විපක්ස දේසපාලනේ තගෙන් නම් එන්නේ ?

0

“මුද්‍රණාලයේ ප්‍රධානියාට අපි කියන්නේ, තමන්ගේ වගකීම් පැහැර හැරීම් පිළිබඳව, හිතා මතා ඡන්දෙ පැවැත්වීමට බාධා කළොත් නඩු අහනවා. අවුරුදු තුනක් හිරේ… මතක තියාගන්න, කවුරු ඔය නඩු ඇහුවෙ නැතත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ නඩු අහනවා… ප්‍රමුඛතාවයට භාණ්ඩාගාරයේ ලේකම් සිරිවර්ධන මහත්තය කටයුතු කරන්නේ නැත්තං, ඔබ අධිකරණය හමුවේ වගඋත්තරකරුවෙක් කරන බවට සහතික කරනවා… ඒවගේම ජනාධිපති ලේකම්වරයා, සමන් ඒකනායක මහත්තයා, නඩුවක් එනවා ඔබතුමා විත්ති කූඩුවට නගින, මම සාක්කි කූඩුවට නගින. මතක තියාගන්න. මෙහෙම සෙල්ලම් කරන්න බෑ…”
මෙහෙම කියන්නේ ජාතික ජන බලවේගයේ නායක වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා. ඔහු මේ ප්‍රකාශය කරන්නේ පහුගිය 14 වෙනිදා මොනරාගල පැවතිච්ච ජාතික ජන බලවේගයේ ජන රැලියකදි. ජාජබ නායකයා කියන විදියට මේ වෙලාවේ මැතිවරණය අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් මුදල් වෙන් කරන්නෙ නැති රජයේ මුද්‍රණාලායාධිපතිනිය, මහා භාණ්ඩාගාරයේ ලේකම් සිරිවර්ධන මහතා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා කියන අයව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවහම නඩු අහල දඬුවම් කිරීමට නියමිතයි.
මේක තමයි මේ වෙලාවෙ විපක්ෂයේ එකම උවමනාව, එකම අරමුණ. මේ අරමුණ කොයි තරම් බරපතලද කියනව නං මේ වෙන කොට බලහත්කාරයෙන් හරි මැතිවරණයක් ලබා ගන්න ඔවුන් දරණ උත්සාහය සුළුපටු නැහැ. ඒ උත්සාහය මේ වෙන කොට රජය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීමේ තත්වය කියන අතිශය දරුණු තැනට ගමන් කර අවසන්.
මේ දරුණුකම තීරණය කරන්න බලපෑවේ අර මුලින් කියපු ප්‍රකාශය පමණක් නොවේ. මෑත දිනයක දී ජාජබ නායක අනුර කුමාර, මාලිගාවත්තේ ජන රැලියකදී “ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ අපි නඩු අහනවා. අනිවාර්යයෙන්ම අවුරුදු තුනකට හිරේ දානවා” යනුවෙන් ප්‍රකාශයක් කරනවා.
මේ අතර ජාතික ජන බලවේගයේ රැළියකදී ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ “අපි කියන්නෙ ඡන්දයක් කියන්නෙ මේ රටේ ජනතාවගේ මූලික අයිතියක්. ඒක තියන්න සල්ලි නොදී ඉන්න ඔහුට අණ දුන්න කෙනා කවුද කියන්න ඕනේ. නැත්තං මුදල් අමාත්‍යාංශ ලේකම් හිරේ යන්න ලෑස්ති වෙන්න” කියාය. එයින් නොනැවතුණු වසන්ත සමරසිංහ ඊට පසු දින පැවසුවේ “ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදල සතියක් දෙකක් යනකොට හැට හැත්තැවක් ජම්පර් අන්දල මහ උළු ගෙදරට දාන ඒක දානවම තමයි” යනුවෙනි.
මේ අදහස ජාතික ජන බලවේගයට පමණක් අදාල කරුණක් නොවේ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද අවස්ථා ගණනාවකදී මේ ආකාරයෙන්ම රාජ්‍ය නිලධාරීන්ට සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ දඬුවම් කරන බව ප්‍රකාශ කර ඇත. නායකයින්ගේ මේ ප්‍රකාශ මේ වෙන කොට පාක්ෂිකයින් වෙතත් සංජානනය වී අවසන්. එයට හොඳම නිදසුන පසුගිය 20දා සමගි ජන බලවේගය විසින් කොළඹ දී පැවැති විරෝධතාවයේදී පැහැදිළි විය.
මෙම විරෝධතාවයට සහභාගී වූ පිරිස අධිකරණ නියෝග කඩකරමින් අධි ආරක්ෂිත ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් මාර්ග බාධක යොදා තිබූ අවස්ථාවේදී සිය රාජකාරිය ඉටු කරමින් සිටි පොලිස් නිලධාරීන් වෙත පැමිණි සමගි ජන බලවේගයේ පාක්ෂිකයෙකු පැවසුවේ “අපේ රජයක් යටතේ එක රුපියල් පඩි වැඩි කරන්නෙ නෑ මුංට” යනුවෙනි.
මේ සියලු ප්‍රකාශයන්ගේ මූලික කේන්ද්‍රය වී ඇත්තේ “අපේ ආණ්ඩුවක් යටතේ” යන්නය. ඒ අනුව පැහැදිළිවන ප්‍රධානතම කාරණාවක් වන්නේ ජනතා පරමාධිපත්‍යයෙන් බලය ඩැහැගත් වහාම සිය බලය අනීතිකව යොදවනවා යන්න පමණකි. එනම් මේ මොහොතේ බලය ඇත්තේ තමන්ගේ ආණ්ඩුවට නොවන බැවින් මේ මොහොතේ ඉවසා සිටින බවත්, බලය ලැබුණු වහාම එකී බලය භාවිත කොට සිය අරමුණු මුදුන් පමුණුවා ගන්නා බවක්ය.
විපක්ෂය මේ කියනා පරිදි ඔවුන්ගේ ආණ්ඩුවක් පැමිණි වහා දඬුවම් පැමිණවීමට අවස්ථා කිහිපයක් ඇත. ඉන් එකක් නම් නව නීති සකස් කොට එකී නීතියට යටත්ව මෙම නිලධාරීන්ට දඩුවම් පැමිණවීමයි. මේ ක්‍රමය අනුව කටයුතු කිරීමට නම් මේ වෙනුවෙන් වූ නව නීති හඳුන්වා දිය යුතුය. ඒ අනුව දඩුවම් කළ යුතුය. නමුත් සියලු දෙනා දන්නා කාරණාව නම් නව නීති පැමිණවීම අතීතයට බලාපානා පරිදි සිදු කළ නොහැකිය යන්නයි. එනම් ඔවුන්ගේ ආණ්ඩුවක් තුළ නව නීති පැනවූවද එය මේ මොහොතේ සිදුවන සිද්ධි දාමයන්ට එරෙහිව භාවිත කළ නොහැකිය යන්නයි.
පසුගිය ගෝඨා පාලන සමයේදී, යහපාලන යුගයේදී සිදුවූවා යැයි කියන දේශපාලනික පළිගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පනවා අනුර කුමාර ඇතුළු යහපාලන ප්රාධානින්ට දඬුවම් නියම කිරීමට ගෝඨා පාලනය ගත් උත්සාහයේදී අනුරලාම ඊට එරෙහිව කියපු කතන්දර මතකයට ගතහොත් අනුරලා අද නඟන මේ චෝදනාවන්ට පිළිතුරු එම ප්රකාශයන් තුළමත් තිබේ.
තමන්ට අවශ්‍ය වූ විට කබරගොයා තලගොයා කරගැනීම අනුරලාගේ දේශපාලන ඉතිහාසය පුරාම පෙන්වූ ගතියකි. මේ නිසා අනුරලා කරන මේ ප`කාශ ඉතා බරපතලය. මේ අනුව ඔවුන්ට බලය හිමි තත්වයක් යටතේ මේ අයගේ හැසිරීම කෙතරම් සාහසික වනු ඇති දැයි සිතාගත හැකිය.

කොහොමටත් ඔවුන් කියනා පරිදි ඔවුන්ගේ ආණ්ඩුවක් තුළ දඩුවම් පමුණුවාලීමේ තවත් ක්‍රමයක් ඇත. එය නම් කැළෑ නීතියට අනුව දඩුවම් කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණ හැරුණු විට මෙම කැළෑ නීතියට අනුව දඩුවම් කිරීමේ ක්‍රමවේදය අත්හදා බැලු කණ්ඩායමක් වූයේ ඛඔඔෑ සංවිධානයයි. මේ කණ්ඩායම් දෙකටම රටේ පිළිගත් පවතින නීතියට අධිකරණ කමයට එපිටින් දඩුවම් පැමිණවීමේ අත්දැකීම් සතුය. මෙම කණ්ඩායම් දෙකම තමන්ගේ මතයන්ට එරෙහි වන්නා වූ සියලු දෙනා වෙත අමානුෂික ලෙස දඬුවම් පැමිණ වූ අතර, ඔවුන්ට අදාල වූයේ ඔවුන් විසින් පිළිගන්නා මතයට අනුගත වන්නේද නැද්ද යන්න පමණි. මෙකී කරුණු දෙකටම අමතරව ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ දඬුවම් පැමිණවිය හැකි තවත් එක් ක්‍රමයක් ඇත. එනම් පවත්නා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමයි. විරෝධතා උද්ඝෝෂණ අරගල ආදිය හරහා අදත් මෙය සිදුකරමින් තිබෙන බවත් දකින්නට ලැබේ. පසුගිය අරගල සමය කියන්නේත් රටේ ස්ථාපිත ප්රජාතන්ත්රවාදී ක්රමයට, නීතියට, අධිකරණයට එරෙහිව බලය අභා්‍යස කරන ලද ත්රාඩ ක්රායාවලියක් ලෙස හැඳින්විය හැකිය. ප්රජාතන්ත්රවාදීව බලයට පත් පාලකයන් පන්නා දමා පාර්ලිමේන්තුවත් අත්පත්කර ගන්නා තැනකට ඔවුන් දුර ගියේය. අද පළාත්පාලන මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාව පන්නනවා කියන්නේත් එ අත්දැකීම් අනුවය. මැතිවරණය නොපැවැත්වුවහොත් වෙලාවයි දිනයයි කියන්නම් කට්ටිය පාරට බහින්න යැයි කියන්නේත් නීතියට එපිටින් ගොස් සාහසික කැරලි ගැසීමක් වෙනුවෙනි. කෙසේ වෙතත් උක්ත ප්‍රකාශයන් අර්ථ ගැන්විය හැක්කේ බරපතල ගණයේ තර්ජනයක් ලෙසිනි. පවත්නා තත්වය අදාල කර නොගනිමින් තමන්ගේ පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා තමන් විසින් ක්‍රියාවට නන්වා ඇති කටයුතු කෙරෙහි සහය නොදක්වන පිරිස් වෙත තර්ජනාංගුලියක් යොමු කිරීමක් ලෙසිනි. නැතහොත් ඔවුන් බයගන්වා හෝ සිය අරමුණු වෙත ළඟාවීමේ ක්‍රියාදාමයක් ලෙසිනි. තමන්ගේ අදහස් පළ කරන සෑම අවස්ථාවකදීම ප්‍රජාතන්ත්‍රවාදය මතුරනා විපක්ෂයේ මේ තර්ජනාංගුලිය සුළුවෙන් තැකිය හැකි කාරණාවක් නොවේ. තවමත් බලය ලබා ගෙන නැති මෙම පිරිස් මේ ආකාරයෙක් රාජ්‍ය නිලධාරීන් වෙත හා රජයේ කටයුතු ඉටු කිරීම උදෙසා වෙන් වී සිටින නිලධාරීන් වෙත තර්ජනය කරන්නේ නම් ඔවුන් අතට බලය ලැබුණු පසු ඔවුන් කෙසේ හැසිරේ ද යන්න උපකල්පනය කිරීමට පවා නොහැකි තත්වයකි. රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ පවත්නා නීතිය යටතේය. ඊට එරෙහිව යෑම ඔවුන්ට කළ නොහැක. දේශපාලන අධිකාරියෙහි යම් නියෝගයක් ඔවුන්ට ඉටුකරන්න සිදුවේ නම් එයත් පවතින් නීතියට යටත්ව සිදුකළ යුතුය. නීතියට එපිටින් ගොස් ඇතැයි සැකයක් තිබේ නම් එම ගැටළුව විසඳාගත යුත්තේ පවතින නීතිය යටතේ මිස කැලෑ නීතියෙන් නොවේ. මේ වන විටත් රටේ ස්වාධීන අධිකරණ පද්ධතියක් ඇත. මහේස්ත්රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වූ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ පද්ධතියක් රට තුළ ස්ථාපිත කර ඇත. එම අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතියක් ඇත. යුක්තිය පසිඳලීම පවත්නා නීතිය යටතේ සිදුවෙයි. එමෙන්ම අධිකරණ ක්‍රියාවලිය පත්වන පාලකයාගේ හෝ අන් කිසිවෙකුගේ කැමැත්ත හෝ අභිමතය පරිදි තීරණය වන්නක් හෝ ක්‍රියාත්මක වන්නක් නොවේ. “නීතිය යනු රාජ්‍යය විසින් ක්‍රියාවට නංවනු ලබන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ පද්දතියකි” යනුවෙන් නීතිය අර්ථ ගන්වා ඇත. සෑම සමාජයක්ම නීතියට අනුව පාලනය විය යුතු අතර, නීතියට අවනතවීම පුරවැසියාගේ වගකීමක් ලෙස සැලකේ. එසේම නීතියේ ගුණාංග ලෙස “සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු අතර, නීතියේ රැකවරණය සඳහා අයිතිවාසිකම් ලබති” යනුවෙන් දක්වා ඇත. නීතිය යනු මිනිස් ඉතිහාසය මුළුල්ලේ ලැබු අත්දැකීම් අනුව යුක්තිය පසිඳලීම වෙනුවෙන් වන මහජන සම්මුතියක් ලෙස ජනතාව විසින් ගොඩනඟා ගත් දෙයකි. එහි මූලධර්ම තිබේ. පදනම් තිබේ. ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විවිධ අණ පනත්, අධිකරණ තීන්දු ආදියේන ප්රාකාශිතය. මෙකී නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම හා ඊට පහසුකම් සැලසීම පවත්නා රජය සතු වගකීමක් වන අතර, එය කිසිවකුගේ බලපෑමකට හසු නොවිය යුතුය. මෙකී නීතිය ක්‍රියාත්මක කරනා රජය යනු ආණ්ඩුව නොවේ. රාජ්‍යය ලෙස අර්ථ ගැන්වෙන්නේ “විශාල රටක් තුළ ඇති, තමන්ගේම ආණ්ඩුවක් සහ මායිම් සහිත භූමියක්. එනම් රාජ්‍යක් තුළ භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපත්‍ය ඇත.” ලෙසයි. එසේම ආණ්ඩුව යනු එකී රාජ්‍යයයේ ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නංවන්නාවු ආයතනයයි. අධිකරණය යනු නෛතිකව යුක්තිය පසිඳලන ක්‍රියාවලියකි. එය පවත්වාගෙන යාම සඳහා වූ පිළිවෙතක් හා ක්‍රමවේදයක් ඇත. එක් එක් පුද්ගලයාගේ බල පරාක්‍රමයක් හෝ අභිමතයක් අධිකරණය අදාල නැත. බලය ඇති හෝ නැති ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් අධිකරණ ක්‍රියාවලිය එක සමානය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ නැත. නමුත් මැතිවරණ වේදිකාවල හා මාධ්‍ය ඉදිරියේ වහසි බස් දොඩවන විපක්ෂය මෙකී සම්මත ක්‍රියාවලිය වූ අධිකරණ ක්‍රියාවලියට පිවිසීමට සූදානම් බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුන් උදේ හවා මතුරමින් සිටින්නේ, සිය පාක්ෂිකයින්ට තහවුරු කරමින් සිටින්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් තුළ මේ මොහොතේ තමන්ගේ සිතැඟි ඉටු නොකරන රාජ්‍ය නිලධාරීන්ට දඩුවම් කිරීමට හෝ හිරේ විළංගුවේ දැමීමට හැකි බවයි. ඒ අනුව පැහැදිළි කරුණ නම් විපක්ෂය මේ මොහොතේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ “තග් දේශපාලනය” බවයි. තග් නැතිනම් මැර දේශපාලනයෙන් සිය අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට වෑයම් කරන විපක්ෂයට අපට කීමට ඇත්තේ තග් දේශපාලනය යනු යල් පැන ගිය දේශපාලන සංස්කෘතියක් බවත්, අදූරදර්ශී දේශපාලන ඔලමොට්ටලකම් නිසා අගාධයට වැටී ඇති රටක් නැවත නගා සිටුවීමේ අසීරු ක්‍රියාදාමයක නියැලී සිටින මේ මොහොතේ මෙම තග් දේශපාලනය මඟින් තමන්ගේ පටු දේශපාලනික වුවමණාවන් ඉටුකර ගැනීමේ බලලෝභීත්වය අනුමත කළ හැක්කේ යුක්තිය සාධාරණත්වය ගැන තැකීමක් නැති ඔලමොට්ටලයන්ට පමණක් බවය. මේ මොහොතේ මැතිවරණයක්ම ඉල්ලා පොළොවේ පස් කන විපක්ෂයට මීට මාස හය හතකට පෙර රට තිබූ ආකාරය අමතකය. නැත්නම් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඔවුන් ඒවා අමතක වූ ලෙස කටයුතු කරමින් ඇත. ආහාර වෙනුවෙන්, ගෑස් වෙනුවෙන්, ඉන්ධන වෙනුවෙන් සැතපුම් ගණන් දිගට තිබු පෝළිම් අමතක කර ඇත. පෝළිම්වල රටේ අහිංසක ජනතාව මැරී වැටුනු ආකාරය අමතක කර ඇත. රජය විසින් මේ වන විට සිය ප්‍රමුඛ හා එකම කාර්ය බවට පත් කර ඇත්තේ කඩා වැටුණු ආර්ථිකය නැවත නඟා සිටුවීමයි. බංකොළොත් රාජ්‍යයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කළ රාජ්‍ය බංකොළොත්භාවයෙන් මුදවා ලීමයි. පසුගිය දා පැවැති රොටරි සමාජයේ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා පැවසුවේ “පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මගේ ප්‍රමුඛතාවය ආර්ථිකය යථා තත්වයට පත් කිරීම” බවයි. එකී අරමුණ පෙරදැරිව ගත් කියාමාර්ග හේතුවෙන් රට මේ වන විට යම් සාධනීය මාවතකට ගෙන ඒමට හැකියාවක් ලැබී ඇත. නමුත තව දුර යායුතුව ඇත.
රජය සමස්ත ජනතාව දෙස මෙන්ම රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා මේ ආකාරයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවක ඊට බාධාවන අයුරින් විපක්ෂය දිගින් දිගටම “තග් දේශපාලනයේ” නියැලීම මේ රටේ ජනතාව කෙරෙහි යුක්තායුක්ත ලෙස බලපානවා දැයි නැවත නැවත කල්පනා කළ යුතුව ඇත. මන්ද තවදුරටත් සාහසිකත්වය රජයන රටක් අවශ්‍ය නැති බැවිනි.

රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *