අරාජිකත්වයේ අර්බුදය

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමේ සතුට සැමරීමට පාසලේ විදුලි පංකා ඇතුළු උපකරණ කඩා බිඳ දැමු දරුවන් පිරිසකගේ ඡායාරූප කිහිපයක් පසුගියදා අන්තර්ජාලයට එක්ව තිබුණි. මෙම ඡායාරූප පදනම් කරගෙන ඇති වූ සංවාදයේදී සමහරෙක් මෙම හැසිරීම පසුගිය සමයේ පැවැති අරගලය තුළ නිර්මාණය වූ අරාජිකවාදී දර්ශනයේ ප්‍රතිපලයක් ලෙස අරුත් ගන්වා තිබිණි.
විශේෂයෙන් අරගලය නිමවිමෙන් පසු ද දීර්ඝ කාලයක් ගුරු අරගල සිදු කරමින් පශ්චාත් අරගල අරාජිකත්වය යාවත්කාලීන කර තබා ගැනීමට උත්සහ කළ ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ වැනි වෘත්තීය අරගලකරුවන් මෙහිදී සෘජුවම චෝදනාවට ලක් විය.
තමන්ට එල්ල වූ විවේචනයට පිළිතුරු දෙමින් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කර සිටියේ දරුවන්ගේ මෙම හැසිරීම,’පාර්ලිමේන්තුව තුළ මිරිස් කුඩු ගසමින්,’පුටු කඩාදමමින් රටේ නායකයන් කළ රංගනයේ පරාවර්තනයක් සිසුන් තුළින් පිළිබිඹු වී ඇති බවය.
ගාලුමුවදොර අරගලය හුදු අහම්බයක් නොව, එය රටේ ආර්ථිකයේ සහ දේශපාලනයේ සිදු වූ බරපතල කඩාවැටීමක ප්‍රතිඵලයකි. ඒ නිසා රට පත්ව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික පරිහානියට එවකට සිටි පාලකයන්ගේ වගකීම පිළිබඳ නැවත නැවතත් මතක් කිරීමේ වරදක් නැත. එම වරද සිදු වූයේ පුද්ගලයෙකුගේ හුදු නොහැකියාව, නොසැලකිලිමත්කමක් නිසා නොව. ඔහු ගත් දේශපාලන ක්‍රියාමාර්ගවලට දේශපාලන මතවාදයක් සහ දර්ශනයක් තිබිණි. එම මතවාදය නිර්මාණය කළේ “වියත්මග” වටා එක් වී සිටි අදහස් නිර්මාණකරුවන්ය. ඔවුන් විසින් නිර්මාණය කළ ජනප්‍රියවාදී එහෙත් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති රොමැන්ටික් සංකල්ප මතින් ඇවිද යන්නට ගොස් ගෝඨාභය නිමක් නැති අගාධයකට ඇද වැටුණේ තනිවම නොව, රටම එයට ඇද දමමිනි.
රටත් සමඟ ගෝඨාභය වලට වැටෙන විට දනි පනි ගා ඉවුරට ගොඩ වූ “වියත්මගේ” වියතුන් මඩ සෝදාගෙන, පිරුවට හැඳ අද ප්‍රපාතයට වැටුණු රට දෙස බලා කිඹුල් කඳුළු සළමින් සිටීමෙන් පමණක් නොනැවතී, වැටුණු රට ගොඩ ගැනීමට උර දී, කර දී වැඩකරන නායකයාටත්, තමන්ට වැරදුන බව පිළිගෙන වරද නිවැරදි කිරීමේ අටියෙන් වෙහෙසන වියතුන්ගේ පාපකර්මයද කරට ගත් මිනිසුන්ට අවලාද කියමින් සිටින තත්වයක් තුළ “වරද කාගෙද?” කියා නැවත නැවතත් මතක් කිරීමේ කිසිදු වරදක් නොමැති බව නැවතත් අවධාරණය කරන්නේ වැරදිකරුවන් මත ලාඩං ගැසීමට නොව ඔවුනුත් දැන් සමගි ජන බලවේගයේ තුරුළට ගොස් විපක්ෂයේ න්‍යායාචාර්යවරුන් වී සිය පැරණි අවියත් ධර්ම දේශනා විපක්ෂයේ වේදිකාවේ සිට කරන බැවිනි.
අරගලය අවසන් කර පිරිසක් “වැටුණු රට ගොඩ නගමු” යැයි කියනා විට තවත් පිරිසක් “පාර්ලිමේන්තුවෙන් පිට ආණ්ඩු බලයක්”, “සෝවියට් පන්නයේ රාජ්‍ය බලයක්” වැනි මනෝරාජික සටන් පාඨ ගෙන අරගලය දිග්ගස්සන්නට උත්සාහ කරන ලදී. එම කල්ලි කණ්ඩායම් අතරට රිංගා ගත් ආගම්වාදී සටකපටියන්, දේශපාලන ගොඩ වැඩි කරගන්නට ඕනෑම අගුපිලක විචාරයකින් තොරව රිංගන විපක්ෂ දේශපාලන පක්ෂ, අරාජිකවාදය සිය ජීවන විලාශය කරගත් නාගරික අනා ක්‍රිස්ටිලාද එක්ව පශ්චාත් අරගල සමය තුළ’අරාජික සමාජ ආකල්ප කරලියට ගෙන එන ලදී.
සියලු සමාජ සංස්ථාපිතයන් සැක කරන, සියල්ල විවේචනය කරන සියල්ල ප්‍රතික්ෂේප කරන මනෝභාවය මෙම අරාජික සංකල්ප සමාජගත වීමේ ප්‍රතිපලයකි. මෙම අරාජිකවාදීන්ට සීමා මායිම් නැති වල් බූරු නිදහසක් අවශ්‍යව ඇත. ඔවුන්ට අනුව රටකට ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත. ව්‍යවස්ථාව යනු ඔවුන්ය. ඔවුන්ට අවැසි ලෙස කටයුතු කළ යුතුය. විධිමත් සැලසුම් සහගත ආර්ථිකයක් අවශ්‍ය ද නැත. ඔවුන් එවන් ආර්ථික ක්‍රියාවලියක් තුළට අනුගත වන්නේ ද නැත. නාගරික ලුම්පන් ආර්ථිකයෙන් විසිවන කුණු කන්දල් ඔවුන්ගේ යැපීමට ප්‍රමාණවත්ය. නැත්නම් ආගමික හෝ වෙනත් අන්තවාදයක කොන්ත්‍රාත් කිරීමෙන් ලැබෙන කළු සල්ලි ඔවුන්ට ඕනැවටත් වඩා ප්‍රමාණවත්ය. එසේත් නැත්නම් දවස ගත කිරීමට අරාජිකවාදයේ කුණු රසයට ලොබ බඳින අනුග්‍රාහකයෙකු ප්‍රමාණවත්ය.
නීනීතියේ ආධිපත්‍යය පැවතීම ඔවුන්ට රිසි නැත. ඒ නිසා ම විටින් විට පොලීසිය, හමුදාව කිච කරණ උද්ඝෝෂණ, සන්දර්ශන හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කළ යුතුය.
ඒවායින් ඔවුන් අමතර ලුබ්ධිමය වින්දනයක් ද ලබයි. එම මනෝභාවය නිසාම ඔවුන් පවතින නීතියට ද, අලුතින් ගෙන එන නීතිවලට ද, සියල්ලට විරුද්ධය.
සමාජයක පැවැත්ම එහි ආර්ථිකයේ සාර්ථකත්වය, නීතියේ අධිපත්‍ය මතින් පමණක් පවතින්නේ නැත.
එම සමාජය හා ඓන්ද්‍රීයව බැඳී පැවතුන ආගමික, සංස්කෘතික මතවාද, හුරුපුරුදු සහ සිරිත් විරිත් මඟින් ද එම සමාජයේ යහපැවැත්ම ස්ථාපිත කරයි.
ආර්ථික හා සාමාජීය හේතූන් අනුව එම සංස්කෘතික සාධක ක්‍රමිකව වෙනස් වීම සිදුවේ. එහෙත් ඒ සියලු සමාජ, සංස්කෘතික ස්ථාපිතයන් අරාජිකවාදී කල්ලි කණ්ඩායම්වල හිතුවක්කාරී ක්‍රියාමාර්ග මගින් එකවර කඩාබිඳ දැමීමෙන් එම සමාජයේ ආධ්‍යාත්මික පැවැත්ම අර්බුදයට යයි.
මෑත කාලීනව රට තුළ ප්‍රකාශයට පත්වන, පෙරකී පාසල් දරුවන්ගේ අශෝභන හැසිරීම් වැනි හුදෙකලා සිදුවීම් මඟින් ප්‍රකාශයට පත් වන්නේ ඉහත කී අරාජිකවාදී සංකල්ප සමාජගත වීමේ ප්‍රතිඵලයයි.
එම ප්‍රතිඵලයට රටේ ආර්ථික අර්බුදයේ නිර්මාණයන් මෙන්ම එයට එරෙහිව සමාජයෙන් නෛසර්ගිකව උපන් අරගලය දිග්ගැස්සුණු අරාජිකවාදයකට ගෙන ගිය පශ්චාත් අරගලකරුවන් ද එකසේ වගකිව යුතුය.
එම තත්ත්වය තුළ වැටුණු රට ගොඩ ගැනීම යනු රටේ උද්ධමනය පාලනය කර, විනිමය අනුපාතය පහතට ගෙන, බඩු මිල අඩුකර ජන ජීවිතය සාමාන්‍යකරණය වී ඇතැයි සිතීම නොව, ඒ සඳහා රටේ නීතියේ ආධිපත්‍යය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි විස්වාසය, අනුකූලතාවය නිර්මාණය කිරීම සිදු කළ යුතුය.
සමාජය අවුස්සන, අරාජික කරන, දුර්මත සමාජගත වීම පාලනය කර ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය තහවුරු කළ යුතුය. මිනිසුන්ගේ ඇදහිලි, විශ්වාස මතින් ගොඩනැගී ඇති ආයතනවල පැවැත්ම තහවුරු කළ යුතුය. එසේම ඒවා මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට සීමා කර ඔවුන්ගේ ආර්ථික හා දේශපාලනික ජීවිතයට ඇඟිලි ගැසීමේ සීමාවට ඈතින් කළමනාකරණය කළ යුතුය.
බාහිර නිරීක්ෂකයෙකු ලෙස, අද රට තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කරමින් සිටින ක්‍රියාවලිය මා දකින්නේ ඉහත කී ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සාධක සියල්ල එකවර කළමනාකරණය කිරීමේ උත්සාහයක් ලෙස ය.
IMF සමග ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට වෙහෙසෙන ඔහු එහි ප්‍රතිඵලයක් ලෙස සමාජය නිවී යන්නට මත්තෙන් ත්‍රස්ත විරෝධී පනතක් ගෙනැවිත් යළි අවුළුවාලයි.
ඒ සංවාදය අතරතුර ම ඉන්දියානු ණය ප්‍රතිසංස්කරණය අරඹයි. ලබාගත් කෙටි කාලීන ණය ගෙවා දමන්නට සැරසෙයි. මේ සියලු යුද ගිනි මැද, “මහා විහාර විශ්වවිද්‍යාලය අරඹයි”, ඒ අතරම ආගමික ස්ථාන විසින් ඵලදායි ආර්ථික ක්‍රියාවලියක නොයොදවා ඇති මුඩුබිම් ගැන ප්‍රශ්න කරයි.
මේ දෙස බලා සිටින විට මේ මිනිසා දොඩංගොඩ බදාගෙන දැයි සිතේ. එහෙත් සියලුම පදනම් කුළුණු බිඳ වැටී ඇදවැටුණු සමාජයක්, එක් වරකට, එක් කුළුණක් ඔසවා කෙළින් කළ නොහැක.
එය සිදු කළ හැක්කේ සියලු කුළුණු එකවර එසවීමෙනි.
එය එක් මිනිසෙකුට තනිව කළ නොහැක එහෙත් එය සිදු කිරීමට එක් නායකයකු ප්‍රමාණවත්ය.
– වරා