රිලවුන් වාගේ වෙන්න එපා ! රිලවු කරන දේ කරන් එපා!

0

මේ දිනවල ලංකාවේ මාධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් වී ඇත්තේ “‍රිලවා”‍ය. ඒ ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක ප්‍රමාණයක් චීනය විසින් ඉල්ලු‍ම් කර ඇති බවට පළ වූ පුවතක් නිසාය. මේ සම්බන්ධයෙන් විවිධ මත පළ වූ අතර, මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ චීනයේ සත්වෝද්‍යාන දහසක් පමණ පවත්වාගෙන යනු ලබන සමාගමක්
විසින් සිය සත්වෝද්‍යාන වෙනුවෙන් ලංකාවේ රිලවුන් ලක්ෂයක් ඉල්ලා ඇති බවත්, එම රිලවුන් ලබාදීම සම්බන්ධයෙන් මේ වන තුරු අවසන් තීරණයක් ගෙන නැති බවත්ය.

මේ අතර පසුගියදා චීන තානාපති කාර්යාලය ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රිලවුන් ලක්ෂයක් ඉල්ලා නොමැති බවත්, පර්යේෂණාත්මක අරමුණක් සඳහා චීන පෞද්ගලික සමාගමකට රිලවුන් ඉල්ලා ඇති නමුත් ලක්ෂයක ප්‍රමාණයක් ඉල්ලා නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තිය පළ වූ පසු පසුගිය සතිය දෙක පුරා මෙරට විවිධාංගීකරණය වූ පුවත් මැවීමට මෙම සිදුවීම හේතු විය. විශේෂයෙන්ම පරිසර සංවිධාන හා සත්ත්ව සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් රිලවා රැකගැනීම වෙනුවෙන් රජයට එරෙහිව සිය අදහස් දැක්වීම උදෙසා මෙම පුවත පාදක කර ගත් අතර, ගොවි සංවිධාන ඇතුළු රිලවාගේ නොපනත්කම්වලට ලක් වූ බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර තිබිණි. සිදුවන සිදුවීම කෙසේ වෙතත් මේ ගැන අලු‍ත් කතාබහක් සමාජය තුළ නිර්මාණය කිරීමට මෙම රිලා පුවත හේතු විය. එනම් ලංකාවේ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයට වන සතුන්ගෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් හා ඒවාට මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධවයි. ලංකාවේ කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියට අදාලව සතුන්ගෙන් වන හානිය වෙනුවෙන් රජය හා විවිධ කණ්ඩායම් විසින් විවිධ පර්යේෂණ සිදු කළ නමුත් මේ වන තුරුත් ‘තිරසර වැඩ පිළිවෙලක්’ ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වී ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගියදා ප්‍රකාශ කළේ රිලවුන් හා දඬුලේනුන් විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්නට බරපතල හානියක් සිදු කරන බවයි. 2022 වසරේ පමණක් රිලවුන් හා දඬුලේනුන් විසින් පොල්ගෙඩි මිලියන 200ක් විනාශ කර ඇති බවත් අමාත්‍යාංශය පවසා ඇත. එමෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය පවසන්නේ වසරකට රිලවුන් විසින් පොල්ගෙඩි මිලියන 107කට අධික ප්‍රමාණයක් විනාශ කරන බවයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ද මිලියන 3200ක් වන අතර, ඒ අනුව වාර්ෂික නිෂ්පාදනයෙන් 4%ක පමණ ප්‍රමාණයක් රිලවුන් විසින් විනාශ කරනු ලබයි. පොල් වගාවේ සත්ව බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 21ක් අතුරින් වැඩිම හානිය වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. පොල් වගා කර ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 275,540ක් වන අතර, ඉන් 21%ක ප්‍රමාණයක් වන සත්ව බලපෑමට ලක් වී ඇත.

හානි වී ඇති වපසරිය අනුව වී වගාව දෙවන තැන ගන්නා අතර 2021-2022 මහ කන්නයේ වී වගා වපසරියෙන් හෙක්ටයාර 31,922ක් වන සත්ව උවදුරට ලක්ව ඇත. 2022 වසරේ පළමු භාගය තුළ ආහාර භෝග 28ක නිෂ්පාදන මෙටි්‍රක් ටොන් 144,989ක් සහ පොල් ගෙඩි මිලියන 93ක් වන සත්ව හානි මගින් විනාශ වී ඇත. මෙම භෝග නිෂ්පාදනයේ වටිනාකම රුපියල් මිලියන 30,215ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙය කෘෂි ක්ෂේත්‍රයට වන දැවැන්ත හානියක් වන අතරම, එය ආහාර සුරක්ෂිතතාවයට සෘජුව බලපෑම් එල්ල කරනු ලබන තත්වයකි.

මෙය මූල්‍ය විශ්ලේෂණයක් පමණක් වන අතර, මෙම සංඛ්‍යා ලේඛන මගින් හෙළි කරන්නේ අහිමි වන මූල්‍ය පිරිවැය පමණි. මෙයට අමතරව රටට අහිමි වන ආහාර ප්‍රමාණය, රැකියා අවස්ථා අහිමිවීම හා රැකියා අවස්ථාවන්ට තර්ජන එල්ල වීම, ආහාර සඳහා ජනතාවට වැඩි වැයබරක් දැරීමට සිදුවීම, වගා කටයුතු අත්හැරීම, වෙනත් පාරිසරික ගැටළු ජනනයවීම වැනි සමාජ කාරණා සම්බන්ධයෙන් මෙකී ගණනයන් තුළ තොරතුරු ඇතුළත්ව නැත. ඒ අනුව තොරතුරු සැලකීමේදී මෙය සැහැල්ලුවෙත් සැලකිය යුතු කරුණක් නොවන බව පැහැදිලිය.

මහා පරිමාණ වගා කටයුතුවලට අමතරව ගෙවතු ආශ්‍රිත සුළු භෝග වගාවන්ට ද රිලවුන් විසින් සිදු කරන හානිය සුළුපටු නැත. මෙම වගා හානියට අමතරව රිලවුන් විසින් අති දැවැන්ත ආකාරයෙන් භෞතික හානීන් සිදු කරන අතර, රිලවුන් විසින් සිදු කරන නිවාස හානි ඇතුළු බොහෝ හානීන් මේ වන විට ව්‍යසනයක මට්ටමට පත්ව ඇත. මෙය සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ල කරන තත්වයට පත්ව ඇති අතර, මෙම තත්වය පාලනය කිරීම සඳහා සැලසුම් සහගත තිරසර පියවරයන් ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. කෙසේ වෙතත් රිලා ගැටළුව මතින් හෝ ලංකාවේ මෙකී ව්‍යසනයන් සම්බන්ධයෙන් කතිකාවන් මතුවීම වැදගත්ය. එසේම වහ වහා ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතුව ඇති අතර, වැදගත් හා අත්‍යන්‍ශ්‍ය කරුණ වන්නේ එසේ ගනු ලබන පියවර තිරසර පියවරක්වීමයි.

මේ සම්බන්ධයෙන් ගෝලීය උදාහරණ ඕනෑතරම් දක්නට ඇත. ඔස්ටේ්‍රලියාවේ ජාතික සත්වයා කැන්ගරුවා වන අතර, පසුගිය කාලයේ අවස්ථාවන් ගණනාවකදී ඔස්ටේ්‍රලියානු රජය විසින් කැන්ගරු ගහණය අඩු කිරීම උදෙසා රජයේ මැදිහත්වීමෙන් කැන්ගරුවන් මරා දැමීම ද ඔටුවන් නිසා සිදුවන හානිය අවම කිරීම වෙනුවෙන් ඔටුවන් දසදහසක් මරා දැමීමද සිදු කෙරිණි. 2019 වසරේදී නවසීලන්තය හාවුන් දහස් ගණනක් මරා දැම්මේ හාවුන්ගේ ගහණය අධිකවීමත් උන්ගෙන් වගා හානි සිදුවීමත් සැලකිල්ලට ගනිමිනි.
ස්වභාවිකව පාලනය නොවන සතුන්, මිනිසාටත් අවට පරිසරයටත් කරදරයක් වන අවස්ථාවලදී, පාලනය කිරීමේ අරමුණින් මරා දැමීම රටවල් බොහොමයක සිදුවන ක්‍රියාවකි. කැනඩාව, ඇමෙරිකාව, බි්‍රතාන්‍යය වැනි රටවල මෙය වසර පහකට හෝ දහයකට වරක් සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියකි. මේවා සම්බන්ධයෙන් සත්ව අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරීන්, පරිසරවේදීන් කවර මැසිවිල්ලක් නැඟු‍වද ප්‍රශ්නයට තිබෙන විසඳුම පාරිසරික සමතුලිතභාවයට හානියක් නොවන්නට පරිස්සමෙන් ක්‍රියාත්මක කරන්නට සිදුවේ.

කෙසේ වෙතත් ලංකාවේ පවතින අනෙක් ගැටළුව වන්නේ සංස්කෘතික මතවාද හා ආගමික සංකල්ප මත අච්චාරුවක්ව පවතින ආකල්පයන්ය. විශේෂයෙන්ම අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් මත ක්‍රියාත්මක ශ්‍රී ලංකාව තුළ කළින් කලට ඔවුනොවුන්ගේ දේශපාලන ආස්ථානයන්ට අභිමත ක්‍රියාපටිපාටීන් ක්‍රියාවට නන්වන තත්වයක් තුළ විසඳුම් විගඩම්කාරීව අවසන් වේ. කෙසේ වෙතත් මේ වන තුරුත් කිසිදු තිරසර ක්‍රියාවලියක් ඉදිරිපත් කර නොමැති තත්වයක් තුළ මෙවැනි පුවත් තවත් ඉදිරියේදී ඇතිවීම වැළැක්විය නොහැකිය.

දැන් කළ යුතු වන්නේ අපටම ගැලපෙන සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමයි. එකී ක්‍රියාමාර්ග ක්‍රියාවට නන්වද්දී සංස්කෘතිකවාදීන් හෝ ආගමික න්‍යායාචාර්යවරුන් හෝ අන්තවාදී දේශපාලනකින අවස්ථාවාදීන්ගේ පුහු තර්ක හෝ ගර්ජනාවන්ට යට නොවිය යුතුය. ගණනය කළ යුත්තේ මෙවන් පුහු අවස්ථාවාදීන්ගේ තක්කඩි ප්‍රකාශයන් නොව, ඉදිරිපත් වන්නා වූ යෝජනාව ක්‍රියාවට නැන්විය හැකිද යන්න හා එය ඵලදායීද යන්න පමණක් නොව එකී ක්‍රියාවලිය තිරසර යෝජනාවලියක්ද යන්නය. එසේ නොවන තාක් අනාගතයේත් අපට රිලවු නැටවීම කෙසේ වෙතත් රිලවු අපව නටවනු ඇත.

  • රිද්ම අනුරාධ ගමගේ

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *