සිස්ටම් චේන්ජ් කරන්නේ මෙහෙමයි

අරගලය කළේ සිස්ටම් චේන්ජ් කරන්න නම් චේන්ජ් කරන සිස්ටම් එකේ අරගල කරපු පිරිස් හෝ තරුණයන් සිටිය යුතුයැයි බොහෝ පිරිස් කරුණු දක්වයි. දැන් දැන් ඒ සිස්ටම් චේන්ජ් එකට අදාල වැඩ ටික තිතට සිදුවෙමින් පවතී. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බලය විමධ්‍යගත කිරීමේ පූර්වාදර්ශය පසුගියදා පෙන්නුම් කළේය. ඒ පාර්ලිමේන්තුව තුළ’ඒ ඒ විෂයන්ට අදාළ’ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවා එයට පාර්ලිමේන්තුවෙන් පිටත සිටි නමුත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරින්තරයෙන් පෙනී සිටින තරුණ තරුණියන් ඇතුළත් කළේය. මීට සමගාමීව ජන සභා ක්‍රමය පිහිටුවා ගමේ සංවර්ධනය ගැන තීන්දු ගැනීමට හැකි නෛතික යාන්ත්‍රණයක් නිර්මාණය කළේය. ආණ්ඩුකරණයේ දී මහජනතාවගේ බලය තිව්‍ර කිරීම වෙනුවෙන් ගත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණයන් අද යථාර්ථයක් වී ඇත.

මොකක් ද මේ ආංශික අධීක්ෂණ කාරක සභා?

පසුගිය 13 වන දින ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය මෙම සුවිශේෂී සංධිස්ථානය වෙත පිය නගන ලදී. පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් තෝරා පත් කර ගැනීම එදින සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා මෙම ආරම්භක අවස්ථාවට සහභාගී වූ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (ඹභෘඡ) සමග එකතු වී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම අවස්ථාව සංවිධානය කළේය.

ආර් ථික , සමාජීය, මාධ්‍ය, නීතිය, තාක්ෂණය සහ ආගමික වැනි විෂය ක්ෂේත්‍රයන්ට අදාලව පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරනු ලැබූ ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් සඳහා මෙහිදී තරුණ නියෝජිතයින් තෝරා ගනු ලැබීය.

මේ සඳහා පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවූ අතර එම විශාල අයදුම්පත් ප්‍රමාණය අතරින් සුදුසුකම් ලත් අවු. 18 – 35 අතර වයසේ තරුණ නියෝජිතයන් එක් කාරක සභාවකට 5 දෙනා බැගින් තෝරා පත්කර ගැනීමට පාර්ලිමේන්තුව විසින් කටයුතු කෙරිණි. මෙහිදී ඒ ඒ විෂයන් සම්බන්ධ ප්‍රාමාණික දැනුම ඇති එම ක්ෂේත්‍රයන්වල නියැලෙන, අත්දැකීම් ඇති නියෝජිතයන් මේ සඳහා තෝරා ගන්නා ලදී.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභා වන්නේ,
(1) ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ කාරක සභාව
(2) සංහිඳියාව සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාව
(3) ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාව
(4) ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ කාරක සභාව
(5) ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කාරක සභාව
(6) භාණ්ඩ හා සේවා අපනයනය වැඩි කිරීම පිළිබඳ කාරක සභාව
(7) ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ කාරක සභාව
(8) බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ කාරක සභාව
(9) ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ කාරක සභාව
(10) පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ කාරක සභාව
(11) අධ්‍යාපනය පිළිබඳ කාරක සභාව
(12) විදේශ රැකියා සහ කම්කරුවන් පිළිබඳ කාරක සභාව
(13) සාධාරණ සහ නීතිගරුක සමාජයක් පිළිබඳ කාරක සභාව
(14) සෞඛ්‍ය පිළිබඳ කාරක සභාව
(15) දරුවන්, කාන්තාවන් සහ ලිංගභේදය පිළිබඳ කාරක සභාව
(16) මාධ්‍ය, තාරුණ්‍යය, උරුමය සහ නව පුරවැසියා පිළිබඳ කාරක සභාව
(17) විවෘත සහ වගකියන රජය පිළිබඳ කාරක සභාව

ශ්‍රී ලංකාව යනු සංස්කෘතික විවිධත්වය පෙන්නුම් කරන බහු ආගමික, බහු ජාතිකත්වයන් සහිත රටකි. නමුත් මේ විවිධත්වයේ අගයන් නොසලකා සිදුවන ගැටුම්කාරිත්වයන් සමාජ සංවර්ධනයට බාධාවක්ව තිබේ. එම නිසා ජනවර්ග අතර සහජීවනය යන්න තවමත් අත්පත් කර ගැනීමට අසීරු ඉලක්කයක්ව තිබේ. ආගමික සහජීවනය සංවේදී වචනයකට පමණක් සීමා නොකර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට මෙම පළමු ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ කාරක සභා නියෝජිතයන්ට හැකිවනු ඇත. දෙවන සහ තෙවන කාරක සභාවලට ජාතික සාමය සහ ආරක්ෂාව යන විෂය පථය අදාල වේ.

ජාතික ආර්ථිකය වර්තමානයේ වැදගත්ම මාතෘකාව වී ඇත. ගිලෙන නැවකට සමාන වූ රටේ බංකොලොත් බවට පත් කෙරෙැණු ආර්ථිකය යළි ගොඩනැංවීමට එම විෂය පිළිබඳව විශේෂඥ දැනුමකින් හෙබි බුද්ධිමතුන් අත්‍යවශ්‍යයි. එය කිසිසේත් පහසු කාරණයක් නොවනු ඇත. ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ කාරක සභාව සහ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ කාරක සභාව මෙම විෂයට අදාල වේ.

අනෙක් වැදගත් කාරණයක් වන්නේ ජාත්‍යන්තර සබඳතා මඟින් රටේ දියුණුවට මග පාදා ගැනීමයි. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කාරක සභාවෙන් එයට විශේෂ අවධානය යොමු කළ හැකිය.

පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ කාරක සභාව යනු ඉතාම වැදගත් විෂය පථයකි. සංවර්ධනයේදි පරිසරයට වන හානිය නොතකා හැරීම නිසා එහි පීඩාවන්ට අද රට මුහුණ දී සිටී. අද එය ලෝක පරිමාණ ගැටලුවක් වී ඇත. මේ සඳහා මෙරට තරුණ ප්‍රජාවගේ මැදිහත්වීම අනාගතය වෙනුවෙන් වන අත්‍යාවශ්‍ය කරුණකි.

සාමාන්‍යයෙන් රටක අධ්‍යාපන ක්‍රමය සැකසෙන්නේ රටේ අනාගත සංවර්ධනය ඉලක්ක කරන ආයෝජනයක් ලෙසය. තරගකාරී විභාග ක්‍රමට සිර කෙරෙැණු ගිරා පෝතකයන් වන් දරුවන් බිහි කරන අධ්‍යාපන ක්‍රමය නිසා අධ්‍යාපන පද්ධතියම විකෘති ස්වභාවයකින් පවතී. එසේම වර්තමානය තුළ එහි ආදීනව දකින්නට තිබේ. මේ නිසා අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන කාරක සභාවේදී නව අධ්‍යාපනය ක්‍රමයක් වෙනුවෙන් අවශ්‍ය පිඹුරුපත් සැකසීම එම තරුණ තරුණියන්ගේ වගකීමක් කරගත හැකිය.

මේ අනුව මෙම කමිටු 17ම විෂය පථයන් රටේ දැවැන්ත සංවර්ධනයක් සඳහා පියමනින ගමනේදී අත්‍යවශ්‍ය මෙන්ම වැදගත්කමින් යුතු වේ.

අධීක්ෂණ කමිටු ක්‍රියාත්මක කිරීමේදී, පාර්ලිමේන්තුවේ සියලු‍ම දේශපාලන පක්ෂ නියෝජනය කරන අමාත්‍ය ධුර නොහොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් සිදු වෙනු ඇත. එමගින් තරුණ නවක මන්ත්‍රීවරුන්ටද ආණ්ඩුකරණයට සම්බන්ධවීමේ අවස්ථාව හිමි වනු ඇති අතරම වැදගත්ම දේ රටේ තරුණ තරුණියන් සමඟ වාද විවාද කරමින් පක්ෂග්‍රාහී නොවී වඩාත්ම නිවැරදි තීන්දු ගැනීමට හැකිවීමය. මේ අනුව මෙම ආංශික කාරක සභා ක්‍රමය මෙරට දේශපාලන ක්ෂේත්‍රය නව ඉමකට ගෙන යන දියුණුතම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් වෙනු ඇත. මෙවැනි ක්‍රමවේදයක් ගැන ලෝකයේ වෙනත් කිසිදු රටක ආදර්ශයක් නැත. ඒ අනුව මෙම ක්‍රමවේදය සාර්ථකවීම ලෝකයටම දෙන අලුත්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ක්‍රමවේදයක නූතනම ආදර්ශය ද වෙනු ඇත.

මෙතෙක් කල් මහජනයා පාර්ලිමේන්තුව යනුවෙන් දුටුවේ සභාගර්භය තුළ වාද විවාද කිරීම, ගහ මරා ගැනීම්ය. නමුත් ඕනෑම පාර්ලිමේන්තුවක තීරණාත්මක කටයුතු සිදු වන්නේ කාරක සභා හරහාය. නිදසුනක් ලෙස, යම් නීතියක් පාර්ලිමේන්තුව විසින් පනවනවා නම් ඊට පෙර ඒ පිළිබඳව සොයා බැලීම, එහි අඩු පාඩු සම්පූර්ණ කිරීම කාරක සභා විසින් සිදුකරනු ලබයි. නීතියක් සම්මත කිරීම සිදුවන්නේ ඉන් පසුවය. මේ නිසා මෙම ආංශික කාරක සභා සඳහා පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් තරුණ තරුණියන් සම්න්ධවීම කෙතරම් වැදගත් අවස්ථාවක්ද යන්න පැහැදිළිය.

මෙහිදී තරුණ නියෝජිතයන් හට සභා ගර්භයේදී කතා කිරීම, ඡන්දය ප්‍රකාශය කිරීමට හැර අනෙක් සියළු කටයුතුවලට සහභාගි වී අත්දැකීම් ලබා ගත හැකි වේ. එමෙන්ම, පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශය, පිහිටුවීමට නියමිත පාර්ලිමේන්තු අයවැය කාර්යාලය සහ දේශපාලන අධ්‍යයන කේන්ද්‍ර මඟින් තරුණ නියෝජිතයන්ට තම පර්යේෂණ කටයුතු කිරීමට වඩා පහසු වනු ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළදී එය සාර්ථකවීමට නම් රාජ්‍ය බලය හැකි තරම් බෙදී යාම මනා සංකලනයකින් යුතුව සිදු විය යුතුය. ඒ සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුළ අතර පවතින සංවරණ හා තුලනය අතිශය වැදගත් වනවා ලෙසම එම ආයතන ව්‍යුහයන් තුළින්ද ප්‍රජාතන්ත්‍රවාදයේ උස් ලක්ෂණ මූර්තිමත් විය යුතුය.

කොහොම නමුත් ආංශික කාරක සභා පිහිටුවීම මඟින් මෙම නව සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී තවදුරටත් ශක්තිමත්වීම රාජ්‍ය සංවර්ධනය වෙනුවෙන් ගත් වැදගත්ම පියවරකි. එසේම ජනසභා ක්‍රමයද ඊට මනා පිටුවහලක් වනු ඇත.

මොකක්ද මේ ජන සභාව?

ජනසභා ක්‍රමවේදය තුළ ප්‍රධාන ආයතන 04 ක් යෝජනා කර තිබේ.
ග්‍රාමීය ජන සභාව,
ප්‍රාදේශීය ජනසභා කමිටුව
ජාතික මහජන සභාව
ජාතික ජනසභා ලේකම් කාර්යාලය

ග්‍රාමීය ජනසභාවෙන් බලාපොරොත්තු වන්නේ ග්‍රාමසේවා වසමක වාසය කරන ජනයාට තම ගමේ කටයුතු පිළිබඳව තීරණ ගැනීමට අවකාශ ලබා දීමයි. එම සභාව සඳහා ගමේ තරුණ තරුණියන් සම්බන්ධ කරගනු ලබන අතර එම සෑම වසමකටම ජනසභා ලේකම්වරයෙකු රාජ්‍ය සේවයේ නියැලෙන සංවර්ධන නිලධාරීන් අතරින් පත්කර ගැනීමට මෙහිදී යෝජනා වී තිබේ. ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමෙන් ග්‍රාමීය ජනසභා ඒකාබද්ධ කරමින් ප්‍රාදේශීය ජනසභා කමිටු පිහිටුවන අතර එහි නියෝජිතයන් මාර්ගයෙන් ජාතික මහජන සභාව පිහිටුවනු ලබයි. මේ අනුව ගමේ සංවර්ධනය ගැන ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල යෝජනා කෙරෙනු ඇත. ජාතික මහජන සභාව ගන්නා තීන්දු තීරණ ජාතික ජනසභා ලේකම් කාර්යාලය වෙතින් ක්‍රියාත්මක කිරීමට අදාල පියවර ගනු ඇත. පාර්ලිමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය අතර සම්බන්ධීකරණය පවත්වා ගෙන යන්නේ ජාතික ජනසභා ලේකම් කාර්යාලයයි.

මෙම ජනසභා ක්‍රමය මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ස්වේච්ඡා සේවයකි. තමන්ගේ ගම වඩාත් යහපත් ලෙස ගොඩනැගීමට ගම්වැසියන්ගේ සහභාගිත්වය සහ තීන්දු තීරණ ගැනීම මෙමගින් සිදුවන නිසා ගම විනාශ කළා හෝ ගමට කිසිවක් නොකළාය කියා යැයි කිසිවකුට චෝදනා කිරීමේ අවස්ථාවක් යළි නොඑනු ඇත.

මෙම ක්‍රමවේදයන් හරහා වන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ දී ඉහළ දේශපාලන අධිකාරියේ තීරණ සඳහා බලපෑම් කිරීමට පුරවැසියන්ට සෘජු, ක්‍රියාශීලී හැකියාවක් ලැබේ.

එ අනුව තරුණ නියෝජිතයින් ඉතා ස්වාධීනව, තමන් සන්නද්ධ වී ඇති දැනුමෙන් රටේ දියුණුව සඳහා කටයුතු කළ හැකිය. අරගලය විසින් ඉල්ලා සිටි මහජන බලය මෙයය.

– ඇසල මනුප්‍රිය