පාසල් දරුවන් ප්‍රාණ ඇපකරුවන් කරන්න ඉඩ දෙන්නේ නෑ – ජනපති

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේ ය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් ඊයේ (අප්‍රේල් 19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායම ම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.

එම කටයුතු සඳහා සහභාගි නොවුණහොත් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බව ත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා අධ්‍යාපන බලාධාරින්ට දැනුම් දුන්නේ ය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.

අපොස උසස්පෙළ විභාගයෙන් ඉහළ ම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන් අතරින් අවම වශයෙන් වසරකට සිසුන් සිව් දෙනෙකු හෝ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් හා හාවඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව එම සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේ ය.

රාජ්‍ය මෙන් ම, පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට ද එම අවස්ථාව ලබාදීමටත්, තාක්ෂණික විෂයන් සඳහා සිසුන් වැඩි පිරිසක් යොමු කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි.

උසස් පෙළ සහිත පාසල්වලට සහ අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් ඇති සියලු පාසල්වලට වසර දෙකක් තුළ ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට (TRC) උපදෙස් දුන්නේ ය.

වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක් බිහිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ සඳහා සුදුසු කමිටුවක් පත් කර ගනිමින් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේ ය.

එමෙන් ම, 350කට අධික රජය යටතේ පාලනය වන තාක්ෂණ සහ වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.

පවතින කම්කරු නීති කම්කරුවන්ට බලපාන මූලාශ්‍ර රැසකින් සමන්විත වන බැවින් ඒ වෙනුවට ඒකාබද්ධ තනි කම්කරු නීතියක් (Unified Labor Law) සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත එළැඹෙන මැයි මාසය වන විට ඉදිරිපත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇති නැගෙනහිර පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය ඇමති සීතා අරඹේපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අනු කමිටුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.