මේ විපක්ෂය ජනතාවට බය වෙන යුගයකි

රාජ්‍ය පාලනයේදි බලය හොබවන පාලකයන් කෙටි කාලීන දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් සිල්ලර ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම රට ක්‍රමමෙන් බංකොලොත්වීම දක්වා ගෙන ආ බව අද ඉතා පැහැදිලි යථාවාදී කථාවකි. එම තත්වයන් වෙනස් කර නව ප්‍රතිපත්ති සැලසුම් මත, රටේ දේශපාලනය ආර්ථිකය සහ සමාජීය කරණා ගැන තීන්දු තීරණ ගැනීමට වත්මන් ජනාධිපතිවරයා ඇතුලු‍ ආණ්ඩු පක්ෂය තීන්දු කර තිබේ. මෙය සුපුරුදු ජනප්‍රිය දේශපාලනයට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තියක් වන නමුදු රට වැටී තිබෙන තත්වයන් හමුවේ ඒ යළි ගොඩ නැගීම වෙනුවෙන් වෙනත් විකල්ප නොමැති බවත් යථාර්තය වී තිබේ. ඒ කෙසේ නමුදු රජය ගන්නා තීන්දු තීරණ ගැන නිරන්තරයෙන් විරුද්ධ මතයක් කරපින්නා ගැනීම විරුද්ධ පක්ෂවල දේශපාලනය බවට පත්ව තිබීමත් දීර්ග කාලීනව පවත්වාගෙන ආ වැරදි පිළිවෙතක් බවත් කිව යුතුය. ඊටත් වඩා පාලකයා විවේචනය කිරීමේදී සිල්ලර ජනප්‍රිය කරුණු කරණා පෙර‍ටු කරගෙන එය සිදු කිරීම, ආණ්ඩුවක් ගන්නා ජනප්‍රිය තීන්දු තීරණයන්ට වඩා භයානක බව මේ රටේ ඉතිහාසයෙන්ම පෙන්වා දිය හැකිය. විපක්ෂය, ආණ්ඩුවට එරෙහිවීම කෙසේ හෝ කළ යුතුවීම තමන්ගේ පැවැත්මට අවශ්‍ය බව සිතන නිසා ජනප්‍රිය සටන්පාඨ යොදා ගැනීම සිදු කළත් ඔවුන් බලයට පැමිණි පසුවත් එම සටන් පාඨ අනුව රාජ්‍ය පාලනයේ තීන්දු ගැනීමට යෑමේ ආදීනව හොඳටම දකින්න ලැබුණේ පසුගිය ගෝඨා පාලනය සමඟය. ඒ අවසන් වූයේ ඉතා කෙටි කලකින් රට බංකොලොත් වීමෙනි.

යහපාලන ආණ්ඩුව පෙරළා දැමීම සඳහා එදා සටන් පාඨ කරගත් බදු විරෝධය මත බලයට ආ සැනින් බදු ලිහිල් කරන ලදී. රාජ්‍ය ආදායම අහිමි වී රට එදිනෙදා අත්‍යාවශ්‍ය‍ ද්‍රව්‍යයන් හෝ ලබාදීමට නොහැකි තැනට පත් විය. ඒ වගේම යහපාලන ආණ්ඩු සමයේදි සිදු කිරීමට නියමිත වූ විදේශ ආයෝජන සහිත ව්‍යපෘති ගණනාවකටම එරෙහි වූයේ රට විකුණන බවට චෝදනා කරමිනි. මේ අය එම ආයෝජන අහෝසි කරන ලදී. රටට ලැබෙන්න තිබු විදේශ විනිමය සහ සංවර්ධනයේ නව මංපෙත් ගනනාවක් එමගින් අහිමි කරගත් අතර රාජ්‍ය ගණනාවක් සමඟ තිබු මිතුරු සබඳතා පළුදු විය. විශේෂයෙන්ම ජපන් ආයෝජන රැසක් මෙහිදී අහිමි වූ අතර මෑත ඉතිහාසය පුරා මෙරට සමිප මිතුරකු ලෙස මෙරට වැඩිම ආධාර ප්‍රමාණයක් ලබා දී ඇති ජපානය විරසක කරගත්තේය. තවමත් ජපානයේ හොඳ හිත දිනාගැනීමට වත්මන් පාලනයට වෙහෙසකර ව්‍යායාමයක යෙදෙන්නට සිදුව ඇත. රසායනික පොහොර තහනමත් මෙවැනිම වැරදි තීන්දුවකි. රසායනික පොහොර මගින් වකුගඩු රෝගය පැතිරෙනවාය කියන මිත්‍යාව වපුරා පැවැති ආණ්ඩුව ඒ වැලැක්වීමට පියවර ගන්නේ නැතැයි කියමින් කළ චෝදනාව අවසන් වූයේ රසායනික පොහොර තහනම් කරමිනි. එහි ආදීනව තවමත් අවසන් නැත. ගෝඨා පාලනය පැමිණ විගස කළ තවත් මරිමෝඩ කටයුත්තක් වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත් වීමට දැක්වූ විරෝධය මත ඒ සමග තිබු ගිවිසුමෙන් ඉවත් වීමය. යහපාලනයට පෙර පැවැති මහින්ද රාජපක්ෂ පාලනය විසින් කාබාසීනියා කර තිබු ආර්ථිකය යළි නිවැරදි මාවතට ගනු ලැබුවේ මුල්‍ය අරමුදල සමග වූ ණය ගිවිසුමක් හරහා සිදු කෙරුනු ආර්ථික ප්‍රතිසංකරණයන්ට පින් සිදු වන්නටය. ගෝඨා පාලනය එම නිර්දේශ බල්ලට දමා තමන්ගේ දැනුමේ අවබෝධයේ තරමට සියරට දේ සිරිසැප දේ කියමින් රටේ ආර්ථිකය මෙහෙයවන්නට ගැනීම ආර්ථික අර්බුදයට හේතු වූ පළමු පියවරය.

කෙසේ නමුත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා වත්මන් විපක්ෂයත් තවමත් සිදුකරමින් සිටින්නේ සුපුරුදු සිල්ලර දේශපාලනයම ය. වත්මන් පාලනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ තබා තිබු ෆෙස්බුක් සටහනකින් මේ විපක්ෂයේ මතය දක්වා තිබිණි. ඒ මෙසේය.
“වික්‍රමසිංහ යටතේ ආර්ථික ගැටලු‍ව විසදෙයිද බවට වන කතිකාවක් දියත් කෙරෙමින් පවතී. පෝළිම් අවසන් වීම, ඩොලරය පහළයාම,… වැනි මතුපිටට පෙනෙන කරුණු පදනම් කරගෙන වික්‍රමසිංහ පාලනය ගෝඨාභයට වඩා සාර්ථක එකක් ලෙස හුවා දැක්වීම එහි එක අරමුණකි. අනෙක ඊළග ජනාධිපතිවරණය අරබයා ගෙනයන ප්‍රචාරණ ව්‍යාපෘතියයි. දිළිදු සහ මධ්‍යම පංතික ජනතාව මත දැවැන්ත බදු බරක් පටවමින් ගෙනයන පාලනය ගෝඨාභය පාලනය හෝ වෙනත් ඉන් පෙර පැවති එකක් සමග සැසදීමට යාමම එක පැත්තකින් අපහසු දෙයකි. ආර්ථික බංකොලොත්භාවය යනුම වික්‍රමසිංහ පාලනය ගොඩනගන එහි ප්‍රබලතම දෘෂ්ටිවාදීමය පදනමයි. මේ බංකොලොත් භාවයට එකම සරණ වික්‍රමසිංහ පාලනය යි යනුවෙන් වන මතයක් ජනගතවනවා දැකීම හැර වෙන සතුටක් එම පාලනයට තවත් පැවැතිය නොහැක.

නමුත් යථාර්ථය තුළ අපි ලොව දිළිදුම රටවල් 10 අතරට පැමිණ සිටිමු. බිලියන 54ක ණය බරක් ඇත. ණය ප්‍රතිව්‍යුහකරණය හරහා ආර්ථික ස්ථාවර භාවයක් ඇතිවෙයිද යන ගැටලු‍වට පිළිතුරක් නැත. දේශීය සමිපත් විකීණීමට තබා ඇත. විදේශීය ණය කල් දැමීමට නම් චීනය, ඉන්දියාව සහ ජපානය ආදි රටවල් සියල්ලම එකම තැනකට ආයුතුය. එය තවම පැහැදිළි නැත. වික්‍රමසිංහ පාලනය විසින් මෙම රාජ්‍යය කලාපීය බල ගැටුම වෙත ඇද නොදමාවිය යන සහතිකය පවා අපට නැත… මෙවැනි දැවැන්ත අර්බුදයක් හමුවේ පවතින රටක සදාචාර විරෝධී දේශපාලන බල ව්‍යාපෘතියක නිරත සේම, ජාත්‍යන්තර නව ලිබරල් දැක්මකට සහ බල ව්‍යාපෘතියකට අනුව මෙහෙයවෙන පාලනයක් විසින් ඇතිකල හැකි වෙනස පිළිබද සාමාන්‍ය ජනතාවට පවතින අදහස කුමක්ද? පෙට්‍රල් තියෙනව නම්, බඩු මිල පහළ යනවා නම්… ආදී ලෙස සාමාන්‍ය ජනතාව දකින සහනය යනු රනිල්ගේ දෘෂ්ටිවාදීමය පාලනයේ ප්‍රචාරණ අංගයි.

කළණ ගුණසේකර හා බොහොමයක් සාමාන්‍ය ජනතාව වන අපට පෙනෙන දැනෙන දේ එපමණයි. නමුත් මතුපිට දේ සත්‍යය නම් විද්‍යාත්මක විග්‍රහයක් අවශ්‍යය නොවනු ඇත…”

මේ සටහන බැලු‍ බැල්මට විදග්ධ විග්‍රහයකි. වියතකුගේ බර වචන සහ ලිවීමේ රිද්මය ඒ බව පෙන්වා දෙයි. එහෙත් මෙහි අන්තර්ගතය මොන තරම් ගොබ්බද, පාර්ශ්විකද සහ වැරදි සහගත බවද ඒ පිළිබද සරළ විමසුමකින් පවා අවබෝධකර ගත හැකිය. විපක්ෂයේ සිල්ලර දේශපාලනය කියන්නේ මෙයටය. එය විදග්ධ ආකාරයෙන් කෙරෙන්නෙ මෙසේය. ඒ කාලයේ ‘වියත්මග’ සිදු කළෙත් මෙයය. වර්තමානයේ සමගි ජන බලවේගයට, ජාතික ජන බලවේගයට, පෙරටුගාමි වැනි රැඩිකල් කියන කණ්ඩායම්වලට සම්බන්ධව සිටින වියතුන්ය කියන පිරිස කරන්නෙත් ‘වියත්මග’ සේම ජනතාව විදග්ධ ලෙස රවටා නොමඟ යැවීමය. දැන් මෙම සටහන ගැන බැලු‍වහොත් කිසි වගවිභාගයක් නොමැතිව පවසන්නේ වත්මන් පාලනය විසින් පොලිම් අවසන් කිරීම, ඩොලරයේ අගය පහලට දැමීම වැනි දේ මවාපෑම කරන්නේ මිළඟ ජනාධිපතිවරණයට අදාලව රනිල්ගේ ප්‍රචාරක ව්‍යපෘතියක් ලෙසය. ඒ අනුව මේවා සිදු නොකර තිබිය යුතු දේය. පෝලිම් අවසන් නොකළ යුතුය, ඩොලරය ඉහල අඩියක තබා ගත යුතුය. පොලී අනුපාතයන් උද්ධමනය ඉහළ යා යුතුය. එසේ කළා නම් විපක්ෂයට අනුව රනිල් වැඩ්ඩෙක් වෙනවාද? මේවා මරු තර්කය. ඉන් පසුව කියන්නේ ආර්ථික බංකොලොත්භාවය පවත්වාගෙන යෑම රනිල් පාලනයේ ද්‍රෘෂ්ඨිවාදය නැතිනම් සමාජය මෙහෙයවන මතවාදී උපක්‍රමය බවය. එනම් රට ගොඩදැමීමට හැක්කේ රනිල්ට පමණක් කියන මතය නිර්මාණය කිරීමට, රට බංකොලොත් භාවයේම තබා ගැනීමට රනිල් කටයුතු කරන බවය. දැන් ඉහතින් කී අදහසත් මෙම අදහසත් පරස්පර බව මේ වියතාට නොතේරුනත් දෙකේ පංතියේ ළමයකුට වුව තේරුම් ගත හැකිය. අනෙක් අවුල රට බංකොලොත්භාවයෙන් ගොඩගෙන රනිල් තවත් ඉදිරි පියවරකට ගමන් කරමින් තිබෙන මොහොතක මේ දෙඩවිල්ල කිරීමය.

මීළඟට ලොව දිළිදුම රාජ්‍ය 10 අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි කියන පට්ටපල් බොරුව කියයි. මේවා කොයි ලෝකයෙන් සොයාගන්නා තොරතුරුද යන්න අපට ද වැටහීමක් නැත. රටේ ණය බර ඩොලර් බිලියන 50 ඉක්මවා ඇති බව ඇත්තකි. ඒ 75 වසරක් මුළුල්ලේ ගත් ණයවලින් තවදුරටත් ගෙවීමට ඉතිරිව ඇති ණය ප්‍රමාණයයි. එම කාලය තුළ රට ලබාගෙන තිබෙන සමස්ථ ණය ප්‍රමාණය මීට වඩා කිහිප ගුණයකින් විශාලය. නමුත් එයින් වැඩිම ප්‍රමාණයක් පොලී සමඟ ගෙවා අවසන් කර ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නේ මේ ඉතිරි ණය ගෙවීම සඳහා සහනයක් නැතිනම් කාලයක් ඉල්ලා සිටීමටය. එය තාවකාලිකව අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා පියවරකි. කොහොමටත් මෙම බිලියන 50ක ණය කියන්නෙ අද හෙට ගෙවන්න තිබෙන ඒවාද නොවෙයි. දීර්ග කාලීනව ගෙවීමේ පදනම යටතේ ලබා ගත් ණයය. ගැටළුවකට ඇත්තේ ඉදිරි වසර දෙක තුන තුළ ගෙවන්නට ඇති බිලියන 10ක පමණ ණය සම්බන්ධයෙනි. සහනයක් ඉල්ලන්නේ ඒ ණය සඳහාය. ඒ සඳහා මෙතෙක් කළ සාකච්ඡා සාර්ථකය. ඒ අනිවාර්යෙන්ම සාර්ථක වනු ඇත. මන්ද කිසිසේත්ම ජාත්‍යන්තරය මේ රට කඩා වැටීමට ඉඩ නොතබන බව නිසැක නිසාය. රට කඩා වැටුණොත් එහි පාඩුව වන්නේ ණය හිමියන්ටමය. දැන් සාකච්ඡා කරන්නේ ණය ගෙවීම ක්‍රමවේදය ගැන මිසක් ණය නොගෙවා සිටීම ගැන නොවේ. විපක්ෂ වියතුන්ට ඒ ගැන මෙලෝ අලබෝලයක දැනීමක් නැති බව මේ සටහනෙන්ද පැහැදිලිය.

ඒ අතර, වික්‍රමසිංහ පාලනය මෙම කලාපය තුළ රාජ්‍යන් අතර ගැටුමකට ඇද දමාවීය කියන සැකය මතු කරයි. නමුත් ජනාධිපතිවරයා දැඩි උත්සහයක නිරතව සිටින්නේ එවැනි ගැටුම ඇති නොවීම පිණිස වන ජාත්‍යන්තර මෙහෙයුමකට නායකත්වය දෙමින් බව පසුගිය සති කිහිපය තුළ ඔහු ජාත්‍යන්තරය අමතා දැක්වූ කරුණු දැක්වීම්වලින් පැහැදිලිය. අමෙරිකාවේ හෝ චීනයේ යටහත්භාවයට පත්නොවී ස්වාධීන ස්වෛරී රාජ්‍යක් ලෙස ආසියානු කලාපය තුළ ඇති සියළුම රාජ්‍යයන්ට නැගීසිටීම වෙනුවෙන් ඇති අයිතිය ගැන රනිල් දිගින් දිගටම පෙන්වා දී ඇත. නමුත් පෙර පැවති පාලනයන් තුල අමෙරිකාවට, බටහිර රටවලට, සොවියට් රුසියාවට, ඉන්දියාවට හෝ චීනයට හෝ සමිප වීම, යටහත්වීම නිසා රට ජාත්‍යන්ර උගුල්වල පැටලිනි. ඒ නිසාම රටේ ආර්ථිකයට හානි කරගත් බවත් රහසක් නොවේ. එහෙත් අද විපක්ෂ කොටස් නැවත උත්සහ ගන්නෙත් මේ බලගතු රාජ්‍යයකට රට උකස්කර හෝ තමන්ගේ ගොඩ යෑම සහතික කරගැනීමේ තක්කඩි උපායන් වෙතට පිවිසීමටය. රනිල්ගේ මැදුම් පිළිවෙත ඉවසන්න නොහැකිව සිටින්නේ ඒ නිසාය.

මේ අයට රනිල් පාලනය විසින් ජනතාවට ලබා දී ඇති සහනය ගැන ජනතාවට තිබෙන මතය කුමක්දැයි වටහා ගත නොහැකි බවත් පැහැදිලිය. ගාලු‍ මුවදොර අරගලයට සක්‍රීයව මැදිහත් වූ රංගන ශිල්පියකු වන කළණ ගුණසේකර පසුගියදා රනිල් මේ මොහොතේ කරමින් සිටින කාර්යභාරය අගයා තිබිණි. ආචාර්යවරයාට තිබෙන ගැටළුව මේ රංගන ශිල්පියා මෙන් සාමාන්‍ය ජනතාවද කල්පනා කරනවා නම් තමන්ට සොරි ඩොට් කොම් වීම අනිවාර්යයක් වීම ගැනය. ඒක ඇත්තය.

පොලිම් නැති කිරීම, භාණ්ඩ හිඟය නැති කිරීම, ඩොලරයේ අගය පහළයෑම, පොලී අනුපාතයන් උද්ධමනය අවම කිරීම, ආනයන සීමා ඉවත් වීම, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම ආදිය මගින් ජනතාවට සහනයක් ලබා දීම, විපක්ෂයට අනුව ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති වන්නේ ජනතාව අපේක්ෂා කළ දේ එමගින් සිදුව ඇති නිසාය. ඒ අනුව එයට ජනතාවගේ සහය,කැමැත්ත බුරුතු පිටින් ලැබෙන කොට විපක්ෂය බිය වීම සාධාරණය. සහන දීම වැරදියි කියන්න සිදුව ඇත්තේ ඒ නිසාය. මෙහිදී අනෙක් විශේෂත්වය නම් ජනප්‍රිය සිල්ලර තීන්දු නොගෙන යම්තරමකින් හෝ යළි ජනතාවම පිඩාවට පත්වන ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු තීරණත් ජනතාව අනුමතකර තිබීමය. විපක්ෂයට එම තත්වය දරාගැනීමට හෝ මේ සිදුවන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට හෝ නොහැකිව තිබේ. විපක්ෂ වියතුන් අන්දකයිප්පු වී මේ සිදුවන දේ විග්‍රහ කරගැනීමට නොහැකිව නැවත නැවත විකාරම දොඩවන තැනට පත්ව ඇති බව ඉහත වියතාගේම සටහනෙන් පැහැදිලිය.

ජනතාවට අවශ්‍යවන්නේ තමන්ගේ සුපුරුදු ජීවන චර්යාව බාධාවකින් අපහසුවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි පරිසරයක් තිබීමය. තමන්ගේ සහ තම දුවාදරුවන්ගේ අනාගත අපේක්ෂාවන් ඉටුවන විශ්වාසය සහ ඊට අවශ්‍ය පහසුව තිබීමය. එය රනිල් විසින් සිදුකර ඇත්නම් හෙට දවසේදීත් ජනතාවගේ පාලකයා වන්නෙ රනිල් මිස අන්දකයිප්පු විපක්ෂයේ විසුළුකාරී මුග්ධ අවස්ථාවාදී නායකයන් නොවේ. එහෙත් රනිල් ජනතාවගේ අත්‍යාවශ්‍ය වුවමණාවන් කෙටිකාලීනව විසඳීම රටේ ආර්ථිකය ස්ථාවර බවට පත්වීමක් වන්නේ නැත. ඊට ගත යුතු තවත් ක්‍රියාමාර්ග රැසක් තිබේ. ඊට අදාල ප්‍රතිසංස්කරණයන් රැසක් මේ වන විට ක්‍රියාත්මකව තිබෙන අතර තවදුරටත් විප්ලවීය පරිවර්තනයක් කරා වන වැඩ පිළිවෙල ද ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය. වැදගත්ම දේ මේ කවර ක්‍රියාමාර්ගයක් ගත්තත් එය ජනතාවට අමතර පීඩාවක් බාධාවක් වන්නට ඉඩ නොදී මල නොතලා රොන් ගන්නා සේ සුමටව පරිස්සමට ජනතා සහය ඇතිව සිදු කිරීමය. අද රනිල් ඒ සාර්ථකව සිදු කරමින් පවතී. නිවැරදි දේ වනවානම් ජනතාවට ඒ ගැන ප්‍රශ්න කිරීමට වුවමණාවක් නැත. රට කනපිට පෙරළා හෝ ජන අභිලාශයන් මුදුන් පත් වේ නම් එතැනින් එහා දෙයක් රාජ්‍ය පාලකයාගෙන් ජනතාවට අවශ්‍ය නැත. දැන් ජනතාව වෙතින් මතුවන අදහස එයය. කළණ ගුණසේකර කියන්නේ ඒ ගැනය. විපක්ෂය බය වී සිටින්නේ එයටය.

– ඝෝෂක