අදත් පැලවෙන්නෙ රනිල්ගෙ අඹ ඇට

”‍ඔව්, මම වෙනත් දේශපාලඥයන් වගේ නෙමෙයි, මා ළඟ තියෙන්නේ දීර් ඝ කාලීන සැලසුම්. මම සැලසුම් හදන්නේ මගේ අභිවෘද්ධිය වෙනුවෙන් නෙමෙයි, තරුණ පරම්පරාව වෙනුවෙන්. හෙට දවස වෙනුවෙන්. මම අද දවසේ පැළකරන ගසෙහි ඵලදාව මට භුක්ති විඳින්න ලැබෙන්නෙ නැති බව මම හොඳින්ම දන්නවා. ඒත් හෙට දවසේ අපේ දූදරුවන්, අනාගත පරම්පරාව ඒ ඵලදාව භුක්ති විඳීවි”‍
මේ පරහිතකාමී ප්‍රකාශය රනිල්ගේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ. ඔහු එහිදී පැහැදිලිව කියනවා, 2048 අපේ රටේ සියවෙනි නිදහස සමරණ අවස්ථාව වනවිට ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමට තමන් සැලසුම් සකස් කරන බව. ඒ වගේම එසේ සැලසුම් හදනවා කියන කොට ඇතැමුන් අවඥාවෙන් ඒ දෙස බලන බවත් රනිල් කියනවා.

රනිල් කිව්වා හරි, අපේ සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නෙම අනෙකා දෙස අවඥාවෙන්, වපර ඇසින්, ඔලොක්කුවට බලන්න. එහෙමත් නැත්නම් තමන්ගේ පරම හතුරෙක් කියලා හිතාගෙන වැඩකරන්න. ඒක අපේ පරම සංස්කෘතික ලක්ෂණයක්. අනෙක එවැනි මනෝ ව්‍යාධියක් නිර්මාණය වෙලා තියෙන්නෙ, නොදන්නාකම නිසා නොවේ. මනාසේ කරුණු දැනගෙන වුණත් ඇතැමුන් මෙම මානසික රෝගයෙන් පෙළෙනවා. රනිල්ගේ 2048 කතාව අහපු සමහරුන්ටත් මේ රෝගය උත්සන්න වෙලා වගේ ඔවුන් තැන තැන කියන කතා ඇහුවම පේනවා.

මේ කතාව පැහැදිලි කරගන්න පුළුවන් ලස්සන උදාහරණයක් තමයි, පොඩි කාලේ ගොඩක් අය අහපු “‍මොනවද මුත්තේ මොකද කරන්නෙ – මොකටද ඔබ ඔය බිම හාරන්නේ”‍ කියන ළමා ගීතය. ඒ ගීතයේ දී කුඩා දරුවා මුත්තාගෙන් ප්‍රශ්න කරන්නේ, ඇත්තටම තමන්ගේ නොදන්නාකම නිසා බව “‍තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට – කරන්ට හැකි දේ නොම තේරෙයි මට”‍ කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ “මේ පැල හිටුවන්නෙ, මට ඵලදාව ගන්න නෙමෙයි අනාගත පරම්පරාවට භුක්ති වි‌ඳින්න”‍ කියලා කියද්දි, සමහරු අහනවා, කෝ රනිල් හිටවපු අඹ ඇටේ? කියලා. ඇත්තටම ඒ ප්‍රශ්නය අහන ගොඩක් අය තමන්ගේ නොදන්නාකම නිසා අහන ප්‍රශ්නයක් නොවන බව පැහැදිලියි. මන්ද ඔවුන් ද මේ දේශපාලනය තුළ අඩු වැඩි වශයෙන් දැනුම්වත්භාවයකින් යුතුව කටයුතු කරන පුද්ගල චරිත වන බැවිනි.

කෙසේ වෙතත් මේ අඹ ඇටේ ප්‍රශ්නය කාලීනව ඉතා වැදගත් ප්‍රශ්නයක්. මන්ද රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවකින්, සංවර්ධනීය ඉලක්කයකින් යුතුව ගමනක් යාමට දේශපාලන නායකත්වය දෙමින් ඊට අද රටේ තරුණ පරම්පරාවට ආරාධනා කරන පුද්ගලයාගේ දේශපාලන කෙරුවාව පිළිබඳ මනා අවබෝධයක් විශේෂයෙන් තරුණ පරම්පරාවට තිබිය යුතු බැවිනි. ඒ සඳහා ජනපති රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසගත දේශපාලන භාවිතාව මොනවගේ ද? මේ කියන විදිහට අඹ ඇට පැලකරලම නැද්ද? පැල කළා නම් කෝ ඒ අඹ? එහෙම නැත්නම් නිකම් නිකම් දේශපාලන කයිවාරුකාරයෙක් විතරද? විශ්වාසය තැබිය හැකිද? වගේ සාධාරණ ගැටළුවලට කරුණු සහිත අවබෝධයක් ඔවුන් ලබාගත යුතුය. එසේ නොමැති තාක් ”‍කෝ රනිල් හිටවපු අඹ ඇටේ?”‍ කියලා අහන අයගේ කියුම් බහට නොරැවටී සිටින්නට ඔවුන්ට ශක්තියක් ඇති නොවේ.

රනිල් හිටවවු අඹ ඇට

1977 ජූලි 21 වෙනිදා පැවැති මහ මැතිවරණයෙන් කැළණිය ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ, එතැන් පටන් 2022 ජූලි 21 ජනාධිපති ධූරයෙහි දිවුරුම් දෙන තාක් වසර 45ක මෙරට දේශපාලනයේ හසල අත්දැකීම් ලැබූ දේශපාලඥයෙකි. ඒ නියෝජ්‍ය අමාත්‍ය,’කැබිනට් අමාත්‍ය,’සභානායක,’පක්ෂ නායක, අග්‍රාමාත්‍ය,’විපක්ෂ’නායක ආදී දේශපාලනයේ ඉහළම තනතුරුවල වගකීම් ද ඉටුකරමිනි. දැන් ප්‍රශ්නය දශක 5කට ආසන්න කාලයක් පුරා දේශපාලනයේ තනතුරු තානාන්තර දරපු රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් මොනවද කළේ කියන කාරණය සම්බන්ධයෙනි.

තරුණ කටයුතු හා රැකී රක්ෂා

ළාබාලතම කැබිනට් අමාත්‍ය වරයා වූ’තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික තරුණ සේවා සභාව අධිකාරි බලතල ඇති ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් යුතුව,’ 1979 නොවැම්බර් 8 වෙනිදා අංක 69 දරණ “ජාතික තරුණ සේවා පනත” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ යටතේ යෞවන සමාජ, වෘත්තීය පුහුණුව, ක්ෂේත්‍ර පුහුණු හා ප්‍රජා සේවා, ජාතික සේවා, සංස්කෘතික කටයුතු, ව්‍යාපාරික තරුණයා, නාගරික තරුණයා, ක්‍රීඩා, ස්වේච්ඡා සේවා, විශ්වවිද්‍යාල තරුණයා, ශ්‍රී ලංකා ජාතික තරුණ සමූපකාර (නිස්කෝ) සමිති, සීමාසහිත තරුණ සේවා සමාගම, ලංකා බැංකුව සමග ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමය, බෙල්වුඩ් සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානය, යෞවන තිළිණ’අධිකාරිය, තරුණ’සේවා සංගීත සමාගම, තරුණ සේවා නැටුම් සමාගම, තරුණ’සේවා මුද්‍රණාලය, විදේශ කටයුතු අංශය, නිස්කෝ වීඩියෝ අංශය, පර්යේෂණ සංවර්ධන අංශය, ප්‍රජා සේවාව (යොවුන් මිතුරෝ) සහ මහරගම ජාත්‍යන්තර තරුණ’මධ්‍යස්ථානය ද ඇතුළත් ආයතන 23ක් මේ හරහා නිර්මාණය කරන ලදී. විශේෂයෙන් ජාතික තරුණ සේවා සභාව, තරුණ ප්‍රජාව වෙනුවෙන් දකුණු ආසියාවේ නිර්මාණය කරන දැවැන්තම සේවා මධ්‍යස්ථානය බවට පත් කිරීම අමාත්‍ය රනිල්ගේ අරමුණ විය.

එමඟින් මෙරට තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔප්නංවා ගැනීමට, ඉන් රටට දැයට සේවය කිරීමට පමණක් නොව ඔවුනොවුන්ගේ ජීවන තත්වයන් උසස් තලයකට ඔසවා තැබීමට ද ඉවහල් විය. මෙරට තරුණ තරුණියන්ගේ උන්නතිය වෙනුවෙන් පිහිටුවන ලද මෙම ආයතන 23 හරහා තමන් ලද දැනුම හැකියාව සුදුසුකමක් කොට විවිධ’රැකියවන්හි නිරත වූ බවත් අදටත් ඇතැමුන් එවැනි
රැකියාවල නිරතවන බවත් නොරහසකි. මේ සියල්ල රනිල්ගේ මගපෙන්වීම යටතේ එදා ක්‍රියාත්මක වූ බව නොදන්නෝ ද සිතාමතා අමතක කළ ඇත්තෝ ද සිටිය හැක. නමුත් රනිල් හිටවපු අඹ කෝ අහන අයගේ දැනගැනීම පිණිස පෙන්වා දියහැකි එක අඹ ඇටයක් එසේය.

අධ්‍යාපන

1980 පෙබරවාරි 15 නව කැබිනට් සංශෝධනයත් සමඟ නව අධ්‍යාපන අමාත්‍ය ධුරය ද රනිල් වික්‍රමසිංහට හිමි විය. ඒ අනුව තරුණ කටයුතු, රැකී රක්ෂා හා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් 1980 සිට අඛණ්ඩව වසර 09ක කාලයක් පුරා කටයුතු කළේය. එකී කාලය තුළ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකරන ලද සියලු‍ ප්‍රතිසංස්කරණ අද දවසේ ද දුවා දරුවන් පමණක් නොව ගුරුවර ගුරුවරියන් ද භුක්ති විඳින අයුරුත් එසේම සමස්ත සමාජයටම එහි ප්‍රතිලාභවලට හිමිකම් කියන අයුරුත් දැකගත හැකිය.

පළමුව අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වූයේ,’අනාගතයේ දී නිර්මාණය වීමට නියමිත විශ්ව ගම්මානය තුළ නොබියව කටයුතු කළ හැකි ශ්‍රී ලාංකේය තරුණ පරම්පරාවක් ගොඩ නැගීම වෙනුවෙන් නවීන සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් ක්‍රමවත් විද්‍යානුකූල අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටය. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ ද දායකත්වය ඇතුව සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය 1981 දී “ධවල පත්‍රිකාව”‍ නමින් එළිදක්වන ලදී. එදා ඊට එරෙහිව නැගුණු මාරාන්තික විරෝධය හමුවේ අධ්‍යාපන ධවල පත්‍රිකා යෝජනාවලිය හකුලා ගත්ත ද පසුව තීරණය වූයේ “ධවල පත්‍රිකා”‍’නම ඉවත් කොට එහි ඇතුළත් ප්‍රතිසංස්කරණ යෝජනා එකින් එක ක්‍රියාත්මක කළ යුතු බවය. ඒ අනුව රනිල් මෙරට අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ මෙසේය.

■ 1980 දී ශ්‍රී’ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිහිටුවීම හා’උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම

■ 1981 දී අවම සම්පත් උපරිමයෙන් භාවිත කිරීම ක්‍රමවත් කිරීම සඳහා පොකුරු පාසල් ක්‍රමය ස්ථාපිත කිරීම ද අධ්‍යාපන පර්යේෂණ,’විෂයය මාලා සංවර්ධනය සහ ගුරු පුහුණව සඳහා මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

■ 1982 ශ්‍රී’ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීම

■ 1984 රුහුණු විශ්වවිද්‍යාලය,’වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීම

■ 1986 නැගෙනහිර විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීම

■ 1987 ගුරු වෘත්තීයේ ගුණාත්මක භාවය වඩාත් ක්‍රමවත් කිරීමේ අරමුණින් ගුරු පුහුණුව සඳහා විද්‍යා පීඨ පිහිටුවීම. ඒ අනුව නිල්වලා, මහවැලි, වව්නියා, මඩලකපුව, ශාරිපුත්ත, ඌව, හාපිටිගම, ශ්‍රී පාද, අඩ්ඩාලච්චේනයි විද්‍යා පීඨ නවයක් රට පුරා ඉදිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කිරීම

■ ජාතික අධ්‍යාපන පීඨ දෙකක් ද පස්දුන්රට හා සියනෑ (වේයන්ගොඩ) පිහිටුවීම

■ එතෙක් පැවැති පැරණි විභාග ක්‍රම වෙනුවට අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ (ඨගක්‍ගෑගධරැඛ හා ඨගක්‍ගෑග ්රැඛ) විභාග ක්‍රමයන් හඳුන්වා දීමට කටයුතු කිරීම

■ පාසල් දරුවන්ට නොමිලේ පොත්,’ආහාර,’නිල ඇඳුම් ලබා දීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීම

■ පාසල් ක්‍රීඩා නැංවීම අරමුණින් දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කර ක්‍රීඩා ගුරුවරු 18,000කට පුහුණුව ලබාදීම සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලයක් පිහිටුවීම
මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ හිටවපු අඹ ඇට කිහිපයක් එසේය. එම නිසා ඒ අඹ ඵල භුක්ති විඳපු නැති අයෙක් රනිල් හිටවපු අඹ කෝ යැයි ඇසීම ගැන උරණ විය යුතු නැත.

කර් මාන්ත

මේ රටේ තරුණ ප්‍රජාවේ විරැකියා ගැටලු‍වට පිළියමක් වශයෙන් ද සමස්ත රටේ ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් ද ජේ.ආර්. ජයවර්ධනයන් විසින් පළමු වතාවට අපනයන සැලසුම් කලාපයක් කටුනායක පිහිටුවන ලද අතර දෙවන අදියර වශයෙන් රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් 1986 දී බියගම නිදහස් වෙළඳ කලාපය ඉදිකරන ලදී. එසේම 1991 දී රනිල් වික්‍රමසිංහ කර්මාන්ත අමාත්‍යවරයා යටතේ කොග්ගල අපනයන සැලසුම් කලාපය පිහිටුවීම ද කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදය වෙනුවෙන් ඉවහල් වූ මහඟු‍ කාර්යයකි.

එපමණකින් නොනැවතී ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල කර්මාන්ත පිහිටුවීම සඳහා ආයෝජකයන් දිරිගැන්වීමේ අරමුණින් කටයුතු කළ අතර ඒ හරහා කර්මාන්ත පුර සහ කර්මාන්ත උද්‍යාන පිහිටුවීමට පියවර ගත්තේය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා 1990 අංක 46 දරණ’කාර්මික සේවා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහා ඒ හරහා කාර්මික කොමිසම පිහිටුවීම ද කර්මාන්ත සඳහා උපදේශන සභාව සහ ප්‍රාදේශීය කාර්මික සේවා කමිටු පිහිටුවීමට පියවර ගත්තේය.

කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහගේ උත්සාහයේ ඵලප්‍රයෝජන ඈත ගම්දනව්වල තරුණ තරුණියන් ලබාගත් අතර අදටත් එහි ඵල ලබමින් සිටින බව සැබෑවකි.

ඒ අනුව “‍කෝ රනිල් හිටවපු අඹ ඇටේ?”‍ කියා අසන අයවලු‍න්ගේ දැන ගැනීම පිණිස ඔහු වගකීම් දැරූ ප්‍රධාන ක්ෂේත්‍ර තුනක ඉටුකළ සේවාවන් කිහිපයක් මෙසේ පෙන්වා දිය හැක. එපමණකින් නොනැවතී පරිගණක, ජංගම දුරකථන හා’අන්තර්ජාල හඳුන්වාදීමේ කාර්යයට වගේම ඒ ක්ෂේත්‍රයන්ගේ උන්නතිය වෙනුවෙන් නොබියව කටයුතු කළේ ද රනිල් වික්‍රමසිංහ බවද කුහක නොවී පිළිගත යුතු සත්‍යයකි.
මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ රටේ අනාගතය වෙනුවෙන් මොන තරම් කටයුතු කර තිබුණ ද අද දවසේ රනිල්ව ප්‍රශ්න කරන්නෝ හෙට දවසේ ප්‍රශ්න කිරීම නවතා දමනු ඇතැයි විශ්වාස කළයුතු නැත. මන්ද එසේ ප්‍රශ්න කරන්නෝ අතරේ රනිල් හිටවපු අඹ ඇටවල ඵලදාව ඇට පිටින් ගිලපු අයද’තවත් අය ඒ අඹ කෑවේ නෑ වගේ රඟමින් ද කටයුතු කරන බැවිනි. ඒ කෙසේ වෙතත් ඒ අඹ කාපු ගොඩක් අය අඹ කාලා ඇටේ විසි කළා මිස ඒ ඇට හෙට දවස වෙනුවෙන් පැල කරන්න කල්පනා කළේ නැති බව නම් සැබෑවකි. මන්ද වැරදිලා හෝ ඒ අඹ කාලා ඇට විසිනොකර පැල කළා නම් අපේ රටට මෙවැනි විපත්තියක් අද දවසේ සිදු නොවන බවට සැකයක් නොමැති බැවිනි.

– නවන් පතිරත්න