පම්පෝරි ජනක සන්නිය!

දේවගැති ජෙරම්ගේ සන්නියට පස්සේ ආපු අලු‍ත් සන්නිය තමයි පම්පෝරි ජනක සන්නිය. නැත්නම් තවත් “‍වෙන්ඩ ජනාධිපති”‍ අපේක්ෂකයෙක් කරළි ගතවෙලා. නම ජනක රත්නායක. මැයි 24 වෙනිදා පාර්ලිමේන්තුව වැදගත් තීන්දුවක් අරගෙන ගෙදර යවපු මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. චෝදනා 5ක් යටතේ පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනාවක් වැඩි ජන්දයෙන් සම්මතවීම නිසා තමයි ජනකට ගෙදර යන්න වුණේ. හැබැයි ගෙදර යනකොට ජනක වෙන්න ඕන දේ කරගෙන. ඒ තමයි කෝටි ගාණකට කරගන්න බැරි පබ්ලිසිටියක් නොමිලේ ගැනීම. කොහොම නමුත් මේක හරි ලස්සන කේස්ටඩියක්.

එතැනදී ජනක ට එරෙහිව ඉදිරිපත් කර තිබුන චෝදනා මේ විදිහට සාරාංශ කරන්න පුළුවන්.

  1. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස එහි බහුතර සාමාජිකයන්ගේ එකඟතාවයකින් තොරව තම පෞදගලික මතය තුළ මහජන උපයෝගිතා කොමිසම ලෙස අධිකරණ කටයුත්තකට ඉදිරිපත් වී මහජන උපයෝගිතා කොමිසමේ මුදල්වලින් කොමිසම විසින් අනුමත නොකරන ලද පෞද්ගලික නීතීඥයන්ට මුදල් ගෙවීමට කටයුතු කිරීම
  2. අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය අනුව ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිසමේ මූලික වගන්ති උල්ලංඝනය කරමින් ස්වාධීනව කටයුතු කර නොමැති බවත් වෙනත් පෞද්ගලික මතයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.‍
  3. විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කරන විදුලිය බෙදාහැරීමේ බලපත්‍රයක් ජනක රත්නායකට අයත් M/S Trillium Property Management & Service Pvt& Ltd ආයතනයට ලබා ඇත. මෙය කොමිසමේ වගන්ති උල්ලංඝනය කිරීමකි.
  4. විදුලිබිල සංශෝධනය කිරීමේ යෝජනාව ලැබුණු පසු කිසිඳු අධ්‍යනයකින්, නිසි ක්‍රමවේදය භාවිතා කරමින් පිළිතුරු සැපයීමක් හෝ කොමිසමේ අනෙකුත් සාමාජිකයින්ගේ මතය විමසීමකින් තොරව විදුලි බිල සංශෝධනය කිරීමට කිසි ලෙසට ඉඩ නොදෙන බව පැවසීම කොමිසමේ ස්වාධිනත්වයට, අරමුණු හා කාර්යයන්ට පටහැනිවීම
  5. පෞද්ගලික මතය මගින් රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිලිවෙල විවේචනය කිරීම හා විෂයභාර අමාත්‍යවරයා වෙත වෛරී සහගත ප්‍රකාශ නිකුත් කිරීම මහජන උපයෝගිතා කොමිෂන් පනත උල්ලංඝනය කිරීම ඒ වගේම ජනක පුද්ගලික දේශපාලන අරමුණින් සහ කඩාකප්පල්කාරී අරමුණින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වයට බරපතල හානි සිදුවුණා. ඔහු කොමිසමේ සභාපතිවරයා වූ නිසාම ඔහුගේ පුද්ගලික මතය කොමිසමේ මතය ලෙස ප්‍රකාශ කිරීම කොමිසමට සිදුවූ බරපතල හානියක් වුනා.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් ලෙස හිටපු මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ, ජනකගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව සහ බහුතර මතය වෙනුවට තනි මතයට කටයුතු කරන බවට ලිඛිතව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වුණා.

පිරිවැය පදනම් කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ලබාදුන් යෝජනාව ජනක දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට තිබූ නව අය ක්‍රමය ක්‍රියාත්මකවීම පෙබරවාරි මස 16 දක්වා කල්ගියා.
ඒ නිසා,

■ IMF වැඩසටහන සඳහා අවශ්‍ය එකඟතාවය ලබා ගැනීම ප්‍රමාද වුනා.

■ විදුලිබල මණ්ඩලයට ජනවාරි 01 සිට පෙබරවාරි 16 දක්වා අය ක්‍රමය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා සිදු වූ පාඩුව රු. බිලියන 32 කට ආසන්නයි.

■ ජනවාරි 1වනදා සිට අඛණ්ඩව විදුලි බලය ලබාදීමේ රජයේ වැඩසටහන නිසි කලට ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනා. එහි සිදුවූ ආර්ථික සමාජීය හානිය ගැනිය නොහැකි තරම්.

■ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබූ ණය ගෙවා ගත නොහැකි වූ අතර තවත් ණය පදනම මත ඉන්ධන ලබා ගැනීමට සිදුවුණා.

■ පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ විදුලිබල මණ්ඩලයට සේවා සැපයූ සපයුම්කරුවන්ට මුදල් ලබාදීමට නොහැකි වුනා.

■ මෙතැනදී ගල් අඟු‍රු සඳහා මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුනා. බැංකු පද්ධතිය තුළින් ද ණය පහසුකම් ලබාගත නොහැකි වූ නිසා විදුලි ජනනය පිළිබඳව ගැටළු ඇති වුනා. ගාස්තු සංශෝධනයෙන් පසු පමණක් බැංකු මගින් ණය පහසුකම් ලැබීම නිසා අවශ්‍ය ගල් අඟු‍රු අවසාන මොහොතේ මහත් පරිශ්‍රමයක් දරන්න සිදුවුණා.

■ පසුගිය වසරේදී ඉල්ලු‍ම් කළ නව ගෘහස්ථ විදුලි සම්බන්ධතා 36,000ක් ලබාදීමට නොහැකිවීම. කර්මාන්ත වෙනුවෙන් ඉල්ලු‍ම් කළ තොග සැපයුම් 1,400ක් ලබා දීමට නොහැකි වුනා.

■ මහජන උපයෝගීතා කොමිසමේ සම්පත් පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කිරීම සහ තමන්ගේ පෞද්ගලික රථය කුලී පදනම මත කොමිසම් සභාවේ සභාපතිවරයාගේ භාවිතයට ප්‍රසම්පාදන ක්‍රියාවලියට බැහැරව ලබා ගැනීම සහ එයට කොමිසමේ මුදල් ගෙවා ඇති බව කෝප් කමිටුවේ අනාවරණය වුනා.

■ තමන් දේශපාලන සුදුසුකම් මත ස්වාධීන කොමිසම් සභාවට පත් වූ බව කෝප් කාරක සභාවේදී පිළිගත්තා.

■ ස්වාධීන කොමිසමක සාමාජිකයකු ලෙස දේශපාලනය නොකළ යුතු වුවත් තමන්ගේ දේශපාලන බලාපොරොත්තු පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකශ කළා.

■ ස්වාධීන කොමිසමක සාමාජිකයකු ලෙස අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාවලියෙන් බැහැරව රජයේ ප්‍රතිපත්ති තීරණ විවේචනය කරා.

■ තම මතයට එකඟ නොවූ අනෙකුත් කොමිසමේ සාමාජිකයන්ට වෙනත් පාර්ශව යොදවා කොමිෂන් සභාව තුල මරණීය තර්ජන කරලා.

මේ සියල්ල ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කරන යෝජනාවට අදාළ විවාදය පැවැත්වූ දිනයේ මදි නොකියන්න අනාවරණය වුණු කාරණා.

එහෙනම් දැන් ප්‍රශ්නය තමයි, ජනක වෙනුවෙන් පෙනී සිටි විපක්ෂයේ කොටස් මේ ගැන දැන නොසිටියාද යන්න.

සාටක ඉරාගෙන ජනකගේ අවජාතක හැසිරීම මෑත කාලයේ එළියට ආවේ වෙන කොහේවත් නෙවෙයි, පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ. එදා ජනක කියන්නේ, ස්වාධීන කොමිසමක සභාපති විදිහට නෙවෙයි, එවැන්නක් හතර මායිමේ වද්ද ගන්න හොඳ නැති හාදයෙක් බව ඔප්පු කෙරෙව්වේ එවකට කෝප් කමිටු සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්. නමුත් ලස්සනම වැඩේ තමයි, ජනකගේ කළු චරිතය හොඳටම දන්න චරිත හේරත්, ජන්ද විමසීම අවස්ථාවේ ජනකට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම.
චරිතගේ මේ හැසිරීම දකින, මතක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඩිමෙන්ෂියා ද කියලත්. නෑ..! එහෙම හිතුවොත් වරදිනවා. ඇත්තටම ඒ හැසිරීම පෙන්නුම් කරේ වෙන මොකුත් නෙවෙයි, චරිතලාගේ දේශපාලන නරුමත්වය. චරිතලා, ඩලස්ලා වගේම ජනක වෙනුවෙන් මරාගෙන මැරෙන පන්නයට හැසිරුණු දයාසිරි, විමල්ලත් හොඳට දන්නවා ජනක කවුද, කොහොමද කියලා. නමුත් ඔවුන් ජනක වෙනුවෙන් මාරාන්තික විදිහට පෙනී සිටිනවා. ඇයි ඒ? ඒ තමයි ජනක දැනුවත්ව, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ වැඩ පිළිවෙල අවුල් කරන්නෙකුවීම. ආණ්ඩුවේ වැඩසටහනට බාධා කරන්නෙකුවීම. ආණ්ඩුවට ගහන, අවුල් කරන, ජනාධිපතිව විවේචනය කරන, ඕන අබබ්බයෙක් වීරයෙක් කරන ස්ථාවරයක තමයි මේ වෙලාවේ විපක්ෂය ඉන්නේ.

ඔවුන් එහෙම තමයි නැත්තටම නැති වෙලා ගිහින් තිබුන රට, ජනාධිපති රනිල් ගොඩනගන වෑයම පරාජය කරන්න යන්නේ. ඒ හරහා ජනාධිපති රනිල් ෆෙල් බව ඔප්පු කරන්න යන්නේ. නමුත් වැඩේ කියන්නේ ඒ හැම උත්සාහයක්ම පෙරළා විපක්ෂයට පාරාවලල්ලක් වෙනවා. ජනකගේ සිදුවීමත් එහෙමයි.

ඒක ලස්සනට පත්තු වුණේ, ජනක ඊළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු විදිහට ඉදිරිපත් වෙන බව යළිත් අවධාරණය කිරීමත් එක්ක. මුලින්ම ජනක තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ගන්න ආරාධනා ලැබී ඇති බව නිවේදනය කරන කොට ඔහු මහජන උපයෝගීතා කොමිසමේ සභාපති. ඒ වෙලාවේ විපක්ෂය ඒ ප්‍රවේශය සීරියස් ගත්තේ නෑ. නමුත් මැයි 24, ජනකට එරෙහි යෝජනාවට ජන්දය විමසන අවස්ථාවේ ප්‍රතිඵල එන්නත් කළින් ජනක නැවතත් ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් වන සූදානම නිවේදනය කරනවා.

දැන් මේ වෙනකොට ජනක, ජනාධිපතිවරණ ජන්ද කැම්පේන් එක පටන් අරන්. දැන් ඔහු කියන්නේ රටේ මීළඟ ජනාධිපති අනිවාර්යයෙන් තමන් බවයි. ඒ බව විශ්වයේ ශක්තිය විසින් තමාට දැනුම් දී ඇති බවත් ජනක කියනවා. ඒ කතා ඇහුවාම කෙනෙකුට හිනා යන්න පුළුවන්. නමුත් දේශපාලන ආරංචි මාර්ග කියන විදිහට නම් විපක්ෂ නායක සජිත් හොඳටම අවුල් වෙලා.

මොකද, ජනාධිපති ඇතුළු ආණ්ඩුවෙන් ගේම ඉල්ලන්න, විපක්ෂය වීරයා කරපු ජනක මේ දවස්වල චැට් එක දාන්නෙම ජනාධිපති අපේක්ෂකත්වය ගැන. ඒ වෙනුවෙන් තමන්ට ආරාධනා කරපු ප්‍රසිද්ධ භික්ෂුන් කිහිපදෙනෙක් ගැන. ඒ විතරක් නෙවෙයි, ජනක කියන්නේ තමන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා නෙවෙයි, මහජන අපේක්ෂකයා කියලා. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ අසු ගානක් විතර තියන නමුත් හරි හමන් නායකයෙක් නෑ කියනවා. විපක්ෂයේ කියලා නායකයෙක් නෑ කියනවා. තමන්ට ආණ්ඩුවේ තනතුරු දුන්නේ බැසිල් බවත්, 2005දී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව එන්න හැකියාව තිබුනත් ඒක ප්‍රතික්ෂේප කළ බවත් ජනක කියනවා. ඒ ඇමතිකම් කරලා සුසමාදර්ශි නායකයෙක් වෙන්න බැරි බව වගේම, ඒකට රටේ නායකයා වෙන්නම ඕන බවත්, ජනක කියනවා. ඒ වගේම දැන් තමන් බ්‍රෑන්ඩ් එක හදාගෙන නිසා පබ්ලිසිටි ප්‍රශ්නයකුත් නෑ කියලා ජනක කියනවා.

ජනක ඔහොම කියනකොට, ඒ ගැන කනට වැටෙනකොට විපක්ෂ නායක සජිත්ගේ නළලේ රැලි ගාන තවත් වැඩි වෙනවා. සජිත් වැටුන ලොකුම අමාරුව තමයි, ජනකගේ ටාර්ගට් ඕඩියන්ස් එක සජිත්ගේ ඕඩියන්ස් එකමවීම. ඔතනදි සජිත් අහුවුණාට, ජනක එන්නේ මොකාටද කියලා තේරුණ ගමන් ජවිපෙ ගානට රිවර්ස් වුණා. ඒ නිසා තමයි, මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී කියන්නේ “‍අපි නම් ජනකට චරිත සහතික දෙන්නේ නෑ”‍ කියලා.
ඔන්න ඔහොමයි, සජිත් ආණ්ඩුවට විරුද්ධව ෆෝම් කරපු පිල්ලි සජිත් ඇතුළු විපක්ෂයට කැරකෙන්න ගත්තේ. ඒ නිසා ජනක නාඩගම ගැන තවදුරටත් විපක්ෂය වපුරන දෙයින් ගන්න දෙයක් ඇත්තෙම නෑ. ඒ වෙනුවට උගත් පාඩමක් විදිහට මේ සිදුවීම ගන්න ඕන.

17 සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තාර්කික කෙරුණේ, රාජ්‍ය සේවක බඳවාගැනීමේ සිට උසස් කිරීම්, මාරුකිරීම් ආදී වෘත්තීය මට්ටමේ කටයුතු සදහා, දේශපාලනය ඉතාම තදින් මැදිහත්ව තිබුණ මතය පෙරමුණේ තියලා. නමුත් එය රාජ්‍ය සේවය පැත්තෙන් බලපෑවේ ජනප්‍රිය අදහසින් නෙවෙයි. ජනප්‍රිය අදහස රාජ්‍ය සේවය තිබුනේ ඉතා යහපත්, කාර්‍යශූර, අවංක බැවින් පිරී ඉතිරී තිබෙන තැනක් කියලා. අන්ත දූෂිත, වංක දේශපාලනඥයින් ඒක දුෂණය කරනවා කියලා.

නමුත් රාජ්‍ය සේවය ඇතුලේ, දේශපාලනඥයින් වන්දනාව, උසස්වීම් සහ ස්ථාන මාරුවීම් සදහා දේශපාලනයේ පිහිට පැතීම සුලබ කාරණයක්. ඒ නිසා ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රොටෝකෝල් කඩාවැටිලා තියෙන්නේ. ඒ වගේම ඒවායේ ප්‍රධානීන් ජෝකර්ලා බවට පත්වෙලා තියෙන්නේ. ඒ ගැන වාදයක් නෑ.
ඒ වගේම, රාජ්‍ය සේවය නැමැති මේ පිරිසිදු කළ යුතු ආයතන පද්ධතිය නියාමනය කිරීමත්, ඉන් දේශපාලඥයින් ගලවාගැනීමත්, ස්වාධීන කොමිෂන් සභා හරහා ඉටුවෙයි කියලා බලාපොරොත්තු වුණේ ඒක රෝගයක් වගේ පැතිරෙමින් තිබූ රටකයි. ජනක රත්නායක වගේ හාදයන් මතුවන්නේ මෙන්න මේ හිඩැස ප්‍රයෝජනයට අරගෙන.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති විදිහට, ජනක රත්නායකගේ පත්වීම පිළිබඳව, කෝප් කමිටුවේදී වූ හෙළිකිරීම් අනුව, ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් අනුග්‍රහය දක්වලා තියෙනවා. ඔහු ඒ බව පම්පොරියත් එක්කම ජනක ප්‍රසිද්ධියේ පිළිගෙන තියෙනවා.
ඉතින් තමන්ගේ ඉතිරි සුදුසුකම් කුමන මට්ටමක ඒවා වුණත්, ස්වාධීන භාවය එතනින් අවසන් බව ජනක දන්නේ නැද්ද? ඒ වගේම තමයි මේ කාලයේ, මාධ්‍ය භාවිතාව තුළ, ඔහු නලු‍වෙකු මට්ටමට ඉහළට එසැවීමද, මාධ්‍ය මත පදනම් දේශපාලන ව්‍යාපෘතීන් සදහා ඔහුගෙන් ලැබුනු වක්‍ර දායකත්වයත් සැලකිල්ලට ගන්න ඕන.

ඒ නිසා ජනකගේ නාඩගම හරහා අවධාරණය කරන්න ඕන දේ තමයි, තමන්ගේ නියාමන රාජකාරිය හැර ඇමතිලා හෝ රජයේ පාලන ප්‍රතිපත්ති එක්ක ගැටීමේ හැකියාවක් මේ තනතුරුවලට නෑ. එහෙම අවස්ථාවක් දෙන්නත් හොඳ නෑ. එහෙම අවස්ථාවක් මතු වුනොත්, ඒක ලත් තැනම ලොප් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, පුද්ගලික අභිලාශයන් පිළිබඳ සිය වෘත්තීය රාමුවට වසන් වී ප්‍රකාශ නිකුත් කිරීමත්, ඒවා වෙනුවෙන් සිය තනතුර අවභාවිතා කිරීමත් පිළිබඳව මීට වඩා තදින් ක්‍රියාත්මක නීති පද්ධතියක් ස්ථාපිත වෙන්න ඕන.

නැත්නම් මේ වැරදි පූර්වාදර්ශය සිය ප්‍රගමනය වෙනුවෙන් යොදාගන්නා ජනකලා ඉදිරියේදීත් අපිට හමුවෙන්න පුළුවන්. ජනකලා වැඩි වැඩියෙන් බිහිවෙන්න පුළුවන්. පම්පෝරි ජනක වගේ සන්නි තවත් මතුවෙන්න පුළුවන්.

– කුසල් ජයම්ප