‘කුඩු සාලිය‘ ඒක පාතාලේට ගැලපෙන නමක්

”panic වෙච්ච වුන් කෝ… නීතිඥ සංගමේ සභාපති කමට වඩා හරක් කටා මහත්තයා ගෙවන ගාන ලොකු වුණාම”

මේ පසුගිය දවසක බුකියේ තිබුණු පෝස්ට් එකක්. ඒ එක්කම ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගේ මුහුණ එක්ක දාලා තිබුණේ ඉමේජ් එකේ මෙන්න මෙහෙම සටහනක් තිබුණා.

” නීතිඥ සංගමේ සභාපති කමට වඩා දේශප්‍රේමී හරක් කටා තුමා නිදහස් කරගැනීම මට වටිනා නිසා සභාපති කමෙන් මම අස්වෙනවා.” , ”සාලිය පීරිස් මහත්තයා අවංක කෙනෙක් පුතේ”

ඔය එකක් විතරයි. පහුගිය දවස් කිහිපයේම මේ වගේ පෝස්ට් ගණනාවක් බුකියේ වෛරල් වෙමින් තිබුණා. ඒ සමහර අදහස් දැක්වීම් වල ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ව හඳුන්වා තිබුණේ ”කුඩු සාලිය” කියලා. දැන් එතකොට සාලිය පීරිස් ගේ නම ”හරක් කටා” කියන සැකකරු සමඟ සම්බන්ධ කරලා මේ ”කුඩු සාලිය” කතා හැදුණේ කොහොමද ?

ඒ කතාව පටන් ගන්නේ මෙහෙමයි. පොලිස් වාර්තා අනුව මෑත කාලයේ ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සහ බිහිසුණු ඝාතන ගණනාවක් මෙහෙයවූ චරිත දෙකක් බව කියන අපරාධකරුවන් දෙදෙනකු බවට හඳුනා ගෙන තියෙන, නඳුන් චින්තක (හරක් කටා) සහ සළිඳු මල්සිත (කුඩු සළිඳු), පසුගියදා මැඩගස්කරයේ ඉවාටෝ ගුවන්තොටුපළේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට අරගෙන තිබුණා. පස්සේ මේ සම්බන්ධව මෙරට ආරක්ෂක අංශ වෙත දන්වන්නටත් එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා. ඒ මේ දෙන්නම ශ්‍රී ලංකාවට අවශ්‍ය රතු වරෙන්තු නිකුත් කෙරුණු සැකකරුවන් වුණ නිසා.

මැඩගස්කර් ආරක්ෂක අංශ වල දැනුම්දීම සමඟ ක්‍රියාත්මක වුණු, ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මැඩගස්කරයට පිටත්ව ගොස් අත්අඩංගුවේ පසුවුණු, නඳුන් චින්තක සහ සළිඳු මල්සිත, ඇතුළු තවත් පුද්ගලයන් 6 දෙනෙකු මෙරටට ගුවනින් රැගෙන ආවා. ඒ මාර්තු 15 වෙනිදා. මේ වෙනකොට ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඔවුන් දින 90 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඉන්නේ.

දැනට ප්‍රසිද්ධ කර තිබෙන පොලිසියේ අපරාධ වාර්තා අනුව නම් නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ කියන්නේ පුද්ගල ඝාතන 5ක්, කොල්ලකෑම් 6ක් සහ මහ පරිමාණයෙන් මුහුදු මාර්ග හරහා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670කට අධික ප්‍රමණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා ලත් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙක්. ඉතිං මේ නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඉල්ලලා, ඔහුගේ මව්පියන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකරන්න කටයුතු කරනවා. ඒ මාර්තු 20 වනදා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමයි මේ පෙත්සම කැඳවීම සිදුවෙන්නේ.

මෙහිදී ‘හරක් කටා’ නමැති සැකකරු වෙනුවෙන් ඔහුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා යටතේ. එන්න එහෙමයි නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා” එක්ක සාලිය පීරිස් ගේ නම ගැට ගැහෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ නඩුව වෙනුවෙන් සාලිය පීරිස් රුපියල් ලක්ෂ 10 ගත්තා, ඇමරිකානු ඩොලර් මිලියනයක් ගත්තා කියලත් කතා බුකියේ වගේම කනින් කොනින් අහන්න දකින්න ලැබුණා.

මේ කතා කට කතාවෙන් , බුකියෙන් අවසන් වුණේ නෑ. මාර්තු 24 වෙනිදා සාලිය පීරිස් ගේ නිවාස ඉස්සරහා පිරිසක් පැමිණ විරෝධතාවකද නිරත වුණා. මේ විරෝධතා අනෙක් විරෝධතා වගේ නෙවෙයි. කොයි විරෝධතාවටත් මූණ දාන වෘත්තීය විරෝධතාකරුවන් එතන හිටියේ නෑ. ඒ වෙනුවට එතන හිටියේ හරක් කටා ලගේ ඕඩර්ස් වලට ඝාතනය කෙරුණු බව කියන සැමියාට යුක්තිය පතාගෙන පැමිණි දරුවන් වඩාගත් බිරින්දෑවරුන්. ඝාතනය වූ දරුවට, සහෝදරයට යුක්තිය හොයන මව්පියන් සහ ඥාතීන්. මේ විරෝධතාකරුවන් කිව්වේ ‘හරක් කටා’ නමැති මෙම අපරාධකරුවා විසින් සිය ඥාතීන් ඝාතනය කරා කියලා. ඒ, වෙනුවෙන් තමන්ට පොලීසියෙන් හෝ නීති මාර්ගයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් හිමිවුණේ නෑ කියලා. එවැනි තත්ත්වයකදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ‘හරක් කටා’ වෙනුවෙන් ඉදිරිපත්වීම යුක්ති සහගත නැති බවත් ඔවුන් සඳහන් කළා.

ඒ වගේම චමුදිත සමරවික්‍රම සමඟ හදමඑමඉැ නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියකු වන කීර්ති රත්නායක පවසා සිටියේ නඳුන් චින්තක නොහොත් හරක් කටා මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගැනීමට පෙර පළමුවරට ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වූවත් ලංකාවේ ඉහළ පෙළේ නීතිඥවරුන් කණ්ඩායමක් හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවේ බලපෑම මත ලංකාවට ගෙන ඒමේ ප්‍රයත්නය ව්‍යර්ථ වුණා කියලයි. ඒ නීතිඥ පිරිසට උපදෙස් දෙනු ලැබුවේ නීතිඥ සාලිය පීරිස් බවටත් ඔහු චෝදනා කළා. ඒ වගේම එක රීට් ඇපිල් එකක් සඳහා ලක්ෂ 50 කට අධික මුදලක් සාලිය පීරිස් ගන්නා බවත් එක ක්‍ෂෘ විසිට් එකක් සඳහා ලක්ෂ 10ක් පමණ ගන්නා බවත් කීර්ති එහිදී කියනවා. ඒ විතරක් නෙවෙයි, තවත් පාතාලයන් ගණනාවකගේ නීති උපදේශක සාලිය පීරිස් බවටත් ඔහු චෝදනා කරනවා.

මේ විදිහේ ප්‍රසිද්ධ ප්‍රකාශ එතැනින් නැවතුණේ නෑ. මාර්තු 21 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් වගේම මන්ත්‍රි ඩී.වී. චානක සාලිය පීරිස් සහ හරක් කටා සම්බන්ධය ගැන අදහස් දැක්වූවා. එහිදී ඉන්දික අනුරුද්ධ කිව්වේ අරගල සමයේ අරගලකරුවන්ට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපතිව සිටි නීතිඥ සාලිය පීරිස් මහතා මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයෙකු වූ ‘හරක් කටා’ ලෙස හඳුන්වන පුද්ගලයා වෙනුවෙන්ද පෙනී සිටින බවයි.

ඒ වගේම ” ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා ගමන් බිමන් යන්නේ ජෙට්වලින්. ඔහු වෙනුවෙන් අද පෙනී සිටින්නේ නීතිඥ සංගමයේ සාලිය පීරිස්. එතකොට එයා කොහොමද පොලිස්පතිවරයා තෝරන එකට අරයගෙ, මෙයාගෙ දූෂණ තියෙනවා කියන්නේ. එයා ගිහින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට පෙනී සිටිනවා. මේවා හරි ලැජ්ජයි. මේ රටේ දේශපාලකයන්ට චෝදනා කරලා කටයුතු කරපු අයගේ නිරුවත දැන් හෙළිවෙලා. ඒ නිසා රටේ අනාගතය ගැන සිතලා අපි කටයුතු කළ යුතුයි. මේ අය කටයුතු කරද්දි රටේ අනාගතය ගැන සිතිය යුතුයි. නීතිඥ සංගමය සිතිය යුත්තේ රට පිළිබඳවයි.” කියලත් ඉන්දික අනුරාධ කිව්වා.

එකිනෙකට සම්බන්ධයක් තිබුණත් නැතත්, ඔන්න ඔහොම කතා පෙළක් මැද තමයි, සාලිය පීරිස් කියන උගත් ජනාධිපති නීතිඥතුමා, කුඩු සාලිය කියලා බෞතීස්ම වෙන්නේ. අපි ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේවා සාලිය පීරිස් කියන උගත් නීතිඥතුමාට ගහන මඩ කියලා. කොහොමටත් සාලිය පීරිස් කියන්නේ ලංකාවේ ඉන්න ජ්‍යේෂ්ඨතම නීතිඥයෙක්. ජනාධිපති නීතිඥයෙක්. සරලවම කිව්වොත්, නීති ක්ෂේත්‍රයේ පොරක්. නමගිය ගෝලයන් රැසක් ඉන්න ඉන්ටර්නැෂනල් කන්ටැක්ට් තියන බුලට් එකක්. ඒ විතරකුත් නෙවෙයි, ගෝල්ෆෙස් අරගලය අවස්ථාවේ ‘අරගලයේ නීතිඥවරයා‘ කියලා, ඔය හොඳට ඇඳලා හිටපු අරගල බෝයිස්ලා අතින් බෞතීස්ම ලබපු චරිතයක්.

විශේෂයෙන් නිර්පාක්ෂික සාමකාමී අරගලය විවිධ කල්ලි කණ්ඩායම් විසින් රට අරාජික කරන දිග්ගැස්සුණු ප්‍රචණ්ඩත්වයකට ඇදදමන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ගත්තා. ඒ වෙලාවේ ඔවුන් වෙනුවෙන් පෙරට ආපු නීතිඥයන් අතර සාලිය පීරිස් ඉදිරියෙන්ම හිටියා.

ඔය විතරක් නෙවෙයි, අරගලය අස්සේ, විවිධ මත්ද්‍රව්‍ය ගජරාමෙට බිස්නස් වුණා කියලා එදා චෝදනා තිබුණා. කවදාවත් අයිස් ගහලා තියා දැකලවත් නොහිටපු උන් අයිස් ගැහුවා, සමහරුන්ට ගැස්සෙව්වා කියලා එදා චෝදනා ආවා, එකට හිටපු අරගලකරුවන් මරාගත්තේ කාමර බෙදාගන්න බැරුවම නෙවෙයි, ඩ්රග් ඩෝස් ඕවර් ගිහින් කියලා කතා ගියා. ඒ වගේම කුඩු ගහපු උන් වගේම, කුඩු විකුණපු උනුත් අරගලය පිටින් තම තමන්ගේ ගේම ගහගත්තා කියලා කතා ගියා. ඔය ඩ්රග් ඩීලර්ලා, ඩ්රග් ඇඩික්ට්ලා තමයි, ප්‍රචණ්ඩත්වය ඇතුළේ අරගලය නඩත්තු කරන්න ගත්ත උත්සාහ ගැන ඔය අරගල බිමේ හිටපු උන්ම තැන තැන කතා හලලා ගිහින් තිබුණා.

ඒ කතා මොනවා වුණත්, ජන අරගලේ.. සාමකාමී අරගලේ..නිර්පාක්ෂික අරගලේ… ගාගෙන ඒකේ කැත වහන්න සුදුහුණු ගාලා, රට අකර්මන්‍ය කරන්න හදපු, දිග්ගැස්සුණු ප්‍රචණ්ඩත්වයක් ඇතුළේ කුමන්ත්‍රණකාරී විදිහට බලය අල්ලන්න උත්සාහ කළ වුන්ව කුදලාගෙන ගිය, ආරක්ෂක අංශ වලට එරෙහිව මේ නීතිඥයන් කියන අය රංචුපිටින් මැදිහත්වීම් කලහම එතැන තියෙන්නේ යුක්තිය පසිඳලීමේ කතාවක් නෙවෙයි තනිකර දේශපාලනය. ඒක කොහෙත්ම නීතිඥ වෘත්තීය නෙවෙයි. නීතිඥ වෘත්තීය තියෙන්නේ අධිකරණය ඇතුළේ. ඔන්න ඔය කාරණය තමයි සාලිය පීරිස් නීතිඥතුමා හරියට තේරුම් ගත්තේ නැත්තේ. නැත්නම් තේරුම් ගියත් නොදන්නා ගානට ඉන්නේ.

අධිකරණ පනතේ 41 වැනි වගන්තියට අනුව නීතිඥයකුට සේවාදායකයකු නියෝජනය කිරීමේ අයිතිය පැහැදිළිව දක්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවේ නෛතික නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික කර තිබෙනවා. සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත්, තමන් කැමති නීතිඥයෙකු විසින් නියෝජනය කිරීමට අයිතියක් ඇති බවත් එහි සඳහන් වෙනවා. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහය අපරාධ නඩු වලදී නීතිමය නියෝජනය කිරීමේ අයිතිය ලබාදෙනවා. චූදිතයෙකුට නීතීඥවරයෙකු විසින් පෙනී සිටීමට අයිතියක් ඇති බවත්, අගතියට පත් සෑම පාර්ශ්වයකටම නීතිඥයෙකු විසින් අධිකරණයේ පෙනී සිටීමට අයිතියක් ඇති බවත් නීති සංග්‍රහයේ 260 වගන්තියේ සඳහන් වෙනවා.

මේ කරුණු එක්ක සාලිය පීරිස් නීතිඥයකු ලෙස හරක් කටා වෙනුවෙන් විතරක් නෙවෙයි, ඊට වඩා දරුණු අපරාධ චෝදනා ඇති, ඩ්රග් ගෝඩ් ෆාදර් කෙනෙක් වෙනුවෙන් වුණත් පෙනී සිටීමේ අයිතිය තියනවා. නමුත් එහෙම කෙනෙක්, පොලිස්පති පත්වෙන්න ඕන කොයිවගේ කෙනෙක්ද ? රට බාරගන්න ඕන කොයිවගේ උදවියද ? ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමත් දුෂ්කරතාවක තිබුණත් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුදල් වැයකළ යුත්තේ ඇයි ? වැනි කතා කියනකොට ලංකාව වගේ රටවලදී මිනිසුන්ට පොඩි පිළිකුලක් දැනෙනවා. මොකද සාදු සමාජයක් වෙනුවෙන් පෙනී හිටින අතරේ දරුණු ගණයේ අපරාධ චෝදනා ලැබුවන් වෙනුවෙන් ඒ විදිහටම පෙනී සිටින්නේ කොහොමද කියලා. යුක්තිය ඉටුනොවූ දහස් ගණන් වින්දිතයන් මැද, මත්ද්‍රව්‍ය මිනී මැරුම් වැනි අපරාධ චෝදනා ඇති පාතාල කෙරුමන් වෙනුවෙන්ද කිරි උනන්නේ කොහොමද කියලා.

ඒ විතරක් නෙවෙයි නේද ? මේ වෙනකොට කොලොම්බියාව, මෙක්සිකෝව වැනි රටවල් කේන්ද්‍ර කරගෙන තිබුණු ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම ආසියාවට වැඩි බරක් දාලා කටයුතු කරන්න නැවත පටන් අරගෙන තියෙන්නේ. ඛඔඔෑ සංවිධානයේ අවසානයත් සමඟ පකිස්ථානය – තායිලන්තය – ශ්‍රී ලංකාව මූලික කරගෙන මුහුද හරහා සිදුවූ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය සැළකිය යුතු මට්ටමකට අකර්මන්‍ය වුණා. මේ කටයුතු ආයෙත් පණගහලා ගන්න නම්, ලංකාව නැවත මර්මස්ථානයක් බවට පත්කර ගැනීමේ තීරණාත්මක වටිනාකමක් තියනවා. ඒ නිසා තමයි මෙච්චර කල් ලංකාවේ ඉඳලා ජාවාරම් සිදුකරපු උන් දැන් විදෙස් ගතව සිටිමින් ලංකාවේ මර්මස්ථානය ගොඩනගන්න උත්සාහ කරන්නේ. රට අරාජික කළොත් තමා එකට අවස්ථාව තියෙන්නේ. මේ නිසා සාලිය පීරිස්ලා රකින්න උත්සහ කළ අරගලයයි, මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවයි ගැට ගැහෙන තැන පැහැදිලියි. හරක් කටාලා , කුඩු සලිඳුලා පෞද්ගලික ජෙට් යානා පෞද්ගලිකව හයර් කරන තැනට පත්ව ඉන්නවා කියන්නේ, ඔවුන් ගෝලීය ජාවාරමුන් සමඟ කොච්චර දුර ගිහින්ද කියන දේ තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්.

ඉතිං සාලිය පීරිස් උගත් නීතිඥතුමනි, ඔන්න ඔහොම පසුබිමක එක පැත්තකින් නීතිඥ සංගමයේ සභාපති වගේ ධූරයක් දරන අතරේ වෘත්තිය නීතිඥයකු වීම නිසාම ඕනම දරුණු අපරාධකාරයෙක් වෙනුවෙන් මුදලට පෙනී සිටින ගමන් දේශපාලනයත් අඩුවක් නැතුව කරනවා නම්, එතනදී ”සදාචාරය” ප්‍රශ්න කෙරෙන එක නවත්වන්න බැරි කාරණයක් වෙනවා. මොකද නීති වෘත්තියට අදාළව පොදුවේ සදාචාරය යන්න අදාළ නොවුණට, දේශපාලනයේදී ”සදාචාරය” හරියට ප්‍රශ්න කෙරෙනවා. බොහොම කැත විදිහට ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතිං, නීති වෘත්තීය එක්ක දේශපාලනය එකට පටළවා ගත්තහම ” අපේ විතරක් නෙවෙයි සාලිය, ඔහේගේ කබායෙත් තුත්තිරි නේද ” කියලා අහනවා වගේ ,”කුඩු සාලිය” ටයිප් කාර්ඩ් වැදෙනවා. එතකොට අඬලා දොඩලා හැපිලා තේරුමක් නෑ. වෘත්තීය අයිතිය ගැන දේශනා තියලා වැඩකුත් නෑ. දැන් බලන්න ඔබට ”කුඩු සාලිය” කාර්ඩ් වැදුනට, ඔය වැඩේටම සලිඳුට පෙනී හිටපු නලින් නීතිඥතුමාට කවුරුත් මොකුත් කියන්න ගියේ නෑ. තේරුම් ගන්න ඕන දේ තමයි, ඔබ රකින්න සූදානම් නැති ”සදාචාරය” අනෙකාගෙනුත් අපේක්ෂා කරන්න නරක බව. කවුරුත් ඊට බැඳිලා නෑ. ඒ නිසා නීතිඥයෙක් ලෙස ඔබ දරන වෘත්තීය වගකීම එක්ක, සිවිල් දේශපාලනයට ආවට පස්සේ ප්‍රශ්න කෙරෙනවා. ඒක නවත්වන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි දෙකෙන් එකක් තෝරගන්න එක. තමන් සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන වැඩ කරන එක.

උසාවියේදී සාක්ෂි මත පදනම් වෙලා නීතියට අනුව තීන්දුව දුන්නට දේශපාලනයේදී එහෙම නෑ. කතා හැදෙන සේරම බෝසතුත් නෙවෙයි. ඒ වගේම තමයි බෝසත් වෙස් ගත්ත දේවදත්තලත් ඕන තරම් ඉන්නවා. පහුගිය කාලෙම කළු ආවෙම සුදු ඇඳගෙන බව මිනිස්සු මේ වෙනකොට තේරුම් ගනිමින් ඉන්නවා. ඕක තේරුම් නොගත්තොත් වරදින විදිහත් හිතාගන්න බැරි වෙනවා.

අසඩක්