ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් 6000කගේ රැකියා අහිමි වීමේ අවදානමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට හැමදාම කළ නොහැකි බවත්, එම නිසා ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට විනිවිදභාවයකින් යුතුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (30) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවාව යනු අපිටම ආවේණික වූ ගුවන් සේවාවක්. මීට දශක ගණනාවකට පෙර තමයි ජාතික ගුවන් සේවාවක් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව ආරම්භ වුණේ. එවක එමිරේට්ස් ගුවන් සේවාව විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාලනය කරන සමයේ රුපියල් මිලියන 30 ලාභයක් ලබා ගැනීමට සමත් වුණා. එය හැරෙන්නට කිසිදු ලාභයක් උපයා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතෙක් සමත් වුණේ නැහැ.

කිසි දිනෙක ගුවන් යානයක් දැක නොතිබූ, ගුවන් යානයකට පය නොතැබූ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් තමයි මේ ගුවන් සේවය නඩත්තු කරන්නේ. අපටම කියලා ජාතික ගුවන් සේවයක් තිබෙනවා කියන අභිමානයකුත් තිබුණා. එම අභිමානයට ගෙවන මුදල සාධාරණ ද කියන ප්‍රශ්නය අද මතු වෙනවා.

අද වන විට මේ ගුවන් සේවාව ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් ණය වෙලා තිබෙනවා. ජාත්‍යන්තර බැඳුම්කරවලට, කල්බදු ක්‍රමයට ගත් ගුවන් යානා වෙනුවෙන්, දේශීය රාජ්‍ය බැංකුවලට ඇතුළු ආයතන කිහිපයකට එම හිඟ මුදල් ගෙවන්න සිදුව තිබෙනවා. මුදල් ගෙවන්නේ නොමැතිව ලබා ගත් ඉන්ධනවලටත් මුදල් ගෙවන්න වෙලා තිබෙනවා. මේ විදිහට ණය වෙලා ගුවන් සේවයක් ඉදිරියට පවත්වාගෙන යන්න බැහැ.

රටේ ඇති වූ විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික අවපාතය නිසා වෙනදා වගේ අලාභ ලබන අවස්ථාවලදී මුදල් ලබා දෙන්න රජයට පුළුවන්කමක් නැහැ. එහෙම ගෙවන එක සාධාරණත් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තීරණය කළේ ඒ නිසයි. රජය යටතේ 51%ක් තියාගෙන තමයි ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදුකරන්නේ. 49%ක් වෙනත් ආයෝජකයකුට ලබා දෙන්න තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සංදේශය මීට මාස හයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් ගොඩබිම් මෙහෙයුම්වලින් සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් නම් යම් ලාභයක් ලබනවා. නමුත් ඒවායින් යම් ලාභයක් ලැබුවත් ගුවන් සේවයේ අලාභය පියවා ගන්න බැහැ.

එනිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් වෙන් වෙන් වශයෙන් විකුණන්න අවශ්‍ය ද කියන කාරණයත් හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සංදේශයත් සැලකිල්ලට ගෙන සකස් කළ යෝජනා මාලාව මුදල් අමාත්‍යාංශය හරහා අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන් වෙත යොමු කර තිබෙනවා. අපට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා විනිවිදභාවයකින් යුතුව අප කටයුතු කරනවා.

අඩුම තරමින් ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අනතුරුව සේවක අයිතිවාසිකම් අරක්ෂා වන ආකාරයට කොන්දේසි සහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ගන්නා පැමිණෙන ආයෝජකයාට අප එය භාර දෙනවා. මෙසේ පැමිණෙන ආයෝජකයා හරහා ශ්‍රී ලංකන් වැඩිදියුණු කිරීමට පසුව අප බලාපොරොත්තු වෙනවා. කඩිනමින් මේ කටයුත්ත සිදු නොවුණහොත් සේවකයන් 6000කගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතිනවා.

මෙවැනි පසුබිමක කොවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ පමණක් නොව, මුළු ලෝකයේම ගුවන් සේවා කඩාවැටුණා. සංචාරකයන් රටවල්වලට පැමිණියේ නැහැ. ලෝකයේ රටවල්වලට තම ගුවන් යානා ගුවන්තොටුපළ තුළ ගාල් කර තැබීමට සිදුවුණා. එවැනි තත්ත්වයක් තුළ කටාර් ගුවන් සේවයේ නියමුවන් හැත්තෑ දෙදෙනකු ඉවත් කිරීමට පවා සිදුවුණා. නමුත් අපේ ගුවන් සේවකයන්ට වැටුපෙන් භාගයක් ලබා දුන්නා. ගුවන් නියමුවන් නිවසේ සිටියත් වැටුප් ලබා දුන්නා. එවැනි මානුෂීය හැඟීමකින් යුතුව තමයි රජය කටයුතු කළේ.

කොවිඩ් ව්‍යසනයෙන් පසුව අරගලය ආවා. සංචාරකයන් ලංකාවට ආවේ නැහැ. නමුත් එම සියලු අභියෝග මැඩපවත්වාගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජයට පුළුවන්කම ලැබුණා නැවත ගුවන් සේවාව හරහා අපේ රටට සංචාරකයන් ගෙන්වා ගන්න. දිනෙන් දින සංචාරකයන් ලංකාවට එන්න පටන් ගත්තා.

මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා

විපක්ෂය හැමදාම කළේ රටට අසත්‍ය ප්‍රචාරය කිරීමයි. හරි තොරතුරු දැන ගන්න කලින් පූර්වකථන කරන්න ගිහින් විපක්ෂය අද අනාගෙන තිබෙනවා. බැංකු පද්ධතිය කඩාවැටෙනවා කිව්වා, ප්‍රතිලාභ අහිමි වෙනවා කිව්වා. මෙවැනි නොයෙක් බොරු ප්‍රචාර අරන් ගියා. නමුත් ජනතාවට කිසිදු හානියක් නොවන බව මූල්‍ය කේෂ්ත්‍රෙය් විද්වතුන් ප්‍රකාශ කරනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කටයුතු කරනවා