ මේ ඕනෑම විගඩමක් හරහා සමාජයට අත්වන අලාභය අවම කරගත යුතුය. නැතහොත් ඒ වෙනුවෙන් සමාජයක් ලෙස ගෙවන්න වෙන වන්දිය, දරන්න වෙන ආවස්ථික පිරිවැය ජීවිත කාලයම සිල් රැක්කත් ගෙවා පියවන්නට හෝ දරා ගන්නට නොහැකි වන බව නම් නිසැකය. මන්ද වෛරය ඕනෑම සමාජයකට පිළිලයක් වන නිසාය.

මෝඩාභිමාන නතාශා

ආසන්නතම සිදුවීම වූ ”‍මෝඩාභිමානයේ නතාශාගේ ප‍්‍රහසනය”‍ කෙරේ සමාජයේ නන් දෙසින් ගලා ආ ආචාර, විචාර, ප‍්‍රතිචාර හා අභිචාර දෙස විමසුම් නෙතින් මදක් විපරම් කර බැලීමෙන් යමක් පැහැදිලි කරගත හැකිය. ඇතැම්හු නතාශා දුටුවේ ”කාමාශාවට ලොල් වූ”‍ තරුණියක් ලෙසය. තවත් විටෙක ඇය සිය මෝඩකමට රූකඩයක් වෙලා සල්ලි හොයන්න කරපු වැඩක්ය. එසේම නතාශා දැනුවත්ව බුදු දහමට පහර ගැසීමේ ඒකායන අරමුණින් කළ අසමත්+ජාති කතාවක් ය. තවත් අයට අනුව නතාශා හිස්ටීරියාවෙන් පෙළෙන තරුණියක් ය. මේ සියල්ල මධ්‍යයේ සමාජය තුළ ”‍මෝඩාභිමානයේ නතාශාගේ ප‍්‍රහසනය”‍ සම්බන්ධයෙන් ඉහළට එස වූ මූලික චෝදනා දෙකක් විය.

  1. බුදු දහමට මරු පහරක් දීමේ අටියෙන් කළ සැලසුම්ගත ප‍්‍රහසනයකි.
  2. සිංහල බෞද්ධ ජනතාව දිනා ගැනීම වෙනුවෙන් දියත් කළ ජනපති රනිල්ගේ රහසිගත සැලසුමකි.

බුදු දහමට මරු පහරක්

ශ‍්‍රී ලංකාව තුළ බුදු දහම මුල් බැස ගත්තේ, ස්ථාපිත වුණේ මීට වසර දෙදහස් පන්සියයකට එපිට කාලයක සිටය. එසේ ස්ථාපිත වූ බුදු දහම පදනම් කරගනිමින් නිමැවුණු බෞද්ධ සංස්කෘතිය බොදු ජනයා අතර ප‍්‍රචලිත වුවද ඔවුන් බහුතරයකගේ ජීවන රටාව ඉතිහාසය පුරා ගොඩනැගී ඇත්තේ, බෞද්ධ දර්ශනයෙන් විතැන් වූ ‘ආගමික’ අවකාශයකය. බුද්ධාගම නමින් අද සමාජ පිළිගැනීමට ලක්ව ඇත්තේ එකී සිරිත් විරිත්, අභිචාර පිළිවෙත් සපිරි සංස්කෘතික රාමුවක් ය.

මෙකී ආගමික පරිසරය ශාසනික අභිවෘද්ධියට කිසියම් හෝ පිටුවහලක් වන්නේ දැයි යන්න පිළිබඳව වරෙක වල්පොල රාහුල හිමියන්ගෙන් විමසා සිටි අවස්ථාවක උන්වහන්සේ කියා සිටියේ, ”විහාර පන්සල් කොපමණ තිබුණත්, ඒ හේතුවෙන් ශාසනයේ දියුණුවක් නැත. එකම විහාරයක් හෝ පන්සලක් නැතත්, යම් දිනෙක මනුෂ්‍යයා තුළ ගුණධර්මයෝ වෙත්නම්, එදා ශාසනය ජීවමානව පවතී”‍ කියාය.

ඒ අනුව මෝඩාභිමාන කොමඩිය තුළින් නතාශා එදිරිසූරිය නැමැත්තිය බුදු දහමට කළ හානිය කුමක්ද යන්න පිළිබඳව, ඒ සම්බන්ධයෙන් සමාජය තුළ වියරුවෙන් කෑගසන කිසිවකුට නිශ්චිත පිළිතුරක් නැත්තේය. එසේම නතාශාගේ මුවින් ”‍සිදුහත්”‍ යැයි කී පමණින් උරණ වුවද ඉන් බුදු දහමට කිසිදු හානියක් නොවන බව ද ඔවුහු නොදන්නේ ය. මන්ද ඔවුහු සියල්ලෝ බෞද්ධ දර්ශනය පිළිපදින්නෝ නොව බුද්ධාගමික ආශිර්වාද ලත්
අනුගාමිකයන් වන නිසාය. එසේම ඔවුන් බුද්ධාගමික සංස්කෘතියේ මුරකරුවෝ මිසක බුද්ධ දේශිත ධර්මය පිළිපදින උපාසකයෝ ද නොවන නිසාය. තවද ඔවුහු හැමවිටම සිය පැවැත්ම උදෙසා පත්තු වෙන්න බලාගෙන ඉන්නා මිනිස් කණ්ඩායමක් ය යන්න ගෙවුණු කාලය පුරාවට අප සමාජයට ඒත්තු ගන්වා ඇති නිසාය.

ඒ අනුව ගත්කළ නතාශාගේ ”‍සුද්ධෝදනගේ කොල්ලා”‍, දිලිත්ගේ ”සිද්ධාර්ථ පොරක්ද”‍ වගේම සමන්තභද්‍ර භික්ෂුවගේ ”දළදාව ඌරු දතක්”‍ යන කිසිදු ප‍්‍රකාශයකින් බුදු දහමට අබමල් රොනක හානියක් සිදු නොවනවා පමණක් නොව එසේ හානියක් කිරීමේ අදහසකින් කළ ප‍්‍රකාශයන් ද නොවන බව පැහැදිලිය. ඇතැම් විටෙක එකී ප‍්‍රකාශ රූපකයක්, උදාහරණයක් ලෙස යොදාගත්තා විය හැකිය. එකී ප‍්‍රකාශ තුළ සමාජය වටහාගත යුත්තේ, එමගින් හාස්‍ය හෝ උපහාසයට හසුකරනු ලබන්නේ, අද අප සමාජයම මිස ඉතිහාසගත බ‍්‍රාහ්මණ සමාජය නොවන බවය. නමුත් පත්තු වෙන්න බලාගෙන ඉන්න මිනිස් කුලකයට අවශ්‍ය සිය පැවැත්ම වෙනුවෙන් අවස්ථානුකූලව සමාජය ගිනි අවුළුවාලීමට ය. ඒ අර්ථයෙන් අද නතාශා පමණක්ම බුදුන්ට අපහාස කළ කතකයැයි අරුත් ගන්වා වැරදිකාරියක කර හමාරය. මේ සිදුවීම් සියල්ල ගත්කළ නතාශා වටා ගෙතුණු නාටකය, ආගමික පසුබිමක නොව දේශපාලනික මුඩුබිමක නිමැවූ පිටපතකට අනුව පෙන්වන ලද කොමඩියක් (Comedy) නොව සැලසුම්ගත ට‍්‍රැජඩියක් (Tragedy) ය.

ට‍්‍රැජඩි දෙකක් එක අරමුණක්

මේ මොහොතේ රට තුළ ”මෝඩාභිමානය”‍ වැනි කොමඩි හරහා සමාජයේ ගිනි අවුළුවන ට‍්‍රැජඩි සැලසුම් කිරීමට අවශ්‍ය කාටදැයි, කුමක් සඳහා දැයි සම්මා සතියෙන් යුතුව විමසා බැලිය යුතුය. එවිට එය රනිල්ගේ රහසිගත සැලසුමක් දැයි? නැතහොත් අනෙකෙකුගේ කුප‍්‍රකට වෑයමක් දැයි මනාව වටහාගත හැකිය. එසේ විමසීමකින් තොරව කියන දේවල් අසාගෙන, කරන දේවල් බලාගෙන සිටින තාක් කවරෙකු වුවද අපරාධකරුවකු, කුමන්ත‍්‍රණකරුවකු ලෙස හංවඩු ගැසිය හැකිය. බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් මේ රට තුළ සිදුවූයේ ද එයමය.

ඊට කදිම උදාහරණයක් ඇත්තේය. ඒ මෑත කාලයේ ආගම්වාදීන්ගේ සහ අරාජිකවාදීන්ගේ ජනප‍්‍රිය ගොදුරක් වූ ඩොක්ටර් ෂාෆි ය. කිසිදු විමසීමකින් තොරව එදා රූපවාහිනී, පත්තර ඇතුළේ පමණක් නොව සමාජය පුරාම කඳවුරු බැඳගෙන චෝදනාපිට චෝදනා එල්ලකොට, මිනිස් සමාජයේම වරදකාරයකු ලෙසත් නීතියේ සිරකරුවකු බවටත් පත්කළ ඩොක්ටර් ෂාෆි අද නිදහස් ය. වෘත්තීයභාවය රැකි මහත්මයකු ලෙස නිදොස් කොට නිදහස්ය.

එදා ජාතිය බේරාගැනීමේ ට‍්‍රැජඩියෙන් ෂාෆිව වරදකරුවකු ලෙස හංවඩු ගැසූ ඇත්තෝම, අද විපක්ෂයේ සිට ආගම බේරා ගැනීමේ ට‍්‍රැජඩියක් රඟමින් නතාශා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරියක කිරීමටත්, ජනපති රනිල් ඒ කුමන්ත‍්‍රණයේ මහ මොළකරුවා ලෙස සමාජගත කිරීමටත් කැසකවමින් සිටින්නේය. විශේෂයෙන්ම වැඩවසම් සමාජ සංස්කෘතික ගති ලක්ෂණ කෙරේ මහත් ඇල්මකින් පසුගාමී අදහස් සමාජගත කරන මේ ඇත්තෝ ලිබරල්වාදී රනිල්ට මේ චෝදනාව එල්ල කරනුයේ යටි අරමුණක් සහිතවය.

දේශපාලනික මුඩුබිම කාගේ ද?

slvlog ප‍්‍රචාරය කළ මෝඩාභිමානී කොමඩිය වගේම ඊට එරෙහිව රඟන සුදු රෙදි පොරවාගත් ට‍්‍රැජඩිය ද එකම දේශපාලනික මුඩුබිමක ලියැවුණු පිටපත් දෙකක් ය. එහි සැලසුම්කරුවෝ කවුරුන් දැයි දැන් ප‍්‍රසිද්ධියේ රංඟනයට දායකවන මයික් ශිල්පීන්ගේ පූර්ව හාම්පුතාලා කවුදැයි හඳුනා ගත හැකිනම් මනාව පැහැදිලි වන්නේය. ිකඩකදට හිමිකරු මංජු නිශ්ශංකය. ඔහු ගැන පසුගියදා කියවුණේ ගිණිගත් නැවක කොමිස් කතාවක් වටාය. ඊට මුල් වූ කහ පාටින් කුණු පැල්ලම් පිරියම් කිරිමට දතකන සුජාත පුත‍්‍රයා කවුද? එසේම slvlog හසුරවන්නෝ කවුද? ඒ වගේම නානසාරලගෙ, ඩෑන්ලගේ, කස්සපලාගේ ආදි කතෘහු කවුද? ඔවුන්ට slvlog සමග ඇති සහසම්බන්ධය කුමක් ද? ඒ අය දැන් වෙහෙසෙන්නේ කුමක් අරඹයා ද? යන ඉතාම සරල ප‍්‍රශ්න තුළ වගේම ඊට අදාළ පිළිතුරු හරහා ද කොමඩියේ වගේම ට‍්‍රැජඩියේ නිර්මාපකයන් කවුදැයි හඳුනාගත හැකිය.

රනිල්ගේ සැලසුම

හතලිස් පස් වසරක දේශපාලන ඉතිහාසය පුරා රනිල් වික‍්‍රමසිංහට රහසිගත දේශපාලනයක් නොවීය. ඒ රනිල් ලිබරල්වාදියෙකු වූ නිසාම නොව හැමදාමත් සමාජය තුළ මානව නිදහස ඉහළින් අගය කළ, ඒ වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිතව දේශපාලනය කළ දේශපාලනඥයකු වූ නිසාය. රනිල් යනු ලිබරල් සමාජ ආර්ථික මොඩලයක් රට තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් අඛණ්ඩව අරගල කළ ප‍්‍රමුඛ පෙළේ දේශපාලකයා ය. එකී අනවරත අරගලය මහපොළොව තුළ යථාවත් කිරීමට අවැසි දේශපාලන බලය සහ සුදුසුම පසුබිම නිර්මාණය වූයේ පසුගිය
ගෝල්ෆෙස් අරගලයෙන් පසු ශ‍්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති ධුරයෙහි රනිල් වික‍්‍රමසිංහ දිවුරුම්දීමත් සමගය.

ඒ සමගම අරගලයෙහි වූ රැඩිකල් දක්ෂිණාංශිකයන් ද ජනපති රනිල්ගේ ආර්ථික සැලසුම් වෙනුවෙන් පෙනී සිටින්නට විය. ඔවුන්ගේ මූලික අපේක්ෂාව ලිබරල්වාදී සමාජ ගුණාංග ක‍්‍රමයෙන් ලංකා පොළොව තුළ පැළ කිරීමය. ඒ නිසාම මේ මොහොතට අදාළව ගතහොත් ඔවුන්ගේ දෛනික අත්පොතේ මූලික පියවරයන් බවට පත්ව ඇත්තේ, ආර්ථික ස්ථායිකරණය, ජාතික ගැටලූ‍ව නිරාකරණය, ආර්ථික නිදහස, භාෂණයේ – ප‍්‍රකාශනයේ නිදහස, LGBTQ අයිතිය දිනාගැනීම වැනි ලිබරල් සමාජ ක‍්‍රමයකට අවැසි අත්‍යවශ්‍ය සමාජ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීමය. එවන් වටපිටාවක කොමඩි විරෝධී ට‍්‍රැජඩි සමාජගත වෙද්දී ජනපති රනිල් වගේම රැඩිකල් ලිබරල්වාදීන් ද සිදුවන්නේ, නොවලහා ට‍්‍රැජඩි විරෝධීව කටයුතු කිරීමට ය. ඒ ට‍්‍රැජඩි මේකස්ලා වන ඩෑන්ලට නානසාරලට වගේම කස්සපලාට ද එරෙහිවය.

එසේම අමතක නොකළ යුතු සත්‍ය නම්, අරගලයේ එක පත බෙදාගෙන කාපු වාමාංශිකයෝ ද ලිබරල්වාදියෝ ද ආගම්වාදියෝ ද ජාතිවාදියෝ ද අරාජිකවාදියෝ ද අරගලය අවසානයේ එකිනෙකාට එරෙහිව බෙදී වෙන්ව ගියේ, ජනපති රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළට ලිබරල්වාදීන් පක්ෂපාතවීම හරහා ය. රනිල්ගේ සැලසුම්ගත ඉදිරි ගමනට එය වාසිසහගත බැව් විශේෂ කොට සඳහන් කළ යුත්තක් නොවේය. එනිසාම කුමන හේතුවක් නිසා හෝ එකී වාසිසහගත පරිසරය අහිමි කරගැනීමට රනිල් කිසිවිටෙක නොසිතන බව සහතිකය. එබැවින් මේ දියත් වෙමින් ඇත්තේ, රටේ සංවර්ධනය ඒකායන අරමුණ කොටගත් රනිල්ගේ ලිබරල් දේශපාලන ගමනට එරෙහිව අපේක්ෂාභංගත්වයෙන් ගරාවැටුණු දේශපාලනික මුඩුබිමක නිමැවූ පිටපතකට අනුව පෙන්වන ලද කොමඩියක් (Comedy) නොව සැලසුම්ගත ට‍්‍රැජඩියක් (Tragedy) ය.

– නවන් පතිරත්න