රනිල්ගේ දේශපාලනය ජනතාව වෙනස් කිරීමය

මැතිවරණ කොමිසම විසින් කැඳවූ පළාත් පාලන මැතිවරණය පසුගිය මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ අනුව මැතිවරණය පැවැත්වූවා නම් මේ වන විට එහි ප්‍රතිපළ දකින්න තිබිණි. නමුත් මැතිවරණයේ දිනුම් පැරදුම් කෙසේ වෙතත් රටට ලැබෙන්නට තිබූ ජයග්‍රහණයන් නම් වැලැකී යෑමේ අනතුරක් බරපතලව තිබිණි. මෙම මැතිවරණයට මුදල් ලබාදීම රජයට කළ හැකිව තිබුණේ රාජ්‍ය ආදායමිනි. නමුත් රාජ්‍ය ආදායම් එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් හෝ දරාගැනීමටත් ප්‍රමාණවත්ව නොතිබුණු මොහොතක මුදල් අච්චු ගැසීම හැර වෙන විකල්පයක් රජයට තිබුණේ නැත. එසේ මුදල් අච්චු ගැසීමකට ගියේ නම් එතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම වෙනුවෙන් ඉතා අසීරු තත්වයන් යටතේ සිදු කළ ආර්ථීක ප්‍රතිසංස්කරණයන්ගෙන් වැඩක් නැතිව යනු ඇත.

මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 12ක 15 ක පමණ මුදල් වැයකර රජයේ වියදම් කලමණාකාරිත්වය අවුල් කරගැනීමේ මුග්ධ තීරණය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත්තේ නම් ඩොලරයේ රුපියල් අගය පහළ ගොස් රුපියල ශක්තිමත් වීම වන්නේ නැත. බෙහෙත් හිඟයට පිළියම් යෙදෙන්නේ නැතිවීමට ඉඩ තිබිණි. රාජ්‍ය වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම් ප්‍රමාද වීමට ඉඩ තිබිණි. ඒ වගේම ආහාර පාන වල මිළ අඩු වීමක් සිදුවන්නෙ නැත. මේ ආදී වශයෙන් අර්බුද පැටව් ගසමින් ඉදිරියට යෑම නියත වශයෙන්ම සිදු වීම වැලැක්විය නොහැකිව තිබිණි. ඒ සියල්ලට වඩා බරපතල ගැටලුව වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පවා තවත් මාස තුන හතරකට හෝ නැත්තටම නැතිවීමේ අනතුර ඇතිවීමය.

මැතිවරණ කොමිසමේ සහ විපක්ෂ දේශපාලන පක්ෂ වල පටු වුවමණාවන් අනුව කටයුතු කළේ නම් ඉන් පසුව වන අර්බුද වල මේ කිසිවකුත් උත්තර බඳින්නේ නම් නැත. ඊට වග කියන්න වන්නේත් ජනාධිපතිවරයා බව මේ අය ප්‍රසිද්ධියේ කියනු ඇත. ‘කෝ රට ගොඩදානවා කියාලා කිව්වා කළාද අසනු ඇත. කෝ අයි එම් එෆ් ණය ලැබෙනවා කිව්වා කෝ ලැබුණාද අසනු ඇත. කෝ ජාත්‍යන්තර සහය ලැබෙනවා කිව්වා කෝ ලැබුණාද කියා අසනු ඇත. කෝ ඩොලරයේ අගය පහළ දමා රුපියල ශක්තිමත් කළාද අසනු ඇත. උද්ධමනය අඩු කළාද අසනු ඇත. ඊළඟට, රනිල් දැන් පළ, කියමින් මේ අය පාරවල් ගානේ කරන විරෝධතා උද්ඝෝෂණ දැඩි කරනු ඇත. රජයට සිය කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට ඉඩ නොදෙනු ඇත. මහ මැතිවරණ ඉල්ලා අලුත් සටනක්ද පටන් ගනු ඇත. විපක්ෂයේ අවස්ථාවාදී දේශපලනය එහෙමය. කොහොම නමුත් විපක්ෂයේ දුෂ්ඨ වුවමණාවන් පරාජය කර, රට අර්බුදයට පත් නොවන තැනට රැකබලාගන්න ගැනීමට ජනාධිපති රනිල් සමත් විය. ඒ ඔහුගේ දේශපාලන පරිණතභාවයේ සමත් කමය. රට වෙනුවෙන් ඇති වගවීමේ බරපතල කමය.

කොහොම නමුත් තවත් වටයකින් මැතිවරණ කොමිසමත් විපක්ෂයත් පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් සූදානම් වෙමින් තිබේ. අප්‍රේල් 25 වන දින සුදුසු බවට තීරණයක් ගෙන තිබේ. මැතිවරන කොමිසම මේ සුදුසු බව තීරණය කළ නිර්ණායක මොනවාද යන්න පෙන්වා දීමක් කර නැත. මීට පෙර මාර්තු 09 දිනය වෙන් කරගැනීම ගැන නම් දැක්විය හැකි හේතු තිබිණි. එසේම එම මැතිවරණ දිනය කල් දැමීම වෙනුවෙන් හේතු භුත වූ කරුණු කාරණා ගැනද වැටහීමක් පැහැදිලි අවබෝධයක් මැතිවරණ කොමිසමට දැන්වත් තිබිය යුතුය. ඒ අනුව අප්‍රේල් 25 දිනය තීරණය කිරීමේ පදනම කුමක්ද යන කොමිසමේ පැහැදිලි කළ යුතුය.

මන්ද අප්‍රේල් 25 වනදා වන විට රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වන්නට තරම් හේතු සාධක නැත. මුල්‍ය අරමුදලේ හෝ වෙනයම් ජාත්‍යන්තර ආයතනයකින් ණය ලැබුණා කියා ඒවා මැතිවරණවලට වියදම් කළ නොහැක. ඒවාට නියම වූ වෙනත් වැඩ සටහන් තිබේ. මැතිවරණ ආදී අත්‍යවශ්‍ය නොවන වැඩ වලටත් රජය වැය කළ යුතු වන්නේ රාජ්‍ය ආදයමිනි. ඒ බොහෝ විටම බදු ආදායම් වලිනි. නමුත් රාජ්‍ය ආදායම් තවමත් ඇත්තේ වියදම පියවා ගත නොහැකි මට්ටමේය. රාජ්‍ය බදු ආදායම් වර්ධනය කරගැනීමට පියවර ගෙන තිබුණත් එම බදු ආදායම් ද වියදම් කිරීම සීමාවන් තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඊට හරස් වී ඇත. එමෙන්ම බදු ආදායම් බලපොරොත්තු වන ආකාරයෙන් ලැබීම අපේක්ෂා කරන්නේ වසර අවසානයේදීය. මේ අනුව මාර්තු 09 වනදා මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් තිබු ආර්ථික නොහැකියාව අප්‍රේල් 25 වනදාට පෙර පහව යන්න තරම් ආශ්චර්යමත් දේවල් සිදු වන්නේ නැත. අඩුම තරමින් මේ වසර අවසන් වන තුරුත් රාජ්‍ය ආදායමේ සැලකිය යුතු වර්ධනයක් ගැන අපේක්ෂා තැබිය නොහැක. එම තත්වය ළඟා කරගැනීම වෙනුවෙන් මෙම මාස කිහිපය තුළත් ගත යුතු පියවර ගනනාවක් ක්‍රියත්මක කළ යුතුව ඇත. මීට පෙරත් අප දිගින් දිගටම පෙන්වා දුන්නේ මේ ගමනෙහි ඇති දුෂ්කරතාවය ගැනය. තවමත් යන්නේ අතුරේය. නමුත් ඒ ගැන මැතිවරණ කොමිසමට අදාලත්වයක් නැත. ඔවුන්ගේ එකම රාජකාරිය මැතිවරණය පැවැත්වීම පමණය. රටට මොන හෙණයක් පාත් වුණත් ඔවුන්ට කමක් නැත. විපක්ෂයටත් රට ගැන කොහොමටවත් වගෙ වගක් නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

ඔවුන්ට අනුව මැතිවරණය කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ඒකාධිපති වැඩකි. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අර්ථ දක්වන්නේ බහුතරයේ කැමැත්ත පිළිගැනීමය. නමුත් මැතිවරණය කල් තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන්නේ නැත. මන්ද එය සුලුතරයේ කැමැත්ත පිළිගැනීමක් ලෙස නැවත අර්ථ දැක්විය හැකි බැවිනි. නූතනයේදී රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන්නේ බහුතරයේ කැමැත්ත ප්‍රකාරව රාජ්‍ය පාලනය කිරීමේ පටු ක්‍රමවේදය නොවේ. සුළුතරයේ කැමැත්තටද ඉඩ දෙන ක්‍රමවේදයකි. කිසිවකුට වෙනස් කොට නොසලකන ක්‍රමවේදයකි. මේ අනුව රාජ්‍ය පාලනයෙහි යෙදී සිටින කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රකිනවා නම් සෑම සියලු දෙනාම එක පිරිසක්ය, ඔවුන්ගේ අයිතිය සමානය ලෙස සලකමින් කටයුතු කළ යුතුය.

මේ මොහොත කියන්නේ රටේ සෑම පුරවැසියකුම එකම අර්බුදයකට ගොදුරුව පිඩා විඳිමින් සිටින මොහොතකි. කවුරුවත් මේ රටේ කැමැත්තෙන් ජීවත් වෙනවා යැයි කියන්නට පවා ඉදිරිපත් නොවන යුගයකි. සමස්තය අර්බුදයකට ගොදුරව සිටින මොහොතක රට ගොඩ දැමිය යුතු වන්නේ ඒ සමස්තයටම යහපතක් උදාකරලීමට යටත් කරය. ඒ සමස්තයටම ඉන්න හිටින්න ආස හිතෙන රටක් බිහිකරලීම විය යුතුය. ජනාධිපති රනිල් මේ මොහොතේ උත්සහ කරමින් සිටින්නේ ඒ උත්තුංග කාර්යභාර්ය වෙනුවෙනි. රට වෙනුවෙන් වගවීමක් ඇති ඇත්තම ප්‍රජාතන්තුවාදීයකු කටයුතු කරන්නේ එහෙමය. ඊට හානි කරනවා නම් ඊටත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයේ ගත යුතු පියවර තිබේ. රාජ්‍යයට ද්‍රෝහී වීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. මන්ද එය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි නිසාය. ඒ අනුව අර්බුදයෙන් ගොඩ එමින් තිබෙන මොහොතක ඊට හානි කරන මැතිවරණයක් පැවැත්වීමත් ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කටයුත්තක් කියා කීමෙහි වරදක් නැත.

මේ අතර ඩොලරයේ අගය පහළ යන්නේ රුපියල වැඩි වෙන්නෙ, බඩු මිල පහළ යන්නෙ ඡන්දය ළඟ නිසා බවත් ඒවා පෙන්වා ඡන්දය දිනා ගැනීමේ වෑයමක ආණ්ඩුව සිටින බව කියමින් විපක්ෂය ප්‍රචාරක කටයුතු කරමින් ද සිටී. ඇත්තය. මිනිස්සු පාලකයන් තෝරා ගන්නේ තමන්ගේ යහපත සුබ සිද්ධිය උදෙසාය. ඒ අනුව ජනතාවගේ අභිලාශයන් ඉටු කරදීම ආණ්ඩුවක වගකීමය. එහෙම නැති ආණ්ඩුවකින් ජනතාවට වැඩක් නැත. අද ජනාධිපතිවරා ප්‍රමුඛ ආණ්ඩුව කරමින් සිටින්නේ ඒ ජනතා අභිලාෂය ඉටු කිරීමය. පසුගිය සමයෙ හිටපු පාලකයන්ට තනතුරු අත් හරින්න වූයේ ජනතා අභිලාෂයන් ඉටු නොවුණු තැනය.

අද එය ඉටු වෙනවා නම් ජනතාව සිටින්නෙ ආණ්ඩුව සමඟ මිසක් විපක්ෂය සමඟ නොවේ. ඒ අනුව විපක්ෂය නගන චෝදනාව ඇත්තය. දැන් වියරුවෙන් මෙන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයා ජනප්‍රිය වීම දරාගත නොහැකිවය. විපක්ෂය තමන්ගේ යැයි සිතු රැලි ක්‍රමයෙන් අතුරුදන් වෙමින් පවතින එක බලා සිටින්නට නොහැකිව සිටී. නමුත් අද රනිල් ඒ සියළු රැලි එකතුකරමින් ලොකු රැල්ලක් හදමින් සිටී. ඒ රනිල්ගේ රැල්ල නම් නොවේ. රට හදන සබුද්ධික මිනිසුන්ගේ රැල්ලය. ඉතිහාසයේ නොවූ විරූ බරපතල අර්බුදයකට ගොදුරුව මහා මානුෂීය ඛේදවාචකයක් වෙන්නට ඉඩ තිබූ රට එතැනින් බේරාගෙන ජනතාවට යහපත් ජීවන තත්වයක් උදා කරදීම වෙනුවෙන් රනිල් සිදු කළ මහා මෙහෙවර අද රටේ සිහිබුද්ධියක් ඇති මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින් තිබේ. ඇත්ත මෙයය.

මේ ඇත්ත හමුවේ බඩු මිල අඩු වී රටේ ප්‍රශ්න අඩුවෙමින් යන නිසා මැතිවරණය පවත්වනු ඇතැයි කියන විපක්ෂයට දැන් මැතිවරණය කල් යනවා නම් හොඳයි කියා තව ටික දවසකින් නොසිතුනොත් පුදුමය. විපක්ෂයට ඡන්ද රාගය ඇති වන්නේ ආණ්ඩුව දුර්වල වෙන කොටය. රටේ අර්බුද උත්සනන් වෙන කොටය. ඒ නැතිනම් රටේ අර්බුදයන් නිර්මාණය කර රට අස්ථාවර කර හෝ මැතිවරණයක් ලබා ගැනීම සාමාන්‍යයෙන් මැතිවරණ දේශපාලනයේ යෙදෙන්නන්ගේ විදිහය. විපක්ෂය පැවැති අර්බුදයෙන් ගොඩයන්න උත්සහ කළද එය අසාර්ථක විය. දැන් උත්සහ ගන්නේ අර්බුද ඇතිකර රට අස්ථාවර කරන්නය. එහෙම නැතිව මැතිවරණ ඉල්ලීමෙහි ප්‍රයෝජනයක් නැත. ඉදිරි මාස කිහිපය තුළ දී රටේ ආර්ථික ප්‍රශ්න තවදුරටත් විසඳා ගැනීමට හැකි වීමත් සමඟ විපක්ෂයට තවත් අමාරුවෙයි. ඊට පෙර රට යළි අර්බුදයට දැමීමට හැකි නම් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමට පුලුවන් වෙයි කියා ඔවුන් ගනන් හදමින් තිබේ. විපක්ෂය එසේ බලාපොරොත්තු වූවද රනිල් පසුගිය මාස හත අට තුළ වැඩ කළේ ඊට වඩා බරපතල සතුරු බාධා කිරීම් රැසක් මධ්‍යයේය. ඒ සියල්ල ඉතා සාර්ථකව මැඩ පැවැත්වීමට ඔහුට හැකි විය. ඒ නිසා විපක්ෂය බලපොරොත්තු වන සේ රටට වින කරන්න පහසු නොවනු ඇත. අනෙක මේ විපක්ෂය කියා කියන්නෙ නිකමම් නික හිස් ඔලු ගෙඩි ටිකක් විනා මොලයක් සහිත ශක්තිමත් බලවේගයක් නොවන බවද ඔප්පු වී බොහෝ කල්ය.

මේ විපක්ෂය ආර්ථික අර්බුදය විසඳීමේ අභියෝගය ඒ කිසිවකුත් බාර නොගෙන එය මඟ හැර පලා ගිය කණ්ඩායමකි. ඒ තබා රනිල් ගත් විසඳුම් මාර්ගයට ඔවුන් බාධා කළේය. කිසිදු සහයොගයක් නොදි කරන කරන දේට බධා කළේය. එසේ කලත් අර්බුදය විසඳීමට අවශ්‍ය කිසිදු විසඳුමක් ඔවුන් සතුව නොවීය. එවැන්නක් ඉදිරිපත් නොකළේය. විසඳුම් හෝ උත්තර ලෙස රනිල් දැනටමත් ක්‍රියාත්මක කර තිබූ වැඩ පිළිවෙලෙහි තැනින් තැන කොටස් අල්ලාගෙන කියවීම් ද දකින්නට ලැබිණි. නමුත් ප්‍රකාශිත විසදුම් පත්‍රිකාවල් තිබුණේ තනිකර විහිළු සහගත, ප්‍රයෝගිකව යථාර්තයක් කළ නොහැකි සුරංගනා කතාය. අනෙක පරස්පර කතන්දර නිරන්තරයෙන් ඇසිනි. මහා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව හමුවේ කියන දේ ගමේ මිනිහා ඉදිරියේදි කිව්වෙ නැත. ගමේ මිනිහාට දෙන පොරොන්දු ව්‍යාපාරිකයා හමුවේ කිව්වේ නැත. උතුරට ගොස් කියන දේ දකුණේ කිව්වෙ නැත. දකුණේ කියනද උතුරෙ කිව්වෙ නැත. පක්ෂයේ එකෙකු කියන දේ වෙන එකෙකු ප්‍රතික්ෂේප කිරීම නිතර සිදු වීය. මෙහෙම පිරිසක් එක්ක රටවල් හදන්න තියා දිනා ගත්තා කියන සමුපකාරයක්වත් පාඩු නොවී පවත්වාගෙන යෑම සිදු කළ නොහැකිය. ඒ බවත් දැන් දැන් වාර්තා වෙමින් තිබේ.

රනිල් වික්‍රමසිංහ කියන්නේ අප දන්නා කාලයේ සිටම එකම ප්‍රතිපත්තියක් මත දේශපාලනය කළ, සෘජු දේශපාලනික කොන්දක් සහිත දේශපාලනඥයකි. 2002 දීත් 2015 දීත් අදත් ඔහුගේ ප්‍රතිපත්තිය එකය. වසර 20 ක් තිස්සේ ඔහු ඔහුගේ ප්‍රතිපත්ති යථාර්ථයක් කිරීම වෙනුවෙන් ඉවසීමෙන් ජයපරාජයන් දරාගනිමින් කළ කැපකිරීමෙහි ප්‍රතිපල අද රටට ලැබෙමින් තිබේ, ඔහුගේ පාලනය යටතේ ඉදිරි වසර කිහිපය තුළදී සිදුවන වෙනස්කම් මෙරට ඉතිහාසයේ නොවූ වුරූ සංවර්ධනාත්මක යුගයකට රට ගෙනයනවාට දැන් සැක නැත. ගෙවුනු මාස හත අටක කාලය තුළ ඒ බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ඔහු විසින් පෙන්වා ඇත.

ඒ අනුව මැතිවරණවලට බිය වීමට ඔහුට හේතුවක් නැත. ඔහු දේශපාලනය කළේ මැතිවරණ බලාගෙනද නොවේ. ඔහුට මැතිවරණ ජය ගැනීමට බොරු සංදර්ශන පෙන්විය යුතු නැත. ඉතිහාසයේත් ඔහු එහෙම කර නැත. ඔහු ප්‍රතිපත්තිමය දේශපාලනයක යෙදුනා විනා බොරු පොරොන්දු දෙමින් බොරු ප්‍රතිරූප හදමින් බොරු රැළි හදමින් ජනතාව රැවැට්ටුවේ නැත. ඒ නිසා මැතිවරණ බලාගෙන බඩු මිල අඩු කළාය කියන එක රනිල්ට අදාල චෝදනාවක් නොවේ. රනිල් වෙනස්ය. ඔහුගේ ක්‍රමය වෙනස්ය. ඔහුගේ බලාපොරොත්තුව වෙනස්ය. ඔහු හදන ලංකාව වෙනස්ය. ඒ වෙනස ජනතාව බාරගන්නේ ජනතාවද ඒ අනුව වෙනස් වීමෙනි.

  • ඝෝෂක