මේ පාර කොහෙටද?

මාර්ගය ගැන අවබෝධයක් හෝ දිසාව ගැන විශ්වාසයක් නැතිනම් ඒ ගමන යෑමට මාලිමාවක අවශ්‍යතාවය තිබිය හැකිය. නමුත් මාලිමාවක් තිබුණු පලියටට අවශ්‍ය අරමුණ කරා යෑම කළ නොහැකිය. මන්ද යායුත්තේ කොතැනටද යන්න කලින් තීරණය කළ යුතුය. ඒ සඳහා මං සලකුණු හෝ මාර්ග සිතියමක් තිබිය යුතුය.

රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මෑතකදී තමන්ගේ දේශපාලන ගමනේ වැදගත්ම දේශනයක් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවේ පවත්වනු ලැබීය. කොළඹ ගලධාරී හෝටලයේ උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබු එම දේශනය තුළදී අනුර රටේ ආර්ථිකය ගොඩගැනීම ගැන තමන්ගේ නිශ්චිත අදහස ප්‍රකාශ කර සිටියේය. මෙය නිශ්චිත අදහසක් යැයි කීවේ මැතිවරණ වේදිකාවල කරන කටමැත දෙඩවීම් මෙතැන නොකළ නිසාය. ගැලරි චූන් කරන කතා වලදී කුමක් කීවද රටේ ආර්ථිකය හසුරුවන වැඩිම බලපෑමක් කරන තීරණාත්මක කණ්ඩායමක් ඉදිරියේ විහිළු කළ නොහැක.

මෙම ව්‍යාපාරික හමුවේදී ආර්ථිකය ගොඩගැනීම ගෙන අනුර ඉදිරිපත් කළ අදහස කරුණු පහකට ඔහු ගොනු කර තිබිණි.. මාධ්‍ය මගින් දැනගන්න ලැබුණු ලෙසට ( මෙහි සම්පූර්ණ කතාව සහිත විඩියෝ පටයක් මෙතෙක් ප්‍රසිද්ධ කර නැත, එසේම එම දේශනය යනුවෙන් ජාජබය විසින් ප්‍රසිද්ධ කර තිබෙන ලියවිල්ලද පරිස්සමෙන් සංස්කරණය කර පසුව මුදා හැර තිබිණි.) මෙම කරුණු පහ ගැන කතා කොළොත්, පළමු කාරණය ලෙස පැවැසූවේ, රාජ්‍යය ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ගෙවීමේ කාල වකවානු දීර්ගකර ගැනීම නැතිනම් ණය ප්‍රතිව්‍යුහගතකිරීම ගැනය. රජය දැන් මාස ගනනාවක් තිස්සේ මේ වෙනුවෙන් වන සාකච්ඡා පවත්වමින් මේ වන විට එහි අවසන් අදියරකට පැමිණ තිබේ. දෙක, අලුත් ණය ලබාගැනීම සඳහා තුන්වෙනි පාර්ශ්වයක දායකත්වය ලබාගැනීම. එලෙස ණය ලබාගන්න නම් අනිවාර්යයයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය නැතිනම් ඔවුනගේ කොන්දේසි වලට යටත්ව රටේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතුව තිබේ. රජය දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් මේ ජවිපෙ ඇතුළු විපක්ෂයේත්, ජනතාවගේත් විරෝධයට පාත්‍ර වෙමින් හෝ එය සිදු කරමින් තිබේ. තුන්වෙනුව සහ සිව්වෙනුව, සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම සහ විදේශ ප්‍රේෂණ අත්පත් කරගැනීම ගැන සඳහන් කරයි. මේ සඳහා රජය දැනට ගෙන තිබෙන පියවරයන් සාර්ථක වී එම ආදායම් ඉහළ යමින් පැවැති තත්වයන් කරා පැමිණෙමින් තිබේ. පස්වනුව, කැමැති වුණත් අකමැති වුණත් පුරවැසියාට තමන්ගේ සුපුරුදු ජීවන රටාව වෙනස් කර පීඩාවන් විඳදරාගැනීම විය යුතු බව කියයි. ඉන්ධන හිඟය විදුලි කප්පාදු ආහාර බෙහෙත් හිඟය ආදායම් අහිමි වීම උද්ධමන ආදී තත්වයන් සමඟ මේ සියල්ල දැනටත් පුරවැසියා විඳදරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දී ඇති පොරොන්දු මත අනාගත අපේක්ෂා සහිතව ජීවත් වේ. මේ අනුව අනුර යෝජනා කරන්නනේ මේ සිදුවන සියල්ල සිදුවිය යුත්තේ රනිල් සහ ආණ්ඩුව පලවා හැර තමන්ගේ නායකත්වය සහ ජාජබයේ ආණ්ඩුවක් යටතේ පමණක් සිදුවිය යුතු බව පමණකි.

මේ අනුව අනුරගේ නැතිනම් මාලිමාවේ විසඳුම රනිල් ගේ විසඳුමය. ඒ නිසා ඒ ගැන ගැටුමක් ඇති කරගැනීමට දෙයක් නැත. මන්ද මේ මොහොතේ විය යුතු දේ එය නිසාය. රනිල් වික්‍රමසිංහ රට ගොඩගැනීමේ සිය මාර්ග සිතියම එළි දැක්වූයේ පසුගිය ජුලි මාසයේ 05 වැනිදාය දීය. එහි මේ කියන කතන්දර සහ තවත් විය යුතු දේ ගැනත් සවිස්තරව පැහැදිලි කර ඇත. එමෙන්ම නිදහසෙන් 75 වන වසර වන විට ලබා ගෙන තිබෙන ජයග්‍රහණයන් සහ පරාජයන් සමඟ ඉදිරි 25 වසරක කාලය සඳහා තිබිය යුතු අරමුණ, ඒ සඳහා වන මාර්ගය සහ වැඩපිළිවෙලද ඉදිරිපත් කර තිබිණි. ඒ සියල්ල සර්ව සම්පූර්ණය. අඩුම තරමින් ජාජබයට හෝ විපක්ෂයේ කිසිවකුට ඊට ගහන්න සක්ක කෑලී හෝ ඉතිරිව තිබුණේ නැත.

කොහොම නමුත් ගැටළුව නම් මේ මාර්ග සිතියමත් අරමුණත් පැහැදිලිව තිබියදී අනුර කුමාර අන්ධයකු සේ මඟ හොඳට තිබුණත් බැදිවල රිංගන්න යෑමය. මෙසේ වන්නේ රනිල්ගේ මාර්ග සිතියම ගැන විශ්වාසයක් නැතිකම නොවන බව ඔහු ව්‍යාපාරික සමුළුවෙදී දැක්වු අදහස් සමඟ පැහැදිලිය. නමුත් මෙලෙස හැසිරෙන්නනේ තමන් විසින්ම පාර හොයාගෙන යන්නේය, තමන්ට පමණයි පුළුවන්ය කියා අන්‍යයන්ට පෙන්වීමට කරන බාල වැඩක්ද තක්කඩිකමක්ද විකාරයක්ද යන්න පැහැදිලි නැත. තීරණාත්මක තැන් වලදී රනිල්ගේ විසඳුම තමන්ගේ විසඳුම ලෙස අලංකාරෝක්ති සමඟ ඉදිරිපත් කළත් මැතිවරණ වෙනුවෙන් වේදිකාවල කියන කතන්දර සහ ජාජබයේ මැතිවරණ ප්‍රකාශනවල ලිඛිතව ඉදිරිපත් කරතිබෙන ප්‍රතිපත්ති යැයි කියනු ලබන දෑ තුළ අඩංගුව ගත් විට, මොවුන්ට දේශපාලනය ගැනවත් ආර්ථිකය ගැනවත් හරි හමන් දැක්මක් නැති බව පැහැදිලිය. විශේෂයෙන්ම ආර්ථිකය ගැන ඇති අනවබෝධය පහසුවෙන් වටහා ගත හැකිය.

මේ දින වල බදු ප්‍රශ්න ගැන දැඩි කතා බහක් යොමුව තිබෙන අතර ඊට අනුරලාගේ බරපතල විරෝධයද පළකර තිබේ. මුල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස කටයුතු කරන බව පිළිගෙන තිබුණත් ඊට පරස්පරව ඡන්ද ගොඩ බේරාගැනීම වෙනුවෙන් ගැලරි චූන් කිරීම මේ විරෝධතා වල අරමුණ බව පෙන්නට ඇත. බදු කියන්නේ රාජ්‍ය ආදායමේ ප්‍රධානතම මෙවලමය. බදු අය කරගැනීමකින් තොරව රාජ්‍යට පැවැත්ම රඳවාගැනීම කළ නොහැකිය. ඒ ඒ රාජ්‍යයන්හී ඇති සම්පත් වත්කම ආදායම් මාර්ග අනුව මේ බදු අය කරගැනීමේ ක්‍රමවේදයන් ප්‍රතිශතයන් ආදීය වෙනස් වූවද බදු නැති රටක් නැත.

මෙරට රාජ්‍ය බදු ආදායම් රටට අලුත් දෙයක් නොවේ. හැට හැත්තෑව දශකවල තිබු බදු ප්‍රතිශතය දළජාතික නිශ්පාදනනයෙන් 20.9% කි. 2013 දී 13% ක් දක්වා අඩුවිය. 2022 දී 8% දක්වා තවදුරටත් අඩුවිය. විශේෂයෙන්ම පුද්ගල ආදායම් බදු ඉහළ ප්‍රතිශතයක විය. අනූව දශකය වන විට සෘජු බදු 67 % ක් වක්‍ර බදු 33% ක් තරම් වන අනුපාතයක පැවැති නමුත් 2013 පමණ කාලය වන විට එය සෘජු බදු 20%ක් සහ වක්‍ර බදු 80% ක් වීය. රාජ්‍යයේ ජනගහනය් වැඩිවන විට, ආර්ථික වශයෙන් ප්‍රසරණය වන විට, ජනතා අවශ්‍යතාවයන් වැඩි වන විට, රාජ්‍ය සුබසාධනය ප්‍රමාණයන් වැඩි වන විට, ආදායම් වැඩිවීම වීම යුතුව තිබිණි. නමුත් බදු ආදායම් අඩු වී, රාජ්‍ය වියදම ඉහළ යමින් ඒ හිඟයන් ආවරණය කරගැනීමට ණය ගැනීමත් ඒ ණය ගෙවීමටත් නැවත ණය ගැනීමත් ඉහළ යමින් රට අර්බුදයයන් කරාගෙන යමින් තිබිණි. සුබසාධනවාදී රාජ්‍ය ක්‍රමය නඩත්තු කරගැනීමට සහ තමන්ගේ බලය රැකගැනීමට ජනප්‍රියතාව වෙනුවෙන් තවදුරටත් සුබසාධනයට යොමුවීම නිසා රාජ්‍යය බංකොලොත්භාවය කරා සීග්‍රයෙන් ලංවිය. 2015 ආණ්ඩු වෙනස කියන්නේ ඒ ගමන නැවැත්වීම් වෙනුවෙන් කළ අඟුල්තැබීමකි. එහිදී රාජ්‍ය ආදායම් වැඩිකරගැනීම වෙනුවෙන් නව බදු ක්‍රමයක් හඳුන්වා දීමත් සුබසාධන මඟින් යැපීම් වෙනුවට නව ව්‍යවසායකත්වයන් ගොඩනඟමින් නිශ්පාදන ආර්ථිකයක් වෙන රටම යොමුකළ යුගයකි. දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 14 ක ප්‍රතිශතයක් කරා බදු ආදායම් වැඩි කරගැනීමට කටයුතු කළේය. ඒ අනුව 2017 වසර මෙතෙක් වැඩිම බදු ආදායමක් ලැබූ වසර විය. නමුත් ඊට එරෙහිව එදා විපක්ෂ නියෝජනය කළ රාජපක්ෂ කඳවුරත් ජවිපෙත් කළ විරෝධතා වල ප්‍රතිපලය ලෙස 2019 දී ආණ්ඩුව පෙරළා දමා සිදු කරමින් තිබු ආර්ථික ප්‍රතිසංස්කරණයන් ආපසු හරවා බදු ක්‍රමවේයද වෙනස් කළේය. රාජ්‍ය ආදායම් අඩකට ආසන්න ප්‍රමාණයකින් අහිමි විය. ණය ගැනීමේ හැකියාවද අහිමි විය. රජයේ වියදම් පියවා ගැනීමට මුදල් අච්චු ගැසීම සිදු විය. රට බංකොලොත් වෙන තැනටම පත් විය. ලක්ෂ 14 ක් තිබු බදු ලිපිගොනු ප්‍රමාණය ලක්ෂ 5 දක්වා අඩුවූ අතර එයිනුත් බදු ගෙවන ප්‍රමාණය අඩකින් පමණ අඩුවිය. රාජ්‍ය ආදායම් අහිමි වීම නිසා ඇතිවූ අර්බුදය සහ ඉන්ධන විදුලි ආහාර ඖෂධ හිඟයන් ආදී පීඩාවන්ට ඔරොත්තු දීමට නොහැකිව එයින් බැට කෑ ජනතාව ගෝඨා පාලනය පෙරළා දැමීම කරන ලදී.

ඒ අනුව ඒ ඇතිවූ අර්බුදයට කඩිනම් විසඳුමක් අවශ්‍ය විය. වෙනදා කරන පැලැස්තර විසඳුම් වලට අවස්ථාවක් තිබුණේ නැත. විශේෂයෙන්ම ණය ලබාගැනීමට නොහැකි වීම විදේශ සංචිත බින්දුවටම වැටීම, විදේශ විනිමය මාර්ග අවහිර වීම සහ බදු ආදායම කඩ වැටීම ආදිය නිසා ගත යුතු විසඳුම බරපතල විය. දුෂ්කර විය. නමුත් ඒ ගැන අවබෝධයක් සහ ඊට සෘජුව මැදිහක් වී වගකීම බාරගැනීමට ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහ පමණය. එදා අනුරලා රට බාරගැනීම මඟ හැරියේ ඔවුන් සතුව ඊට විසඳුම් නැති නිසාය. අර්බුදය විසඳීමේ රනිල්ගේ මාර්ග සිතියම අනුව බදු ප්‍රතිශතයන් ඉහළ දැමිණි. එය එකම විසඳුම නොවේ. එකිනෙක හා ගැටගැසුනු විසඳුම් පද්ධතියක එක් කොටසකි. නැතිනම් අලුත් යාන්ත්‍රණයක එක් දැති රෝදයක් පමණි.

කොහොම නමුත් රජය බලාපොරොත්තු වූයේ රාජ්‍ය බදු ආදායම සියයට 14 ඉක්මවා යන ආදායමක් ගැනීමය. නමුත් එම තත්වයට පැමිණිමත් ලබන වසර දක්වා ඇදී යයි. රුපියල් ලක්ෂයෙන් ඉහළ ආදායම් ලබන පිරිස් වෙත උපයනවිට බදු ගෙවීම යළි හඳුන්වා දුන් අතර ඒ අනුව ආදායම් වැඩිවන පිළිවෙලට සියයට 36 දක්වා බදු ප්‍රතිශතයන් හඳුන්වා දෙන ලදී. සෘජු බදු හා වක්‍ර බදු අතර අනුපාතයේ වෙනස අඩුකිරීමද ඉලක්ක කර තිබේ.

එහෙත් හිටි හැටියේ වූ බදු සංශෝධනය ඉහළ ආදායම් ලබන්නන්ගේ කෑකෝ ගැසීමට හේතු වී ඇත. එහෙත් ගෝඨා පාලනය පෙරළා දමන්න ඔවුන් අරගල කළේ කුමකටද කියා දැන් මේ අයට අමතකය. ඒ කෙසේ වෙතත් අපට වැදගත් වන්නේ දැන් මේ ඉහළ ආදායම් ලබන මධ්‍යම පංතිකයන්ගේ වත්මන් සටනට උල්පන්දම් දෙන ජාජබයේ ගැලරි චූන් කරන බදු ප්‍රතිත්තිය ගැනය.

ජාබයයේ විසඳුම උපයන විට බදු අය කර ගැනීමේ සීමාව ලක්ෂ 2 ඉහළ වැටුපකට සහ සියයට 24 ක උපරිම බදු ප්‍රතිශතයකට ගෙන ඒමය. බදු බර අඩුකිරීමට කියා ගෝඨාභය ගත් මුග්ධ පියවරට පමණක් මෙය දෙවැනිය. මෙම විසඳුම ක්‍රියාත්මක කරන බව කියන ගමන්ම රාජ්‍ය බදු ආදායම් ද.දේ.නි.යෙන් සියයය 20 – 25 දක්වා ඉහළ දමන බව ද කියයි. දැනට ඇති බදු ක්‍රමය අනුවත් සීයයට 14 ඉලක්කය සපුරාගැනීමට නොහැකි තත්වයක් තුළ බදු කප්පාදුකර බදු ආදායම් ඩබල් කිරීම අනුර පමණක් දන්නා විශ්මජනක සූත්‍රයක් විය යුතුය. එසේම අනිවාර්යෙන්ම තවත් බදු ක්‍රම රැසක් හඳුන්වා දීමට සිදුවෙනු ඇත.

2022 8% ක් වූ බදු ආදායම දැන් 14% ගෙන ඒමටත් විරුද්ධ වෙන ජාජබය එය 25 % කරන හැටි දකින්න මේ අය බලයට පත් විය යුතුමය. මන්ද මේවාට පැහැදිලි කිරීම් නැති බැවිනි. මේ බදු ගැටලුවට නිවැරදි විසඳුමක් යෝජනා නොකර අනෙක් කිසිදු ගැටලුවක් විසඳීමේ හැකියාවක් නැත. තව පොරොන්දු කොතෙකුත් දුන්නත් රාජ්‍යට ආදායම් හෝ ණය නැතිව කිසිවක් කළ නොහැක. රාජ්‍යය ව්‍යාපාර නොකළ යුතුය කියන ස්ථාවරයකට ඊයේ පෙරේදා පැමිණ සිටින නිසාත් විදේශ ණය ගැනීම වලට ඇති විරෝධය නිසාත් රජය ආදායම් උපදවන ක්‍රමය ජාජබය පැහැදිලි නිශ්චිත පිළිතුරු දිය යුතුය. එහෙත් ඒවාට දෙන උත්තර අභිධර්ම මුදලාලිගේ හෝටලයේ කෑම ගැන ඇසුවා වැනිය. හැමදාම පටට් ගහන දාර්ශනික උත්තරය. ඒ නිසා ආර්ථිකය ගැන කවරක් දෙඩෙව්වත් ජාජබයේ පාලනයකින් කළ හැක්කේ ගෝඨාභය රට බංකොලොත් කළ තැනින් යළි ආගාධයට තල්ලුකිරීම පමණක් බව පැහැදිලි කරුණකි.

මීට මාස කිහිපයකට පෙර, අපට සියල්ල භුක්ති විඳිමින් ඩොලර් ඉතිරි කළ නොහැකි යනුවෙන් පවසමින් 2015 දී ග්‍රීසියේ බලයට පැමිණි ‘වාමාංශික සිරිසාව‘ උත්කර්ෂයට නැංවූ අනුර, “ග්‍රීක රජය පුද්ගලයෙකුට දිනකට යුරෝ 20ක් වියදම් කරන ලෙස නියෝග කළා. එක බනිස් ගෙඩියකට, කොකාකෝලා එකකට සහ සිගරට් එකකට පමණයි අවසර දුන්නේ” යනුවෙන් පවසා තිබිණි. එනම් ජාජබය ද ගන්න සිතාගෙන සිටින්නේ එවැනි ක්‍රියාමාර්ගයක් බව අනුමාන කළ හැකිය. මේවා බය හිතෙන කතන්දරය. ඒ අතින් රනිල් එතරම් සාහසික නැත. රනිල් මුලින්ම කළේ මිනිස්සුන්ගේ බඩ කට පුවරවා සුපුරුදු ජීවන තත්වයන් පවත්වාගෙන යෑමට අවශ්‍ය තත්වයන් සකසා දීමය.

අනුරලා වපුරණ තවත් බරපතල මිත්‍යාවක් නම් රාජ්‍ය දූෂණය අවසන් කිරීමෙන් මේ අර්බුදය විසඳිය හැකි බවය. නමුත් අර්බුදයට හේතුව මේ රාජ්‍ය දුෂණය නොවේ. වැරදි ආර්ථික ප්‍රතිපත්තීන්ය. ප්‍රතිපත්තීන් නිවැරදිව සකස් වන විට ඒ අනුව ක්‍රම පද්ධති අනුව කටයුතු සිදුවන විට මේ දුෂණය සහ අකාර්යක්ෂමතාවයන් ඒ අනුව අවම වෙනු ඇත. ප්‍රශ්නයේ මුල අල්ලා නොගෙන වල්ගයෙන් අල්ලාගෙන ගැලරි චූන් කළ හැකි නමුත් ප්‍රශ්නය විසදෙන්නේ නැත. දේශපාලනික සහ සාමාජීය කාරණා ගැනත් මෙලෙසම නරිවාදන් රැසක් ජාජබයෙන් ඇසෙමින් තිබේ. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල සඳහන් බොහෝ කරුණු කාරනා ඉටුකළ හැක්කේ ඔවුන්ගේම උතෝපියානු රාජ්‍යයකදී පමණි. සමහර විට ඉදිරියේදී ජවිපේ නායකයා ලෙස නොව ජාජබයේ නායකයා ලෙස 13 මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු යැයි පැවැසීමේ ඉඩකඩද තිබේ. අනුරලාගේ දේශපාලනය දැන් එහෙමය.

ඒ නිසා එදා අනුරගේ ජවිපෙ ‘උනුත් එකයි, මුනුත් එකයි’ කිව්වාට අද අනුරගේ ජාජබය කියන්නේ උනුන්ගේත් මුනුන්ගේත් දෙබිඩි නිර්මාණයක් කීවාට වැරදි නැත. මේ පාර කොහෙටද ඇහුවාම, මේ පාර මාලිමාවට කියා, යන්නේ කොහෙද මල්ලේ පොල් පන්නයේ උත්තර දෙනවා වෙනුවට ‘යන්න ඔන පාර රනිල්ගෙන් අහන්න‘ යැයි කීවා නම් රට රවටන දෙබිඩි තක්කඩි දේශපාලනයට වඩා සත්‍යගරුක දේශපාලනයක් අනුරලාට කළ හැකිව තිබිණි.

  • ජයතුංග බණ්ඩාර