ඉතිහාසය වෙනස් කරන රනිල්

“…මේ මොහොත වන විට අපි රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තිබෙනවා. මේ ස්ථාවරභාවය කෙටිකාලීන දෙයක් පමණක් බව අපට වැටහෙනවා. එබැවින් මෙම අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ දුර යා යුතුව තිබෙනවා…” ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ජාතික නීතිඥ සමුළුව අමතමින් මෙලෙස පවසා තිබිණි.

මෙය වැදගත් ප්‍රකාශයක් වන්නේ මේ වන විට රනිල් රට ගොඩදැමීමට සමත් වී ඇති බවට බොහෝ පාර්ශ්වවලින් කියැවෙන අතරතුරදී ජනාධිපතිවරයා ඊට වෙනස් අදහසක් ප්‍රකාශ කිරීම නිසා නොවේ. සත්‍ය වශයෙන්ම පවතින තත්වය එය නිසාය. පැවැති ආර්ථික අර්බුදය හමුවේ එය විසඳා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් බොරු කියා නැත. රට රැවැට්ටුවේ නැත. කොහොම නමුත් ජනාධිපතිවරයා පැවැති බරපතල ආර්ථික සමාජීය පීඩාවන්ගෙන් රට මුදවා ගැනීමට සමත්වීම පැවති පීඩාකාරී තත්වය හා සලකා බැලීමේදී මහත් අස්වැසිල්ලකි. රට බාරගැනීමේ දී ඔහු පවසා සිටියේ මුලින්ම මිනිසුන්ගේ බඩගින්න නිවීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම සිදු කරන බවය. ඒ කිව්වා සේ එය සිදු කර තිබේ. නමුත් මේ කෙටිකාලීන පියවරකි. ආර්ථිකය තවදුරටත් පවතින්නේ ව්‍යවසනකාරිත්වයක නොවුවත් ආර්ථිකය ස්ථාවර බවට පත් කරගැනීමට ගත යුතු පියවරයන් රාශියක් තවදුරටත් ඉතිරිව තිබේ. මේ වන විට ආර්ථික ප්‍රතිසංස්කරණයන් ගණනාවක් ක්‍රියාත්මකව තිබුණද රනිල් යෝජනා කරන්නේ හුදු ආර්ථික ප්‍රතිසංස්කරණයන් නොවේ. ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් පලක් නැති බව මීට ටික කලකට පෙර ව්‍යාපාරික සමුළුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේය. ඔහු යෝජනා කළේ ක්‍රම පද්ධතියේ බරපතල වෙනස්කමක් වෙත යායුතු බවය. එනම් මෙතුවක් කල් අනුගමනය කළ ප්‍රතිපත්ති සැලසුම් සියල්ල අනාගතයට ගැලපෙන ලෙස වන ක්‍රියාදාමයකට මුල පිරිය යුතු බවය. නමුත් එතැනට යන්න නම් කෙටිකාලීන පියවරයන් මගින් තුවාලයේ වේදනාවන් සමනය කරගත යුතුය. ඉන් පසුව දීර්ග කාලීන වැඩපිළිවෙලක් හරහා ස්ථාවරත්වය වෙනුවෙන් අවශ්‍ය පියවරයන් ගත යුතුය. ඒ සාර්ථක වීමත් සමඟ තිරසාර දියුණු ආර්ථිකයකට අවශ්‍ය පදනම වැටෙනු ඇත. තවදුරටත් රට සමඟ සෙල්ලම් කළ නොහැකි බව ඔහු හොඳින්ම දන්නා කාරණයකි. 2048 වන විට පූර්ණ සංවර්ධිත රාජ්‍යක් බවට රට පත්කරන බව කීම ජනාධිපතිවරයාගේ හුදු හිතළුවක් නොවේ. එසේ කියන්නේ, ඒ සඳහා අවශ්‍ය ශක්‍යතාවය රටේ පවතින බවත් ඒ සිහිනය සැබෑ කරගැනීමේ වුවමණාව රටට තිබෙන නිසාමත් නොවේ. වැදගත්ම දේ ඒ සඳහා විප්ලවීය වැඩපිළිවෙලක් තමන් සතුව තිබෙන නිසාය.

එහෙත් මේ වෙනුවෙන් කළ යුතු දැවන්ත මෙන්ම සංකීර්ණ කාර්යභාරයක් තිබේ. මෙහිදී ජනාධිපතිවරයා සමස්තයම එක් පද්ධතියක් ලෙස එක වර ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීමක් යෝජනා කරයි. අතනින් මෙතනින් තමන්ට දේශපාලනික වශයෙන් වාසිදායක තැන් සහ අවස්ථා තෝරමින් කෙටි කාලීනව ජනතාව සංතෘප්ත කරන ජනප්‍රිය තීන්දු ගැනීමේ සුපුරුදු ක්‍රමයට වඩා වෙනස්ය. එසේම එය තවදුරටත් මේ මුහුදෙන් වටවු දූපතේ සීමාවට කොටු වුණ, ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි කියමින් නටන පටු වැඩපිළිවෙලක්ද නොවේ. වර්තමානයේ සහ අනාගතයේ කලාපීය වර්ධනයන් සහ සෙසු ජාත්‍යන්තර ප්‍රවණතා සැලකිල්ලට ගෙන කෙරෙන දැවැන්ත ක්‍රියාදාමයකි. ඒ අනුව මේ ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ විප්ලවීය සමයක් ලෙස හැඳින්වීම වැරදි නොවේ. මෙවැනි පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද කිසිදු සැකයකින් තොරව පැවැසිය හැකිය. විශේෂයෙන්ම ලෝකයේ දේශපාලන සහ ආර්ථික මහා බල කඳවුරු අතර ඊට විකල්පව අලු‍ත් බල කඳවුරක් නිර්මාණය කිරීම ද මෙම වැඩපිළිවෙලේම කොටසකි. එය කලාපීය වශයෙන් ඒ සියලු‍ම රාජ්‍යයන්ගේ ගොඩනැංවීමට රුකුල් දෙන්නකි. රනිල් පසුගිය ජපන් සංචාරයේදී ද ඒ ගැන වන මතය සෘජුව ප්‍රකාශ කළේය. ඒ අනුව කලාපයේ ප්‍රබලම රාජ්‍යය වන ඉන්දියාව ඇතුළුව නැගී එන රාජ්‍යයන් සමඟ ඒකාබද්ධ වැඩසටහනක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තීරණාත්මක මැදිහත් වීමක් සිදු කරනු ඇත. ශ්‍රී ලංකාවේ භු පිහිටිම අනුව ලබා දී ඇති වැදගත්කම මත, අමෙරිකාව සහ චීනය කේන්ද්‍ර කරගත් බල යුද්ධයේ දී ශ්‍රී ලංකාව දැනටත් තීරණාත්මක සාධකයකි. ඒ හරහා ලැබෙන වැදගත්කම අනුව කලාපීය බල කඳවුරක් නිර්මාණය කිරීමේදී ජනාධිපති රනිල් ගෙන තිබෙන ස්ථාවරය ලෝක සාමය රැකගැනීම සහ කලාපීය සංවර්ධනයට විශාල බලපෑමක් කරනු ඇත.

විදේශ ප්‍රතිපත්තිය – රාජ්‍යතාන්ත්‍රික බව

ජපානයේ ටෝකියෝ නුවර පැවැති “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei Forum) හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කළේ ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ගැනය.

ආසියාවේ විවිධත්වය කලාපයේ ආර්ථික වර්ධනයට දායක වන සාධකයක් වන බවත් එය සැළකිය යුතු ගෝලීය බලවේගයක් බවත් ඔහු පෙන්වා දී තිබිණි. මේ වන විටත් පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් සහ බිලියන 4.75 ක් එනම් ගෝලීය ජනගහණයෙන් 60%ක් සිටින ආසියාව ලොව විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති නමුත් ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ එයට හිමි තීරණාත්මක බව තවම නොසලකා හැර තිබේ. එසේම, ආසියා-පැසිෆික් කලාපය සහ ඉන්දියන් සාගරය අතර වෙනස පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිවරයා ආසියා-පැසිෆික් කලාපය ව්‍යුහගත කලාපීය සංවිධානයක් වන අතර ඉන්දියන් සාගර කලාපය නැගී එන අවකාශයක් බව ද සඳහන් කළේ ගෝලීය බලවේගයක් ලෙස මෙම කලාපය ගොඩනැංවීමේ අනාගත අපේක්ෂා සහිතවය. එසේම එම කාර්යභාරය වෙනුවෙන් ඇති අයිතිවාසිකම ගැනද ඔහු පෙන්වා දුන්නේ 1955 බැන්ඩුං නුවර පැවති ආසියානු අප්‍රිකානු සමුළුවේ දී සහ ඉන්දියන් සාගරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයේ ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් ලෙස නම් කර තිබීමෙන් බලගතු රාජ්‍යයන්ට මෙම කලාපයේ වැඩවලට ඇඟිලි නොගසා කටයුතු කිරීම විය යුතු බව මතක් කරමිනි. එසේම ගෝලීය මහා බලවතුන්ගේ එදිරිවාදිකම්වලදී ඒ ඒ කඳවුරුවලට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් ආසියානු ජාතීන් වැළකී සිටින බව ද කීවේ එම බල අරගලවලට මැදිහත් වී කලාපීය ගොඩනැංවීම් විනාශ කරනොගත යුතු බැවිනි.

අද ඇමරිකානු – චීන එදිරිවාදිකම කලාපීය වශයෙන් තීරණාත්මක සාධකයක් බවට පත්වෙමින් පැවැතීම නොවිය යුතු බව පෙන්වා දුන්නේය. මෑත කාලයේ එම එදිරිවාදිකම තීව්‍රවීම නිසා ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ ජපානය අතර (QUAD) වන කලාපයත්, අනෙක් පසින් ඉන්දු-පැසිෆික් කලාපය සහ (BRI) එක තීරයක් – එක මාවතක් ඇති විය. මෙය පැහැදිලිවම කලාපීය පැවැත්මට අභියෝගයකි. මේ මත ඔහු ආසියාව දෙකඩ කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ඇමරිකානු – චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කළේ මේ බලවත් රාජ්‍යයන් දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල කිරීම විය නොවිය යුතු බවත් සියලු‍ බල කඳවුරු සමඟ වන අනෝන්‍ය සහයෝගිතාව මත මැදිහත් පිළිවෙතකට කලාපයට පැමිණිය හැකි බවය. ඒ අතර චීනය සමඟ ස්ථාවර සහ ඵලදායී සබඳතාවක් ගොඩනඟා ගැනීමට ගෙන ඇති G7 (අමෙරිකාව, ජපානය, ප්‍රංශය, බි්‍රතාන්‍යය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව සහ යුරෝපා සංගමය) ස්ථාවරය ශ්‍රී ලංකාව පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා, එයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත්, එය සාමකාමී වාතාවරණයක් උදාකර ගැනීමට ඉවහල් වන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම “නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික්”‍ කලාපයක් සඳහා ජපානයේ දැක්මට සහාය පළ කළ ජනාධිපතිවරයා කලාපයේ සාමය සහ සහයෝගීතාව පෝෂණය කිරීම සඳහා ආසියානු ජාතීන් අතර විවෘත සංවාදයක් ද ඉල්ලා සිටියේය.

මෙම සමුළුවේදී ජනාධිපතිවරයා තවත් වැදගත් කාරණයක් පෙන්වා දුන්නේය. ඒ කලාපීය රටවල දේශපාලන ක්‍රමවල වෙනස්කම් සහ මානව හිමිකම් පිළිබඳ එකිනෙකා තුළ තිබෙන අවබෝධයේ විවිධත්වය පිළිබඳවය. විශේෂයෙන්ම මේ තත්වයන් දඩමීමා කරගෙන බටහිර රටවලින් එල්ල වන බලපෑම්වලට නතුවීමට සිදුවීමේ ගැටළුව ගැනය. මූලික දේශපාලන වටිනාකම් පිළිබඳ සම්මුතියකට එළැඹීමේදී ජාතීන්ට අයත් විවිධ පසුබිම් සලකා බැලීම විය යුතු බවත් නීති මත පදනම් වූ වැඩපිළිවෙළක් සදහා නීතිරීති පිළිපැදීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අතර මෙම නීතිරීති අඛණ්ඩව අනුගමනය කරන ලෙස බටහිර රටවලින් ඉල්ලා සිටියේය.

කොහොම නමුත් මෙම ගැටළු බාධා හමුවේ සියළුම ආසියානු රටවල් අතර සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගතයේදී ප්‍රධාන ආසියාතික රටවල් එකඟතාවකට පැමිණීමේ හැකියාව මත කලාපීය සාර්ථකත්වය රඳා පවතින බව පැවසීය.

ඉන්දු-පැසිෆික් කලාපයේ බහු ස්ථර සම්බන්ධතාවයක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ “‍සාමය සඳහා වූ මූලධර්ම සහ සෞභාග්‍යය සඳහා වූ නීති”‍ ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා පූර්ණ සහය පළ කරන බවත් ජනාධිපති වික්‍රමසිංහ පැවසීය. සෞභාග්‍යය සඳහා වන රීතිවලට අනුකූලව, ශ්‍රී ලංකාව ආර්ථික ලිහිල්කරණයේ ඉහළ මට්ටමක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (RCEP) හි සාමාජිකත්වය සඳහා ඉල්ලු‍ම් කරන බවත් ඔහු පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන බලකඳවුරු දෙක ඉලක්ක කළ විවේචනය මෙන්ම කලාපීය බල කඳවුරක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් කළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් වැදගත් ප්‍රකාශයකි. එහෙත් මෙහි ඇති වැදගත්ම දේ මේ කරුණු කාරණා ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට බලපාන්නේ කෙසේ දැයි සලකා බැලීමය. වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන අර්බුද ජය ගැනීමත් බරපතල ගැටළුවකට මුහුණ දී තිබියදී කොහෙවත් ඇති ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙනුවෙන් ජනාධිපති රනිල් හොට දාන්නේ තවත් මොන මරාලයක් රටට පාත් කරගන්නද කියා ඇතැමුන් ප්‍රශ්න කරමින් තිබෙනුද දකින්නට තිබිණි. එසේම ජනාධිපතිවරයා ඇමරිකන් ගැත්තකුය, ඒ නිසා චීනය මෙම කලාපය තුළ කරන මැදිහත්වීමට එරෙහිව මෙම ප්‍රකාශය කළ බවටත් ඇතැම් විග්‍රහයන් පළවී තිබිණි. නමුත් ජනාධිපතිවරයා සත්‍ය ලෙසම මැදිහත් වූයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බාහිර අර්බුදයන්ගෙන් ගලවා 2048 වන පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් ගොඩ නංවාලීම වෙනුවෙන් වන ජාත්‍යන්තර වටපිටාව රටට වඩාත් හිතකර ලෙස ගොඩනංවා ගැනීම වෙනුවෙනි. මෙය සංවර්ධනය වෙමින් පවතින කලාපයේ සෙසු රාජ්‍යයන්ටද තිබෙන ගැටළුවක් විසඳාදීමට මැදිහත් වීමකි. ඒ සඳහා ඔහුට කෂේරුකාවක් තිබීම ගැන ශ්‍රී ලාංකිකයන් වශයෙන් එය අගේ කළ යුතුව ඇත. කොහොම නමුත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රතිපත්තිමය එළඹුම රටේ අභිවෘද්ධියට හේතු වන්නේ කෙසේදැයි විමසිය යුතුය.

අපේ අරගලය 2048

පසුගියදා “ජාතික පරිවර්තන මාර්ග සිතියම” ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. “ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක, සමෘද්ධිමත් ගමනක් යාමට සූදානම්. අප ඒ ගමන ඉදිරියට යා යුත්තේ කෙසේද? ඒ සඳහා අප අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?” යන්න ගැන ඔහු පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර සිටියේය. පැවැති අර්බුදකාරිත්වයෙන් රට මුදවාගත් පසුව ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් දීර්ගකාලීන වැඩපිළිවෙලෙහි පදනම සැකසීම මෙමගින් ඉදිරිපත් කර තිබිණි.

මේ අනුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධන, සමාජ ආරක්ෂණ ජාලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන කුලු‍නු 04ක් ඔස්සේ රටේ ඉදිරි ගමන සැලසුම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැහැදිලි කිරීමක් කරනු ලැබුවේය.

මෙම පියවරයන් මඟින් ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන අතර, ඊළග වසර 25 තුළ ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන බව පැවසූ ජනාධිපතිවරයා එම මුල් වසර 05න් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ ඊළඟ පරම්පරාවට පැවරෙන බවත් ඒ සදහා තරුණ තරුණියන් සූදානම් කරවන බවත් කියා සිටියේය. රටේ සංවර්ධනයට අවශ්‍ය පදනම ශක්තිමත්ව නිවැරදිව සකස් කළ පසු ඒ මත හිඳ ඉදිරි පරම්පරාවට අවශ්‍ය ගොඩනැංවීම් අනාගතයට ගැලපෙන ආකාරයෙන් සිදු කළ හැකිය. නිදහසෙන් පසුව මෙවැනි පුළුල් වැඩ පිළිවෙලක් වෙත යෑම මඟහැරී තිබුණකි. විවිධ පාලනයන් තමතමන්ගේ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් කළ කී දේ මිස අනාගතය ඉලක්ක කළ දියුණු සංවර්ධනාත්මක ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙළ නොතිබීම රට බංකොළොත්වීම දක්වා ගෙන ආ බව නැවත පැහැදිලි කළ යුතු නැත.

මෙම “ජාතික පරිවර්තන මාර්ග සිතියම” ඔස්සේ ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් අප ගන්නා තීරණ කෙතරම් දුෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියේය.

මෙම වැඩපිළිවෙල “2048 වන විට ලෝකයේ පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වීමේ අපේ ඉලක්කය ඉටු කර ගැනීමටයි. නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි අපේ ආර්ථිකය හැඩගස්වා ගත්තේ නැත්නම් අපට යන්නට සිදු වෙන්නේ ආපස්සටයි. එවැනි අවගමනක ප්‍රතිඵලය වෙන්නේ රට ආර්ථික යටත් විජිතයක් බවට පත්වීමයි.” කලින් පෙන්වා දුන් පරිදි ජාත්‍යන්තරය බල දේශපාලනය තුළ ලංකාව දැනටත් පවතින්නේ අමෙරිකානු සහ චීන බල කඳවුරු අතර දෝලනය වෙමින් ඔවුන්ගේ ආර්ථික යටත් විජිතයක් බවට පත්ව එහි කොන්දේසිවලට යටත්වය. රටේ ආර්ථිකය තීන්දු වූයේ ඒ අනුවය. කලාපීය බල කඳවුරක් නිර්මාණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා තේරුම් ගෙන තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බල දේශපාලනයෙන් ගැලවී මිස කිසිවකුට පක්ෂග්‍රාහීවීමෙන් මෙය සිදු කළ නොහැකි නිසාය. ඒ අනුව “ජාතික පරිවර්තන මාර්ග සිතියම” සහ මෙම වසර අවසන ඉදිරිපත් කරන “ජාතික ප්‍රතිසංවිධාන සැලසුම” ද රට සමස්ථ පද්ධතියක් ලෙස සලකා සිදුකෙරෙන විප්ලවීය මෙහෙයුමක් වෙනු ඇත. මේ වැඩපිළිවෙල සහ එහි ක්‍රියාත්මක වීම දීර්ග වශයෙන් සාකච්ඡාවට සංවාදයට විසංවාදයට ලක්කරමින් සහ ඊට සහභාගී වීමෙන් 2048 සංවර්ධික ශ්‍රී ලංකාවක් බිහි කරගැනීමට දායකවීමට මෙරට සියළු පුරවැසියන්ට හැකියාව තිබේ. එමෙන්ම එය යුතුකමක් වගකීමක් කර ගත යුතුය. එසේ නොමැතිව එම ඉලක්ක ජයගැනීමට නොහැකිය.

ඒ අතර ජනාධිපතිවරයා රටේ සියළු වෘත්තීය ක්ෂේත්‍රවල, ව්‍යාපාරික ක්ෂේත්‍රවල ප්‍රධානින්, අමතමින් මේ සංවර්ධන සිහිනය සැබෑකර ගැනීම වෙනුවෙන් ඒ ඒ ක්ෂේත්‍රවල දායකත්වය සම්බන්ධයෙන්ද මේ වන විට සංවාදයක් පවත්වාගෙන යයි. පසුගියදා ජාතික නීතිඥ සමුළුව හමුවේ මෙරට අධිකරණ විනිසුරුවරුන් නීතිඥයන් අමතා පැහැදිලි කළේ මෙරට දිගුකාලීන සංවර්ධනය සහතික කරන, ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක සිට සංවර්ධිත රටක් කරා ගෙන යන නීති අපගේ නීති පද්ධතියට හඳුන්වා දීමට නීති ක්ෂේත්‍රයේ විය යුතු ප්‍රතිසංස්කරණයන් ගැනය. මේ අනුව ජනාධිපතිවරයා සිල්ලර වැඩවලින් ඔබ්බට ගොස් සමස්ත ක්‍රියාවලියක් වෙනස් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලකට අත ගසා ඇති බව පැහැදිලිය. මෙය රටේ ඉතිහාසය වෙනස් කරන විප්ලවීය ක්‍රියාදාමයක් වන්නේ ඒ නිසාය.

– ජයතුංග බණ්ඩාර