සජිත්, අනුර, කුමාරයි – සියලු වාද හමාරයි!

ශ්‍රී ලංකාව දරුණු සමාජ, ආර්ථික අර්බුදයකට ගොදුරුව, සියලු ජනයා පීඩාවට පත්ව ඇති පසුබිමක, ඉන් ගැලවීමට වැරවෑයමින් යත්න දරමින් සිටින මොහොතකි. මේ රටේ වත්මන් අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් ලෙස අර්ථ ගැන්වීම නිවැරදි නොවේ. මන්ද දිගු කලක් තිස්සේ ලොව පුරා ආර්ථික අර්බුද, කඩාවැටීම්, පුපුරා යාම් වගේම ජයගතයුතු අභියෝග පිළිබඳව උගත් පාඩම් කොතෙක් තිබුණ ද මේ රටේ ආර්ථික ගරාවැටීම ඇහිරීමට හෝ දිශානතිය නිවැරදි කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිසි කාලයන් තුළ සිදු කිරීමට අප රටේ පැවැති පාලන ක්‍රමයන්ට හැකියාවක් නොතිබූ බැවිනි. ඒ අනුව එකී නොහැකියාව යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුකරණයේ අර්බුදයකි, නොහැකියාවකි හෝ අසමත්කමකි.

සමස්ත රටම ව්‍යාකූල අර්බුදකාරී වීම, වගවීමකින් (Inclusive) සහ පාරදෟෂ්‍යභාවයකින් (Transparency) තොර ආණ්ඩු කෙරුවාව නිසා පමණක් නොව එකී ආණ්ඩු පාලකයන් කිසිදු අවස්ථාවක රටට බලපාන (ජාතික මට්ටමේ) කිසිදු තීන්දුවක් තීරණයක් සර්වග්‍රාහීව (සබජකමිසඩැ) සිදු නොකිරීම විසින් උත්පාද කරන ලද්දකි. ඇතැම් විටෙක එසේ සර්වග්‍රාහීව ගන්නා ලද තීන්දු තීරණ පටු දේශපාලන වුවමනාවන් මත අහෝසි කොට දැමීම ද ඊට පාදක වූ තවත් හේතුවකි.

රාජ්‍යයක ආණ්ඩුකරණයේ දී දේශපාලන බලය සැමවිටම ආර්ථික ක්‍රියාවලියේ ශක්තිමත්භාවය මත රඳා පවතියි යන්න පොදු පිළිගැනීමයි. ඒ අනුව ලංකාව සම්බන්ධයෙන් සලකා බැලීමේ දී, ආණ්ඩුකරණය තුළ හඳුනාගත හැකි ප්‍රබලම සහ මූලිකම දුර්වලතාවය වන්නෙ, ආර්ථික ක්‍රියාවලිය නිසි ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කිරීමට අපොහොසත් වීමයි. එම නිසාම සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික මෙන්ම නව තාක්ෂණික අවකාශ යන සමස්ත ක්‍රියාවලියම ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් නොකිරීම හෝ දුරස්ථ කිරීම මේ තුළ සිදු විය.

හෙට දවසේ මේ රටේ අනාගතය පිළිබඳ හැඟීමක් හෝ බලාපොරොත්තුවක් සහිත සියලු මිනිසුන් මෙකී දේශපාලන ආණ්ඩුකරණයේ ගරාවැටීම කෙරේ විමසිලිමත් විය යුතුව ඇත. මන්ද සාමාන්‍ය ජනතාවගේ පොදු අවශ්‍යතාවයන් සහ පෞද්ගලික ඕනෑ එපාකම්වලට ආමන්ත්‍රණය කර බලාපොරොත්තු කන්දරාවකින් ඔවුන්ගේ හිස් පුරවා, සිය දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට යත්න දරණ, රට නංවන විකල්පය තමන්යැයි කියාගන්නා කිසිදු දේශපාලකයකු හෝ පක්ෂයක් සතුව මේ රටේ නිසි ආර්ථික ප්‍රජාතන්ත්‍රිකරණ ක්‍රියාවලිය සිදුකළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ සැලැස්මක්, වැඩපිළිවෙලක් ඇතැයි පැහැදිලිව පෙන්වා නැති බැවිනි. එසේම දීර්ඝ කාලීන ක්‍රියාවලියක අනිටු ඵලයක් වන මෙම අර්බුදයෙන් ගොඩඒමට නම්, ප්‍රජාතන්ත්‍රවාදී නිර්නායක මත පදනම් වූ ඉලක්කයක් ද ඒ වෙනුවෙන් වූ පූර්වයෙන් නිර්ණය කරගත් මාර්ගගත සැලැස්මක් ද සර්වග්‍රාහී ඒකමතියකින් ක්‍රියාවට නැංවිය යුතුව ඇත. එය විශේෂයෙන් සමාජ සාධාරණය පදනම් කරගත් ආර්ථික ක්‍රමවේදයක් විය යුතුය.

අපේ රටේ ආර්ථික මොඩලය

1977 දී ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙරටට හඳුන්වා දුන් නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය එදා පටන් මේ දක්වා අඩුපාඩුකම් සහිතව වුව ද ක්‍රියාත්මක විය. ඒ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු පාලනය හොබවූ කාලය තුළ ක්‍රමවත්ව ක්‍රියාත්මක වුව ද පසුව ආණ්ඩු පාලනය හිමිකරගත් නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු විසින් විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවක් ස්වරූපයේ ප්‍රතිසංස්කරණවාදී ආකෘති අනුගමනය කිරීම තුළ රටේ ආර්ථිකයට ක්‍රමවත් ගලායාමක් අහිමි වීම හා සමස්ත සමාජයක් ලෙස ගරා වැටීම පමණක් උරුම විය. ඒ කිසිදු පාලනයක් විසින් නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට හෝ විවෘත ආර්ථික ක්‍රමවේදය නිසියාකාරව පවත්වාගෙන යාමට කටයුතු නොකිරිම විසිනි.

විකල්ප මතදාරී දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විවෘත ආර්ථික ක්‍රමවේදය නිරන්තරයෙන් විවේචනයට ලක්කළ නමුත් නව ආකෘතියක් හෝ ක්‍රමවේදයක් යෝජනා කිරීමට අසමත් විය. ඇතැම් ආකෘතිගත වාමවාදී කණ්ඩායම් විසින් මීට දශක ගණනාවකට ඉහතදී ලෝකය හමුවේ අසාර්ථක ව සමාජයන් විසින් අත්හැර දමන ලද සමාජවාදී ආර්ථික ක්‍රමය සුපුරුදු පරිදි තවමත් යෝජනා කරමින් කටයුතු කරනු දැකිය හැකිය. එසේම ලිබරල් විරෝධී ඇතැම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ජාතිකවාදී කල්ලි කණ්ඩායම්වලට ද පැහැදිලි ආර්ථික දැක්මක් නොමැතිකම විසින් පවතින ක්‍රමයේම ප්‍රතිසංස්කරණ විධි ආකෘති යෝජනා කරමින් සිටිනු දැකිය හැක. නමුත් මේ කිසිවකකින් රටේ ආර්ථික අර්බුදයට පිළියමක් හෝ සමාජය උසස් තලයකට ඔසවා තැබිය හැකි නොවන්නේ ය.

කෙසේ වෙතත් දැන් එළැඹ ඇත්තේ, ආර්ථික, සමාජ අර්බුදයේ උච්චතම අවස්ථාවට රටම මුහුණ දෙමින් සිටින මොහොතකි. එම නිසාම තවදුරටත් පරණ ක්‍රමවේදයන්ගෙන් ඉදිරියට පියවර තැබිය නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. මේ සම්බන්ධයේන පසුගිය යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යධුරය දැරූ දිවංගත මංගල සමරවීර මහතා අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කර සිටියේ, දැන් රටට අවශ්‍ය වන්නේ, සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සහිත ලිබරල් ආර්ථික මොඩලයක් බවයි. එය සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමවේදය ලෙස හඳුන්වා තිබිණි.

සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමය

සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමය යනු රාජ්‍යය හා සමාජය, වෙළඳපොළ ක්‍රමයේ කාර්යක්ෂමතාවයෙන් උපරිම ප්‍රයෝජන ගෙන, පුද්ගලයාගේ නිදහසට සේවය කිරීම අරමුණු කොට ගත් ආර්ථික ක්‍රමවේදයකි. එනම් ඵලදායිතාවය හා සමාජ අරමුණු අතර නිවැරදි සමතුලනයක් නිර්මාණය කරගැනීමේ මොඩලයකි.

වෙළඳපොළ යන්ත්‍රණයන් හැඩ ගැසී ඇත්තේ සියලු පුරවැසියන් සඳහා සමාන ජීවන අවස්ථාවන් සුරැකෙන පරිදි හා යම් අයුරක සමාජ සාධාරණත්වයකට මග පෑදෙන ආකාරයෙනි. සමාජ වෙළඳපොළ ආර්ථිකයක අවසාන අරමුණ නම් දේශපාලන, සිවිල්, ආර්ථික, සංස්කෘතික හා සමාජ මිනිස් අයිතීන් ආරක්ෂා කිරීම ය.

සමාජ වෙළඳපොළ ආර්ථිකය පහසු ආකෘතියක් නොවන අතර එය දැඩි පරිශ්‍රමයකින් යුතුව ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාවලියකි. එය නම්‍ය-තුලනයක් ඇති කර ගැනීම හා නිවැරදි සමතුලනය සොයා ගැනීම පිළිබඳ වූවකි. සමාජ සාධාරණය හා සමාජ සුරක්ෂිතතාව සමග පළදායීතාවය හා වර්ධනය ද නම්‍යතාව හා නවීකරණය ද සමතුලනය විය යුතුය.

සමාජ වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ සරල සහ පැහැදිලි අදහසක්, 1966 – 72 කාලවකවානුවේ ජර්මනියේ ආර්ථික කටයුතු ඇමති ලෙස කටයුතු කළ කාල් ෂිලර් මෙසේ පෙන්වා දී ඇත. එනම් “වඩාත් හැකි තාක් ප්‍රමාණයකට ම වෙළඳපොළ සහ අවශ්‍ය විය හැක තාක් ප්‍රමාණයට ම රාජ්‍යය Asmuch market as possible” as much state as necessary යනුවෙනි. මේ අනුව වෙළඳපොළ තුළ ඉල්ලුම්කරුවා සහ සැපයුම්කරුවා පමණක් නොව සමාජ ආරක්ෂණය වෙනුවෙන් රාජ්‍යය ද උපරිම දායකත්වයක් සහිතව ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමවේදයක් බව පැහැදිලිය.

මේ ආර්ථික ක්‍රමවේදය පිළිබඳ කෙටියෙන් නමුත් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ, අද ශ්‍රී ලංකාවේ පාලකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අයවැය කතාවේදී ප්‍රකාශ කළ ආකාරයට මෙරට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික මොඩලය එය වන බැවිනි.

ජනපති රනිල්ගේ ආර්ථික මොඩලය

ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය තුළ ධනේෂ්වරයේ ආරක්ෂකයා යන නමින් වාමවාදීන් විසින් නාමකරණය කර, සමාජගත කරන ලද රනිල් වික්‍රමසිංහ අන්ත දක්ෂාණාංශිකයකු සේම අත්‍යන්ත ලිබරල්වාදියකු ලෙස ප්‍රකටය. එය කිසිවකුට රහසක් නොවනවා සේම රනිල් වික්‍රමසිංහ යනු මාක්ස් ලෙනින් වාද පෙරටුකරගත් කොමියුනිට්ස් සමාජ ක්‍රමය සහ සමාජවාදී ආර්ථික ක්‍රියාවලිය, මිනිස් සමාජයකට හිමිවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී මානව නිදහස අහිමිකරන, සීමාකරන, බලහත්කාරී පාලන ක්‍රමයක් ලෙස දුටු, එය ප්‍රතික්ෂේප කළ ලිබරල් දේශපාලකයෙකි.

දශක පහකට ආසන්න කාලයක් පුරා මෙරට දේශපාලනයේ ක්‍රියාකාරී වූ රනිල් වික්‍රමසිංහ සැමවිටම සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික මෙන්ම තාක්ෂණය ආදී සෑම ක්ෂේත්‍රයකම ප්‍රජාතන්ත්‍රීකරණය ඉහළින් ඔසවා තැබීමට ප්‍රයත්න දැරූ සහ ඒ වෙනුවෙන් සිය දේශපාලන ආනගතය පවා පරදු තැබූ ධනපති දේශපාලකයෙකි.

ගෝලීය ආර්ථික දේශපාලන ක්‍රමවේදයන් සහ වෙනස්වීම් පිළිබඳ මනා අවබෝධයක් සහිතව මෙරට සංවර්ධනයේ දිශානතිය කෙසේ සකස් විය යුතු ද යන්න මනා දැක්මකින්, අවබෝධයකින් සහ පැහැදිලි මාර්ගගත සැලැස්මකින් ද යුතුව ඊට මැදිහත් වූ ප්‍රජාතන්තවාදී දේශපාලකයෙකි.

පසුගිය 8 වෙනිදා පාර්ලිමේන්තුව අමතා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සලකා බැලීමේදී හෙට දවසේ ආර්ථික ක්‍රමවේදය කෙසේ සකස් කළ යුතු යැයි ද යන්න මැනවින් පෙන්වා දී ඇත. එය ලිබරල්වාදය නොවේ. ලොව බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ පැසසුමට ලක්ව ඇති සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයයි.

සජිත් අනුර කුමාර්

සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස තමන්ගේ ආර්ථික මොඩලය ලෙස එක් අවස්ථාවක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ ද සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදය අනුගමනය කරන බවයි. නමුත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ පැහැදිලිව දක්නට හැක්කේ, එවැනි න්‍යයාත්මක දැක්මකින් යුතුව කටයුතු කිරීමක් සිදු නොකරන බවයි. මන්ද ඔහුගේ දේශපාලනයේ ආරම්භයේ පටන් සිය පුද්ගලික ප්‍රතිරූපය නංවා ගැනීම අරමුණු කොටගත් ”නිකම් බෙදීමේ න්‍යාය” අනුගමනය කරමින් තෝරාගත් පුද්ගල කණ්ඩායම් කිහිපයක් සන්තර්පනය කර ඉලක්ක ජයගැනීම විනා රටක ආර්ථිකයක් ගොඩනැංවීම කෙරේ කිසිදු පැහැදිලි දැක්මක් නොමැති බැවිනි.

න්‍යායෙන් තොර භාවිතය අන්ධ යැයි ද භාවිතයෙන් තොර න්‍යාය වඳ යැයි ද මීට සියවසකට ඉහත දී කරන ලද දේශපාලන ලිඛිත සටහනක් ඇති බව හෝ සජිත් නොදන්නවා විය හැකිය. මන්ද කිසිදු හැදෑරීමකින් තොරව සිය පියාගේ ගුණවරුණ සිය එකම අවිය කොටගෙන දේශපාලනයේ යෙදන පුද්ගලයකු බව පසක් කර ඇති බැවිනි.

අනුර කුමාර දිසානායක යනු අද ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායකයාය. ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් බහුජන හා සිවිල් චරිත එකතුවෙන් ගොඩනගන ලද දේශපාලන පක්ෂයකි. එහි සමාජ ආර්ථික ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි දැක්මක් නොමැති නමුත් ඔවුන්ගේ අරමුණු සැලකීමේ දී හඳුනාගත හැකි වනුයේ සමාජවාදී ආර්ථික ක්‍රමය සහ වෙළඳපොළ ක්‍රමය ද මුසුකරගත් ආකෘතියක් බවය. මන්ද ”ජනතාවගේ නිදහස සහ ඔවුන්ගේ සියලුම මානව අයිතීන් ආරක්ෂා කිරීම, සියලු පුරවැසියන්ට සමාන හා සාධාරණ ලෙස සැලකීම මෙන්ම රටේ ව්‍යවසායික ආයතන ශක්තිමත් කිරීම, බදු අයකිරීම විධිමත් කරමින් රාජ්‍ය ආදායම ඉහළ නංවා නාස්තිය අවම කිරීම” ඔවුන්ගේ අරමුණු අතර වන බැවිනි.

ඉතිහාසය පුරා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කළ සමාජවාදී ආකෘතිය සහ ජාතික ජන බලවේගයේ අලුත් පුද්ගල කණ්ඩායම් පිළිගන්නා වෙළඳපොළ ක්‍රමය අතර තුලනය සොයා එකඟතාවයකට එළැඹීමේ අත්‍යන්ත අර්බුදයට මුහුණ පෑම නොවැළැක්විය හැකි ගැටලුවක් වනු ඇත.

මේ අනුව පැහැදිලි වන්නේ ඔවුන්ට ද රටේ අර්බුදය විග්‍රහා කිරීමට සහ විවේචනය කිරීමට එහා ගිය දැක්මකින් යුතුව රට ගොඩගත හැකි ආකෘතියක්, න්‍යායක් හෝ සැලසුම්ගත වැඩපිළිවෙළක් මෙතෙක් නිර්මාණය කර ගැනීමට නොහැකි වී ඇති බවය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම් යනු සම්ප්‍රදායික මාක්ස් ලෙනින්වාදී ආකෘතිගත දේශපාලන චරිතයකි. ඔහුගේ ඒකායන අරමුණ යල්පිනූ සමාජවාදී ආර්ථික ක්‍රමය මහ පොළොවේ පැලකිරීමට උත්සාහ දැරීම විනා රටේ අර්බුදයන් පිළියම් සෙවීම නොවේ. ඒ අනුව ඔහුගේ දැක්ම හෝ භාවිතාව මේ රට අද මුහුණ දී ඇති කිසිදු අර්බුදයට පිළියමක් නොවන නමුත් ඔහුගේ සහ පක්ෂයේ වෘත්තීය දේශපාලනය සාක්ෂාත් කරගැනීම උදෙසා ප්‍රයෝජනවත් වන මොඩලයකි.

මේ අනුව සජිත්, අනුර, කුමාර් ත්‍රිත්වයේම දේශපාලන දෘෂ්ඨිවාද නූතනත්වය හා සමපාත නොවීම හෝ නවීකරණයට ලක් නොවීම හමුවේ අදටත් රනිල්ගේ දැක්මට වැඩපිළිවෙළට හා ආර්ථික මොඩලයට මේ රට විවෘතව ඇති බව පැහැදිලිය.