වතුකරයේ ගැටලු විසදු ජනපතිට වතු කම්කරුවන්ගේ සහය – වඩිවෙල්
ජනපතිගේ මැදිහත් වීමෙන් වතු කම්කරු වැටුප් ගැටලුව විසඳෙයි.
අවම දෛනික වැටුප රු. 1700 දක්වා ඉහළට
වතුකරයේ ගැටලු විසදු ජනපතිට වතු කම්කරුවන්ගේ සහය
දීර්ඝ කාලයක් තිස්සේ වතු කම්කරුවන් මුහුණ දුන් වැටුප් ගැටළුව විසඳා ලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඒ අනුව වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව තීරණය කළ බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහලේකම් වඩිවෙල් සුරේෂ් මහතා ප්‍රකාශ කළේය.
වතු කම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් වැටුප් ගැටලුව කඩිනමින් විසඳාලීමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වතු කම්කරු ජනතාවගේ ගෞරවය පුද කරන බවත් “එක්ව ජයගමු” මාධ්‍ය හමුවට කොළඹ දී එක් වෙමින් ඒ මහතා පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරූ හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටත් ස්තූතිවන්ත වන බවත් ඒ මහතා පැවසීය. වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට අමතරව වතු නිවාස ප්රශ්නය, වතුකරයේ ගුරු සහයක පත්වීම් ගැටලුව විසඳීමටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබෙන බවත් සුරේෂ් මහතා පැවසීය.
ජනාධිපතිවරයා සමඟ 12දා උදෑසන පැවැති සාකච්ඡාවේදී වතු කම්කරුවකුට පර්චස් 8 ක ඉඩම් හිමිකම් ප්රදානය කිරීමටත් එකඟ වු බවත් විශ්‍රාම ලැබූ වතු කම්කරුවන්ට පවා එම අයිතිය හිමිවන බවත් හෙතෙම පැවසීය.
මේ අතර, වතු ගුරු සහයක පත්වීම් 2300 ක් ප්රදානය කිරීමට මතුව තිබු ගැටළු විසඳා ගෙන කඩිනමින් එම පත්වීම් ප්රදානය කිරීමටට කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එසේම ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවත් ඒ මහතා පැවසීය. වතු කම්කරු ජනතාව ලක්ෂ 17 ක් සමඟ තමන් එම තීරණය ගත් බවද “එක්ව ජයගමු” මාධ්‍ය හමුවට කොළඹදී එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.