නැතිවුණ අලුත් අවුරුද්ද නැවත හමුවෙයි.
බක් මාසය එළෙඹෙමින් ඇත. වසර කිහිපයක් තිස්සේ බක් මාසය මූසල මාසයක්ව තිබුණේය. බක් මාසයේ සිංහළ දෙමළ අලුත් අවුරුදු එළඹුම සමරන්නේ ජාතික සංස්කෘතික අංගයක් ලෙසය. සශ්‍රීකත්වය හා සෞභාග්‍ය බලාපොරොත්තුවෙන් චාරිත්‍රයන් සිදුකරයි. අටුකොටු පුරවාගත් අස්වැන්න නැතිනම් තමන් උපයාගත් දේ සමඟ අවුරුද්දේ අසිරිය භුක්ති විදින්න මේ රටේ ජනතාව සැදී පැහැදී සිටිති. නමුත් මේ දේ සිදු වන්න නම් රටේ ආර්ථිකය සුබවාදී විය යුතුය. අපේක්ෂා සහගත විය යුතුය. මෙවර බක් මහ එළැඹෙන්නේ ඒ සුබවාදී අපේක්ෂාවන් තුරුළ කරගෙනය.
වසරක් පමණ කාලයක් පුරා ගත් උත්සාහයේ ප්‍රතිපළයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහනයන් ලැබී තිබේ. මේ අනුව අතිශය දුෂ්කර වුවද බංකොළොත් වූ ආර්ථිකය ගොඩනැගීමේ සුපසන් බලාපොරොත්තු සමග ආර්ථිකය යම් පමණකට ගොඩ නැගීම ඇරඹී ඇත. මේ නිසාම මෙතෙක් දුක් විදි ජනතාවට නව බලාපොරොත්තුවක් ඇතිව අලුත් අවුරුදු සැමරීමේ හැකියාව ලැබී ඇත.
නැත්තටම නැතිව ගිය ආර්ථිකය යළි පණ ගැසීමට පටන් ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙටි කාලයක් කුළ ගත් ක්‍රියාමාර්ග නිසාය. කාබනික පොහොර විගඩම විසින් විනාශ කොට දැමූ ගොවි තැන නැවත නගා සිටුවීම සදහා රසායනික පොහොර කඩිනමින් ලබාදීමට කටයුතු කළේය. මේ සදහා රුපියල් මිලියන 400ක් වෙන් කරනු ලැබූවේ නැත්තටම නැති වූ ආර්ථිකයක් තිබියදීය. ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබාගත්තේය. මේ අනුව යල කන්නය සහ මෙවර මහ කන්නය ගොඩ දා ගැනීමට එතෙක් පොහොර ටිකක් නැතිව සිටි ගොවියාට හැකි විය.
පීඩාවට පත්ව සිටි ජනතාව ආහාර සොයා ගැනීමේ දුෂ්කර වකවානුවක්ද ගත කළේය. ජාත්‍යන්තර සංවිධාන විසින් දිගින් දිගටම ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන පාසල් සිසුන් හා ජන කොටස් සිටින බවට තොරතුරු වාර්තා කළ අතර මේ පීඩාවෙන් ජනතාව මුදවා ගැනීම සදහා රජය විසින් කඩිනම් ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙලක් සකස් කළේය. ඒ වෙනුවේන ජාත්‍යන්තර ආධාර ලබා ගත්තේය. එසේම ඒ සදහා කමිටු 07ක් ගොඩනගා මේ පිළිබදව සොයා බලා අදාළ ජන කොටස් හදුනාගැනීමත් ඔවුන්ට සහන ලබාගැනීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් ගොඩනැගුවේය. සුබසාධන ප්‍රතිලාබ මණ්ඩලය මඟින් දැවැන්ත වැඩපිළිවෙක් මේ අනුව ක්‍රියාත්මක වෙයි.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවැති හාවඩ් විශ්ව විද්‍යාලය සමග පැවැති සාකච්ඡාවක දී ඔවුන් විසින් මතු කළ ප්‍රශ්නය වූයේ, , ඔබ සදහන් කරන විශාල සමාජ ආරක්ෂණ වැඩසටහන් මොනවාද? එමගින් දුප්පතුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේද? මේ වන විට යම් යම් ගැටලු ප්‍රකාශ කරන අය ඒවා පිළිගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට හැඟීමක් තිබෙනවාද? යන්නය.
මේ සදහා ජනාධිපතිවරයා දුන් පිළිතුර වූයේ , අද අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28කට සහල් කිලෝග්‍රෑම් 20 බැගින් රජය නොමිලේ ලබා දෙනවා. සමාජ ආරක්ෂණ ජාලය ප්‍රතිව්‍යහුගත කරමින් තිබෙනවා. මොකද සමාජ ආරක්ෂණ ජාලයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු පිරිසෙන් 30- 40% කට වරප්‍රසාද හිමි නොවන බව අපට පෙනී ගියා. ඔවුන් සමාජ ආරක්ෂණ ජාලයට ඇතුළත් නොවුනද අනිවාර්යයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු කණ්ඩායමක්. ඒ වගේම අධ්‍යපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදලින් නිසි ප්‍රතිඵල ලැබෙන බව සහතික කළ යුතුයි.
අපි සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වියදම් කරන සෑම රුපියලකම උපරිම ප්‍රතිලාභය අප සතු බව සහතික කළ යුතුයි. මෙම කරුණු කෙරෙහි මේ මොහොතේ අපේ අවධානය යොමු වී තිබෙනවා. මූල්‍ය දුෂ්කරතාවලට ලක්ව ඇති ඇතැම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන සැලසිය හැකි ආකාරය පිළිබඳ බැංකු සමග සාකච්ඡා කරන අතර රැකියා අහිමි වූ පිරිසට නැවත රැකියා ලබා දීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
අප මුහුණ දී සීටින මෙම දුෂ්කර කාලසීමාවේ එය පහසු කාර්යයක් නොවන බව මම පිළිගන්නවා. එක වේලක් මගහරින පවුල් අද රටේ සිටින බව අප අමතක නොකළ යුතුයි.
ඩොලරය සඳහා විනිමය අනුපාතිකය එක රැයකින් 185 සිට 385 දක්වා ඉහළ යාම හමුවේ අපි සියලු දෙනාටෙ දැඩි දුෂ්කරතාවට මුහුණදීමට සිදු වුණා. විශේෂයෙන්ම අඩු ආදායම් ලබන ජනතාව විශාල දුෂ්කරතාවකට මුහුණ දුන්නා. එම ජනතාව ආරක්ෂා කරන බවට අපි සහතික වෙනවා., යන්නය.
මේ ප්‍රකාශය අනුව කිසිවක් කර කියා ගත නොහැකිව සිටි ජනතාවගේ මූලික අවශ්‍යතාවය වූයේ එදා වේල කෙසේ හෝ ගැට ගසා ගැනීමටය. රජයෙන් බලාපොරොත්තු වූයේ එවැනි සහනයකි. ජනාධිපතිවරයා විසින් මේ සදහා කෙටි කාලීන පිළියමක් ලෙස මහ කන්නයේ වී නිෂ්පාදනයේ අතිරික්තය අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාර්තු අප්‍රේල් මාස 02 තුළ ලබාදීම කටයුතු කරමින් තිබේ. ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව, රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමට පියවර ගැනීම. ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා එක් පවුලකට මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5000 – 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීමට කටයුතු කිරීම සිදුවිය.
මීට අමතරව වගාවන් සක්‍රීය සිදු කිරීමට පියවර ගත් අතර ඊට අදාළ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව රටට අවශ්‍ය සමස්ත සහල් අවශතාවය මෙට්‍රික් ටොන් දසලක්ෂ 3.6ක් නිෂ්පාදනය කිරීම, වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50%ක් රට තුළම නිපදවීමට පියවර ගැනීම, අර්තාපල් අවශ්‍යතාවයෙන් 35% ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් සකස් කිරීම, වාර්ෂික සෝයා අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 250,000න් 20%ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම, වියලි මිරිස් අවශ්‍යතාවයෙන් 20%ක් දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම, වැනි කෘෂිකාර්මික නිෂ්පාදනයට අදාළ පියවරයන් ගැනීම සුවිශේෂී කටයුතුය.
මේ අතර කුඹුරු හෙක්ටයාර් 2ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ලබාගත් වගා ණය කපා හැරීමට කටයුතු කිරීම. යොවුන් කෘෂිකාර්මික සමාගම් (Youth Agricultural Companies) යෞවන සමාජ 331ක ක්‍රියාත්මක කිරීම. දේශීය කිරි නිෂ්පාදන නංවාලීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, හිඟයකින් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම සදහා සැලසුම් සකස් කිරීම, වැනි ආර්ථික මෙන්ම සාමාජීය වැඩපිළිවෙලක් සකස් කිරීම හා ඒ සදහා සැලසුම් සකස් කිරීම මේ වන විට සිදුවෙමින් පවතින ක්‍රියාවලින් වේ.
අනාගතයක් සම්බන්ධයෙන් වන බලාපොරොත්තු ජනතාව තුළ නොමැති නම් ජනතාව සමරණ අවුරුද්දද සමරනුයේ හරසුන් ලෙසය. අනාගතයේ බරක් තබාගෙන කිසිවෙකු අද සතුටක් විදීමට අකමැතිය. එහෙත් ජනාධිපතිවරයා විසින් ඒ සදහාද බලාපොරොත්තු දැල්වීමට කටයුතු කොට ඇත. පසුගියදා පැවැති හාවඩ් විශ්වවිද්‍යාලය විසින් පැවැති සාකච්ඡාවේදී මේ පිළිබදව ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් සිදු කළේ මෙසේය.
“ඉදිරි වසර 25 දී කලාපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය මධ්‍ය කාලීනව ඉහළ වර්ධන මාවතකට ගෙන ඒමටත්, ආර්ථික වර්ධන වේගය සියයට 7 සිට සියයට 8 දක්වා ඉහළ නංවා ගැනිමටත් අපේක්ෂා කරනවා. අපට මෙය කළ හැකියි.
ඉදිරි වසර දහය දක්වා නව අපනයනවලින් ඩොලර් බිලියන 3 ක වාර්ෂික වර්ධනයක් සහ ඉදිරි වසර දහය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 3 ක ආයෝජනයක් අපේක්ෂා කෙරෙනවා. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගත හැකි තරගකාරී ශ්‍රම බළකායක්, ඉදිරි වසර දහය තුළ නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඊට ගැළපෙන අයුරින් අපගේ වෘත්තීය පුහුණු සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කළ යුතුයි.”
එසේම කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කළ යුතු අතර එමගින් ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි. සම්ප්‍රදායික සංචාරකයන් පමණක් නොව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය තුළින් නව සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට ද කටයුතු කළයුතු වෙනවා.
සංවිධිත අනාගතයකදී ජනතාව ආර්ථිකමය ශක්තිමත් භාවයකින් යුතු වීම, බුදු දහමේ දැක්වෙන සමජීවිකතා යන්නය. රටේ ජනතාව සුඛිතව සිටින තාක් කල් රට දැහැමෙන් පැවැත්වෙනු ඇත.
එසේම සමාජීය පරිසරය යහපත් ලෙස ගොඩනැගීම සදහා පියවර ගැනීමද රටක ජනතාවගේ ජීවිතය මූලිකව බලපාන්නකි. නීතියක් රීතියක් නැතිව අයලේ ගිය රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කළ අතර ඉන්ධන ගෑස් විදුලිය ආහාර ඖෂධ ඇතුලුව අනෙකුත් පාරිභොගික දුව්‍ය හිඟයකින් තොරව ලබා දීමට පියවර ගත්තේය. එසේම මේ වන විට ඉන්ධන මිළ පහත දමා ඇති අතර ආහාර මිළ ද වේගයෙන් පහත බසිමින් තිබේ. එලෙස උද්ධමනය ක්‍රමයෙන් පහළ අගයක් කරා ගෙන ඒම සදහා පියවර ගන්නාවක් ගෙන තිබෙි. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ශක්තිමත් කිරිම සඳහා වූ ප්‍රතිපාදන වෙන් කිරීම සිදුවිය. ආර්ථික ස්ථායිතාව ඇති කිරිම හා ආර්ථික වර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමට සංශෝධන හා නව නීති ප්‍රතිසංස්කරණ යෝජනා හඳුන්වාදීම ද සිදුව තිබේ. මේ සියල්ල විසින් මේ වන විට සුබවාදී අනාගතයක් පිළිබඳ අපේක්ෂාව රටටම ලබා දී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය මෙවර අලුත් අවුරුද්දට පෙර ලැබීම මේ අපේක්ෂා ඉහළ නැංවීමට හේතුවිය.
සාම්ප්‍රදායි අලුත් අවුරුදු සැමරුමෙන් සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය බලාපොරොත්තු වන අනාගතය ගැන සුබවාදී ආකල්ප ගොඩනඟා ගැනීම යළි වසර කිහිපයකට පසුව මෙවර උදාවීම රටේ නරක කළදසාව අවසන් වී සුබ දසාවක් ලබන බවට තවත් ඉඟියකි. රටම බතබුලතින් සරුවී සාමය සතුට නිදහස පිරි යහපත් දේශයක් තවදුරටක් සිහිනයක් නොවනු ඇත.
කේ. පී. අයි. ප්‍රියංගනී