ගුරු වෘත්තීය සමිති මාෆියාවට දෙමළ පාඩමක්
ලෙනින් වරක් ප්‍රකාශ කළේ හොඳම දේ දරුවන්ට යනුවෙනි. ඊනියා වාමාංශික ව්‍යාපාර මේ උධෘතය මහ ඉහළින් වර්ණනා කරන අතර, ඔවුන්ගේ අතකොලූ වූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් සේම ශිෂ්‍ය සංගම් ද මෙය උදාන වාක්‍යයක් බවට පත් කර ගෙන ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යාපාරයට මෙකී උධෘතය උදාන වාක්‍යයක් වී ඇත්තේ සිය දේශපාලන ව්‍යාපාරයේ කූඨ අවස්ථාවාදය උදෙසා පමණක් බව මේ වන විට තහවුරු වී හමාරය. අප මෙසේ පවසන්නේ දේශපාලන අතකොළුවක් වන වෘත්තීය සමිති මාෆියාව විසින් දරුවන් බිලි දී හෝ සිය අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම ඔවුන්ගේ එකම වෑයම බව මේ වන විට ඔප්පු කර හමාර නිසාවෙනි.
පසුගිය කාලයේදී රජය විසින් නැවත වරක් ක්‍රියාත්මක කරන ලද රුපියල් ලක්ෂයට වඩා ආදායම් උපදන අයගෙන් උපයන විට බදු අය කිරීමේ බදු ප්‍රතිපත්තිය වෙනුවෙන් වෘත්තිකයින් යැයි කියා ගත් පිරිසක් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඔවුන් එහිදී පවසා සිටියේ රජය විසින් තමන් වෙත පනවා ඇති බදු ප්‍රතිපත්තිය වහාම හකුළුවා ගන්නා ලෙසයි. වෘත්තිකයින්ගේ මෙම ක්‍රියාමාර්ගයට සමගාමීව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිසගේ මැදිහත්වීමෙන් රජයේ පාසැල්වල ගුරුවරුන් ද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කෙරිණි. ඒ එක් දින වැඩවර්ජනයකට අවතීර්ණ වෙමිනි.
මෙම වැඩවර්ජනය අවස්ථාවේදී එක්තරා මාධ්‍ය නාලිකාවක පැවැති සාකච්ඡාවකදී වැඩසටහන් නිවේදකයා විසින් ප්‍රශ්න කළේ ලංකාවේ ගුරුවරු කොපමණ ඉන්නවාද? ඒ අතරින් Paye Tax එක ගෙවනවාද? යන්නයි. මෙයට පිළිතුරු දෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ දෙලක්ෂ හතළිස්දාහක් ගුරුවරු ඉන්නවා. දාසයදහස් හාරසීයක් විදුහල්පතිවරු ඉන්නවා. මේ සේවාවන් දෙකම ගත්තහම 2%ක පිරිසක් තමයි මේ ටැක්ස් එකට අහුවෙන්නේල කියාය.
කාරණාව ඉතා පැහැදිළිය. ලංකාවේ ලක්ෂ හතළිස් දෙකකට අධික පාසල් සිසුන්ගේ අධ්‍යාපන අයිතියට පයින් ගසා වෘත්තීය අයිතිවාසිකම් මුවාවෙන් වැඩවර්ජනයේ නිරත මේ පිරිස කටයුතු කර ඇත්තේ සිය වෘත්තියට අදාල 2%ක් පමණක් බව ඉතා සුළු පිරිසක් වෙනුවෙන් බවයි. කෙසේ වෙතත් අප කළ විමසීමකදී තහවුරු වූයේ මෙම සියයට දෙකක් බව පැවසූ පිරිස සංඛ්‍යාත්මතව 258ක් බවයි. ඒ අනුව ගුරු වෘත්තීය සංගම් යැයි කියාගන්නා මෙම පිරිස ලක්ෂ 42ක් වූ දරුවන් ප්‍රාණ ඇපයට ගනු ලැබුවේ 258 දෙනකෙුගේ බදු ඉවත් කර ගැනීම වෙනුවෙනි.
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක් යැයි පවසමින් මේ වන විට වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. එයින් නොනැවතුණු මේ පිරිස පසුගියදා උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ උත්තර පත්‍ර ඇගයීමෙන් ද ඉවත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මෙම ක්‍රියාමාර්ගයට සහය දක්වමින් ගුරුවරුන් ද පිළිතුරු පත්‍ර ඇගයීමෙන් ඉවත්ව ඇත.
පසුගියදා ගුරුවරුන් හා සබැඳී සමාජ ජාලා සමූහයන්හි මේ සම්බන්ධයෙන් විවිධ අදහස් හුවමාරු වූ අතර, එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක වෘත්තීය සංගම් නියෝජිතයෙකු මෙම සමුහයේ අදහස් පළ කර තිබුණේ මෙම අරගලය තුළ දී ගුරුවරු වන අප ඉල්ලන්නේ ගාස්තු තුන් ගුණයකින් වැඩිකිරීම. අනෙකුත් වියදම් ප්‍රවාහන ආහාර සහා නවාතැන් ගාස්තු සදහා රුපියල් 5000 ක දිනපතා ගෙවීමක්. මේ සාධාරණ ඉල්ලීම වත් ලබාදෙන්න ආණ්ඩුව සූදානම් නැතිනම් අපට marking එපා. සියලූ ගුරුවරුන් ව දැනුවත් කරමූ.
යනුවෙනි.
වෘත්තීය සමිති නියෝජිතයින් ගුරුවරුන්ගේ සමූහයන් තුළ මෙවන් මත පතුවා හරිනු ලබන්නේ රජය විසින් මේ සම්බන්දයෙන් සිය අවදානය යොමු කොට මේ මොහොතේ ගත හැකි සාධනීය හා සාධාරණ ඉල්ලීම් ලබා දී ඇති පසුබිමක වීම අතිශය ඛේදනීයය. මේ වන විට රජය විසින් එක් පිළිතුරු පත්‍රයක් ඇඟයීමට රුපියල් 150 / 175 ත් අතර මුදලක් ගෙවන අතර, මීට අමතරව දිනකට ගුරුවරුන්ට සහ පරීක්ෂවරුන්ට ලබාදුන් රුපියල් 1450 ක මුදල රුපියල් 2000 දක්වා ඉහළ නැංවීමට විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් ද ලබාගෙන ඇත.
තත්වය මෙසේ තිබියදී ගුරුවරුන් විසින් පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට වෘත්තීය සමිති මාෆියාව කටයුතු කරමින් සිටින අතර, ඔවුන් ෂයිලොක් පන්නයෙන් ලමස් රාත්තමල ඉල්ලා සිටි. අප මෙසේ කියන්නේ මහින්ද ජයසිංහ, ස්ටාලින් ඇතුළු මෙකී වෘත්තීය සමිති ප්‍රධානීන් විසින් එක් විටෙක බදු අය කර නොගන්නා ලෙස වැඩවර්ජනය කරමින්, උද්ඝෝෂණය කරමින් කටයුතු කරන අතර, අනෙක් අතින් ගුරුවරුන්ට වැඩි පඩි හා විශේෂ දීමනා ඉල්ලා වැඩවර්ජනය හා උද්ඝෝෂණය කරයි. ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අබ මල් රොනක හෝ අවබෝධයක් ඇති ඕනෑම අයෙකු දන්නා සරල කාරණාව නම් ලංකාවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා ගෙවීම, සමාජ සුබසාධනය ඇතුළු සියලූ ක්‍රියාවලීන් වෙනුවෙන් යොදනු ලබන්නේ ජනතා බදු මුදල් බවයි. ඒ අනුව එක් අතකින් බදු අය කර නොගන්නා ලෙස පවසමින් වාඩවර්ජනය කරනා මේ තක්කඩීන් තවත් වටයකින් බදු මුදල් යොදවා කරන ගෙවීම් ඉහළ දමනා ලෙස ඉල්ලමින් වැඩවර්ජනය කරයි. මෙය එක් අතකින් හතර බීරි කතාවට සමාන ක්‍රියාවලියක් වන අතර, වැඩවර්ජන මෙහෙයවන කිසිදු වෘත්තීය සමිතියක් මේ සම්බන්ධයෙන් වචනක් හෝ කීමට ඉදිරිපත් නොවී මෙම කරුණ මගහැර යන්නේ ඔවුන්ගේ තක්කඩිකම නිසාම බව පැහැදිළිය.
මේ අතර විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් ඉවත් වී ඇත. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය පසුගිය පෙබරවාරි මස 23වන දා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ අතර, මේ වන තුරුත් එම ක්‍රියාවලිය ආරම්භ වී නැත. මේ වන විටත් සති දෙකක කාලයක් මෙම ක්‍රියාවලිය පමා වී ඇති අතර, එයට එකම හේතුව වී ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිවල වර්ජන ක්‍රියාමාර්ගයි.
පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ආසන්න වශයෙන් 1,400ක් අවශ්‍ය වන අතර ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ ලකුණු ලබාදෙන ක්‍රමවේදය සැකසීම සහ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සහභාගීවන ගුරුවරුන් පුහුණු කිරීමයි. දැනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ බලපෑම මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම කටයුතුවලින් ඉවත්වී සිටින අතර විශ්‍රාමික ආචාර්යවරු කිහිප දෙනකු පමණක් මේ සඳහා ඉදිරිපත් වී ඇත.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසා සිටියේ රජය විසින් ක්‍රියාවට නංවා ඇති බදු වහාම ඉවත් කරන ලෙසයි. නමුත් පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන තුරු තමන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් එක් එක් කලට එක් එක් කරුණු දැක්වීම් සිදු කරන අතර, එකිනෙකට පරස්පර හා පදනම් විරහිත කරුණු මුල් කර ගනිමින් ඔවුන් දරුවන්ගේ අනාගතය බිළි ගනිමින් සිටී. ගුරුවරුන්ගේ ක්‍රියාවලිය ද මීට නොදෙවෙනි අතර, ඔවුන් මුලින්ම බදු ප්‍රතිපත්තියට එරෙහිව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව පැවසූ අතර, දැන් පවසන්නේ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියේදී ලබා දෙන දීමනාව ඉතා ඉහළ අගයකින් වැඩි කරන ලෙසයි. මේ අතර තුර මෙම පිරිස් රුපියල් විසිදහසක දීමනාවක් ද ඉල්ලා සිටියහ.
මෙම තත්වය ඛේදනීය බව තීව්ර වී ඇත්තේ මෙය හුදෙක් පටු දේශපාලන අරමුණු මුල් කොට ගනිමින් සිය දේශපාලන න්‍යාය පත්රයන් ක්‍රියාත්මක කරනා දේශපාලන පක්ෂවල නියෝජිතයන් වන වෘත්තීය සංගම්වල මැදිහත්වීමයි. මෙම සියලූ වෘත්තීය ක්‍රියාමාර්ග වෘත්තීය සංගම්වල තීන්දු තීරණ වන අතර, එකී තීරණ සියල්ල පටු අරමුණින් දේශපාලනයේ නියැලෙන දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර බව තහවුරු වී ඇත.
අපි මෙසේ පවසන්නේ මෙම ගැටළු සියල්ල දකුණට පමණක් අදාල වූ ගැටළු වී ඇති නිසාවෙනි. එනම් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍ර පරීක්ෂාවට පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අදාල වීම නිසාවෙනි.
දෙමළ භාෂා ගුරුවරුන් කිසිදු ගැටළුවකින් තොරව පිළිතුරු පත්‍ර පරීක්ෂා ක්‍රියාවලිය සඳහා සිය එකඟත්වය පළ කර ඇති අතර, එම කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. අතිශය ඛේදනීය අතීතයකට උරුමකම් කියූ, ජාතිවාදී සහ සිවිල් යුද්ධයෙන් බැට කෑ මෙම ජනතාව මේ වන විට සිය වගකීම් නිසි පරිදි තේරුම් ගෙන කටයුතු කරන බව පැහැදිළිය. උතුරේ ගුරුවරුන් වෘත්තීය අයිතිවාසිකම් මදකට පැත්තකට දමා සිය වගකීම පෙරට ගෙන ඇත.
ලංකාවේ ජාතිවාදීන් විසින් දකුණේ පතුරුවන ලද මතවාදය වූයේ අනෙක් ජාතීන් නිසා සිංහල ජාතියේ ඉරණම අවාසනාවන්ත වී ඇති බවයි. සිංහල ජාතියත් බුද්ධාගමත් අවදානමේ ඇති බවයි. නමුත් සටන් පාඨ පිට සටන් පාඨ පරාජයට පත් වෙමින් ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගනිමින් සිටින මොහොතක ජාතියේ සැබෑ අවාසනාව, සැබෑ තර්ජනය වෘත්තීය සමිති ත්රස්තවාදයක් ලෙස මේ මොහොතේ කරළියට පැමිණ ඇත. විටෙක බදු ගැන කියමින්, තවත් විටෙන ජීවන වියදම ගැන කියමින්, තවත් විටෙක විනය පරීක්ෂණ ගැන කියමින්, තවත් විටෙක දීමනා ගැන කියමින් දිගින් දිගටම මෙකී වෘත්තීය සමිති ත්‍රස්තවාදය දරුවන්ගේ අනාගතයට බලපෑම් එල්ල කරමින් ඇත.
මෙය අතිශයින්ම ඛේදනීය තත්වයක් වනවා සේම, මෙය සියලූ දෙනා එක්ව පරාජය කළ යුතු දරුණු තත්වයක් බව අප උදක්ම තහවුරු කර සිටිමු. සියලූ දේ දරුවන්ට යැයි මරහඬ තලමින් උදාන වැකි කියනා ගුරුවරුන්ම මේ වන විට දරුවන් ප්‍රාණ ඇපයට ගනිමින් සිය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කිරීම අතිශයින්ම පිළිකුල් සහගතය. පසුගිය කොවිඩ් සමයේදී ද දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වූ අතර, කොවිඩ් සමය නිමා වූ වහාම මෙකී ගුරු වෘත්තීය සමිති ත්‍රස්තවාදය විසින් සිය අරමුණු වෙනුවෙන් සිසු ජීවිත බිල්ලට දුන් බව කාටත් අමතකව නැත.
කොවිඩ් අර්බුදය හා අමනෝඥ දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් රට අගාධයට පත්ව ඇති මේ මොහොතේ රට නැවත නගා සිටුවීමේ මූලික අඩිතාමක සකසමින් ඇත. මේ අසීරු මොහෙතක් බව කුහක නොවන ඕනෑම අයෙකු පිළිගන්නා සත්‍යයකි. නමුත් මෙම වෘත්තීය සමිති ත්රස්තවාදීන් විසින් එය සඟවා සිය වෘත්තීය ඉල්ලීම් පමණක් පෙරට ගනිමින් සිටින්නේ අන් කිසිවක් නිසා නොව පටු දේශපාලන අරමුණු වෙනුවෙන්ම බව පැහැදිළිය.
නරකම දේ සිදුවෙමින් පවතී. ඒ ලාභ දේශපාලන වෙනුවෙන් රටේ අනාගතය බිල්ලට ගැනීමයි. මේ මොහොතේ වෘත්තීය සමිති මාෆියාවේ නායකයන් වන ස්ටාලින්, ජයසිංහ වැන්නවුන් සිය දේශපාලන සහ එදා වේල ජීවිකාව තරකර ගන්නේ ඒ ආකාරයට නම් ඔවුන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ සුවහසක් දුවා දරුවන්ගේ මව්පියන්ම නොවේද? එසේම සමස්ත සමාජයේත් වගකීම නොවේද ?
රිද්ම අනුරාධ ගමගේ