මේ බදු ගැහිල්ල හැර වෙනත් බදු ගැසීම් තිබේද?
පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් බදු ප්‍රතිශතයන් අඩු කිරීම ඇතුලු සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වල බලපැම මත, මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් වන තැන දක්වා වේගයෙන් තල්ලු කළ බවට විවාදයක් නැත.
නමුත් එම හේතුව මත මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයන් නිසා විශේෂයෙන්ම මෙරට මධ්‍යම පාන්තික ජනයා පාරට බැස විරෝධාතා දැක්වීම, මහා ජන අරගලයක්ව අවසානයේදී ගෝඨා පාලනය අහෝසි කිරීම දක්වා දුර ගෙන ගිය බව දැන් මේ රටේ මධ්‍යම පාන්තිකයන්ටත් අමතකව තිබේ. මන්ද ගෝඨා පාලනය විසින් සිදු කළ වරද නිවැරදි කර යළි රට සුපුරුදු පාරට ඇද දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙමින් නැවත මේ මධ්‍යම පාංතිකයන් පාරට බසින්න පටන් ගෙන තිබෙන නිසාය.
තවත් යමක් අවධාරණය කළහොත් පසුගිය යහපාලනය දෝශ දර්ශනයට ලක්කරමින් එය පෙරළා දමා වැඩකරන විරුවා ලෙස ගෝඨාභයව උත්කර්ශයට නංවමින් බලයට ගෙන එම වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කළේද මේ මධ්‍යම පාංතිකයන්මය.
ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත නොහැකි නම් කෙළවා ගැනීමෙන් හෝ පාඩම් ඉගෙන ගැනීම කළ යුතුය. එහෙත් මෙරට මධ්‍යම පංතිය කියන පිරිස තවම පාඩම් ඉගෙන ගෙන නැත. සත්‍ය වශයෙන්ම පාඩම් ඉගෙන ගන්න අවශ්‍යවන්නේ තමන්ගේ වැරදීම් හදා ගැනීමට සූදානම් පිරිසයටය. නමුත් එහෙම හිතන්න නම් ඒ තරමට බුද්ධියක් අවශ්‍යය.
තමන් කරන්නේ නිවැරදි දෙය ද වැරදී දෙය ද යන්න කල්පනා කිරීමේ හැකියාවක් සහිත අයටය. එහෙම නැතිව තවදුරටත් කටයුතු කරන අයට සාමාන්‍යයෙන් කියන්නේ ජඩයන් කියාය. ඒ අනුව මෙරට අද ජඩයන්ව ඇත්තේ මේ බදු කැපිල්ල නිසා ආණ්ඩුවට එරෙහිව සිටින මධ්‍යම පාංතිකයන්ය.
කොහොම නමුත් අද මේ මධ්‍යම පාංතික රාජ්‍ය සේවයෙහි නියුතු වෘත්තිකයන් තමන්ගේ වැටුප් පතෙන් ආදායමට අයවන බදු කැපීම ගැන රජයට එරෙහිව කටයුතු කිරීම තවත් අතකින් මේ පිරිසේ බුද්ධි මට්ටම දැන උගත්කම පිළිබඳ ගැටලුවකි. වත්මන්හි තමන් මුහුණ දී සිටින ගැටලුවට හේතු සාදක වූයේ කුමක්ද යන්න ගැනවත් කල්පනා කිරීමට තරම් උගත් කමක් බුද්ධියක් නැති පිරිසක් ලෙස මේ අය හැසිරෙන විදිහෙන් පෙන්වා තිබේ. එ
වැටුපෙන් මෙලෙස බදු කැපීම වන්න පදනම් වූයේ කවර කාරණයක් ද යන්න කල්පනා කළා නම්, මෙහෙම පාරට බහින්න වෙන්නේ නැත. මෙතන සිදුව ඇත්තේ තම තමන්ගේ වැටුප්පත පිළිබඳ ප්‍රශ්නය පමණක් සලකා එකිනෙකා විරෝධය පෑමය. ආත්මාර්ථකාමී වුවමණාවන් අනුව එය සිදුවෙමින් තිබෙනවා කිව්වත් වැරදි නැත.
මන්ද මේ වෙලාවේ හානියක් වූයේ ඒ අයගේ පෞද්ගලික මාන්නය වෙනුවෙන් ගොඩනගා ගත් අධිපාරිබෝජන ජීවන රටාවට නිසාය. රට මුහුණ දී තිබෙන අර්බුදය නැතිනම් තමන් සමඟ මේ රටෙම ජීවත් වෙන අනෙක් පුරවැසියන් මුහුණ දී තිබෙන පීඩනය ගැන මේ අයට වගේ වගක් නැත. රජය (ආණ්ඩුව නොවේ) මුහුණ දී තිබෙන අර්බුදය ගැන වගත් නැත. මේ අර්බුදයෙන් මිදෙන්න නම් සාමුහික කැපකිරීමක් කළ යුතු බව හිත්න්නේ නැත.
වරද කාගේ වුණත් උත්තරය සාමුහික විය යුතුව තිබෙන තරම් අර්බුදයක රට හිරවී තිබෙන බව මේ අයට නොතේරෙනවා නොව තමන්ගේ කොටස බේරාගැනීම මුලින් විය යුතු බව කල්පනා කිරීමේ ආත්මාර්ථකාමීත්වය මෙහිදී මූලික වී ඇත.
ඒ කොහොම නමුත් මේ මධ්‍යම පංතික වෘත්තිකයන් අද මේ ආමාරුවේ දැම්මෙත් පසුගිය ගෝඨා පාලනය විසින් ගෙන ගිය මුග්ධ ආර්ථික ප්‍රතිපත්තීන්ය. ඒ නිසා සියලු වැරදි මේ මධ්‍යම පාංතිකයන් වෙත පැටවිය නොහැක. එහිදී පැවැති යහපාලනයේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ගනු ලැබූ තීරණය පළමුවෙන් වූ වැරද්දය.
2019 වන විට පැවැති උපයන විට බදු ගෙවීමේ ක්‍රමය උදාහරණය සහිතව ගතහොත් මාසෙකට රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස්දහස දක්වා ආදායමක් ගන්නා විට සියයට 04 බදු මුදලක් ගෙවන්න සිදු විය. ආදායම වැඩිවීම් අනුව බදු ප්‍රතිශතයද වැඩි වන ක්‍රමයක් විය. ඒ අනුව ලක්ෂ 4 ක් ගන්නා අයකුට රුපියල් 42,000 ද ලක්ෂ 5 ක් ගන්නා අයකුට 66,000 වශෙයෙන් බදු ගෙවිය යුතු විය.
මේ ක්‍රමය වෙනස් කර මේ අවම ආදායම් සීමාව දෙලක්ෂ පනස් දහස දක්වා ඉහළ දැමීමටත් බදු ප්‍රතිශත අඩු කිරීමටත් ගෝඨා පාලනය කටයුතු කළේය. ඒ අනුව ලක්ෂ 4 ක් ගන්නා අයකුට රුපියල් 9,000 සහ ලක්ෂ 5 ක් ගන්නා අයකුට රුපියල් 15,000 වශයෙන් විශාල වශයෙන් ගෙවීම අඩු විය. එහෙත් වත්මන් බදු ප්‍රතිපත්තිය යටතේ අවමය ලෙස යළිත් රුපියල් ලක්ෂයේ සීමාව හඳුන්වා දීමට කටයුතු කරළ අතර ලක්ෂ 4 ක් වැටුප් ගන්නා අයකුට රුපියල් 70,500 ක් සහ ලක්ෂ 5 කට රුපියල් 106,500 ක් දක්වා බදු ගෙවීමට සිදුව ඇත.
එහෙත් මේ ආදායම අනුව මෙම වැඩිවූ බදු ගෙව්වා කියා ඔවුන්ගේ සාමාන්‍ය ජීවන තත්වයන් කඩා වැටෙන්න හේතුවක් නොවේ. ලක්ෂ 4 ක වැටුපක ගන අයකු බදු හැත්තදහසක් ගෙව්වත් තව ලක්ෂ 3 කට වඩා ඉතිරිය. රුපියල් තිස්දහසටත් අඩු මාසික ආදායමකින් පවුල් නඩත්තු කරන මේ රටේ ජනගහනයෙන් වැඩිම පංගවක් සිටියදී ලක්ෂ තුනකින් මේ අයට යැපෙන්න බැරි කමක් නැත.
නමුත් ගැටළුව නම් මේ වැටුප් සීමාව ඉක්මවා විශාල බදු මුදලක් ගෙවන්නට සිදුවීමය. මෙයට හේතුව ඉහළ වැටුප් ලබන වුන් රුපියල් කෝටි ගනනින් වන ණයකාරයන් වී සිටීමය. වැටුප බදු හා ණයට කැපී ජීවත්වන්නට ඉතිරිවන්නේ සුළු මුදලකි. මේ පිරිස් ණය වූයේ කුමකටද කියා සොයා බැලුවහොත් තමන්ගේ වැටුපට බදු ගෙවීමෙන් පසුව ඉතිරි මුදල තමන්ට ඉහළ ජීවන් විලාසයක් ඇති බව අනෙකාට ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් කැප කිරීම බව හඳුනා ගත හැක.
එනම් විශාල සුඛෝපභෝගී නිවාස, යාන වාහන වෙනුවෙන් එම වැඩිපුර ආදායමෙන් ණය වාරික ගෙවීමේ එකඟත්වය අනුව කෝටි ගනනින් බැංකු ණය ගැනීමය. දරුවන්ගේ පෞද්ගලික හෝ විදේශ අධ්‍යාපනය වෙනුවෙන් මිලියන් ගනනින් වැය කිරීම්ය.
මෙලෙස අධිපාරිභෝජනවාදී ජීවන විලාසයන් නඩත්තු කිරීමට මේ ලැබෙන වැටුපත් ඔවුන්ට ප්‍රමාණවත් නැත. ඉතිරි කළ හෝ ආයෝජනය කළ මුදලක්ද නැත. අර්බුදය පැන නැඟ ඇත්තේ එතැනිනි. බදු ප්‍රතිපත්තිය අනුව බදු ගනනය කරන්නේ මුලික වැටුපට පමණක් නොවේ. ලැබෙන සියළු ආදායම් වලටය. වෘත්තිකයන් බැංකු ණයක් ගතහොත් එයද ආදායමක් ලෙස සැලකේ. රජයේ වාහනයක්, ඉන්ධන දීමනාවක්, නිල නිවාස, රජයේ රියැදුරෙක් ලබා ගන්නේ නම් ඒවාද ලබන ආදායම් ලෙස ගනනයකට යටත් කර ඊටද බදු ප්‍රමාණයක් තීරණය වේ.
මෙය අලුත් ක්‍රමයක් නොව කාලාන්තරයක් මේ රටේ ක්‍රියාත්මක වූ ක්‍රමයකි. එසේම ලෝකයේ සුලබව ක්‍රියත්මක කරන ක්‍රමයකි. මෙම බදු ක්‍රමයේ වරදක් නැත. මෙවර බදු ප්‍රතිශතය වැඩිකිරීම පමණක් සිදුව තිබේ. ලෝකයේ සෙසු රටවල් හා සැසදීමේදී මේ ප්‍රතිශතය අවම අගයක්ද වේ..
කොහොම නමුත් ගැටලුව මතුව ඇත්තේ මූලික වශයෙන් මේ පිරිසගේ ඉතිරියක් ආයෝජනයක් නැති මුල්‍ය කලමණාකාරිත්වය සම්බන්ධයෙන් බව පෙනෙන්නට තිබුණත් මෙතැන කලින් කී ලෙස පසුගිය ගෝඨා පාලනය විසින් ගෙන ගිය මුග්ධ ආර්ථික ප්‍රතිපත්තීන් දැඩිව බලපා ඇත.
එදා වග විභාගයක් නැතිව උපයන විට බදු අඩු කළේ මධ්‍යම පාංතිකයන්ගේ පාරිභෝජනය ඉහළ දැමීම ඉලක්ක කරගෙනය. එනම් තමන්ව බලයට පත් කළ් පිරිස චූන් කිරීමටය. එම ප්‍රතිපත්තිය අනුව මුදල් අච්චු ගසමින් මුදල් සැපයුම වැඩි කර පොලී අනුපාතික පහත හෙළන්නට කටයුතු කරනු ලැබුවේය. එමඟින් බැංකු ණය ගැනීමට පොළඹවනු ලැබූ අතර ඒ මගින්, පරිභෝජනය තවත් ප්‍රවර්ධනය විය. එසේම බංකු නව ව්‍යාපාර කර්මාන්ත ගොඩනැංවීම් සඳහා ණය දෙනවා වෙනුවට මේ ඉහළ ස්ථිර මාසික ආදායම් ඇති පිරිස් වෙත ඉක්මනින් පහසුවෙන් ණය ලබා දීමට කටයුතු කෙරිණි. ඒ ණය අයකර ගැනීමේ අවදානම අඩු නිසාය.
ගෝඨා පාලනය මවපු සිහින අනුව රට ධනයෙන් ආඩ්‍ය වී තමන්ගේ ආදායම්ද ඉහළ යමින් අතිසුඛෝපභෝගී ජීවන රටාවක් ගතකිරීමට හැකි වෙනු ඇතැයි මේ වෘත්තිකයන්ද කල්පනා කළාට සැක නැත. බය නැතිව තමන්ගේ ආදායම් මුළුමනින්ම පාහේ ඇපයට තබා ණය ගත්තේ එබැවිනි. ඒ අනුව, ගෝඨා පාලනයේ දෙවසර තුළ ඉහළ වෘත්තිකයන් බොහෝ දෙනෙකු කෝටි ගනනින් ණය විය.
ගෝඨා පාලනය තුළ ගත් ආර්ථික ප්‍රතිපත්තීන් ආර්ථික මුලධර්මයන්ට ද එකඟ වූයේ නැති අතරම ඒ ප්‍රතිපළ වශයෙන් රට බංකොලොත් වූයේ විදේශ විනිමය සංචිත හිඳුවමින්, රටේ උද්ධමන තත්වයන්ද ඉහළට ඔසවමින්ය. ඉන් පසුව තෙල් ගෑස් විදුලිය හිඟ වී ආනයනික සුඛොපභෝගී භාණ්ඩ හිඟ වී උද්ධමනය අහස උසට නැඟ්ගේය. ඒ අනුව මධ්‍යම පාන්තික අරගලය පැන නැග්ගේ ඔවුන්ගේ මේ අධිපාරිභෝජනවාදී ජීවන තත්වයන්ට බාධාවක් වන තැනය.
එහෙත් රටට මෙහෙම සිදු වන්න තමන්ගේ ජීවන විලාසයද බලපා ඇති බව මේ අය දැන සිටියේ නැත. එය පාලකයාගේ ප්‍රශ්නයක් බවට ලඝු කර පාලකයා පැන්නීමෙන් ප්‍රශ්නය විසක්‍ෂෙන බවට කල්පනා කරන ලදී. රනිල් වික්‍රමසිංහ බලයට පත්වන්නේ ඒ අනුවය.
රනිල් කවදත් වැඩ කළේ ප්‍රතිපත්තියක් අනුවය. ගැලරි චූන් කරන දේශපාලනය ඔහුට වූයේ නැත. රටේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගත යුතු වූ නිවැරදිම පියවර ඔහු ගත්තේය. බදු ප්‍රතිපත්තිය වෙනස් කර බදු ප්‍රතිශත වැඩිකිරීම සහ එය පුළුල් කිරීම කළේය. පොලී අනුපාතයන් ඉහළ දැම්මේය. මුදල් අච්චු ගැසීම නතර කළේය.
එමඟින් රටේ සංසරණය වන අතිරේක මුදල් නැවත ලබා ගනිමින් උද්ධමන අනුපාතය අඩු වන තැනට කටයුතු කරමින් සිටී. නැවත විදේශ සංචිත ගොඩනඟමින් තිබේ. රාජ්‍ය ආයත්න ප්‍රතිව්‍යුහගත කරමින් රාජ්‍ය සේවයේ වියදම් කපා හරිමින් රාජ්‍ය ආදායම් කලමණාකරණය කරමින් තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගනිමින් යළි රට සංවර්ධනයේ මාවතට ඇද දැමීමට කටයුතුකරමින් තිබේ. නමුත් මේ පහසු කරුණක් නොවේ, රට වැටී තිබෙන අර්බුදයේ තරම අනුව මේ විසඳුම් වඩාත් වේදනාකාරී වී ඇත.
වත්මන් රාජ්‍ය බදු ප්‍රතිපත්තිය ගැන විරෝධතා මතුවන්නේ ඒ අනුවය. රනිල්ගේ විසඳුම් ඉදිරිපත් කළ සැනින්ම විවිධාකාර විවේචන ඉදිරිපත් වූයේ රනිල් දන්නේ බදු ගහන්නයි, ණයට සල්ලි ගන්නයි, රාජ්‍ය දේපොල විකුණන් කෑමයි පමණයි කියමිනි.
නමුත් ඇත්ත කතාව, එය හැරෙන්න වෙනත් විසඳුමක් නැති වීමය. තවත් සුළු කාලයක් සමාජයේ සියළු සෑම දෙනාටම මේ වේදනාව දරා ගැනීමට සිදුවනු ඇත. එසේ නොමැතිව මේ අර්බුදය ජය ගැනීමේ වෙනත් ක්‍රමවේදයක් නැත. එය අද මධ්‍යම පාංතිකයන්ගේ ගැලවුම්කරු ලෙස පෙනී සිටින ජවිපෙ අනුර කුමාර පවා ඊයේ පෙරේදා ප්‍රසිද්ධියේ ප්‍රකාශකර තිබිණි. ඒ නිසා රනිල්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධයන් වැඩකට ඇති දේ නොවේ.
කවුරු ආවත් කරන්න වන්නේ එයමය. ඒ නිසා බදු අඩු කරනු නැතිනම් රට අත්හැර යනවා.. කියන කතාවෙන් එළියට පනින්නේ තමන්ගේ ඇති බඩගෝස්තරවාදී පෙරේතකමය. වැදගත්ම තමන්ගේ ජීවන විලාසයන් පවතින තත්වයට අනුව හැඩ ගසාගෙන රටේ සෙසු පුරවැසියන් මෙන් මේ අර්බුදයට උර දී ඒ විසඳා ගැනීමට ජනපති රනිල් ගන්නා උත්සාහයට සහයක් වීමය.
ප්‍රභාත් ජයසුමන