” රැල්ලෙන් රැල්ලට පා….වේන ඔරූවේ
යන්නම් දියඹට රෑ ජාමේ

” රැල්ලෙන් රැල්ලට පා….වේන ඔරූවේ
යන්නම් දියඹට රෑ ජාමේ
අඹු දරුවෝ මා දෙයියෝ රකීවා..
එන තුරු මා උදේ මා ”

” ආ .. ඩප්පියා දැන් රැල්ලෙන්මයි නේද ගමන ”

” කෝමද සයිමයියා ඒක.. රැල්ල වෙරළට ආදරේ… ඒක නේ මේ පාර රැළි රැළි ගොඩාඊ.”

” හැබැයි පුතෝ ඔය රැලි එනවා යනවා. යනවා එනවා. මතකයිනේ කාලයක් තිස්සේ ඔය රැලි ආවා. ”

” ඇත්ත සයිමයියා. අපි හැමෝම හැම රැල්ලකට අහුවුනා. ඇති වෙච්ච සෙතක් නෑ”

” ඕක බං හරි හමන් පදනමක් නැති වුනාම වෙන දේ..”

” ඒ කිව්වේ සයිමයියා”

” මේක නේ බං පදනමක් තිබුණත් එක පාරට හැදෙන රැළිවලට ඔරොත්තු දෙන්න තරම් ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තන් බං ඔය හැම මගුලක්ම ගසාගෙන යනවා ආපුවාට වැඩිය වේගෙන් කඩාගෙන වැටෙනවා”

” හැබැයි සයිමයියා මේ පාර මේ රැල්ල නම් මිනිස්සු කියන්නේ පට්ට වැඩ්ඩෝ ටිකක් ඉන්න නිසා එහෙම වෙන්නේ නෑ කියල ”

” මේක බං රැසියාව නෙවෙයි නේ. තවත් ආසියාවේ අර ජාතිවාදි , ආගම්වාදී මොඩල් එකේම දුවන සෙට් එකක් නඩත්තු වෙන දූපතක්. ”

” මේ කියන දේ මේ වෙනස් වෙනවා. ටික දවසක් ගියාම එනවා ඔන්න තව කුමාරයෙක් අරගෙන තව සෙට් එකක්. ඒක පිටි පස්සේ හැදෙනවා තව මොනව හරි සෙට් එකක්, ඉතිං පස්සේ ඕක තමයි උඩට එන්නේ මෙහෙම වෙලා ඔය සෙට් එකක් උඩට එනවා. අන්න ආයෙමත් අර ආපු රැල්ල කොහේද කියල සොයාගන්නේ නැතිව යනවා. මතකයි නේ වෙච්ච දේවල් පහුගිය කාලේ”

” අම්මට සිරි මොකද මතක නැත්තේ කට්ටියක් චිත්‍ර ඇන්දා පාරවල්වල බිත්ති පුරවලා හෙන සීන් නේ ඉතිං ”

”අන්න හරි කෝ බං ඒවා නැතිවෙලා යන්න කොච්චර පොඩි කාලයක් ද ගියේ ”

” දැන් සයිමයියා කියන්නේ මේ රැල්ල බලය ගත්තොත් මොකක් වෙයි කියලද ”

” රැළි බලය ගනීවි. ටික කාලයක් ඔය පළාත් පාලන ආයතන ගැනත් බලාවි, ඊට පස්සේ බං කෝ වැඩ කරන්න සල්ලි. රටේ සල්ලි නැහැල්ලුනේ. මේවා සොයන්න එපැයි. ඔන්න ඒවට ආර්ථික වැඩක් දාගන්නවා නම් හරි, ඒත් ඒවා කරන්න තරම් ශක්තියක් තියෙනවාද ඒකටත්, උඩින් එපැයි සල්ලි පොම්ප කරන්න ඕනේ. පාරක් හදයි දෙකක් එහෙන් මෙහෙන් හදයි ඊට පස්සේ මොන මගුල්ද බං මේවා”

” ඇත්ත ඇත්ත සයිමයියා මේවා නම් මාර අපරාද ඇයි අප්පා මෙච්චර කෙළවලා තියෙද්දී මෙයාල මෙහෙම වෙන්නේ. ”

” වෙනවා නෙවෙයි බං කරනවා. දැන දැන කරනවා. බලයට කෑදර කමින් කරනවා. හිතාගෙන ඉන්නේ වැඩ දාල කියවලා ගේම දිනන්න පුලුවන් කියල ඔය කියන ඒවා හරි යනවද බං නගර සභාවට ”

” අම්මට සිරි ඇත්ත ඇත්ත බං අයියේ, මට ගුණේ අයියා කිව්වේ යකො මේ තියෙන සැලසුම් වැඩපිළිවෙලවල් හරි යන්නේ මහ මැතිවරණයකට වගේ දේවල්වලට කියල මොකද මේ පත සැලසුම් අරගෙන කොහොමද සභාවක් දුවන්නේ කියල ”

” අන්න බලපං ඒක නේ කියන්නේ තැනට හරි යන වැඩේ තෝරනවා නම් හරි හැබැයි මූද හත්ගව්වක් තියාගෙන මුන්දැල අමුඩේ ගහනවා.. අන්තිමට අමුඩෙත් නෑ මූද ලං වෙනකොට”

” ඒ කියන්නේ අමු නිරුවස්ත්‍රෙන්”

” ඔව් ඉතිං බං අන්තිමට කවුරුත් අමු හෙළුවෙන් තමයි ඒ නිසා රැළිවලට අහුවෙන්නේ පරිස්සමෙන් අමුඩෙත් නැතිවයි ඉන්න වෙන්නේ ”

” හප්පට සිරි බං අයියේ ඒක ඇත්ත, පුලුවන් විිදියට ඕක කියාගන්න ඕනේ මේ කාට කාට හරි නැත්නම් පාරක බැහැල යන්න බැරි වෙනවා හැමෝම අමු හෙළුවෙන් නේ බං ”

තව්තිසා