බුල්ඩෝසරයක් ඕනෑ කර තිබේ.

ටැන්සානියාවේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තිබූ එරට 61 වන නිදහස් දින සැමරුම් අවලංගු කිරීම මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල විශේෂ ඉඩක් වෙන්කර තිබිණ. සමාජ මාධ්‍ය තුළත් එහෙමය. එහිදී නැගුණු ප්‍රශ්නය වූයේ, දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති ලංකාව ටැන්සානියාව වගේ නොවන්නේ ඇයිද යන්නය. ඒ ප්‍රශ්නයටද හේතුවක් තිබිණ. ඒ ”2023 පෙබරවාරි 04 ට යෙදුනු මෙරට 75 වන නිදහස් දින රාජ්‍ය උත්සවය” පැවැත්වීම වැළක්වීමට අරගලකරුවන් කියාගත් ළදරු වලිප්පුකාරයන් , කඩාකප්පල්කාරී කල්ලි කණ්ඩායම් කිහිපයක් පමණක් නොව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ගනු ලැබූ නීච උත්සාහය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ව්‍යර්ථ කිරීමය. නිදහස් උත්සවය පමණක් නොව වසර තිස් ගණනකට පසුව ජනරජ පෙරහැර පැවැත්වීමටද කටයුතු යෙදිණ.

මේ කාරණය මෙරට සමහර උගත් මෝඩයන්ට පවා ප්‍රශ්නයක් වී තිබිණ. ඔවුන් තමන් උගත් මෝඩයන් බව තහවුරු කර සිටියේ , විපක්ෂය ඉදිරියෙන් තැබූ සටන් පාඨය ඇත්ත කියා විශ්වාස කරමින්ය. එනම් ආර්ථික අර්බුදය නිසා නිදහස් උත්සවයට වියදම් කරන්න එපා” යන්නය. නිදහස් දින සමරු නිල රාජ්‍ය උත්සවය පැවැත්වීම වළක්වාලන්නට විපක්ෂයට තිබුණු සැබෑ අපේක්ෂාව එය නොවේය. විපක්ෂයට අවශ්‍ය වූයේ , නිදහස් දින සමරු නිල රාජ්‍ය උත්සවය පැවැත්වීමට තරම් දේශපාලන ස්ථාවරත්වයක් මෙරට නැති බව ලෝකයට තහවුරු කරන්නය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණත් රට අස්ථාවර බවට පණිවිඩය ලෝකයට දෙන්නය. සජබ නොනිල නායක ”ආර්යාව” නිදහස් දින රාජ්‍ය උත්සවයේ පූර්ව සූදානම් කිරීම් කඩාකප්පල් කිරීමට හිරුනිකාලා දැක්වුයේද ඒ සඳහාය. නිදහස් දිනය පැවැත්වුවොත් කොළඹ වටලනවා කියා තර්ජන දැමුණේ ද ඒ සඳහාය.

” නිදහස් දින නිල රාජ්‍ය උත්සවය පවත්වන්නම ඕන. නැත්නම් ලෝකය හිතයි අපිට එහෙම දෙයක්වත් කරගන්න බෑ කියලා” කියා ජනාධිපති කියූ කතාවේ තේරුම දැන් පැහැදිළි විය යුතුය. කොළඹ පමණක් නොව යාපනයේද නිදහස් සමරු නිල රාජ්‍ය උත්සව පවත්වා, මහනුවර ජනරජ පෙරහැර පවත්වා පෙන්නුම් කළේ ලංකාව දැන් දේශපාලන වශයෙන් ස්ථාවර බවය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ නීතියේ පාලනය ස්ථාපිතව ඇති බවය. රටේ බලාත්මක වන්නේ රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිගත ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” මිස අරගල ළදරු වලිප්පුවන්ගේ තර්ජන අදාළ නොවන බවය. රටේ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවේ මිස මහ පාරේ නොවන බවය. රටේ නීතිය පසිඳලන්නේ අධිකරණයේ මිස කැලෑ උසාවි වල නොවන බවය. මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය මූල්‍යාධාරය මෙරටට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් ඇත. දැන් ඇත්තේ ඊට අදාළ නිල ප්‍රකාශය නිකුත්කිරීම පමණය. ඒ සමඟ නිල වශයෙන් බංකොලොත් රටක් වීම නිසා අහිමිව ගිය ගෝලීය මූල්‍ය සම්බන්ධතා නැවත ආරම්භ කිරීමට අවස්ථාව හිමිවන අතර, පිස්සන් හැසිරුණු ආකාරයටම දොස්තරත් හැසිරෙන්න ගියා නම් ලංකාව මේ කපේ ගොඩගන්නවා බොරුය.

ඒ නිසා ටැන්සානියාවේ නිදහස් උත්සවය නොපැවැත්වීම සහ ඒ ආකාරයට ලංකාව නොකිරීම ගැන දෙඩවීම තවදුරටත් වලංගු නැත. ඒවා හුදු අවලාද පමණක්මය. නමුත් ටැන්සානියාවම ආදර්ශයට ගත යුතු නම් ඔය අවලාද වලට වඩා වැදගත් ආදර්ශ සොයා ගැනීමත් දුෂ්කර නැත.

ටැන්සානියාවේ වත්මන් ජනාධිපති සමියා සුලුහු හසන්, එරට නිදහස් දින සැමරුම් අවලංගු කිරීම මාර ආදර්ශයක් ලෙස ගත්ත උදවිය එය ජනාධිපති රනිල්ට පහරදෙන්න අවියක් කර ගත්තේ , එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීම හුවා දක්වමින්ය. ඊට අනුව එරට නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් වැය කිරීමට නියමිතව තිබුණ අතර එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට යොදා තිබිණ. කොහොම නමුත් මේ ටැන්සානියාව නිදහස් සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව නොවේය. ඒ සඳහා සමියා සුලුහු හසන් ජනාධිපති ආදර්ශය ගෙන තිබුනේ 2015 දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි ගෙන්ය. එහිදී ඔහු නිදහස් සැමරුම අවලංගු කර ටැන්සානියාවේ වාණිජ අගනුවර වූ ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට එම අරමුදල් හරවා තිබිණ. 2020 දීත් ඔහු එයම කළ අතර ඒ අදාළ මුදල් වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට යොදාගන්නා ලෙස දන්වමින්ය.

ජනාධිපති ජෝන් මගුෆුලි මේ ආකාරයට කටයුතු කරන අතරේ උප ජනාධිපති ලෙස කටයුතු කළේ සමියා සුලුහු හසන් ය. ඇය ටැන්සානියාවේ ජනාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව වන්නේ 2021 වසරේදී ජනාධිපති ජෝන් මගුෆුලි ගේ හදිසි අභාවය සමඟය. සමියා සුලුහු හසන් එරට නව ජනාධිපතිනිය ලෙස දිව්රුම් දී සිදුකළ පළමු ප්‍රසිද්ධ දේශනයේදී හිටපු ජනාධිපති මගුෆුලිට හැඟීම්බර උපහාරයක් දක්වමින් සඳහන්කර සිටියේ , මේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමට කාලය නොවන බවත් සියලු දෙනා අල්ලාගෙන ජනාධිපති මගුෆුලි අපේක්ෂා කළ නව ටැන්සානියාව ගොඩනැගීමට ඉදිරියට යා යුතු බවත් ය. සැමවිටම ඉගැන්වීමට කැමති මැගුෆුලි විසින් තමාව ඉදිරි කර්තව්‍යයට සූදානම් කර ඇති බවත් එබැවින් ජාතිය එක්සත් කිරීමට කටයුතු කරන ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එහිදී පවසා සිටියාය.

61 හැවිරිදි සමියා හසන්, පාලක චමා චා මාපින්දුසි (සීසීඑම්) හි ප්‍රබලයකු වන අතර මගුෆුලි අපේක්ෂා කළ නව ටැන්සානියාව ගොඩනැගීමට ඉදිරියට යා යුතු බවට ඇය සිදුකළ ප්‍රකාශය තීරණාත්මකය. ඒ 2015 වසරේ නොවැම්බර් 05 වැනිදා ටැන්සානියාවේ එරට පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ජෝන් පොම්බේ මැගුෆුලි ගේ වෙනස් දේශපාලන හැසිරීම නිසාය. එය කොතරම් එරට ජනතාව මත බලපෑමක් සිදුකළාදැයි කියතහොත් මැගුෆුලි ට “ද බුල්ඩෝසර්” නමින් අන්වර්ථ නාමයක්ද පට බැඳිණ. 2015 දී බලයට පත්වූ විගස මැගුෆුලි ටැන්සානියාවේ නිදහස සැමරීම සඳහා වන වාර්ෂික උත්සවය අවලංගු කළේය. එහිදී ඔහු නියෝග කර සිටියේ නිදහස් උත්සවය සඳහා වැය කරන්නට වෙන්කළ මුදල් එරට මාර්ග පද්ධතිය අලුත්වැඩියාව සඳහා යොදවන ලෙසය.

එපමණක් නොව ඒ වන විට ටැන්සානියාවේ රාජ්‍ය සේවයේ දූෂණය දැනෙන මට්ටමකට ඉහළ ගොස් තිබුණු අතර, එසේ චෝදනා ලැබූ රජයේ සිටි දූෂිත නිලධාරීන් පලවා හැරීමටද මැගුෆුලි නියෝග නිකුත් කළේය. ව්‍යාජ අධ්‍යාපන සහතික දරන රජයේ සේවකයන් දහසකගේ පමණ වැඩ තහනම් කිරීමටද කටයුතු කළේය.

”මේ මිනිස්සු ආණ්ඩුවේ තනතුරු දරන්නේ කිසිම සුදුසුකමක් නැතිව. අනෙක් අපරාධකරුවන් වගේම මේ අයත් අපව මංකොල්ලකනවා. අලුත් රැකියා උත්පාදනය කරන්න අපි මහන්සි වෙමින් සිටින අතරේ හොර උපාධිකාරයන් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා.” යනුවෙන් පැවසූ මැගුෆුලි ව්‍යාජ සහතික ඉදිරිපත්කර ඇති රජයේ සේවකයන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙස ටැන්සානියාවේ මාධ්‍ය වෙතින් ද ඉල්ලා සිටියේය.

එතැන් සිට රැඩිකල් තීන්දු තීරණ ගනිමින් ඔහු විශේෂයෙන් රාජ්‍ය අනවශ්‍ය වියදම් තක්සේරු කර දැඩි කප්පාදුවකට ලක්කළ බවද ප්‍රසිද්ධය. රාජ්‍ය සේවකයන්ට විදෙස් සංචාර තහනම් කිරීමත් එලෙස මැගුෆුලි නිකුත් කළ විශේෂ නියෝගයක් නියෝගයක් විය. ඊට අනුව විදෙස් ගතවීමට අවස්ථාව හිමිවූයේ අත්‍යවශ්‍ය කටයුත්තකදී ඉහළම නිලධාරියාගේ අවසරය මත පමණය. එසේම තමන්ද ඊට ආදර්ශයක් වන බව පැවසූ මැගුෆුලි, පළමු වසර 3හිදී නැගෙනහිර අප්‍රිකාවෙන් පිටට නොගිය බවත් ප්‍රසිද්ධය. තවද ඇතැම් අවස්ථාවල ජනතා බදු මුදල් නාස්තිකරන්නන් ලෙස ඔහු විසින් රජයේ සේවකයන් හැඳින්වීය.

මැගුෆුලි ගේ මේ රැඩිකල් වෙනස්කම් හේතුවෙන් එරටට වාර්ෂිකව ඩොලර් මිලියන 430ක් ඉතිරි වූ බව 2017 වසරේ ටැන්සානියානු මහ බැංකු වාර්තා අනාවරණය කර තිබිණ. එසේම මැගුෆුලි ජනාධිපතිවීමත් සමඟ ටැන්සානියාවේ පතල්වලින් ලබා ගන්නා සාන්ද්‍රනමය ලෝහ (රත්රන්, ප්ලැටිනම්, රීදි ආදිය ) අපනයනය කිරීම සම්බන්ධව වාරණයක් පනවනු ලැබීය. 2017 දී ඒ සම්බන්ධව ටැන්සානියාවේ විශාලතම රත්රන් කර්මාන්තායතනය විවේචනය කළ අතර ඊට මැගුෆුලි ගේ ප්‍රතිචාරය වූයේ ඔවුන්ට අයත් කන්ටේනර් 250ට අධික ප්‍රමාණයක් රාජසන්තක කිරීමය.

තවද වසර 17ක් තිස්සේ රන් කර්මාන්තයේ නියුතුවීම තක්සේරු කරමින් , රත්රන් කර්මාන්තකරුවන්ගේ අපනයන හා ආදායම් පිළිබඳ විස්තර තක්සේරු කර ඔවුන් වෙත ඩොලර් බිලියන 190ක බද්දක් නියම කිරීමටත් මැගුෆුලි කටයුතු කළේය. තවද රටේ තීරණ ගැනීම සම්බන්ධ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මාධ්‍ය ආවරණ සීමා කළ මැගුෆුලි පාර්ලිමේන්තුව තුළ සිදුවන ප්‍රශ්න ඇසීමේ හා පිළිතුරු දීමේ අවස්ථා ඇතුළු සීමිත ඉඩප්‍රස්ථා ප්‍රමාණයක් පමණක් මාධ්‍ය සඳහා විවෘත කරන්නටද කටයුතු කළේය. එය පාර්ලිමේන්තු කටයුතු ජනතාවගෙන් වසන් කිරීමට සිදු කළ මාධ්‍ය වාරණයක් බව විපක්ෂයේ චෝදනාව විය. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් මැගුෆුලි ගේ තොරතුරු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගනුලැබූ එම තීරණය නිසා එතෙක් මාසිකව වියදම් වූ ටැන්සානියානු ෂීලින්ග් බිලියන 4.2ක් ඉතිරි කර ගැනීමට හැකිවූ බවය.

තවද රෝහල් වල රෝගීන්ට නැරඹීමට තිබූ රූපවාහිනි වල සාමාන්‍ය වැඩසටහන් ප්‍රචාරය ද මැගුෆුලි තහනම් කළේය. ඒ වෙනුවට නියෝග කෙරුණේ සෞඛ්‍ය වැඩසටහන් ප්‍රචාරය කරන ලෙසය. එසේම දුක් විඳින රෝගීන් සම්බන්ධව විධිමත් ආකාරයට තීන්දු තීරණ ගෙන කටයුතු නොකලොත් නිලධාරීන්ට වැඩ වරදිනු ඇති බවටද අනතුරු හැඟවීය. මෙවැනි තීරණ සම්බන්ධයෙන් එරට පෞද්ගලික මාධ්‍ය විරෝධය දැක්වූවත් මැගුෆුලි ඒ කිසිවක් තැකීමට ගත්තේ නැත.

එසේම ටැන්සානියාවේ පාසැල් ශිෂ්‍යාවන් ගැබ් ගැනීම අන් රටවලට වඩා සුලභව සිදුවන්නක් විය. එහිදී පැවති තත්වය වුයේ ගැබ්ගත් පාසල් ශිෂ්‍යාවන් පාසලෙන් නෙරපා දැමීමය. නමුත් මැගුෆුලි ඊට එරෙහිව වාරණයක් පැනවුවා පමණක් නොව විකල්පයක්ද හඳුන්වා දුන්නේය. ඒ ගැබ්ගත් සිසුවියන් දරු ප්‍රසූතියෙන් පසු නැවත පාසැල් ආ යුතු බවටය. ඒ සමයේ මේ ප්‍රතිපත්ති රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළත් මැගුෆුලි ගේ ප්‍රතිචාරය වුයේ තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් මේ කටයුතු සඳහා ජනතා අනුමැතිය පළවූ බවය. එනිසා ඒ ප්‍රතිපත්ති වල කිසිඳු වෙනසක් සිදුනොකරන බවය.

එසේම විරෝධතා රැලි නොඉවසන්නෙක් ලෙසද මැගුෆුලි ප්‍රසිද්ධය. එහිදී මැගුෆුලි ගේ ස්ථාවරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධ නම් ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දුවක් ගනු ඇති බවය. එතෙක් පත්වූ ආණ්ඩුව රට ගොඩනැගීමේ කටයුතු කරන තෙක් බලා සිටිය යුතු බවය.

”කිසිවක් නෙවෙයි වැඩ කරමු‘ යන්න ඔහුගේ තේමාව විය. ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසුත් මැගුෆුලි මාසයක් පමණ වනතුරු කැබිනට් මණ්ඩලයවත් පත් කළේ නැත. ඒ වැඩ කරන්නට කැමැති, තමන්ගේ සැලසුම් වලට මනාපයක් දක්වන පිරිසක් තෝරා ගැනිමට විශේෂ අවධානයක් යොමු කළ නිසාය. මැගුෆුලි ගේ කටයුතු විපක්ෂයේ සහ මාධ්‍ය තුළ දැඩිව විවේචනය විය. නමුත් ඔහුගේ තීන්දු තීරණ ගැන ජනතාවද පළමු මොහොතේ සිටියේ විශ්වයාර්ථ වගේම ප්‍රශ්නාර්ථද ඇතිවය. නමුත් ඒවායේ ප්‍රතිඵලදායි වන බව දුටුවිට ජනතාව අතර මැගුෆුලි ”ද බුල්ඩෝසර්” ලෙස ජනප්‍රිය විය. සැබවින්ම බුල්ඩෝසරය කරන්නේ පැරණි අයහපත් දේ සහමුලින්ම පෙරලා දමා අලූත් පාලන ව්‍යුහයක් සකස් කිරීමය.

අන්න ඒ අර්ථයෙන් ටැන්සානියාවෙන් ආදර්ශයක් ආනයනය කරන්නට අවශ්‍ය නම් ඒ අන් කිසිවක් නොව මැගුෆුලි ගේ ”බුල්ඩෝසර් මාදිලිය” මිස අනෙකක් නොවේය. ලස්සනම දේ වන්නේ විපක්ෂය, ටැන්සානියානු බුල්ඩෝසරයේ ගෝලයා රැගෙන වේදිකාවට ගොඩවන විට ලංකාවේ බුල්ඩෝසරය පණ ගන්වා තිබීමය. ඒ අන් කිසිවකු නොව ජනාධිපති රනිල්ය. නමුත් රනිල් කරන්නේ ටැන්සානියාවේ මැගුෆුලි කළ දේ නොවේය. රනිල් කරන්නේ බුල්ඩෝසරයේ වැඩේය. එනම් පැරණි අයහපත් දේ සහමුලින්ම පෙරලා දමා අලූත් පාලන ව්‍යුහයක් සකස් කිරීමය. රනිල් ඒ සඳහා සුක්කානම බාරගත්තේ රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී තිබියදීය. එබැවින් බුල්ඩෝසරයේ වගකීම අනෙක් සෑම ක්ෂේත්‍රයකටම වඩා ආර්ථිකය සම්බන්ධව තීරණාත්මකය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මුල්‍ය සහය මත නැවත ගෝලීය මූල්‍ය ප්‍රවාහ සමඟ බද්දවීමේ අවස්ථාව රටට හිමිවන බව නිවේදනය කරමින් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති රනිල් එහිදී මෙසේ කියා තිබිණ. ”අප අතිශය අසීරු ආර්ථීක පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑම දෙනකුටම මෙමඟින් ඇති වන පීඩා දිගටම පවතිනවා. මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයක් මැද අප පසුගිය මාස 7 – 8 ගත කර යම් සාධනීය තත්ත්වයකට රැගෙනවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්නට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. මේ බැව් රටේ සෑම දෙනාම අවබෝධ කරගත යුතුයි. විවිධ බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ, ස්වේච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි.

බදු බර වැඩි බව වෘත්තිකයන් කියා සිටිනවා. එසේ වුවත් කෙටි කලක් මෙම තත්ත්වය පවත්වා ගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් දැනට 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකියි . එවකට බොහෝ අය කල්පනා කළා වැටුප් නැති වෙයි, විශ්‍රාම වැටුප නැති වෙයි, රැකියා නැතිවෙයි, කර්මාන්ත වැසී යාවි, පාසැල් හැමදාම වැසිලා තියේවී ආදී වශයෙන්. ඒවා යම් තරමකට අප පාලනය කරගෙන තිබෙනවා. නමුත්, සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කළහොත් එයින් මතු වන සමාජ විකල්පය අතිශය භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවේවි.

ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ වැඩකටයුතු කරන්න. රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ පැවැත්වීම ගැටලුවක් නොවෙයි. නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව මම කියන්න කැමතියි.”

අපිත් කියන්නේ ලංකාවේ බුල්ඩෝසරයට වැඩ අරඹන්න මේ තමයි හොඳම වෙලාව කියාය.

කල්ප අනුත්තර ලියනගේ