සියවසේ කතිකාවට ඔබත් එන්න

සමාජයීයවත්, ආර්ථිකවත් දැවැන්ත ගරාවැටීමකට ලක්ව ඇති ශ්‍රී ලංකාව පෙර පුරුදු සාම්ප්‍රදායක චින්තනයන්ගෙන් හෝ අදූරදර්ශී වැඩසැලසුම් හරහා තවදුරටත් ගොඩ නැගිය නොහැකි බව වුවමනාවටත් වඩා අප අත්දැක ඇත්තෙමු. දශක හතකට වඩා වැඩි කාලයක් පුරා අපේ රටේ හිටපු සහ ඉන්න දේශපාලන නායකයෝ විවිධ උත්සාහයන් දරා ඇති නමුත් අපේ රට ඵෙතිහාසිකව ගොඩනැගී ඇති සමාජ සංස්කෘතික සන්දර්භය ඇතුළේ අපට පාර පෙන්වා ඇත්තේ අද අප අත්විඳින ආර්ථිකමය සමාජමය ගරා වැටීම වෙතය. මේ මොහොතේ ඒ සඳහා වගකිවයුත්තේ කවුරුන් දැයි සෙවීමට වඩා, එකිනෙකාට චෝදනා කරමින් සිය දේශපාලනික වාසිය බලා වැඩකරනවාට වඩා වැදගත් වනුයේ අපේ රටේ දුවා දරුවන්ගේ, තරුණ තරුණියන්ගේ අනාගතය හැකි සෑම උත්සාහයක්ම දරා දෑස් හැරගෙන අප මේ යන අන්ධකාරී ගමන් මගින් මුදවා ගෙන ආලෝකයේ දිශාව වෙත යොමු කරවීමට උත්සාහ දැරීමය.

ඒ වෙනුවෙන් පළමුව නොබියව ගතානුගතික මතිමතාන්තර පසෙකලා අලු‍ත් සහ රැඩිකල් ඉදිරි පියවර තැබිය යුතු බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඒ සඳහා මානසිකව මෙන්ම කායිකවත් සියලු‍ රටවැසියා සූදානම් විය යුතුය. සූදානම් කළ යුතුය. ඒ ගමන මේ රටේ සියලු‍ පුරවැසියන්ගේ ගමනක් විය යුතුය. එක පුද්ගලයකුගේ හෝ තනි කණ්ඩායමක වුවමනාවට සිදු නොවිය යුත්තකි. මන්ද එසේ වුවහොත් අරමුණු සහගත ගමන වැඩිදුර නොගොස් පරණ පුරුදු පාරට වැටීම නොවැළැක්විය හැකි බැවිනි. අප ඉතිහාසය පුරා එසේ ඇද වැටුණු අවස්ථා ගණනාවක අත්දැකීම්, නොවැටී කෙටි දුරක් හෝ ගිය ගමන්වල අත්දැකීම් මෙන් සිය දහස් ගුණයක් ඇති බැවිනි.

“‍නොනැවතී ඉදිරියට යන්න”‍ යැයි අප අසා ඇති නමුත් අප මේ තාක් කාලයක් කළේ නැවතී බලාසිටීම මිස නොනැවතී ඉදිරියට යාම නොවේ. ඒ අපට යාමට තරම් ගමනක් නොවීම නිසාය. කෙසේ වෙතත් අප යනවා නම් යා යුත්තේ ඔහේ යන්නන් වාලේ නොව නිවැරදි දැක්මක්, වැඩපිළිවලක් සහ ඉලක්කයක් ඇතුවය. එසේ නොවන සෑම විටම අප අතරමං වන බව දනිමු. අපේ රට අද මේසා විශාල විනාශයකට ගොදුරුව ඇත්තේ ඒ නිසාමය.

ඒ අප දැනටමත් දන්නා පරිදි මේ රටේ අති බහුතරයක් දේශපාලකයෝ ඉදිරිය වෙනුවෙන් සැලසුම් සකස් කළේම රටේ අභිවෘද්ධිය ඉලක්ක කොටගෙන නොව ඊළඟ ඡන්දය ඉලක්ක කොට ගෙන බැවිනි. ඊළඟ වතාවෙත් තමන්ගේ ආසනය රැකගැනීමේ පටු අරමුණ සපුරා ගැනීම වෙනුවෙනි. නමුත් මෑත ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ පාලකයෙක් අනාගත පරම්පරාව වෙනුවෙන්, රටේ අනාගතය භාරගන්න ඉන්නා තරුණ තරුණියන්, දුවාදරුවන් වෙනුවෙන් වූ සැලසුමක් පිළිබඳව සාකච්ඡා කරමින් යනවා.

“‍අපි හිතන්න ඕනි අපේ අනාගතය නෙමෙයි, අපි හිතන්න ඕන තරුණයන්ගේ අනාගතය ගැන. අපි නිදහසින් සියවස ලැබෙද්දි 2048 අපි දියුණු ආර්ථිකයක් වෙන්න ඕන. ඒ ඉලක්කය ඉන්දියාවට තියෙනවා 2047. 2048 ශ්‍රී ලංකාවේ වර්ෂය කරගන්න. ඒ වෙන කොට අපි දියුණු රටක් වෙන්න ඕන. ඒ නිසා දැන් අපට තියෙන්නෙ අනාගතය දිහා බලන්න. අලු‍තින් කරගෙන යන වැඩසටහන දිහා බලන්න. ඒකට එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. මේක අවුරුදු 25ක වැඩසටහනක්. අපි හැමෝම එකතු වුණොත් අපිට මේක ජයගන්න පුළුවන්. මේ අවුරුදු 25ක දීර්ඝ කාලීන වැඩසටහනට එකතු වන්න රට දියුණු කරන්න කියලා මම ආරාධනා කරනවා.”‍ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදාක මාධ්‍ය වෙත යොමු කළ විශේෂ ප්‍රකාශයක් හරහා මුළු රටටම කියා සිටියේ ය.

දැන් ප්‍රශ්නය ජනාධිපති රනිල් කියපු නිසා මේ කාර්යයට සහයෝගය දිය යුතුද යන්න නොවේ. මන්ද කාලාම සූත්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට කවුරුවත් කිව්ව නිසා අපි කිසිවක් පිළිගත යුතු නැතැයි කියා මේ රටේ අති බහුතරයක් දෙනා මනාසේ දන්නා බැවිනි. ඒ නිසා ජනාධිපති රනිල් රටේ අනාගත ඉරණම වෙනස් කිරීමට උත්සාහ දරන ඒ කියන දීර්ඝ කාලීන වැඩසටහන කුමක් ද යන්න පිළිබඳ විමසුම් ඇසින් බලා එමඟින් රටේ ඉරණම තීරණය කිරීමට තරම් ශක්මත් නම් සහ 2048 වෙද්දි ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කළ හැකි දැයි කිරාමැන බලා ඔබට ඔබේ තීරණය ගත හැකිය. තවදුරටත් නොසැලී නැවතී පුරුද්දට මෙන් දේශපාලකයන්ගේ ගමන් මර්ග දෙස බලා සිටීමෙන් රටට හෝ රටේ ජීවත්වන කිසිවකුට අංශුවක හෝ ප්‍රයෝජනයක් අත්නොවේ. සියවසේ කතිකාව ගොඩනැගෙන්නේ ඒ වෙනුවෙනි. ඔබේ කැමැත්ත අකමැත්තට ප්‍රථම එහි අඩංගුව පිළිබඳව පිටින් බලා තීරණය කිරිමට හදිසි නොවිය යුතුය. අනවබෝධයෙන් වෙන්වීමට වඩා අවබෝධයෙන් එක්වීම වඩාත් සාර්ථක වන නිසාය. සියවසේ කතිකාව එකී’අවබෝධය’පිණිසය.

එසේ නම් මෙවන් වේදිකාවක් වෙත සමාජය සකස් කිරීම අප කාගේ කාගේත් යුතුකමය. තවදුරටත් සාම්ප්‍රදායික රාමුව තුළ’සිටීම යළි සියවසක් පරාජිත තත්වයක් වෙත පාර කපන්නක් වීම අනිවාර්යයකි. දැන් එම ගමන් පටු සීමාවන්ගෙන් නතර කළ’යුතුය. ඇත්තේ දුර දිවීමක අනන්තයක් නම් කෙටි මං තෝරා මං මුලාකිරීම හෝ බැඳිවල ගොස් අතරමංවීම් තව දුරටත් නොකළ යුතුමය. පසුගියදා ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන් අමතා මේ පිළිබඳ කදිම අදහසක් ඉදිරිපත් කළේය. ඒ මෙතෙක් පැවැති රාජ්‍ය’අංශයේ සාම්ප්‍රදායික වැඩ රටා නතර කොට නව වැඩ රටාවක් වෙත ප්‍රවිෂ්ඨය ලබා ගැනීමට කළ’දැනුම් දීමත් සමගය.

“මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. යම් යම් කටයුතු සදහා මුදල් ලබාදීමට පසුගිය කාලයේ අමාත්‍යාංශවලට සිදු වුණා. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි. දේශපාලනඥයින්, පරිපාලන නිලධාරින් අප සියලු‍දෙනා ඊට පිළිතුරු දිය යුතුයි. වුණ දේ වුණා. නමුත් මෙය අපට ආපසු හැරවිය හැකියි.

1977 දී අපි ආණ්ඩුව අරගෙන අවුරුදු 10ක් යනකොට රටේ ආර්ථිකය හදලා මහවැලි ව්‍යාපාරයත් අවසන් කළා. 2001 දී අපි ආණ්ඩුව භාරගෙන 2004 වන විට රටේ වැටි තිබු ආර්ථිකය ගොඩගත්තා. මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක පමණක් නොවෙයි ඊට එහාට ගිය ප්‍රගතියක් අපට අත්කරගත හැකියි.

අපේ ප්‍රධාන කාර්යයක් වන්නේ රාජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමයි. මෙම සියලු‍ සමාගම් පාලනය කරන ප්‍රධාන සමාගමක් තිබෙනවා. මේවා පිළිබඳ සොයා බලා ඇතැම් ඒවා අපි රජය යටතේ තබා ගනිමු. ඇතැම් ඒවායේ කොටස් බහුතරයක් රජය තබාගෙන ඉතිරි කොටස් පෞද්ගලික සමාගම් වෙත ලබා දිය යුතුයි. ඒ නිසා මේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට උපරිමය සහය ලබා දෙන්න කියා මම සියලු‍දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

දැන් තරුණ සේවා සභාව මඟින් සිදු කරන්නේ පුහුණු කිරීම් විතරයි. ඒ වගේම ජාතික ආධුනිකත්ව මණ්ඩලය තිබෙනවා වෘත්තීය පුහුණු අධිකාරිය තිබෙනවා. මේ ආයතන දෙකම ඒකාබද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. මේ දීප ව්‍යාප්තව තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පළාත් සභා මගින් පාලනයවීම වඩාත් හොඳයි.

ඒ නිසා රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එක්වන්නේ කෙසේද කියා අමාත්‍යාංශ තීරණය කළ යුතුයි. පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම බිම් මට්ටමින් බලය බෙදැහැරීම පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ තීරණ ගැනීමට සිදු වෙනවා. අපි එම කටයුතු අවසන් කරමු.

අපි අධ්‍යාපනය ගැන අවධානය යොමු කළහොත් අපි මෙය පළාත් සභාවලට දෙන්න තමයි සැලසුම් කළේ. නමුත් එය අනිත් පැත්තට සිදුව තිබෙන්නේ.
කෘෂිකර්මාන්තය ගත්තොත් කෘෂිකර්මයෙන් කොටසක් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්, කොටසක් කරන්නේ පළාත් සභාවෙන්. ඇයි අපිට මෙය පළාත් සභාවට භාරදිය නොහැකි. මේ බලතල ජාතික අමාත්‍යාංශය යටතේ තබා ගත යුතුයි කියා කොතනවත් සඳහන් වෙලා නැහැ. මෙය ලබාදුන්නොත් ජාතික අමාත්‍යාශයට පළාත් සභා පාලනය කළ හැකියි.

අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත් කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ. ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම, හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි. මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා. පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම. ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදු වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අපි සීග්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සදහා අපි 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා.”‍ යන්නය.

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය තුළ’සියවසක් දක්වා සමාජය සන්නද්ධවීමට බලපෑම් සහගත කණ්ඩායම වන රාජ්‍ය’අංශය වඩා වැඩියෙන් කතා බහට ලක් කොට ඇත. ගරා වැටීම් කප්පරක්ව, බිඳ වැටීම් නහුතයක්ව, එම අගාධයේම වැටී ඇති ලංකාවේ රාජ්‍ය අංශය වෙනස් නොකොට මේ රට සංවර්ධනය කළ’නොහැකි බව අප කවුරුත් දන්නා කරුණ’වෙමු. එසේ නම් සියවසක් තුළ’නිවහල්වීමට අපේක්ෂිත රටක මළකුණු තබාගෙන බැරි බව ජනාධිපතිවරයා නොකියා කියා ඇත.

ඔව් මේ සියලු‍ දේ නිවැරදි කර ගත යුතු කාලයයි. නොමැති නම් රටට ගමනක් නැත. ඒ ගමනේ පන්නරය වන්නට ඔබ අප හැමට හැකිය. නොමැති නම් අපට ගමනක් නැත.

– මහෝඝ