බදු නොගෙවන මාස් පඩිකාරයන්ගේ මාෆියාව

වත්මන් බදු ප්‍රතිපත්තිය යටතේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට වැඩි නම් ඒ සෑම පුද්ගලයකුම ආදායම් බදු ගෙවිය යුතුය. මෙය 2019 වසරේ පැවැති ආදායම් සීමාවට නැවැත ගෙන ඒමකි. නමුත් ඉහළ වැටුප් ආදායම් ලබන බොහෝ දෙනාගේ විරෝධය මතුව ඇත්තේ උපයන විට ගෙවීමේ බද්ධ තමන්ට දරාගත නොහැකි බව පවසමිනි. මේ සම්බන්ධයෙන් කරුනු දක්වන සියලු දෙනා පවසන්නේ තමන් ඉතා සොච්චම් වැටුපක් ලබන බවත්, එම වැටුපට බදු අය කිරීම අසාධාරණ බවත්ය. විශේෂයෙන්ම මේ ගැටළුකාරිත්වය මතු කරන්නේ රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ය.

මෙම තත්වය විකෘතියක් බව සැබෑය. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය සේවයේ සියලු ආයතනවල වැටුප් පරිමාණයක් ඒ ඒ ආයතනවලට සුවිශේෂී වූ තත්වයක් යටතේ ගෙවීම් කිරීම නිසාය. උදාහරණයක් ලෙස ජාතික වැටුප් කොමිෂන් සභාව මගින් රාජ්‍ය සේවය වෙත ඒ ඒ ශේණි සඳහා ගැලපෙන වැටුප් තලයන් නිර්මාණය කර හඳුන්වා දී ඇත. ජාතික වැටුප් කොමිෂන් සභාවේ කාර්ය භාරය ලෙස දක්වා ඇත්තේ ද ” පළාත් රාජ්‍ය සේවය හා සන්නද්ධ සේවාවන් ද ඇතුළු රාජ්‍ය සේවය ද, ඒකාබද්ධ අරමුදලින් වැටුප් ගෙවනු ලබන සුවිශේෂී ආයතනයන් ද, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, රජය සතු සමාගම්, රාජ්‍ය ව්‍යවසායයන්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ බැංකු හා වෙනත් මූල්‍ය ආයතන ද, සියලුම නියාමන ආයතනයන්ද ඇතුළුව සමස්ත රාජ්‍ය අංශයේ සියලුම ක්ෂේත්‍රයන්හි වැටුප් හා වේතන අතුළුව මූල්‍යමය පරිශ්‍රමිකයන් හා මූල්‍යමය නොවන අනෙකුත් විවිධ පහසුකම් ද අඛණ්ඩ සමාලෝචනයකට ලක් කිරීම පදනම් කරගෙන පූර්වෝක්ත අරමුණු සාක්ෂාත් කර ගැනීමට මග පෑදෙන ජාතික වැටුප් හා වේතන ප්‍රතිපත්තියක් පිළිබඳව රජයට උපදෙස් ලබාදීම” යනුවෙනි.

ගැටළුව වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් මත 06/2006 චක්‍රලේකය හරහා රජය විසින් සියලු ක්ෂේත්‍රයන්හි වැටුප් තලයන් නිර්මාණය කර තිබියදී ඒ ඒ ආයතන විසින් සිය අභිමතය පරිදි තම ආයතනයට පමණක් අදාල වන පරිදි දීමනා හා වරප්‍රසාද ලබා දීමය. 06/2006 චක්‍රලේකයට අදාලව PL /MN / MT / SL / GE / MP / RS වශයෙන් කාණ්ඩ කිහිපයට අයත් වන සේ වැටුප් නිර්මාණය කර ඇත. මේ අනුව පහළම වැටුප් තලය ලෙස PL 1 – 2006 වැටුප් කාණ්ඩයේ ආරම්භක වැටුප රු. 24,250ක් වන අතර, එම තලයට ලැබිය හැකි උපරිම වැටුප වන්නේ රු. 36,410කි. ඉහළම වැටුප් කාණ්ඩය SF 3 – 2016 වැටුප් තලය නීතිපතිට හිමිවන අතර, එම තලයේ ආරම්භක වැටුප රු. 139,000ක් වන අතර උපරිම වැටුප් තලය වන්නේ 153,625කි.

කෙසේ වෙතත් මෙම තල අතර විවිධ කාණ්ඩයේ වැටුප් තල 36ක් පවතින අතර, ඒ සියලු කාණ්ඩවල සාමාන්‍ය අගයක් ලෙස රු. 30,000ත් රු. 50,000ත් අතර අගයක් ගනී. මෙම සියලු වැටුප් මූලික වැටුප වන අතර, මීට අමතරව කලින් කලට රජයන් විසින් මූලික වැටුපට අයත් නොවන ලෙස ලබා දෙනු ලබන දීමනා ඇතුළත් වේ. මේ අතර ජීවන වියදම් දීමනාව ලෙස සාමාන්‍යයෙන් රු. 7800ක මුදලක් ලබා දෙන අතර, අමතර දීමනාවක් ලෙස රු. 7500ක් ලබා දී ඇත.

රාජ්‍ය සේවයේ පොදු තනතුරක් වන කළමනාකරණ සේවයේ පළමු පන්තියේ නිලධරයෙකුගේ ආරම්භක වැටුප රු. 31,040ක් වන අතර, අමතර දීමනා ලෙස ලබා දෙන ජීවන වියදම් දීමනාව හා විශේෂ දීමනාව එකතු කළ ද මුළු දළ වැටුප රු. 46,390කි.
එමෙන්ම මෙකී නිලධාරියෙකුට අමතර ආදායමක් ලෙස අපයා ගත හැකි එකම දීමනාව වන්නේ අතිකාල දීමනාව පමණි. නමුත් රාජ්‍ය පරිපාලන චක්‍රලේක අනුව සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුට අතිකාල හිමිවන්නේ පැය 20ක් පමණි. ඊට අමතරව අතිකාල දීමනා ලබා ගන්නේ නම් අදාල හේතු ඉදිරිපත් කර ආයතන ප්‍රධානියා මගින් අදාල අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලබා ගත යුතුය.

එසේ පූර්ව අනුමැතියකින් යුතුව අතිකාල සේවයේ යෙදෙන නිලධාරියෙකු වෙනුවෙන් අතිකාල පැයක් සඳහා ගෙවීම් කරනු ලබන්නේ අදාල නිලධාරියාගේ මුලික වැටුපෙන් 240න් 01ක් ගණනය කිරීමෙනි. ඒ අනුව සාමාන්‍යයෙන් රු. 31,040ක මූලික වැටුපකට හිමිකම් කියනු ලබන නිලධාරියෙකුගේ අතිකාල දිමනාව වන්නේ පැයකට රු. 129.33කි. ඒ අනුව විශේෂ පූර්ව අනුමැතිය ලැබු මෙම තලයේ නිලධාරියෙකු තමන්ට හිමි සම්පූර්ණ පැය 240 ආවරණය කළ ද එම නිලධාරියාට ලැබෙන අතිකාල දීමනාවේ උපරිමය වන්නේ රු. 31,040කි. මෙය මෙසේ වන්නේ අතිකාල දීමනාවල මුළු අගය මුලික වැටුප් නොඉක්මවිය යුතුය යන කොන්දේසිය හේතුවෙනි.

වරාය අධිකාරියේ විදුලි අංශයේ සාමාන්‍ය නිලධාරියෙකුගේ මූලික වැටුප රු. 50,000.00 ඉක්මවයි, ආයතන සංග්‍රහයේ සඳහන් අතිකාල දීමනා ලබාදීමේ කොන්දේසි ඉක්මවා වරාය අධිකාරිය විසින් අතිකාල පැයක් සඳහා ඉහළ අගයක් ගෙවයි. මෙම නිලධාරියෙකුගේ වැටුප රු. 53,115ක් වන විට එම නිලධාරියාගේ අතිකාල පැයකට ගෙවනු ලබන සාමාන්‍ය ගණනය රු. 221.31ක් වන නමුත් මෙම සේවකයින්ට අතිකාල පැයක් වෙනුවෙන් වරාය අධිකාරිය විසින් රු. 531.15ක් ගෙවයි.
ඒ අනුව සාමාන්‍ය පැය 240ක් අතිකාල සේවයේ යෙදෙන නිලධාරියෙකුට රු. 1,27,476.00ක මුදලක් උපයා යයි එය වැටුප මෙන් දෙගුණයකි.

එම නිලධාරියා රු. 53,115ක මුලික වැටුපක් ලබන අතර රු. 1,35,660ක අතිකාල දීමනාවක් ලබයි. එය අතිකාල පැය ගණනින් බෙදා බැලු විට පැය 255කි. මෙම ගෙවීමද ඇතුළුව තවත් එකතු වන දීමනා කිහිපයක් සමග ඔහුගේ වැටුප 2 ,71738.00ක් පමණ වේ. මෙම මුදලට බදු ලෙස 1871.00ක් වැනි මුදලක් අය කර ගැනීම කිසිසේත්ම ඔහුගේ ජීවන තත්වය පහත හෙළිමට හේතුවන්නක් නොවේ.

මෙලෙසම මහ බැංකුවෙහි සේවයේ නිරත රාජ්‍ය නිලධාරියෙකු මූලික වැටුප ලෙස රු. 31,040ක් අගයක් මත වැටුපක් ලැබිය යුතු වුවත් ඔහු ලබන මූලික වැටුප 51,331ක් පමණ වේ. මෙයට දිමනාවන් එක් කොට මුළු වැටුප ගණනය කිරීමේදී ඔහු ලබන වැටුප වන්නේ ලක්ෂ 10කට ආසන්න මුදලකි. මූලික වැටුප ඉක්මවා එකතු වන අනෙක් දීමනාවන් සියල්ල මගින් ලබන මෙම සොච්චම් මුදලක් රජය අය කර ගැනීම කිසිසේත්ම ඔහුගේ ජීවන තත්වය පහත හෙළිමට සමත් නොවන්නකි.

සිවිල් ඉංජිනේරුවරයෙකුගේ මූලික වැටුප 77,217 සිට 2,16,117ක් වේ. මෙම මූලික වැටුප් තලයන්ට අමතරව දීමනාවන් ලෙස ප්‍රවාහන දීමනා ලෙස රුපියල් 50,000ක්ද දුරකථන ගාස්තු සදහා 3,750ක් හා අතිකාල පැය 240ක් ද ඇතුලත් වේ. මීට අමතරව විශේෂ බදු සහනයක් ලෙස 4500ක් හා වෙනත් දීමනා සදහා 25,000ක මුදලක්ද ලෙස දීමනාවන් සහිතව වැටුප රු. ලක්ෂ 6කට ආසන්න මුදලක් සහිතව හිමිවේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද පාරට බැස දිගින් දිගටම තම වැටුපෙන් බදු අය කර නොගන්නා ලෙස දක්වමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයන්හි නිරත වෙයි. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ මූලික වැටුප වන්නේ උපරිමය 1,59,010 ක මුදලකි. මේ සදහා දිමනා එකතු වීමේන් පසුව ලබන වැටුප ලක්ෂ 15කට ආසන්න වේ. ශේණිගත කිරීම් අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් තලයන් වෙනස් වන අතර සාමාන්‍යයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුයෙකුගේ වැටුප රුපියල් ලක්ෂ 3 ත් 6 ත් අතර අගයක් ගනී. මේ සියලු දීමනා එකතු වීමෙන් පසුවය.

ඉහත තොරාගත් විෂය ශ්‍රෙණීන්ට අමතරව වෛද්‍ය , හෙඳ සේවාව, දුම්රිය, අධිකරණ, යන සේවාවන්හි වැටුප් තලයන් මීට සමානව සුවිශේෂීත්වයන් සහිතව වෙනස්වන අතර මූලික වැටුපට අමතර දීමනා ලෙස එකතු වන මුදල සමග ලක්ෂ 2 ඉක්ම වු වැටුපක් මෙම ශේණීන් අතර පිරිස් ලබාගනී.

වැටුපෙන් රජය විසින් අය කරගන්නා බදු මුදල සම්බන්ධයෙන් වන උද්ඝෝෂණ මුළුමනින්ම පැන නැගී ඇත්තේ ලබන වැටුප කළමණාකරණය කරගැනීමේ ක්‍රමවේදයක් නොතිබීම හේතුවෙනි. ඕනෑම රටක උපයන මුදලට හෝ ශේණීන්ට බදු මුදලක් අය කිරීම සිදුවන අතර මීට අමතරව රජය මඟින් ලබා දෙන සේවාවන් සඳහාද ගෙවීම් කිරීමට සිදුවේ. මෙය සාමාන්‍ය ක්‍රමවේදය වන අතර මෙවර සිදුවූයේ මෙම බදු ප්‍රතිශතය තරමකින් ඉහළ දැමීම සහ එය නිවැරදි ලෙස ක්‍රමවත්කිරීමය. නමුත් ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී මෙය පහළ අගයක් ලෙස පවතී. උද්ඝෝෂණයේ නිරත පිරිස් පවසන දෙයක් වන්නේ මෙසේ බදු ගසන්නේ නම් අප පිට රට රැකියා සදහා යන බවය. එහෙත් පිට රට යන මේ ඕනෑම ශේණියක නිලධාරියෙකුට එම රටේ බදු ප්‍රතිපත්තියට අනුකූලව 25% ක් හෝ ඊට වැඩි බද්දකට යටත්ව ජීවත්වීමටය.

කෙසේ නමුත් වැටුප සහ අනෙකුත් දීමනා මත අධිපාරිභොජනවාදී ජීවන රටාවක් නඩත්තු කිරීම වෙනුවෙන් අසීමාන්තිකව ණය ලබා ගනිමින් ජීවිතය හා වැටුප කළමාණාකරණය කරගැනීමට නොහැකිවීම මෙම උද්ඝෝෂණික ක්‍රියාමාර්ගයන්ට මූලික හේතුව වේ. ඊට රජය වගකිව යුතු නැත. මෙම ත්තවයට මෙම වෘත්තිකයන් පත් වූයේ පසුගිය රජය විසින් බදු ප්‍රතිශත සහ බදු සීමාවන් ඉයළ දමමින් සිදු කළ මුග්ධ ආර්ථික ප්‍රතිසංස්කරණයන්ය. වත්මන් රජය මෙම තත්වය වෙනස් කරමින් බදු ප්‍රතිසංස්කරණයන් සිදුකරන බව නිවේදනය කළේ පසුගිය අගෝස්තු මාසයේදීය. ඒ අනුව මාස 04 ක පමණ කාලයක් නව බදු ප්‍රතිපත්තිය යටතේ තමන්ගේ වියදම් කළමනාකරණය කරගැනීමට ලබා දී තිබිණි. නමුත් එය සිදු නොකර බදු අඩුකරපියව් ගාගෙන දැන පාරට බැසීම ගැන ද රජය සැලකිය යුතු නැත. මේ අනුව බදු ප්‍රතිපත්තියේ වෙනසකට වඩා සිදුවිය යුතුව ඇත්තේ ලක්ෂයකට වඩා උපයන නිලාධාරීන් තමන්ගේ ජීවන වියදම කළමණාකරණය කරගැනීමට වැඩපිළිවෙලක් සැකස් කර ගැනීමය. තමා තුළ සිදු නොවන වෙනසක් නොමැතිව රටක වෙනසක් සිදු කිරීමට උද්ඝෝෂණය කිරීමෙන් ඵලක් නොවන බව ඉහල වැටුප් ලබන ඉහල නිලධාරීන් දත යුතු සත්‍යයය.

බිම්සර කහටපිටිය .