ආචාර්යවරුන්ගේ අමුතු ඉල්ලීම ඉටුකළ නොහැකියි

ජනපති කොළම

ජනරජ පෙරහැර නැරඹීමට මහනුවර පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි – මල්වතු කාරක සංඝ සභාවන් මුණ ගැසීමට ද අමතක නොකළේය. ඒ මහනුවර ජනපති මන්දිරයේදී ය. ඉරුදින පැවැති මෙම සාකච්ඡාව රාජකාරි සාකච්ඡාවකට වඩා සුහඳ සාකච්ඡාවක් බවට පත්වූවේය. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ පවතින ගැටළුව ඇතුළු භික්ෂූන් වහන්සේලා මුහුණ දෙන ගැටළු ගණනාවක් ගැන මෙහිදි සාකච්ඡා කරනු ලැබීය.

ජනපති රනිල් ජනරජ පෙරහැර නැරඹීමට පැමිණියේ ජනතාව අසලිනි. ජනරජ පෙරහැරක් පැවැත්වීම ගැන ඔවුන් ජනපතිට ස්තූති කළේ දැඩි සතුටකිනි.” සර් අපේ මිනිස්සු දළදා මාලිගාවත් එක්ක බැදිලා ඉන්නේ. මේ වෙලාවේ පෙරහැරක් පැවැත්වීම අපට ගෞරවයක්.” අසල සිටි මහනුවර නගරාධිපති කේසර සේනානායක ජනපති රනිල්ට තුති පුද කළේ මහනුවර ජනතාව වෙනුවෙනි.

ජනරජ පෙරහැරේ ඉතිහාසය ගැන ජනපති එහිදි බොහෝ දෙනෙකු හා කතා බහ කළ අතර ජනපතිගේ දැනුම ගැන පැමිණ සිටි දෙස් විදෙස් ආරාධිතයෝ මවිතයට පත්වූහ. ජනපති දෙස් විදෙස් අමුත්තනට රාජ සමයේ සිට මෙරට දළදා පෙරහර මෙන්ම රාජ පෙරහැරද පැවැත්වූ ආකාරය ගැන පුළුල් විස්තරයක් කළේ ඔවුන්ගේ දෑස් විසල් කරමිනි.

ජනපති අසලට පැමිණි බන්දුල ගුණවර්ධන ද ජනරජ පෙරහැර අගය කරද්දී ජනපති බන්දුල දෙස බලමින් අමුතු කතාවක් කීවේය. “බන්දුල දන්නව ද ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නේ වෙස් නැට්ටුවෙක් කියලා.” ජනපති සිනාසෙමින් කියද්දී ජනපති රනිල් කුඩා අවධියේ වෙස් නැටුම් ඉගෙනගත් බව ඇමති බන්දුලට සිහි වූවේ එවිටය.

ජනපති රනිල් හා හිටපු ජනපති චන්ද්‍රිකා වෙස් නැටුම් ඉගෙන ගත්තේ දක්ෂ නැට්ටුවෙකු වූ ශ්‍රී ජයනාගෙනි.
ජනරජ පෙරහැර පැවැත්වූ දින හා පසු දින මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට වර්ෂාව පතිත වූ අතර රන්ටැබේ ශිෂ්‍යභට වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගී වූවේ ද වැසි මැදය. ජනපතිවරයෙකු ශිෂ්‍යභට වර්ණ ප්‍රධානයකට සහභාගී වී තිබුණේ වර්ෂ ගණනාවකට පසුවය.

සදුදා පෙරවරුවේ ඇමති මණ්ඩල හමුව පැවැතියේ ද මහනුවර ජනපති මැදුරේය. සෙංකඩගල පුරවරය විසල් නගරයක් කිරීම වෙනුවෙන් ජනපති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව එහිදි සම්මත වූවේ ඒකමතිකවය. ඇමති මණ්ඩල රැස්වීම අවසානයේ ඊට ඉදිරිපත් නොවුනු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එවා තිබු ලියවිල්ලක් ගැන කැබිනට් ලේකම්වරයා විසින් ජනපති රනිල් වෙත කරුණු දැක්වීමක් කරනු ලැබීය.

ඔහු ජනපති වෙත ඉදිරිපත් කළ ලිපිය තුළ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් ද ඇතුළත්ව තිබුනි. එම ලිපිය දුටු ජනපතිගේ නළල රැලි ගැන්වුනේ ඒවායින් රැසක් ඉටු කළ නොහැකි ඉල්ලීම් වූ බැවිනි.
විශේෂ දිමනා රැසක් මෙන්ම බදු ඉවත් කිරීමේ යෝජනාවන්ට අමතරව එහි තිබූ විශේෂිත යෝජනාවක් වූවේ ආචාර්යවරුන්ට හිමිවන පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් අචාර්යවරයා සමඟ විදේශගත වන පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබාදිය යුතුය යන ඉල්ලිමකි. මෙය දුටු බන්දුල ගුණවර්ධනගේ දෑස් ඉහළට එසැවුනු අතර “මොකක්ද සර් මේ ඉල්ලීම” යනුවෙන් විමසා සිටියේය.

“මේක නම් කරන්න බෑ. අනෙක් ඒවා ගැන සලකා බලන්න පුළුවන්” ජනපති සිය ලේකම් සමන් ඒකනායක ලෙස බලමින් කීවේය. ඊට ඌණපූරණයක් තබමින් බන්දුල ද කීවේ මෙයාලා රටට එකක් කියනවා අපට වෙනත් එකක් එවනවා.” කියාය.

ජනපති රනිල් ජනපති මැදුරෙන් පිටත් වූවේ මිණිපේ ඇල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරික්ෂණය කිරීමටය. ඉක්මණින් අමුණ පිළිසකර කිරීමට උපදෙස් දුන් ජනපති හන්තාන කුරුළු උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන්ගේ හමුවක් එදින සවස පැවැතියේ ජනපති මන්දිරයේදීය. එහිදි ව්‍යාපාරිකයන් බහුතරයක් ජනපති ගෙන යන වැඩපිළිවෙල අගය කළහ. වත්මන් බදු ප්‍රතිපත්තිය අගය කළ ඔවුන් රැස්වීමෙන් පසුව ජනපති සමඟ පැවැති සුහද සාකච්ඡාවේදී ද කීවේ ජනපති ගෙන යන ආර්ථික වැඩපිළිවෙල හැර වෙනත් වැඩපිළිවෙලක් රට හමුවේ නැති බවය.

ආරක්ෂක කවුන්සිලයට යන අතරතුර ජනපති පාර්ලිමේන්තුවට ගොඩ වැදුනේ භාෂා දිනය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කළ “සිංහල – දෙමළ අකුරු” යන ග්‍රන්ථය පිළිගැනීමටය. වැඩි කාලයක් එහි ගත නොකළ ජනපති වහාම ඉන් පිටත් වූවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගීවීමට යාමටය.

එදින සවස ජනපති සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත පැමිණියේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහාය. පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත විනය පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළේය.

එම විනය පරික්ෂණ වාර්තාව අනුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරීපත්ව පසුව සමගි ජන බලවේගයට එක්වූවෝ පක්ෂ විනය කඩකර තිබුනි. ඊට අමතරව මෙවර පළාත් පාලන මැතිවරණයට වෙනත් පක්ෂවලින් නාම යෝජනා බාර දුන්නෝද ඔවුන් අතර වෙන බවද මහලේකම් කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත දැනුම් දුන්නේය.

“මේ අයගෙන් පිරිසක් නිදහසට කරුණු කියන්න අවස්ථාව ඉල්ලලා තියෙනවා නේද? ඒකට මොකද කරන්නේ.” නියෝජ්‍ය නායක රුවන් විමසීය.

එහිදි බහුතරයකගේ මතය වූවේ දැන් එවැනි අවස්ථාවක් දීමට කාලයක් නොමැති බවටය. ඒ අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබීය.

“අලුත් කණ්ඩායමක් මේ අය වෙනුවෙන් පත් කරන්න පුළුවන් ද බලන්න.” ජාතික සංවිධායක සාගල කීවේ මහලේකම් දෙස බලමිනි.

“අපි සුදුසුකම් තියෙන අලුත් කණ්ඩායමක් පත් කරලා යවනවා. ඒකට අදාළව සම්මුඛ පරීක්ෂණ අපි මේ සතියෙම පටන් ගන්නවා.” මහලේකම් රංගේ පිළිතුරු දුන්නේය.

ජනපති රනිල් සිරිකොතින් නික්ම කිංග්ස්බරි හෝටලය වෙත පැමිණියේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කර තිබූ බදු සමුළුවට සහභාගී වීමටය. දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර සමුළුව අවසානයේ ඔහු මුණ ගැසුණු බහුතරයක් දෙනා කීවේ ජනපති ඉදිරිපත් කර ඇති බදු ප්‍රතිපත්තිය හැර විකල්පයක් නැති බවය.

“මැතිවරණය වෙනුවෙන් අනෙකුත් ප්‍රධාන පක්ෂ දෙක ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති මාලාව බැලුවහම ජනපතිතුමා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තියට සමානයි.” එහි සිටි ව්‍යාපාරිකයෙක් කීවේ රුවන් විජයවර්ධන සමඟය.

රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු වූ රනිල් වික්‍රමසිංහ ජනපතිවීමෙන් පසු පාසලේ පිළිගැනීමේ උත්සාවයකට සම්බන්ධ වූවේ පළමු වතාවටය. මෙරට සාමාන්‍ය පාසල් සම්ප්‍රදාය අනුව එහි ආදි සිසුවෙකු ජනපති වී සති 8 ක් ඇතුළත පාසලෙන් ඔහුව ආදි සිසුවෙකු ලෙස පිළිගැනීමේ උත්සව පවත්වන්නේය. එහෙත් වත්මන් ජනපතිට එවැනි කැදවීමක් නොලැබීම පිළිබඳ බොහෝ දෙනක් දේශපාලනයේ නියුතු ආදී සිසුන්ගෙන් මෙන්ම ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරීන්ගෙන් විමසා තිබුනි.

එහෙත් එවැන්නක් නොවන බව වැටහුණු ඉහළ ශේණිවල පාසල් සිසුන් මේ ගැන විදුහල්පති සමඟ සාකච්ඡා කරන්නට වූවේය. අවසානයේ ඔවුන් විදුහල්පති සමඟ එක්වී ජනපති රනිල්ව පාසලට කැදවාගෙන උපහාර පුද කළේ පාසලේ සම්ප්‍රදාය ආරක්ෂා කරමිනි.

ජනපති රනිල් බ්‍රහස්පතින්දා මැති සබයට ගියේ මුදල් අමාත්‍යංශය ඇතුළු රජයේ නිලධාරීන්ට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවන්ට පිළිතුරු සැපයීමට ය. ඔහු කතාව නිමවා ලොබියට පැමිණෙද්දී ඔහු වට කරගත් මන්ත්‍රීවරු විමසන්නට වූවේ මුජුබර් මන්ත්‍රීවරයාට පණිවුඩ යවපු විදිය හා ඡන්දය කල් දාන්න ඉල්ලු විපක්ෂ මන්ත්‍රීවරුන් ගැනය.

“ඇයි ඔයාලටත් එයාලා කියලා තිබුණා නේදැයි.” ජනපති විමසද්දී ඔවුන්ට සිනහව නතර කරන්නට නොහැකි වූහ.

“ඇත්තටම සර් පාර්ලිමේන්තුවේ දී මැතිවරණ කොමිසම කරපු නීති විරෝධි කටයුතු හෙළි කරපු එක ඉතාම හොදයි.” ප්‍රසන්න රණතුංග කීවේය.

“ජනාධිපති මැතිවරණය කල් දානවා කියලා කිව්වට කල් දාන්න ඡන්දයක් කැදවලා තියෙන්න එපැයි. මේ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනේ ජනතාව නොමඟ යැව්වට.” චාමර මන්ත්‍රීවරයා ද කතාවට එකතු වූවේය.

මේ අතර වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ද එතනට පැමිණ කිවේ මුදල් කාරක සභාවේ සභාපතිධූරය හර්ෂ වගේම මයන්ත දිසානායකත් විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා යනුවෙනි.

“ඡන්දයෙන්නේ මේක පත් කර ගන්නේ. කමිටුවේ බහුතරයේ කැමැත්ත අනුව කටයුතු කරන්න ඉඩ දෙන්න.” ජනපති කීවේ එවැන්නකි.

“හැබැයි සර් ගිය සැරේ හර්ෂව සභාපති කරද්දී ආණ්ඩු පක්ෂයේ සහාය ඉල්ලුවා. මෙවර නම් දෙන්නගෙන් කිසි කෙනෙක් අපේ සහාය ඉල්ලුවේ නෑ.” මිලාන් ජයතිලක කීවේය.

“කමිටුවට ඉඩ දෙන්නකෝ සුදුසු තීන්දුවක් ගන්න.” ජනපතිගේ ස්ථාවරය එය විය.

අවසානයේ කමිටුව මයන්ත දිසානායක තෝරා ගත් අතර හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා එය විවේචනය කර තිබුනි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනපතිට කීවේ දැන් ස.ජ.බ නායකයෝ මයන්තට අයින් වෙන්න කියලා බලපෑම් කරනවා කියාය. ජනපති සිනාසුනා මිස ඊට පිළිතුරක් දුන්නේ නැත.

පාර්ලිමේන්තු කටයුතු නිමවා බ්‍රහස්පතින්දා සවස ජනපති රනිල් හික්කඩුව බලා පිටත්ව ගියේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික හමුවකට සහභාගී වීමටය. සිකුරාදා ත්‍රිවිද හමුදා වෛද්‍ය බලකායේ උත්සාවයකට ද ජනපති එක්වූවේය.