ජාතික ආරක්ෂාව ග්‍රාමරක්ෂක න්‍යායෙන් ඔබ්බට

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ශබ්දකෝෂය තුළ බොහෝ වචන ඒවා දරා සිටින අර්ථයෙන්ම දූෂණයට ලක්ව ඇත. ඒ අතර “‍ජාතික ආරක්ෂාව”‍ යන්න ඇත්තේ පෙරමුණේ ය. එහිදී ජාතික ආරක්ෂාව යන්න උත්කර්ෂයට නැගුනේම රාජ්‍යයේ නිල හමුදාවට පමණක් සීමා කරමින්ය. ඇතැම් අවස්ථාවල මහ ජාතිය, ලංකා භූමිය රැකීම පමණක් ජාතික ආරක්ෂාව ලෙස අර්ථ ගැන්විණ. නමුත් ජාතික ආරක්ෂාව යන්න එසේ රාජ්‍ය මිලිටරි යාන්ත්‍රණයට හෝ එක් ජාතිකත්වයකට පමණක් නොව එක් ආගමකට හෝ සීමා වන්නේ නැත.

සාමාන්‍යයෙන් රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැන නඟින්නේ බාහිර උපද්‍රවයක් ලෙසය. නැතිනම් රාජ්‍යකරණයට අභ්‍යන්තරයෙන් එල්ලවන තර්ජනයක් වශයෙන් ය. මෙරටට අදාලව ගත හොත් නිදහස ලබා දශක කිහිපයක් යන තැන ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන සාම්ප්‍රදායික වමේ භීතියක් පැවතිණ. එසේම “වම” විසින්ම බටහිර අධිරාජ්‍යවාදී මැදිහත්වීම් ගැනත් මතුරණු ලැබිණ. නමුත් මෑත ඉතිහාසයේ බාහිර සතුරෙකුගේ සෘජු ආක්‍රමණික තර්ජනයක් මෙරටට තිබුණේ නැත. ඒ වෙනුවට මෙරට රාජ්‍යත්වය අභියෝගයට ලක්වූයේ, දකුණේ තරුණ නැගිටීම් දෙකක සහ උතුරේ 30 වසරක සිවිල් යුද්ධය හමුවේය. පසුගිය වසරේ වූ අරගලයද රට අරාජිකත්වය කරා තල්ලු‍ කළේය.

කෙසේ වුවත් උතුරේ සිවිල් යුද්ධය දකුණ ලැබූ ජයග්‍රහණයක් ලෙස අවසන් වූ පසුව ජාතික ආරක්ෂාව සම්බන්ධවද ජනප්‍රිය අදහස ලෙස උත්කර්ෂයට නැගුණේ “‍උතුරේ දෙමළාගෙන් රට බේරාගැනීම”‍ වශයෙන්ය. ඒ සඳහා පෙනී සිටින්නන් මව්බිමේ සුජාත දූදරුවන් ලෙස බෞතීස්ම කෙරිණ. යුද්ධයෙන් පසුවත් ජාතික සංහිඳියාවක් වෙනුවෙන් වූ ආමන්ත්‍රණය පවා හැඳින්වූයේ “ද්‍රෝහී”‍ ක්‍රියාවක් ලෙසය. නැති නම් රාජ්‍යය විසින් වහාම වටලා මර්දනය කළ යුතු පිරිසක් ලෙසය. මේ තත්වය කොතරම් දුරදිග ගියාදැයි කිවහොත්, ජාතියේ ආගමේ නාමයෙන් විවිධ පිස්සන් රටේ නීතිය පවා අතට ගෙන ප්‍රසිද්ධියේ කටයුතු කරන තැනට පත්විය. කල්යත්ම මුස්ලිම් පුරවැසියාද ඊට ඈඳා ගත් අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරාගැනීම ලෙස කතාව සංශෝධනය විය. ඔය ආකාරයට වර නැගුණු ජාතික ආරක්ෂාව අවසානයේ, ඊට අදාළ පොදු අර්ථය පසෙක දමා, එය ජාති(ක)වාදීන්ගේ සටන් පාඨයක් දක්වා ම පහත වැටිණ. ඒ විකෘතිය අවසන් වූයේ, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අංක එකේ පොරොන්දුව ලෙස ලබා දී බලයට පැමිණි ජනාධිපතිවරයෙකුට, අවසානයේ ජාතික ආරක්ෂාව සැළසීම කෙසේ වෙතත් තම පණ බේරාගන්නට රටින් පිටව යන තැනට කටයුතු සිදු වෙමින්ය. ඒ තබා යුධ හමුදාවවත් ඔහුගේ නියෝග පිළිපදින තැනක සිටියේ නැත. හුදෙක් ජාතික ආරක්ෂාව යනුවෙන් මෙරට පැවති ජනප්‍රියවාදී මතයේ බිඳ වැටීම එසේ අවසන් විය.

එහෙත් එම සිදුවීමෙන් වසරක් ගෙවෙන තැන එම පැරණි අවතාර යළිත් සැරිසරන්න ගෙන ඇත. තැන තැන අගුපිල්වල සරමින් තිබු ඒ අවතාරය පාර්ලිමේන්තුව අභ්‍යන්තරයෙන් මතු වූයේ, ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව දක්වමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජුනි 09 වනදා ඉදිරිපත් කළ ප්‍රසිද්ධ වාර්තාව සමඟය. කෙසේ වුවත් මේ වන විට ආණ්ඩු පාර්ශ්වය අදාළ වාර්තාව පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එසේම ජුනි 13 වනදා රැස් වූ ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බවය.

එපමණක් නොව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 15 වනදා තීන්දු කෙරිණ. එම පෙත්සම් දෙකෙහිද ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවටද මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණි. ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ අදාළ චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බවය. එසේම බි්‍රතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සන්දේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත්ය.
බි්‍රතාන්‍යයේ පමණක් නොව, ලොව දියුණු රටවල් සාතිශය බහුතරයක විදුලි සන්දේශ සේවා සැපයීම සිදුවන්නේ පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඇතිවය. රජය සතුව ඇත්තේ අදාළ සේවා සැපයීම නියාමනය කෙරෙන අධිකාරී බලය පමණය. ඒ අනුව පෙනී යන්නේ මෙය ගෝලීය අත්දැකීම තුළත් සාමාන්‍ය තත්වයක් බවය. එහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විශේෂ යමක් නොමැති බවය. දැන් ප්‍රශ්නය නම්, ඒ කිසිම දියුණු රටක සොයා නොගත්, කිසිම අධ්‍යයනයකට හසුනොවූ කරුණක් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සොයා ගත්තේ කෙසේද යන්නය.

කෙසේ වුවත් දේශපාලනඥයන් නම් සිය බල දේශපාලන උපාය මාර්ගයක් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජාතික මිත්‍යාව නඩත්තු කරන බව පැහැදිළිය. නමුත් මාධ්‍ය ද එය අන්ධානුකරණයෙන් භාර ගැනීමත්, කිසිඳු විචාරයකින් තොරව, විකල්ප අදහසකට පවා ඉඩ නොතබා එය ප්‍රචාරය කරමින් මහා මිත්‍යාවක් ජාතික මට්ටමින් තවදුරටත් ජන සමාජය තුළ නඩත්තු කිරීම සෝචනීයය. එය පෙන්වා දෙන්නේ රෑ වැටුණු වලේ මහ දවල් වැටෙන්න ඇති සූදානමය. එනම් අප තවමත් නැවතී සිටින්නේ මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා වූ ජාතික ආරක්ෂාව පිළිබඳව සාම්ප්‍රදායිකව පිළිගත්, පැරණිතම සහ ප්‍රබල ලෙස ස්ථාපිත පටු අදහස මතය. නැතිනම් ප්‍රකට “‍සය දින යුද්ධය”‍ සඳහා කල් මරමින් නොසිට ක්ෂණික ප්‍රහාරයකට යායුතු බව පවසමින් ඊශ්‍රායල රජයට බල කළ එරට හමුදා ප්‍රධානියෙකු වූ මෝශේ දයාන්ගේ ධීර වීර ප්‍රකාශ ෆැන්ටසිය කරගෙනය. එබැවින් දැන්වත් ජාතික ආරක්ෂාව සම්බන්ධ ජාතික මිත්‍යාවෙන් ගැලවිය යුතුය. එයින් පෙන්නුම් කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව මිත්‍යා අදහස අප සිතුම් පැතුම් තුළ කිඳා බැස දෛනික ජීවිතයේ අංගයක් වී ඇති තරමය. එසේ නම් දැන්වත් ජාතික ආරක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ අප මේ සිතා සිටින මිත්‍යාව නොවන බව තේරුම් ගත යුතුව ඇත.

ඉන්දියානු ශාස්ත්‍රඥයකු වන ප්‍රභාකරන් පලේරි සිය “ජාතික ආරක්ෂාව: අත්‍යවශ්‍යතා සහ අභියෝග” නම් පොතෙහි ජාතික ආරක්ෂාව පිළිබඳව පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. එහිදී ඔහු ජාතික ආරක්ෂාවට අඩංගු විය යුතු මූලික අංග පහළොවක් දක්වා ඇත. ඒ හමුදා ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, සම්පත් ආරක්ෂාව, දේශසීමා ආරක්ෂාව, ජන විකාශ ආරක්ෂාව, ආපදා ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව, භූ මූලෝපායික ආරක්ෂාව, තොරතුරු ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය ආරක්ෂාව, ජනවාර්ගික ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ජානමය ආරක්ෂාව වශයෙන්ය.

එසේම ජාත්‍යන්තර ගැටුම් වැළැක්වීම සහ බේරුම්කරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන අන්තර්ජාතික අර්බුද කණ්ඩායමට (ෂක්‍ඨ) අනුව ආරක්ෂාව යනු විවිධ අංශවලට බෙදිය හැකි එකකි. ජාතික ආරක්ෂාව, ප්‍රජා ආරක්ෂාව, පෞද්ගලික ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව සහ පෞද්ගලික නිදහස ඉන් කිහිපයක්ය.
ඒ අනුව තවදුරටත් ජාතික ආරක්ෂාව යනු, මිලිටරි ආරක්ෂාව පමණක් නොවේය. රටේ වෙසෙන සෑම පුරවැසියක්ගේම පුද්ගලත්වය, අනන්‍යතාවය ආරක්ෂා කර නිදහස් සහ සුරක්ෂිත පරිසරයක් තුළ ජීවත්වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන තත්වයක්ය. එය ජාතික රාජ්‍යයක හැමදෙයක්මය.

එමෙන්ම හැමදෙයකම ආරක්ෂාව කියන්නේ, සියල්ල ජාතික ආරක්ෂාව කියා කොන්ක්‍රීට් – වානේ පවුරු ඇතුළේ බහා තබා බදාගෙන සිටීම නොවන බවද තේරුම් ගත යුතුය. රටේ සම්පත් ඇත්තේ පොදි ගසා රකින්නට නොව, මිනිස් පරිභෝජනය සඳහා තිරසර පදනමින් භාවිතයට ගැනීමටය. මිනිස් ප්‍රයෝජනයට නොමැති භෞතික දේ සම්පත් ලෙස සලකන්නේ ද නැත. එනිසා “ජාතික සම්පත්” යනුවෙන් ඇති වැරදි ජාතික සිතුවිල්ලද වෙනස් කර ගත යුතුව ඇත. සම්පත් ප්‍රයෝජනයට ගැනීමේදී ඒ සඳහා ප්‍රාග්ධන හැකියාවක් නොමැති නම් ආයෝජන සඳහා ඒවා විවෘත කළ යුතුය. භාණ්ඩ නිෂ්පාදන අංශය තුළ පමණක් නොව සේවා අංශයටද එය අදාළය. ඒ සමඟ ගෝලීය ප්‍රවණතා සැළකිල්ලට ගෙන ඊට සුදුසු උපාය මාර්ගික එළඹුම් ඔස්සේ ආර්ථිකය හසුරවාලිය යුතුය. නැතහොත් සිදුවන්නේ වර්ධනය ඇනහිට රට එක තැන පල්වීමය. යළිත් රට බංකොලොත් වීමය. 2022 දී ඇතිවූ ආකාරයේ අරාජිකත්වයේ සහ අර්බුද සමයක් ඊටත් දරුණුව පැමිණීමට ඉඩහසර විවෘත වීමය. ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරිපත් කර ඇති “‍දෝදු”‍ වාර්තා ප්‍රතික්ෂේප කළ යුත්තේ ඒ නිසාය. වචන ගොඩක් මිස ජාතික ආරක්ෂාවට අදාළ පූර්ණ අදහසක් එහි නැත.

ඉතිහාසයේ පටන් මෙරට ජාතික ආරක්ෂාව අර්බුදයට ගොස් ඇත්තේ ජාතීන් සහ ආගම් අතර ඇති විරසකය මත සහ ආර්ථික අර්බුදය පදනම් කරගෙනය. එනිසා මිලිටරි කාකි නෙතින් දකින ජාතික ආරක්ෂාවක් වෙනුවට ජාතික ආරක්ෂාව අවදානමට ලක්වීමේ සකලවිධ මරු වැල් සිඳීමට කටයුතු කළ යුතුය. ජාතික ආරක්ෂාව ගැන ගල් යුගයේ අදහස් කැටිවූ ජාතික මිත්‍යාවට, මෙරට මිලියන 22ක ජනතාව වෙනුවෙන් කරන්නට හැකි උකුණු පුකක මෙහෙයක් නැත. මෙරට ජාතික ආරක්ෂාව “‍ග්‍රාමාරක්ෂක න්‍යායෙන් ඔබ්බට”‍ ගෙන යා යුත්තේ ඒ නිසාය.

  • කල්ප අනුත්තර ලියනගේ