වැඩ වැරුවට ආර්ථික වැට කඩුළු මඟ හැර යා නොහැකිය

කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් කියන්නෙ බරපතල තෝරා ගැනීමකි. තමන්ගෙ ඉල්ලීම දිනා ගැනීම හෝ කරමින් සිටි රස්සාව නැතිවීම යන දෙකෙන් එකක් විය හැකිය. අතරමැද සමාදානයකට පැමිණීමක් හෝ විය හැකි නමුදු එය දෙපැත්තෙක් කවරෙකුගේවත් ජයග්‍රහණයක් වන්නේ නැත. දැන් රටේ සිද්ධ වෙන වැඩ වර්ජන කතන්දරයටද සිදු විය හැක්කේ අතරමග සමාදානයකට එළැබීම මිසක් වෙනකක් නොවේ. මන්ද මෙම ඉල්ලීම් ලබා දී රට යළි අර්බුදයකට යැවීමට පාලකයාට සිදු කළ නොහැකි බැවිනි. එසේම මෙම ඉල්ලීම පාලකයාට ලබා දීමේ හැකියාව අතිශය සීමාසහිත බව වර්ජකයනුත් දන්නා බැවින් වර්ජනය දිගු කලක් අල්ලාගෙන සිටීමේ හැකියාවක් නැත.

වර්ජනයට හේතු භූත කර ගත්තේ රට මුහුණ දෙන අර්බුදය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ එක් පියවරක් වන බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමය. මෙය රටේ ඉතා කුඩා සුළුතරයකට බලපාන ගැටලූවක් වුවත් මෙය දැන් සමස්ත පුරවැසියාගේ ගැටලූවක් බවට පත් කරගත් විකාරයක් බවට පත් කර තිබේ. අඩුම තරමින් මේ වැඩ වර්ජකයන් බහුතරයත් මේ ක්‍රියාමාර්ගයට තමන් අවතීරණය වූයේ කුමකටද කියාවත් දන්නේ නැති බවට සැකයක් නැත. ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට එරෙහි වීමෙන් සිදු වන්නේ මීට වසරකට පෙර සිටි තත්වයටත් වඩා ව්‍යාකූල පීඩාකාරිත්වයකට තමන් ගොදුරු වීම බව මේ අය දන්නේ නැත.

ඒ කොහොම නමුත් රටේ බීඳවැටීම හමුවේ යළි රට ගොඩනැගීමට නම් අනිවාර්යයෙන්ම කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණයන් රැසක් තිබේ. මෙතුවක් කල් ක්‍රියාත්මක කළ වැරැදි පිළිවෙත් ගනනාවක් වෙනස් කර රට ගොඩ නැගුමේ දිසාවට යොමු වන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීම විය යුතුය. මේ වන විට රටෙ ආර්ථිකය, රටේ හිටපු පාලකයන්ට හෝ ජනතාවට නිවැරදිව සකස් කරගැනීමට නොහැකි වීම නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෙන් එහි නිර්දේශ අනුව සකස් කරගැනීමට සිදුව ඇත. එය රටේ නොහැකියාව අසමත්කම නොදැනුවත්කම නැතනම් මුග්ධ බව නිසා ඇතිව තිබු ඇත්තම තත්වයය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යම් ණය සහනයක් රටට ලබාදෙන්නේ ඒකෙන් කාල බීලා ඔය හිටපු විදිහටම ඉඳපල්ලා කියන්න නොවේ. ණය දෙන්නේ ඔය ඉන්න විදිහ වෙනස් කරගනිල්ලා නැතිනම් කෙලවෙලාම යන්න වෙනවා කියන දැනුවත් කිරීම සමඟය. රාජ්‍යය විසින් ඒ උපදෙස් පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට එකඟ වන නිසාම මෙම ණය මුදල ලැබෙයි. එහෙත් ණය ගත්තු පලියට කිසිවක් සිදු වන්නේ නැත. දුන්න උපදේශ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතුය.

දන් රටේ සිදු විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ ගනනාවක් ක්‍රියාත්මක කිරීම ඇරඹා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් නිර්දේශ 15 ක් පමණ අවශ්‍ය තරමට පිළිගෙන ක්‍රියත්මක වෙමින් තිබේ. බදු ක්‍රමය දැනට දැරිය හැකි මට්ටමකින් වෙනස් වුණේ ඒ අනුවය.

නමුත් පවතින ආර්ථික අර්බුදය තාවකාලිකව ජය ගැනීම පමණක් නොව ඊට එහා ගිය වුවමණාවන් වෙනුවෙන් මේ නිර්දේශ අඛන්ඩව ක්‍රියාත්මක වීම විය යුතුව තිබේ. නැතිනම් නැවත වරක් අර්බුදය මිස වෙනත් ප්‍රතිපලයක් නොලැබෙනු ඇත. උදාහරණයකට, මෙරට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය ගතහොත් එය මුල්‍ය අරමුදලේ ණය ලැබුණා කියා විසක්‍ෂෙන ගැටළුවක් නොවේ.

රටේ ප්‍රධාන ආහාරය වන්නෙ බත්ය. නමුත් මේ බත සපයාගැනීමේදී රාජ්‍යය මුහුණ දෙන ගැටළු රැසක් තිබේ. මුලින්ම වී වගාව සිදු කළ යුතුය. වී වගාව සිදු වෙන්න නම් ඊට ගොවි ජනතාවක් මෙන්ම ඊට අවශ්‍ය ඉඩම් කුඹුරු ප්‍රමාණය, ජලය පොහොර ආදිය සැපයිය යුතුය. එමෙන්ම වී නිශ්පාදනය රටට අවැසි අස්වනු ප්‍රමාණය සපුරාලිය යුතුය. ඒ දෙය සිදු වූවත් වී නිශ්පාදනය සඳහා වන පිරිවැය සහ එය සහල් කර පාරිභෝගිකයා වෙත ලැබෙන පිළිවෙල සහ මිළ පිළිබඳ සැලකිය යුතුය. වෙළෙඳපොළ තුළ ගොවියාත් පාරිභෝගියාටත් සාධාරණයක් වන ක්‍රමයක් පැවැතිය යුතුය. මේ ගැටළු වෙනදා විසඳගත්තේ රජය විසින් ඊට මැදිහත් වන ප්‍රමාණය අනුවය. ගොවියාට ඉඩම් ජලය පොහොර ආදිය රජය ලබාදෙයි. මේ වෙනුවෙන් වසරකට බිලියන සියයකට වඩා රජය වැය කරයි. විශේෂයෙන්ම පොහොර සහනාධාරය වෙනුවෙන් බිලියන් 50 කට ආසන්න මුදලක් වැය කරයි. මීලගට වී අස්වනු මිලදී ගැනීම වෙනුවෙන්ද රජය බිලියන ගනනක් වැය කරයි. රජය මෙලෙස වැය කරන්නේ රාජ්‍ය ආදායමය. එනම් රටේ බදු ආදායම්ය. එසේම ගොවිතැන වෙනුවෙන්ම අති විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් සහ රාජ්‍ය සේවක පිරිසක් රජය නඩත්තු කරයා. නමුත් ගැටළු ඇත්තෙ රජය බිලියන් සිය ගනනක බදු මුදල් වී ගොවිතැන වෙනුවෙන් වාර්ෂිකව වැය කළද එහි ප්‍රතිලයක් රජයට තිබෙනවාද කියන එකය. රටේ අවශ්‍යතාවයට සහල් නිෂ්පාදනය තවමත් සිදු නොවේ. අඩුම තරමින් රටේ ජනගහනයෙන් බාගයකටවත් හරි හැටි බත් වේලක් දෙකක් කන්න පුළුවන් කමක් තවම නැත. එමෙන්ම වී ගොවි තැනෙහි හැමදාම යෙදෙන ගොවියාට එයින් අත්වන අමුතු ලාබයක් යහපතක් තිබෙනවද කියන එකය. ඒ වගේම සහල් පාරිභෝගිකයාට, වී මොල් හිමියාට, වෙළඳ ව්‍යාපාරිකයාට එයින් ලැබෙන වාසියක් තිබේද යන්නය. මේ ප්‍රතිලාබ සමානුපාතිකව බෙදී යාමක් සිදු විය යුතුය.

රට සහලින් ස්වයං පෝෂිතයි කියමින් වගාඩම්බර කියෙව්වාට ඇත්තටම එලෙස ආඩම්බර වෙන්න තරම් තත්වයක් මේ වී ගොවිතැන ආශ්‍රයෙන් නැත. වගාඩම්බරය පිටුපස තියෙන්නේ බිලියන සිය ගනන්කින් රජයට වූ මහ පාඩුවකි. ගොවියාට වන පාඩුවකි. පාරිභෝගිකයාට වන පාඩුවකි. ව්‍යාපාරිකයාට වන පාඩුවකි. මේ පාඩුව සහනාධාර හෝ බදු සහන මගින් පියවන්නේ රජයය. වසරෙන් වසර දකයෙන් දශකය මේ පාඩුව ඉදිරියට තව තවත් වර්ධනයක කර ගනිමින් ගෙන ආවා මිසක් මෙයින් ගොඩයන මාර්ගයක් රටට අසු වී නැත. රට බංකොලොත් වූයේ ඒ නිසාය. පසුගිය කොවිඩ සමයේදී රටේ ආහාර හිඟයකට මුහුණ දෙන්නෙ මේ වැඩේ හරියට කරනොගෙන තිබීම නිසාය. කාබනික පොහොර විගඩම නිසා වී වගාව නැත්තටම නැති වෙන තැනට පත් වුයේ මේවා ගැන හරි හමන් අවබෝධයක් නැතිව ගන්නා මෝඩ තීන්දු තීරණ නිසාය. ආර්ථික ප්‍රතිසංස්කරණ අද අනිවාර්ය අවශ්‍යතාවයක් වන්නේ මේ ගැටලූද විසඳීම වෙනුවෙනි.

රටට අවශ්‍ය සහල් රටේම නිපදවා ගත යුතුය. වී ගොවිතැන ජාතික උරුමයක්ය. පැරණි සහල් වර්ග වැවිය යුතුය, සිය රටදේ සිරි සැප දේය, පිට රට දේ පිළිකෙව් කළ යුතුය… ආදී වශයෙන් පරම්පාර ගනනාවක් තිස්සෙ නඩත්තු කරගෙන ආ පටු සංකල්ප මතවාද වලින් තවදුරටත් ඉදිරියට ගමන් කළ හැකිද යන්න කල්පනා කළ යුතුය. රටට වඩාත් ලාබදායක වන්නේ සහල් රට තුළ නිපදවා ගැනීමද පිටරටින් ගෙන ඒමද කියා කල්පන කළ යුතුය. පවතින කුඹුරු ප්‍රමාණයෙන් උපරිම පළදායිතාවය ලබා ගැනීමට හැකිද ගැන කල්පනා කළ යුතුය. සාමාන්‍යයෙන් වී නිශ්පාදන ධාරිතාවය සහ ඊට යොදා ගන්න මානව ශ්‍රමය සලකා බැළු විට ලංකාවේ එක් ගොවියකු තව 10 දෙනෙකුගේ පාරිභෝජනය සඳහා සහල් නිශ්පාදනය කරයි. මේ ඇමරිකාවේ සහල් නිශ්පාදනය හා බැලීමේදි ඇමරිකානු වී ගොවියෙක් තව 6000 කට අවශ්‍ය සහල් නිපදවයි. නිශ්පාදන පලදායිතාවයේ පරතරය එතරම්ම විශාලය. එමෙන්ම අනපේක්ෂිතව එන ආපදාවකදී කොවිඩ් වැනි වසංගත තත්වයකදී රටේ ආහාර සුරක්ෂිතතාවය පවත්වාගෙන යන්නේ කොහොමදැයි කල්පනා කළ යුතුය. මෙවැනි දේ ගැන නිවැරදි ප්‍රතිපත්තියක් සැලසුමක් වැඩ පිළිවෙලක් ඇති නොකර කරන්නන් වාලේ වී ගොවිතැන කිරීමෙන් පළක් නැත. ඒ පළක් නැතිකම අප පසුගිය වසර දෙක තුන තුළදීම ප්‍රයෝගිකව අත් විඳ ඇත.

සහල් සම්බන්ධයෙන් තවත් කල්පනා කළ යුතු පැත්තක් තිබේ. ඒ සහල් පාරිභෝජනය කරන ජනතාවගේ ඒ භාවිතය සම්බන්ධයෙනි. සාතිශය බහුතරය පුරුදුව සිටින්නේ විශාල බත් පීගානකට වග කියන ආහාර රටාවක්ටය. ශරීර සෞඛ්‍යය පැත්තෙන් ගත් විට මේ සුදුසු දෙයක් නොවේ. බොහෝ ලෙඩ රෝග වලට මූලික වී ඇත්තේ පිෂ්ඨය අඩංගු ආහාර වැඩිපුර ගැනීමය. ලෝකයේ සහල් පාරිභෝජනය කරන රටවල් අතරින් ඒක පුද්ගල වශයෙන් වැඩිම ප්‍රමාණයක් ආහාරයට ගන්නා රටවල් 10 අතර ලංකාවත් සිටී. ඒ වසරකට කිලෝ 150 කට වඩා වැඩිය. ලෝකයේ වැඩිම සහල් ප්‍රමාණයක් නිශ්පාදනය කරන සහ රටේ ප්‍රධාන ආහාරය බත කර ගත් චීනය පවා දැන් සිටින්නේ ලංකාවට පිටු පසිනි. ඒ කිලෝ 125 ක තරම් අගයක්ය. මීට දශකයකට පමණ පෙර එය 200 කට වඩා ඉහළ අගයක පැවැතිනි. ඉන්දියාවේ මෙය කිලෝ 100 කට අඩුය. ජපානයේ කිලෝ 80 ක් පමණ වේ. ලෝකයේ සෞඛ්‍ය සම්පන්නම රටවල් 20 ඇතුලේ බත ප්‍රධාන ආහාරයක් කරගත් රටකට ඇත්තේ ජපානය පමණි. මේ නිසා මෙම ආහාර රටාව වෙනස් කරගත හැකි නම් ජනතාව බෝ නොවන ලෙඩ රොග රැසකින් ආරක්ෂා වෙනවා සේම රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන වියදම් අඩු කර ගැනිමටත් හේතු වන්නකි.

එමෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය තුළ මේ වී වගාව හෝ ඕනෑම වගාවක් පැවැතිය යුතු තැන නිවැරදිව තීරණය කළ යුතුය. යම් බෝග වගාවකින් ස්වයං පොෂිත කරගත්තා කියා එය සාධනීය වන්නේ නැත. එය මගින් රටේ අනෙක් ආර්ථික හා සාමාජීය අවශ්‍යතා ඉටු වීම නොවීම ගැනද සලකා බැලිය යුතුය. දැන් මේ රට දියර කිරි වලින් ස්වයංපෝෂිත කළ හැකි බවට ගනන් හිලව් සකසා පෙන්වා දෙන විදවතුන් සිටී. ඒ අදහස් ප්‍රතිපත්ති කරගත් දේශපාලන පක්ෂද තිබේ. ඇත්තය. එසේ කළ හැකිය. නමුත් ඒ වෙනුවෙන් වන තෘණ ඉඩම් ප්‍රමාණය, ජලය ආදිය සැපයුම සලකා බැලූ විට සහ නිශ්පාදනය අහවර කරන සතුන් ප්‍රමාණය නොමරා ඉතිරි කරනවා නම් මේ රටේ වෙනත් වගාවකට යොදා ඉඩම් හෝ ජලය ප්‍රමාණවත් වන්නේ නැත. රටේ මිනිස් ගහනයට වඩා එළහරක් ගහනයද වැඩි වෙනු ඇත. ඒ වගේම රසායනික පොහොර තහනම සහ ආහාර බෝග ආනයනයන් තහනම දිගටම ක්‍රියාත්මක වූවා නම් අද මිනිස්සු මැරෙන්නේ බඩ ගින්නෙනි. මේ නිසා කෘෂි කර්මාන්තය හෝ වේවා අනෙක් කර්මාන්තයක් හෝ වේවා යම් ක්ෂෙත්‍රයක් තුළ යමක් සිදු වේ නම් එය සමස්තය සමඟ ගලපා බලා ඊට අවශ්‍ය ප්‍රමාණය, හැඩය සකසා නිවැරදි ලෙස ස්ථාන ගත කළ යුතුය.

ආර්ථික ප්‍රතිසංස්කරණයන් කියන්නෙ මේ සමස්ත ක්‍රියාවලියය. එසේ නොමැතිව බදු වැඩි කිරීමක් පොලි අනුපාතයක් තීරණය කිරීම, විනිමය අනුපාතයක් තීරණය කිරීම, වංචා දූෂණ නැවැත්වීම වැනි කරුණුම නොවේ. බදු අයකිරීම ගතහොත් රජය එම තීරණය ගන්නේ මේ මොහොතේ රාජ්‍ය ආදායම වැඩි කරගැනීම වෙනුවෙන් පමණක් නොවේ. ඒ හරහා බලාපොරොත්තු වන තවත් කරුණු කාරණා රැසක් තිබේ. විශේෂයෙන්ම මේ බදු ආදායම් වැය කළ යුත්තේ කුමක් වෙනුවෙන්ද යන ගැටළුව ප්‍රමුඛ වෙයි. එසේම රටට බරක් වී ඇති රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය. පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත යුතු පියවර. රජය තවදුරටත් ව්‍යාපාර කරනවාද නැද්ද, රජය වෙළඳපොළ පාලනය කරනවාද? යනාදි ගැටළු මෙන්ම , රාජ්‍ය සේවකයා හෝ වේවා පෞද්ගලික අංශයේ සේවකයා හෝ රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් වගවීම තහවුරු කරන ආකල්පමය වෙනස ඇති කිරීමද වෙයි. අනෙක් පැත්තෙන් මෙය අධ්‍යාපනික වැඩකි. අනාගත පුරවැසියා එලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවය තිබේ. මේ ආකාරයෙන් මෙම බදු වැඩි කිරීම සම්බන්ධයෙන් එකිනෙක ගැට ගැසුනු විශාල ක්‍රියාවලියක් පෙන්වා දිය හැකිය. නමුත් මතු පිටට පෙනෙන්නේ ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ පිළිගෙන හිටි හැටියේ අත්තෝමතික ලෙස බදු වැඩි කිරීමට ගත් පියවරක් ලෙස පමණි.

වැඩ වර්ජනය ආදිය ක්‍රියාත්මක වන්නේ මෙම බදු වැඩි කිරීමට එරෙහිව වන හුදකලා සටනක් ලෙසය. ඒ ජය ගතහොත් රජය බලපොරොත්තු වන සමස්ත ක්‍රියාවලියම අඩ පණ වේ. අඩුම තරමින් රජය බදු සහන දීමට එකඟ වුවහොත් ඉන් පසුව රජයට මුහුණ දෙන්න වන ගැටලූ ගැන තැකීමක් නැත. රාජ්‍ය ආදායම අහිමි වුවහොත් රටට හෝ තමන්ට සිදුවන පීඩාවන් ගැන තැකීමක් නැත. බරපතලම කාරණය වන්නෙ රාජ්‍ය ආදයම් අහිමි වීම නිසා සියළු දෙනාටම මුහුණ දෙන්න වූ පීඩාව නිසා මීට වසරකට පෙර මේ වැඩ වර්ජිතයනුත් මහා අරගලයක්ට දායක වූ බව ඔවුන්ටම අමතකව තිබීමය. තෙල් ගෑස් පොහොර ආහාර ඖෂධ විදුලිය නොමැතිව විඳින්නට වූ පීඩාවන් අමතක කර තිබීමය.

මේ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ කියන්නේ සාමාජයක් සිතන පතන විදිහේ සිට වෙනස් කරවන තරම් පැතිරුණු සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස තේරුම් ගත යුතුය. එය හුදු දේශපාලන සටන් පාඨයක් හෝ ආර්ථික විද්‍යාවේ මැජික් එකක් හෝ නොවේ. අද වැඩ වර්ජන පිට වැඩ වර්ජන කළත් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ නම් කඩුල්ල මඟ හැර යා නොහැකිය. රටේ ඉරණම ලියැවෙනු ඇත්තේ ඒ සාර්ථකත්වය මතය.

  • ජයතුංග බණ්ඩාර