උතුරු කොරියාවේ අගනුවර දින 5කට ‘ලොක් ඩවුන්’
හඳුනා නොගත් ශ්වසන රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් උතුරු කොරියාවේ පියොංයැං අගනුවර දින 5ක කාලසීමාවකට අගුළුලෑමට බලධාරීන් නියෝග කර ඇතැයි වාර්තා වේ.
එම රෝග තත්ත්වය කොවිඩ් වයිසරය බවට මෙතෙක් අනාවරණය නොවුවද, පවතින තත්ත්වය බරපතළ වනු ඇතැයි අනුමාන කරමින් මේ පියවර ගෙන ඇත.
උතුරු කොරියා රජයේ නිවේදනයකට අනුව අගනුවර පදිංචි සියලු වැසියන්ට ලබන ඉරිදා දක්වා නිවාසවලින් පිටතට පැමිණීම තහනම් කර ඇති අතර, දෛනිකව ශරීර උෂ්ණත්ව පරීක්ෂාවට ලක්වීම අනිවාර්ය කර තිබේ.
අගනුවර අගුළුලෑමේ නිවේදනය නිකුත් වීමත් සමඟ නගරවාසීන් දැඩි කලබලයට පත්වූ බවත්, කඩසාප්පුවල දිගු පෝලිම් දක්නට ලැබුණු බවත් වැඩිදුරටත් වාර්තා වේ.