හැමෝම මල් වට්ටියට අත ගහන්න – ජනපති කොලම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත කෙරුණේ ඉකුත් 20 වන සදුදා රාත්‍රීයේ එහි අධ්යක්ෂ මණ්ඩලය රැස්වීමෙන් පසුවය. ජනපති රනිල් එම තීන්දුව ලැබෙන තෙක් මුදල් රාජ්‍ය ඇමතිවරුන් දෙපළ ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද සමඟ ජනාධිපති කාර්යාලයේ රැදී සිටියේය. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල මෙන්ම ජනපති ලේකම් සමන් ඒකනායක ද එහි රැදී හුන්නේ පිරිසට සහාය වීමටය.
ජනපති රනිල් සිටියේ ඉතාම සතුටිනි. ඊට හේතුව වූවේ කල් යතැයි විපක්ෂය කියූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වන බවට ස්ථිර පණිටුඩයක් ලැබී තිබුණු නිසාය. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් පිරිනැමෙන ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම අධ්යක්ෂ මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බවත් අධ්යක්ෂ මණ්ඩලය එය අනුමත කිරීමේ ඉඩ පහසුකම ඉහළ මට්ටමක තිබෙන බවත් එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා ජෝර්ජිවා, කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල වෙත පණිවුඩයක් එවා තිබිණි.
ඒ අතර රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සමඟ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සිය කාර්යාලය වෙත කැදවූ ජනපති තමන් බදාදා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරන බව දන්වා සිටියේය.
එහිදි දිනිත් හා ධනුෂ්ක ජනපතිගෙන් ඉල්ලා සිටියේ ණය පහසුකම අනුමතවීමෙන් පසු පාර්ලිමේන්තු ප්‍රකාශයට කලින් කෙටි ප්‍රකාශයක් අගහරුවාදා දිනයේ ජනතාව වෙනුවෙන් කරණා ලෙසටය. ඒ අනුව කෙටි ප්‍රකාශය අගහරුවාදා කරන බව ජනපති ඔවුන්ට දැනුම් දුන්නේය. එදින සවස පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අයි.එම්.එෆ් ණය පහසුකම අනුමතවීමේ පණිවුඩය ජනපති විසින් ඉදිරිපත් කළේය.
එහිදි ඇමතිවරුන් සිය සතුට පළ කළේ මෙස මතට තට්ටු කරමිනි. “අපි 16 වතාවක් අයි.එම්.එෆ් ගිහිල්ලා තියෙනවා. මේ 17 වෙනි වතාව. නැවත ණය ගන්නේ නැති රාජ්‍යයක් බිහි කිරීමේ 25 වසරක සැලසුම අනුව අපට ඉදිරියට යන්න වෙනවා.” ජනපති ඔවුනට කීවේ එවැන්නකි.
පාර්ලිමේන්තු කණ්ඩායම මුණ ගැසුණු ජනපතිවරයා ඔවුන්ට දැනුම් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන ධනාත්මක තොරතුරු ජනතාව වෙත ලබා දෙන ලෙසයි. එසේම තමන් පාර්ලිමේන්තුවේදි මේ ගැන ප්‍රකාශයක් කිරීමෙන් පසුව විපක්ෂය විවාදයක් ඉල්ලා සිටිය හැකි බැවින් විවාදයට සුදානම් වන ලෙස ද ඔහු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය.
සඳුදා රාත්‍රියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය විස්තීරණ ණය පහසුකම අනුමත කළ අතර ජනපති වහාම භාණ්ඩගාර ලේකම් මහින්ද සිරිවර්ධනට හා මහබැංකු අධිපතිවරයාට දැනුම් දුන්නේ අදාළ ලේඛනවලට අත්සන් තබා මුල්‍ය අරමුදල වෙත එදින රාත්‍රියේම යොමු කරන ලෙසය.
මෙරටට රාත්‍රිය වුවද ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට එය උදෑසන වූ බැවින් එම ලිපි ලේඛන යොමු කිරීමත් සමඟ පළමු වාරිකය පසුදාම ලබාදීමට හැකිවන පරිදි ලේඛන සකස් කෙරිනි. පසුදින ජනපතිවරයා සැමට ස්තූති කරමින් තවදුරටත් ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව කියා සිටියේය.
ජනපති රනිල් ඉන් පසුව වෙහෙසුනේ පසුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රකාශය සකස් කිරීමටය. අදාළ ප්‍රකාශය ජනාධිපති උපදේශක සමන් ආතාවුදහෙට්ටි විසින් සකස් කොට ජනපති වෙත එවා තිබුනි. ඔහු එය පරික්ෂා කොට සංශෝධන එකතු කළ අතර ජනපති ලේකම් සමන් ඒකනායක වෙත එය ඉදිරිපත් කළේ තවදුරටත් සංශෝධන එකතු කිරීමටය. ඊට සංශෝධනයක් එක් කල සමන් ඒකනායක එය නැවත ප්රතිශෝධනයට යැවීමට පෙර ජනපතිට පෙන්වූවේ ඒ කුමක් දැයි ජනපති රනිල් විමසූ බැවිනි.
“ආ මේක හොදයි. හැමෝටම මල් වට්ටියට අත ගහන්න කියලානේ කියන්නේ.” ජනපති කීවේය.
“ඔව් සර් අපි හොද දෙයක් කරද්දී හැමෝම එකතු කර ගන්නවානේ. ඒක ලංකාවේ සංස්කෘතියේ අංගයක්නේ.” ජනපති ලේකම් ද ඊට පිළිතුරු සැපයූවේ එලෙසිනි.
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය රැස්වූවේ ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. එහි පැමිණි සැවොම ජනපතිට තුති පිදුවේ ඉතා ඉක්මණින් අයි.එම්.එෆ් ණය පහසුකම ලබා ගැනීමට කටයුතු කල බැවිනි.
ශමල් සෙනරත් පක්ෂ විධායක අධ්යක්ෂවරයා සගල රත්නායක පෙන්වමින් ඔහුද මේ වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත් බව කියා සිටියේය. ඔහුට ස්තූති කළ සාගල “ඔව් ඔව් සෑහෙන කාලයක් කැපවීමෙන් ගියා. අන්තිමට මගේ කොන්ඩෙත් ගියා.” යැයි කියද්දී සැවොම කොක් හැඩලූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්තුමිය සමඟද පුද්ගලිකව සම්බන්ධ වෙමින් මෙම කටයුත්තට සහාය දුන් මහින්ද සමරසිංහ, පාලිත කොහොන යන අය ජනපති මෙහිදි කෘතඥ පූර්වකව සිහිපත් කළේය. එසේම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද මිටි ගණනින් වාර්තා සකස් කළ බවද ඔහු පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මැයි දිනය ගැන සාකච්ඡා කළ අතර ඊට අදාළ වැඩසටහන ඉක්මණින්ම යළි ජනපතිට ඉදිරිපත් කරන බවද දැනුම් දුන්නේය. ජනපති විසින් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට හා ලේකම් සමන් ඒකනායක පැවරුවේ අයි.එම්.එෆ් ගිවිසුම අනුව කටයුතු කළයුතු ආකාරය ගැන රාජ්‍ය අංශයේ ප්‍රධානින් දැනුම්වත් කරන ලෙසටය. ඒ අනුව ඔවුන් එම කටයුත්ත ඉටු කර තිබුනි.
ජනපති පසුදා පාර්ලිමේන්තුවට ගියේ සිය කතාව කිරීමටය. ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග පැමිණි පසු ජනපති ඔහුට යම් කරුණක් සිහිපත් කළේය. “ අද විපක්ෂය මගේ ප්‍රකාශයට විවාදයක් ඉල්ලනවා. ඒක අද ම දෙන්න. මොනවද අද ආණ්ඩුවෙන් සම්මත කර ගන්න තියෙන්නේ.” ජනපති විමසුවේ ප්රසන්නගෙනි.
“සර් ලොකු දෙයක් නෑ රෙගුලාසි කිහිපයකුයි පනතකුයි තමයි තියෙන්නේ.” ඇමති ප්‍රසන්න පිළිතුරු සැපයුවේය.
“ආ එහෙනම් ඒක කලින් සම්මත කරලා විවාදය ඔවුන්ට දෙන්න.” ජනපති ප්‍රසන්නට කීවේය.
අයි.එම්.එෆ් යෝජනා ගැන ප්‍රකාශය කිරීමෙන් පසු ජනපති පෙර කී ලෙසම විපක්ෂය විවාදය ඉල්ලා සිටියේය. ආණ්ඩුවේ එකඟතාවය මත එදිනම විවාදය ආරම්භ වූ අතර දින තුනක් පුරා විවාදය පැවැවිනි. ජනපති සිය ප්‍රකාශ කොට ආණ්ඩු පක්ෂ ලොබිය වෙත පිය නගද්දී මන්ත්‍රීවරු ඔහු වට කර ගත්හ. වටකර ගත් සැවොම කී පොදු කතාව වූවේ හොද කතාවක් කළ බවය.
“පරණ කතා අමතක කරලා හැමෝටම එකතු වෙන්න කියලා ජනාධිපතිතුමා කියපු එක හරි. මේ මොනවා කීවත් මේ අය එකතු වෙන්න එන්නේ නෑ. එයාලට තියෙන්නේ බල ලෝබය.” චාමර සම්පත් ඇමතිවරයා කියද්දී ජනපති සිනාසෙමින් පිටත්ව ගියේ විපක්ෂයේ ලොබිය දෙසටය.
“ඔන්න මම ඉල්ලපු විදියටම ගිවිසුමත් දුන්නා. විවාදයත් දුන්නා.” ජනපති කීවේ සිනාසෙමිනි. මෙහිදි විපක්ෂ මන්ත්‍රීවරයෙක් ගිවිසුමේ පිටපතක් ඉල්ලා සිටි අතර ජනපති ඔහු අසල සිටි සිය පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහට කීවේ පිටපත් මුද්‍රණය කොට මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙසටය.
“ගිවිසුම කලින්ම දුන්නා නම් මේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා.” විපක්ෂ මන්ත්‍රීවරයෙකු කී විට ජනපති කීවේ ණය අනුමත වනතුරු ගිවිසුම පිටතට නොදෙන්නැයි අයි.එම්.එෆ් සංවිධානය ඉල්ලා සිටි බවයි.
“දැන් ඉතින් ඔක්කොම හරිනේ. දැන් ඔයාලට තියෙන්නේ මට සහාය දෙන්න. මෙතන විපක්ෂ නායකතුමාත් ඉන්නවානේ.” ජනපති කීවේ සජිත් ප්‍රේමදාස දෙස බලමිනි.
“මාර්තු මාසයේදීත් ලැබෙන එකක් නෑ කියලා තමයි විපක්ෂයේ අය බලාගෙන හිටියේ.” වජිරි ඔලොක්කුවට කියද්දී ඇමති ප්‍රසන්න කීවේ විදුලිබිල සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ හැසිරීමත් අයි.එම්.එෆ් ණය ලැබීම මාර්තු මාසය තෙක් ප්‍රමාදවීමට හේතුවූ බවය.
විපක්ෂ ලොබියේ වැඩි වේලාවක් ගත කරමින් විහිළු තහළු කරමින් ජනපති එහි රැදී සිටියේය. පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙද්දී එහි පැමිණි මධූර විතානගේ ජනපතිට කීවේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සම්බන්ධයෙන් වූ වරප්‍රසාද කාරක සභාවේ කටයුතු අවසන් බවය.
ඊට පිළිතුරු දුන් ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා ද කීවේ ඔවුන් කර තිබෙන්නේ ජාතිවාදය අවුස්සන ක්‍රියාවක් බවය. ජනපති ඔවුනට කීවේ වරප්‍රසාද කඩවීමක් වී තිබේ නම් එය පාර්ලිමේන්තුව තුලින් විසදා ගන්නා ලෙසයි. එසේම තමන් ඊට මැදිහත් නොවන බවද ජනපති කියා සිටියේය. පසුව ඔහු ඉන් පිටව ගියේ තවත් වැඩකටයුතු කිහිපයකට සහභාගීවීමට ඇති බව කියමිනි.
ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණි ජනපති රනිල් බාලදක්ෂිකා සංගමයේ 106 වැනි සැමරුමට එක්වූ අතර ඔවුන් ජනපතිට බාලදක්ෂිකා කොඩියක් ද පැළදවූවේය. රාජ්‍ය වෙසක් උත්සවය හා හුණුපිටිය ගංගාරාමයේ වෙසක් කලාපය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනපති උපදෙස් මත පැවැත්වුනේ කාර්ය මණ්ඩල ප්රධානිගේ හා ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙනි.
ජනපති සවස මහාමාන්‍ය ඩී.එස් සේනානායක ගුණ සමරුවට එක් වූ අතර එහිදි එදා පැවැති ණය නැති රට හා අද පවතින ණය ගැති රට සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති බොරැල්ල සංඝමිත්තා බාලිකා පාසලට ගියේ පාසල් නිල ඇදුම් බෙදා දීමේ ජාතික උත්සවයට එක්වීමටය.
එහිදි ජනපති රනිල් අධ්‍යාපන ඇමති, ගුරුවරු සහ දෙමාපියන් ඉදිරිපිටදී කීවේ දිගින් දිගටම කඩාකප්පල්කාරි ක්‍රියා වෙන්නේ නම් පාසල් අත්‍යවශ්‍ය සේවයට ඇතුලත් කරමින් පනතක් පාර්ලිමේන්තුවට ගෙනෙන බවකි.
අනතුරුව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේ පැවැති හස්ත කර්මාන්ත ශීල්පීන් ඇගයීමේ උත්සවයට සහභාගී වී කෙලින්ම පැමිණියේ මුදල් අමාත්‍යාංශය වෙතය. ඒ ඔහු අයි.එම්.එෆ් ණය සහනය අනුමතවීමෙන් පසු මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි පළමු අවස්ථාවය.
රටේ මූල්‍ය හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ ජනපති රනිල් ඔවුන්ට උපදෙස් දෙනු ලැබූවේ අයි.එම්.එෆ් ගිවිසුම අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසටය. මෙහිදි මුදල් අමාතයාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන කීවේ මේ වන විටත් අයි.එම්.එෆ් පළමු වාරිකාව මහා භාණ්ඩාගාරයේ ගිණුම වෙත ලැබී ඇති බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීමත්, ඉන් පසු රට තුළ ඇතිවන සංවර්ධන වැඩපිළිවෙල සහාය ඉල්ලා සිටීමත් අරමුණු කර ගනිමින් සියලූම මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනපති සාකච්ඡාවක් පැවැත්වූවේ ජනපති ලේකම් කාර්යාලයේදීය. මාධ්‍ය ආයතන සියල්ලෙහිම ප්‍රධානීන් ඊට සහභාගී වී සිටි අතර ඔවුන් රටේ ණය ප්‍රතිව්‍යුගත කිරීම ආදී ගැටළු රැසක් ජනපතිට ඉදිරිපත් කළේය.
මාධ්‍ය ප්‍රධානීන්ගේ ප්‍රශ්නවලට ජනපති මෙන්ම භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඇමති බන්දුල ගුණවර්ධන පිළිතුරු සපයනු ලැබූහ..