රේන්දකාරයන්ගෙන් පිරමිඩකාරයන්ට මාරු වුණු පුනරුදය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ ආකාරයේ ජාවාරමක් කරන බවට චෝදනා කරමින් පසුගිය දා Tiens Lanka Health Care, Best Life International, Global Lifestyle, Mark-Wo International, VM International, Fast 3Cycle International(F3C), Sport ChainApp, Sport Chain Z5 Socity Sri lanka, OnmaxDt ආයතන තහනම් කළේය. මේ අතර ගුප්ත මුදල් ඒකක නැතිනම් ක‍්‍රිප්ටොකරන්සිවල ආයෝජනය කිරීම් මඟින් විශාල ආදායම් උපදවා දෙන බවට පොරොන්දු අනුව පුද්ගලයන්ගෙන් මුදල් තැන්පතු ලබාගැනීම් හරහා සිදු කළ නව පන්නයේ ජාවාරම් කිහිපයක්ම තිබේ. මෙමඟින් ප‍්‍රතිලාභ ලැබුවන් සිටින නමුත් මේවා 1988 බැංකු පනතින්ද මෙරට තහනම් කර ඇති පිරමීඩාකාර ජාවාරම්ය. එහෙත් තහනම මධ්‍යයේ වුවත් මේ ආකාරයේ ජාවාරම් විශාල ප‍්‍රමාණයක් තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන අතර මේවායේ මුදල් තැන්පත් කරන්නන්ගේ අඩුවකුත් නැත. ඒ මන්ද යත් මෙවැනි කූට ක‍්‍රම හරහා හෝ මුදල් මවා දෙන්නේ නම් ඒ පිළිබද විශ්වාසය අපේක්ෂාව රදවාගැනීම ආගමික විශ්වාසයක් මෙන් පැවැතීමය. ඒ නිසා මේවැනි ජාවාරම් තහනම් කිරීම ගැන විරෝධය දක්වන විශාල පිරිසක්ද සිටී.

මේ අතර මෙම ජාවාරම්කාරී ආයතන තහනම් කිරීම නිසා උරණ වූ පිරිස් අතර ප‍්‍රසිද්ධ සංඝයා වහන්සේලා ද රැසක් සිටින බවට තොරතුරු හෙළිව තබේ. පසුගියදා මහියංගනය රජමහා විහාරයේ පැවැති උත්සව මොහොතක ජනාධිපතිවරයා හමුවේ OnmaxDt ආයතනය තහනම් කිරීම නිසා බුද්ධ ශාසනයේ චිරස්ථිතියට මහත් අලාභහානියක් වූ බවට චෝදනාවක් ඇතැම් සංඝයා වහන්සේගෙන් එල්ලවී තිබු බව වාර්තා විය. පැහැදිලිවම සිදුවන ජාවාරමක් තහනම් කිරීම නිසා සංඝයා වහන්සේලාට උරණ වීමට ඇති හේතුව සොයා බැලීමේදී හෙළි වූයේ මේ ජාවාරම්කරුවන් මේ වෙහෙර විහාරස්ථානවලට නොමසුරුව වියදම් කිරීමය. බුද්ධාගමික කටයුතුවලට පිංකම්වලට වියදම් කිරීමය. වෙසක්, පොසොන් තොරණ දන්සල් ආදිය සංවිධානය කිරීමය. අවුරුදු උත්සව වැනි දේශීය සංස්කෘතිකාංගවලට ආධාර අනුග‍්‍රහ සැපයීම සහ මෙම සංඝයා වහන්සෙලාගේ මුදල් (හෝ පිංකැට මුදල්) ආයෝජනය කර ප‍්‍රතිලාභ ඔවුන් වෙත ලබාදීමට කටයුතු කිරීමය. මේ හරහා ජාවාරම්කරුවන් තමන්ගේ ජාවාරමට සුජාතභාවයක් ලබාගැනීම සහ ආයෝජනය සඳහා පුද්ගලයන් පොළබවා ගැනීමද සිදු කරමින් තිබිණි. පන්සලේ හාමුදුරුවන්ගේ කීම් බසට අවනත වී තමන්ගේ ඉතුරුම් ධනයක්, ආදායම්, වත්කම් විකුණා ලබා ගත් මුදලක් හෝ ණයට ගත් මුදල් ආදී වශයෙන් ලක්ෂ ගණනින්, මිලියන ගණනින් මේ තමන් නොදන්නා ගණුදෙනුවක් වෙනුවෙන් පිදීමට බොහෝ පිරිස් කටයුතු කර තිබුණේ ප‍්‍රතිලාභ දෙතුන් ගුණයකින් ආපසු ලැබීමේ අපේක්ෂාවෙනි. ඉක්මනින් මිලියනපතියන්වීමේ අශාවෙනි. සංඝයා වහන්සේලා තමන්ට හෝ ශාසනයට ලැබෙන ප‍්‍රතිලාභ වෙනුවෙන් මේ ජාවාරම්කරුවන්ට ලබාදුන් සහය එසේය.

මේ රටේ වසර 1850 පමණ පසුව බෞද්ධ හා ජාතික පුනරුද යුගයක් කියා කාලයක් තිබිණි. ඒ කාලයේ හෝ ඊට පෙර යුගවල මෙරට වෙහෙර විහාරස්ථාන යනු මුදල් ගැවසුන තැන් නොවේ. මුදල් ඇකැප බව කියමින් මුදල් ප‍්‍රතික්ෂේප කළ සංඝයා වහන්සේලා එදා සිටියහ. බෞද්ධ පිරිස්වලින් ලැබෙන දෙයකින් යන්තම් දිවි ගැටගහගෙන බෞද්ධ ශාසනයත් ධර්මයත් රැකගැනීමට මෙම සංඝයා වහන්සේලා කැපවී සිටියහ.

ඒ වනවිට රටේ ව්‍යාපාරික ආධිපත්‍යය සඳහා බි‍්‍රතාන්‍යන් සමඟ අලූතෙන් බිහි වූ සිංහල දෙමළ මුස්ලිම් දේශීය දනපතියන්ට තරගයක් තිබිණි. තමන්ගේ ආධිපත්‍යය පිහි‍ටුවා ගැනීමට නම් ඒ සඳහා මහ පොළොවේ මූලයන් හා බැඳීම ඔවුන්ට අවශ්‍ය විය. බි‍්‍රතාන්‍යයන් ආගම ජාතිය සංස්කෘතිය හරහා බලය පතුරුවන විට, ඊට එරෙහිව ගැටෙන්න නම් තමන්ටත් වෙන්වූ ආගමක් ජාතියක් සංස්කෘතියක් අවශ්‍ය බව මේ අය තේරුම් ගෙන තිබිණි. ඒ වෙනුවෙන් ඔවුන් අත දිගහැර වියදම් කරමින් ආගමික හා ජාතික පුනරුදයක් වෙනුවෙන් සංවිධානයවීම මෙම පුනරුද යුගයට පදනම සැකසීය. කොහොම නමුත් එදා දේශීය ධනපති පංතිය බිහි වූයේ අද මෙන් විවිධාකාර ව්‍යාපාරවල නිරත වෙමින් නොවේ. එදා ඊට හැකියාව ලැබුණේ අරක්කු වෙළෙදාමෙන්, මිනිරන් සහ බෝග වගා නිෂ්පාදනය සහ අපනයන ආදි සීමාසහිත මාර්ග කිහිපයකින් පමණි. විශේෂයෙන්ම සිංහල-බෞද්ධ පුනරුදය වෙනුවෙන් වැඩිමනත්ම සම්බන්ධ වෙන්නේ මෙම අරක්කු ව්‍යාරිකයෝ නැතිනම් රේන්දකාරයෝ යනුවෙන් හඳුන්වනු ලැබු ව්‍යාපාරිකයන්ය. මොවුන්ගේ මුදල් මේ පුනරුදය වෙනුවෙන් නොමසුරුව වියදම් කිරීම සිදුවිය. මත්පැන් පානය හෝ වෙළෙඳාම පිළිබඳ ආගමික මතය කුමක් වුවත් මේ පුනරුදයට එය ආදාල කරගත්තේ නැත. මෙම ව්‍යාපාරිකයන් 1850 වර්ෂයෙන් පසුව 1915 පමණ වන තෙක් ආගමික හා ජාතික පුනරුද ව්‍යාපාරයේ කටයුතුවලට ප‍‍්‍රමුඛත්වය දී තිබිණි. 1915 සිට 1948 දක්වා දේශපාලන උද්ඝෝෂණවලට මූලිකත්වය ගත්තේය. ඒ වන විට සංඝයා වහන්සේද මේ පුනරුද ව්‍යාපාරය හරහා දේශපාලන ගොහොරුවට ඇදවැටීම සිදු වු අතර මුදල් සමග ගැවසීම නිසා සංඝයා වහන්සේට ඇකැප මුදල් කැප බවට පත්ව ව්‍යාපාරකරණයටද යොමු විය.

පුනරුද ව්‍යාපාර ලෙස ගොඩනැගුනු දේශීය ව්‍යාපාරිකයන්ගේ පැවැත්මේ ව්‍යපෘතිය අද සෙසු ජන කොටස් යටපත් කර සිංහල-බෞද්ධ ආධිපත්‍යයක් දක්වාම අඛණ්ඩව ගොඩනැ`ගී තිබේ. එසේම ඒ තත්වයන් තවදුරටත් පැවැතීමට නම් ඒ තුළ මහ ජාතියේ ඒකාධිකාර, බලහත්කාරය, පොළඹවා ගැනීම, අන්‍ය‍ය ආගමිකයන්ට ඉඩ නොදීම, බාධා කිරීම ආදියත් සිදු විය යුතුය. දේශීය ව්‍යාපාරික පැලැන්තියේ පැවැත්ම ඒ හා බැඳි පවතී. එදා බද්දේගමවාදය, වරාගොඩවාදය, උදන්විටවාදය, ගම්පොලවාදය, පානදුරාවාදය වැනි ප‍්‍රසිද්ධ විවාදයන්වලදී අන්‍ය ආගම්වලට පහර පිට පහර ගසමින් එම මතවාදයන් අපහාසයට උපහාසයට ලක් කරමින් එම මතවාදයන් පරාජය කරන තැනට කටයුතු කෙරිණි. එම සම්ප‍්‍රදාය නොනැසි ඉදිරියට පවත්වාගෙන යෑමට අරමුදල් සපයන ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තියක්ද හැමදාම බිහි විය. කොහොම නමුත් පුනරුදයෙන් සිදුවූයේ මෙම ජාවාරම් සහ ආගම, ජාතිය, දේශපාලනය එකිනෙකා හා බැදී එකෙක් නොමැතිව අනෙකාට පැවැත්මක් නැති ලෙස ගොඩනැංවීමය. එදා රේන්දකාරයන්ගේ යුගයෙන් පසුව සූදු ජාවාරම්කාරයන්ද කුඩු ජාවාරම්කාරයන්ද මේ පුනරුදයට එකතු වූ අතර අද එයට පිරමීඩාකාරයන් ද රිංගා තිබෙන බව පෙනෙන්නට ඇත.

මේ සියල්ල එකම කුලකයේය. මිනිසුන්ගේ විනාශයට හේතු වුවත් මිනිසුන්ගේ කැමත්තෙන්ම මිනිසුන්ගේ පොකැට්‍ටුවට විදීම මේ ජාවාරම් පැවැත්මේ ස්වභාවයය. මෙම ජාවාරම් ඉතා ඉක්මනින් ජනප‍්‍රිය වුවා සේම මෙම ජාවාරම්කරුවන් ඉතා ඉක්මනින් පොහොසතුන් වූ අතර ඒවාට අසු වූවන්ද ඉතා ඉක්මනින්ම තේරෙන බාසාවෙන් කියන්නේ නම් කෙළවා ගත්හ.

ක‍්‍රිප්ටෝකරන්සි පිරමීඩ

කොහොම නමුත් වර්තමානයේ ක‍්‍රිප්ටෝකරන්සි පිරමීඩ ජාවාරම්කරුවන් විසින් අද ලෝකයේ ව්‍යවහාර මුදල් වෙනුවට ගනුදෙනු සඳහා යොදාගනිමින් තිබෙන ක‍්‍රිප්ටෝකරන්සි මුදල් ඒකකවල වටිනාකම් අනුපාතය ඉහළ පහළ යෑම පදනම් කරගෙන කරන වෙළෙදාම්වල ආයෝජනය කරන බව පෙන්වා ඉහළ ප‍්‍රතිලාභ ලබාදෙන බව කියමින් සිටී. ක්ෂණිකව ලැබෙන ඉහළ ප‍්‍රතිලාභයන් බලාපොරොත්තුවෙන් අතිවිශාල පිරිසක් මේ වෙනුවෙන් මුදල් තැන්පත්කර තිබේ. නමුත් පිරමීඩ ක‍්‍රමයට ආවේනික ලෙස ප‍්‍රතිලාභ ලැබීම මුල් අවස්ථාවේදී ආකර්ශනීය ලෙස සිදුවූ නමුත් පහු පහු වෙන විට වැඬේ කොහු වී ප‍්‍රතිලාභ තබා තැන්පත් කළ මුදලවත් නොලැබෙන තත්වයට පත් විය. පසුව හෙළිවූ කරණා අනුව මේ පිරිස විසින් සිදු කර තිබුණේ පිරමීඩ ආකාරයේ ජාවාරමක් මිස සැබැවින්ම ජාත්‍යන්තරව පිළිගත් විනිමය හුවමාරුවල (Cryptocurrency Exchange) ආයෝජනය කිරීමක්වත් නොවේ. ජාවාරම්කරුවන්ගේ ගිණුම් හෝ ආයෝජන මෙම හුවමාරුවල තිබිය හැකි වූවත් මෙරට ජාවාරම්කරුවන් විසින්ම සකසා ගත් ව්‍යාජ වෙබ් අඩවි හෝ යෙදවුම් (APP) හරහා ගිණුම් නිර්මාණය කර මේ ආයොජනයට කැමැති වූවන්ගේ මුදල් අත්පත්කරගෙන තිබිණි. එම මුදල් Binance වැනි ලොව පිළිගත් ක‍්‍රිප්ටෝකරන්සි හුවමාරුවල ආයෝජනය කරන බවට හුවා දැක්වීමක් පමණක් (Virtual Demo) සිදුකර තිබේ. දැනට තහනම් කර තිබෙන ආයතන කිහිපයම සිදුකළේ මෙම වංචාවය. මෙම විෂය ගැන නොදන්නා මිනිසුන්ගේ මුදල් ප්‍රෝඩාකාරී ලෙස තමන්ගේ ආදායම් මාර්ගයක් කරගැනීම මේ අය සිදුකර තිබේ.

පිරමීඩ ක‍්‍රමයේ ගනුදෙනුවලදී යම් අයකුට ප‍්‍රතිලාභ ලැබෙන්නේ එම ගනුදෙනුවට පිරිස එකතු කරදීමේ ප‍්‍රමාණය අනුවය. ඒ අනුව ආදායම් ප‍්‍රතිශතයක් ලැබේ. ක‍්‍රිප්ටෝ ජාවාරම්කරුවෝ නව තැන්පත්කරුවන්ගෙන් ලැබෙන මුදල්, පෙර තැන්පත්කරුවන්ට ප‍්‍රතිශත වශයෙන් බෙදාහැරීම මෙහිදී සිදු කළ නමුත් ඒ ඇත්ත වසංකර ක‍්‍රිප්ටෝ ගනුදෙනුවක් නියමාකාරයෙන් සිදුවෙන බව ව්‍යාජව පෙන්වා දීම සිදුකර තිබිණිි. එසේම මෙම ව්‍යාපාරයේ අවදානම් ඉහළ බව කියමින් අලාබයන් වූ බව කියමින් ලාභ නොදෙන අවස්ථාත් තිබිණි. ඒ නව තැන්පත්කරුවන් නොමැති වූ විට ලාබ ලෙස බෙදාහැරීම සඳහා මුදල් එකතුවීමක් නොමැති වන විටය. ඒ අනුව එම ජාවාරම කඩා වැටීම සිදු වෙයි. අවසානයේ ජාවාරම්කරුවෝ තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් සමඟ අතුරුදන් වෙයි. මේ ආකාරයෙන් මෙරට ක‍්‍රියාත්මක වූ ජාවාරම්කාර ආයතන විශාල ප‍්‍රමාණයක් අතුරුදන්ව තිබේ. නැතිනම් නම් ගම් වෙනස් කරමින් ක‍්‍රමවේද වෙනස් කරමින් අලූ‍ත් මුහුණුවරයන්ගෙන් ක‍්‍රියාත්මක වෙයි. පහත දැක්වෙන්නේ මෙවැනි ජාවාරම්කාර (ඡුදබ‘ස ීජයැපැ* ආයතන කිහිපයකි.

SS Football, ledgerblock (montecarlo), OM Investment, Point Zone, Banercut, Research World, Ant USDT, Hello USDT, CSE USDT, Sports Chain, Lucky Soccer, Solar Power, Amazon FBA (VIP), Best Trier Trading, Trade 4 You, Shan Trading, Flash Trading, Crypto House, Win Hub, Investor, Path, aya Lanka Holding, Chaya Ranathunge( RM Investments ), MPI Group , CFX, Evolution Trading, 365 Degrees, Great Win, My Dream, Lion Earn, HYPERFUND,Royo Invest, Vision Host, Fun Grow, R 2 R,Tron, Infinity, Tron Rush, Tron Ring mart, Oyster Tron Gold, V S L Like, Cash Pick Up, ND Advertising, Isuru Trade, Isuru 40 % Forex Trading, SL Earning Mart, LKBUX, Sribtc,Slbux, Fast3 trading -Akila Dhanuska, Bitzean, Adclick, BCM trade, Real – mine com, Fx Trading, Lion Share, Kogan first, UBotto, Hypeptc, Dollar Ptc, Gbuy, Onbuy, RD media hub, Fast 3 cycle, Omnia, Qi, Sonrich, Success Lanka, Daisy project, ledger block , R3f, vidiLOK , Qnet ආදි වශයෙන් තවත් විශාල ප‍්‍රමාණයක් ඇත. මේ අතර Hive Energy, Fruugo වැනි නිත්‍යානුකූල ජාත්‍යන්තර සමාගම්වල නම් අවභාවිත කරමින් මෙරට ක‍්‍රියාත්මක ව්‍යාජ ආයතනද රැසකි.

එහෙත් පැහැදිලිවම පිරමීඩ ජාවාරමක් බව හෙළිවී තහනම් කර තිබුණත් මේ වන විටත් OnmaxDT, තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන අතර මේ දිනවල තවත් ජනප‍්‍රිය MTFE නමින් වන ක‍්‍රියාත්මක ජාවාරමද නුදුරේම අනාවරණය වෙනු ඇත්තේ තැන්පත්කරුවන්ගේ මුදල් සම`ග මේ හිමිකරුවන් අතුරුදන් වූ පසුය. එනමුත් ඒ වන විට අස්සයා පැනගොස් හමාරය. මෙම පිරමීඩ ජාවාරම්වලට හසුවී ඊට විරුද්ධව පොලිසියට අධිකරණයට ගියත් වැඩක් වෙන්නේ නැත. මන්ද යත්, 2005 බැංකු සංශෝධිත පනත අනුව මෙම ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් පමණක් නොව ආයෝජනය කළ හෝ ඕනෑම ආකාරයකින් ජාවාරමට සම්බන්ධ වන පුද්ගලයින් සියල්ල වැරදිකරුවන් ලෙස නීතියේ අර්ථ දක්වා තිබෙන නිසාය. එනම් මේවායේ මුදල් තැන්පත්කරන්නන්ද දඩුවමට ලක් විය යුතු වරදකරුවන්ය.

එහෙත් බරපතලම කාරණය නම් මෙවැනි ජාවාරම්වල ව්‍යාප්තිය නිසා අවසානයේ රටේම ආර්ථිකයට කෙළවීමය. රට තුළ ඇති මුදල් බිලියන් ගණනින් රටෙන් ඉවත්වීම විය හැකිය. 1997 දී ඇල්බේනියාව ආර්ථිකවත් දේශපාලනිකවත් බිඳවැටුණේ මෙලෙස ඉතා ඉහළ ප‍්‍රතිලාභ ලබාදෙන බව කියමින් එරට ක‍්‍රියාත්මක වු පිරමීඩ ආකාරයේ මුල්‍ය ජාවාරම්වල ජනතාව තමන්ගේ දේපොළ පවා විකුණා දමමින් මුදල් ආයෝජනය කිරීම තුළය. ඒ හෙළිවන විට රට තුළ තිබු ඩොලර් බිලියන් ගණනක් රටින් පිටට ගොස් හමාරය. ඒවා නැවත ලබා ගැනීමට හැකි වූයේ නැත. රජය මේ ජාවාරම් නැවැත්වීමට මැදිහත් වන්නේ රටක් විදිහට අවදානමක් තිබෙන නිසා සහ පසුව මේ වංචාවන්ට හසුව තමන්ගේ ධනය දේපොළ අහිමි කරගත්තවුන් වෙනුවෙන් රජයට ද කිසිවක් කළ නොහැකි බැවිනි. එසේ නොමැතිව කෙනෙකු ආදායම් උපයන මාර්ග ඇහිරීමේ වුවමණාවක් රජයට නැත.

කෙසේ නමුත් කිසිවකුට හෝ ක‍්‍රිප්ටෝකරන්සි වෙළදාමෙහි යෙදී ආදායම් උපදවා ගැනීමට අවශ්‍ය නම් මේ ජාවාරම්කාරි අතරමැදියන් හරහා නොගොස් තමන්ටම එය තනිවම කරගත හැකිය. එහිදී තමන්ගේ ආයෝජනයන්ට වෙන්නෙ කුමක්ද? ලාභද පාඩුද සියල්ල එම මොහොතේම දැකගත හැකි අතර එම ලාබයන් කිසි කරදරයක් නොමැතිව නීත්‍යානුකූල ක‍්‍රමවේදයන් මගින් තමන්ගේ බැංකු ගිණුමටම ලබා ගත හැකිය. ක‍්‍රිප්ටොකරන්සි වෙළෙඳාම මෙරට තහනම් කර ඇති දෙයක් නොවේ. නමුත් නිත්‍යානුකූල කර ඇති දෙයකුත් නොවේ. නමුත් එම වෙළෙඳාමෙහි බාධාවක් නැත. අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ හොඳ හැදැරීමක් සහිතව වෙළෙඳාමට පිවිසීමය.

– ජයතුංග බණ්ඩාර