රාජ්‍ය ව්‍යවසාය ලාභ ලැබුවත් පෞද්ගලීකරණය කළ යුත්තේ ඇයි?
රාජ්‍ය ව්‍යවසාය ඉතිහාසයක් පුරා බොහොමයක් රටවල සමාජ සුබසාධන ආර්ථික සංවර්ධන කාර්යයට අදාළව සැලකිය යුතු භූමිකාවක් ඉටුකර ඇති බව සැබෑය. දරිද්‍රතාව තුරන් කිරීම, රැකියා උත්පාදනය, ප්‍රාදේශීය සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව ආදී කරුණු මෙහිදී වැදගත් කොට සැලකිය හැකිය. මෙකී කරුණු ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ද යම් සාධනීය බවක් පෙන්නුම් කරයි. නමුත් ඒ සඳහා ගතවූ කාලය සම්බන්ධයෙන් සහ ඒවායේ සිදුවූ නාස්තිය, දූෂණය සැලකීමේ දී අතිශය බරපතල ගැටලු ගණනාවක් රට ඉදිරියේ නිර්මාණය වී තිබීම සලකා බැලිය යුතුය.
ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය
ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් සැලකීමේ දී 1948 නිදහස ලබාගැනීමට පෙර යුගය දක්වා විහිදී ගිය ඉතිහාසයක් ඊට හිමිය. ඒ දෙවන ලොක යුද සමයේ බි්‍රතාන්‍යයේ කඩාවැටුණු සමාජ ආර්ථික දේහය නැවත ගොඩනැංවීම අරමුණු කරගනිමින් දියත් කරන ලද සමාජ ආර්ථික සංවර්ධනය ක්‍රියාදාමයේ දී මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ රාජ්‍යයි. රාජ්‍ය ව්‍යවසාය යටතේ සමාජ සුබසාධන කාර්ය නැවත යථාතත්වයට පත් කිරීම එහි මූලික අභිප්‍රාය විය. එකී ක්‍රියාදාමය ම ඔවුන්ගේ යටත් විජිත පාලනයට නතු වූ සියලු රටවලට ද ඒ ආකාරයෙන් ආදේශ කිරීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ දී ද රාජ්‍ය ව්‍යවසාය මූලිකත්වයෙන් සමාජ සංවර්ධන කාර්යය මෙහෙයවන ලදී.
නිදහසින් පසු පත්වූ ආණ්ඩු හරහා ද මෙම රාජ්‍ය ව්‍යවසාය තවදුරටත් පවත්වා ගෙන යමින් එය තව තවත් ශක්තිමත් කරමින් කටයුතු කළ අයුරු දැකගත හැකිය. ඒ සඳහා ලෝක දේශපාලන බලතුලනය වගේම ලංකාවේ පැවැති සහ ගොඩනැගෙමින් තිබූ සමාජ සංස්කෘතික චින්තන ධාරාව ද සැලකිය යුතු බලපෑමක් සිදුකළ බව නොරහසකි. විශේෂයෙන් 1950 දශකයේ සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව පිළිබඳ ලොව පුරා ප්‍රචලිත වූ සමාජවාදී ආර්ථික සංවර්ධනයේ සාර්ථකත්වය කෙරෙහි තුන්වන ලෝකයේ බොහෝ රටවල්, ආණ්ඩු නිරායාසයෙන් නැඹුරු වීමක් දැකගත හැකි විය. විශේෂයෙන් ඉන්දියාව සමාජවාදී ආර්ථික ක්‍රමය කෙරෙහි දැක් වූ උනන්දුව හා කැපවීම අප වැනි රටවල රාජ්‍ය ව්‍යවසාය හැඩගැස්මට දැඩි බලපෑමක් සිදුකළේය.
මෙකී ආදර්ශයන් මත ගමන් කළ ශ්‍රී ලංකා රාජ්‍ය 1952දී විදේශිකයන් සතුව පැවැති ව්‍යාපාර ජනසතු කිරීම නමින් රජයට පවරා ගැනීම සිදුවී ඇති අතර එවකට පෞද්ගලික අංශය සතුව පැවැති ප්‍රවාහනය, දුම්රිය, වරාය, ඛනිජ තෙල්, ගෑස් යන ක්ෂේත්‍රයන් රාජ්‍ය ව්‍යාපාර බවට පත් කරන ලදී. ඉන් නොනවතුණු ශ්‍රී ලංකා ආණ්ඩු විසින් රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කිරීම 1955 අංක 19 දරණ රාජ්‍ය අනුග්‍රහය ලත් සංස්ථා පනත වගේම 1957 අංක 49 දරණ රාජ්‍ය කාර්මික සංස්ථා පනත මගින් සිදුකර ගන්නා ලදී. ඒ අනුව 1957 වන විට සිමෙන්ති, කඩදාසි, පිඟන් භාණ්ඩ සහ සම්භාණ්ඩ, පාවහන් ආදී කර්මාන්ත රාජ්‍ය ව්‍යවසාය යටතේ මෙහෙය වීම දැකගත හැකි විය. එසේම 1958 වර්ෂයේ ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවීම සඳහා හේතු වූ බස් සමාගම් ජනසතු කිරීම ද මෙහිලා වැදගත් කාර්යයක් කොට සැලකේ.
මේ තත්වය තවදුරටත් තීව්‍ර කරමින් 1970 දශකයේ නව රාජ්‍ය ව්‍යවසායන් ස්ථාපිත කිරීමත්, පුද්ගලික දේපල රජයට පවරා ගැනීම සහ ජනතසතු කිරීම වැනි කටයුතු හරහා රාජ්‍ය ඒකාධිකාරී ව්‍යවසායන් රටතුළ නිර්මාණය විය. 70 දශකයේ මැදභාගය වින විට බැංකු, වැවිලි, මහා පරිමාණ කර්මාන්ත, ප්‍රවාහන, රක්ෂණ, විදුලි සංදේශ, තැපැල් සේවා, වරාය, විදුලිය බලය, ඛනිජ තෙල් ආනයනය සහ බෙදාහැරීම, මහාමාර්ග, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් ඒකාධිකාරී රාජ්‍ය ව්‍යවසායන් බවට පත්ව තිබිණි. ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය කෙරෙහි සමාජවාදී බලපෑමේ ප්‍රමාණය තේරුම් ගත හැකි තවත් සාධකයක් මෙසේය. එනම් 1962 වර්ෂය වන විට ලංකවේ රාජ්‍ය ව්‍යවසායන් 14ක්ව පැවැති අතර එය 1980 දශකයේ ආරම්භයේ දී 280ක් වැනි ඉහළ අගයක් ගෙන තිබීම ය.
මෙකී තත්වය සාර්ථක යැයි කිසිවකු පවසන්නේ කුමන පදනමකින් දැයි තේරුම් ගැනීම උගහට වන නමුත් අප අසා ඇති හෝ ඒ සමයේ අත්දැකීම් ඇති වැඩිහිටි පරම්පරාව අදටත් පවසන හාල් පොලු, සීනි පොලු, භූමිතෙල් පොලු, පාන් පොලු පමණක් නොව අල, බතල, කැලෑකොළ හැරුණු කොට ලාවුලු රොටියෙන් කුස පුරවා ගෙන ජීවත් වූ පුරවැසි ප්‍රජාවක් ලක් පොළොවේ ජීවත් වූ බව නම් සැබෑය.
රාජ්‍ය ව්‍යවසායේ හැරවුම් ලකුණ
70 දශකයේ අග භාගය වන විට රට තුළ ගොඩනැගෙමින් තිබූ සමාජ ආර්ථික පරිහානිය හා ජන පීඩනයෙන් රට ගොඩගැනීම සඳහා තවදුරටත් සමාජවාදී ආර්ථික ක්‍රමවේදය විසඳුම් කාරකයක් නොවන බව තේරුම් ගත ජේ.ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය රටට හඳුන්වා දීමට පියවර ගත්තේය. එය ඇල්මැරුණු රාජ්‍ය ව්‍යවසායට නිසි පිළියමක් වූ නමුත් සමාජවාදී ආර්ථික ක්‍රමවේදය කෙරෙහි විශ්වාසයක් තිබුණා හෝ නොතිබුණා වුවද සිය පුද්ගලික පැවැත්ම ඒ හරහා සාර්ථක කරගත් ඇතැම් සමාජ දෘෂ්ටිවාදී කල්ලි කණ්ඩායම් විසින් අඛණ්ඩව සිදුකළ බාධාකිරීම් හමුවේ, විවෘත ආර්ථික ක්‍රමවේදයේ සාර්ථකත්වය අදටත් රටට නිසියාකාරයෙන් අත්කර ගැනීමට නොහැකි වීම අතිශය ඛේදජනකය. මීට මාස හත අටකට ඉහතදී මේ රටේ කූඩා බිළිඳාගේ පටන් වැඩිහිටි මහලු මිනිසා දක්වා සමස්ත මිනිස් ප්‍රජාවම අත්වින්දේ එකී ඛේදවාචකයේ අනිවාර්ය ප්‍රතිඵලයයි. හෙට දවසේ රට වෙනුවෙන් වෙනස් කළ යුත්තේ එකී දෘෂ්ටිවාදී පැවැත්මයි.
ලාභය හෝ පාඩුව
රාජ්‍ය ව්‍යවසායන් ලබන පාඩුව හෝ ලාභය මත ප්‍රතිව්‍යූහගත කිරීමක් සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ගොඩනැගෙමින් නඩත්තු කරමින් තිබේ. ඒ ධනවාදී සමාජ ආර්ථික ක්‍රමවේදය කෙරෙහි විරෝධය දක්වන්නන්ගේ පාර්ශවයෙනි. මෙහිදී සැලකිය යුතු කරුණ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ ආර්ථික ක්‍රමවේදය යනු ව්‍යාපාරික අරමුණින් සිදුකරන සියලුම කටයුතුවලින් රජය නිදහස් වීමත්, එහි නියාමන කාර්යයට මැදිහත් වීමත් සහ සමාජ සුබසාධන හා සංවර්ධන කාර්යයට උර දීමත් රජය විසින් සිදුකළ යුතුය යන්නය. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හිල්ටන් හෝටලය, ලිට්ට්‍රෝ ලංකා සමාගම සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම් ඇතුළු රාජ්‍ය ආයතන 120කට වඩා පෞද්ගලීකරණය කිරීමට සුදුසු යැයි හඳුනාගෙන තිබේ. මෙකී ආයතන පෞද්ගලීකරණයට පියවර ගනු ලබන්නේ, හුදෙක් පාඩු ලැබීම නිසාම නොව රාජ්‍ය ව්‍යවසාය යටතේ කාලාන්තරයක් පුරා පැවැති වංචාව, දූෂණය, නාස්තිය, හොරකම, නිලධාරීවාදය, අලසකම, ඥාති මිතුරු සංග්‍රහය ආදී අනේකවිද අකාර්යක්ෂමතාවයේ සහ අසංවර්ධනයේ හේතු කාරනා නිසාවෙනි.
කෙසේ වෙතත් මේ සියලු කාරණා සහමුලින් අමතක කොට ”ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකරනු!” යන පටු සටන් පාඨයට සිය විරෝධය ලඝු කිරීමට ඍජු හෝ වක්‍රව යල්පිනූ සමාජවාදී දෘෂ්ටිවාදයට ගොදුරු වූ නානාවිධ වදන් රැඳි බැනර් ඇතුළේ සිරවුණු විරෝධතාකරුවන් සිය සටන් දිගහරිමින් සිටිනු දැකිය හැකිය. එය සාහසික දැනුම්වත්භාවයකින් යුතුව තෝරා ගන්නා ලද සටන් පාඨයකි. මන්ද මෙකී රාජ්‍ය ආයතන තුළ වූ අකාර්යක්ෂමතාව, නාස්තිය, දූෂනය ආදී කරුණු කෙරේ අද විරෝධතා දක්වන අයවලුන් ද අනිවාර්ය ලෙස දායක වී ඇති බැවිනි. එබැවින් ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණනවා යැයි කී විට තමන්ගේ වාසියට පොදු මහ ජනයා ආකර්ශනය වනු ඇතැයි ඔවුන් කල්පනා කරනවා විය හැකිය. මේ පිළිබඳ සත්‍ය කරුණු වසන් කර තබාගන්නා හෝ හෙළි නොකරන තාක් කල් විරෝධතාකරුවන්ට එසේ කල්පනා කිරීමට ඇති අයිතිය අසාධාරණ යැයි කිව නොහැක.
ලාභ ලබන ටෙලිකොම්
1886 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය විසින් රැහැන් දුරකථන 56ක් ද සහිතව ඔරියන්ටල් දුරකථන සමාගම සතුවූ වත්කම් සියල්ල මිලදී ගැනීමෙන් පසු මෙරට විදුලි සංදේශ සේවාව රාජ්‍ය ව්‍යවසායක් බවට පත් විය.
පසු කාලයේ මෙරට ගොඩනැගුණු සමාජවාදී සිහින දෘෂ්ටිවාදයට නතුව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නමින් සක්‍රීය වූ රාජ්‍ය ඒකාධිකාරයට ගොදුරු වූ තවත් එක් ආයතනයක් ලෙස විදුලි සංදේශ සේවාව ක්‍රියාත්මක විය. වංචාව, දූෂණය, නාස්තිය, හොරකම, නිලධාරීවාදය හමුවේ අකාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් ලෙස පැවැති විදුලි සංදේශ සේවාව 1991 අංක 25 දරණ විදුලි සංදේශ පනතින් ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාව බවට පත් කරන ලදී. ඉන් පසුව 1996 සැප්තැම්බර් 03 දින එවකට තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනත් කෙටුම්පත මගින් ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළේය. ඒ අනුව පළමුව ටෙලිකොම් ආයතනයේ 35%ක කොටස් ජපානයේ භඔඔ සමාගමට ද ඉතිරි 65% රජය සතු වන පරිදි ද ප්‍රතිව්‍යුහගත කළ අතර පසු කාලයේ එය තවත් වර්ධනය විය. ඒ අනුව අද වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 49.5%ක කොටස් රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් වේ. ඒ අනුව අද කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් ලෙස ටෙලිකොම් ක්‍රියාත්මක වෙයි.
එදා පටන් ශ්‍රී ලංකා ටෙලිකොම් ඉහළ වාර්ෂික ආදායමක් උපයන සැලකිය යුතු ලාභයක් හිමිකරගන්නා ආයතනයක් ලෙස සංඛ්‍යා දත්ත අනුව හඳුනාගත හැකිය. සත්‍ය වශයෙන් ටෙලිකොම් ආයතනය යනු පාඩු ලබන ආයතනයක් නොවේ. 2022 මූල්‍ය වර්ෂය සැලකුවහොත් එහි වාර්ෂික ආදායම මිලියන 108කි.
කෙසේ නමුත් කිසියම් නිෂ්පාදන ආයතනයක ශුද්ධ ලාභය හෝ පාඩුව මිණුම් කළ හැක්කේ අදාළ නිෂ්පාදන ආයතනය වෙනුවෙන් යොදවන ප්‍රාග්ධන වියදමට සාපේක්ෂවය. එකී ප්‍රතිලාභ අනුපාතිකයන් සසඳා බැලීමේ දී මෙහි සත්‍ය අසත්‍යතාව මැනවින් වටහා ගත හැකිය.
ඒ අනුව විදුලි සංදේශ සේවා සපයන ආයතන දෙකක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ආයතන දෙකෙහි ආසන්න පසුගිය වසර පහට අදාළ ප්‍රතිලාභ අනුපාත පරික්ෂා කර බැලීමෙන් මෙම කාරණය පැහැදිලි කරගත හැක.
ටෙලිකොම්හි පසුගිය වසර 5ට අදාළ ප්‍රතිලාභ අනුපාත අගයන්හි සාමාන්‍ය අගය 8.52%කි. එසේම ඩයලොග් ආයතනයට අදාළ ප්‍රතිලාභ අනුපාත අගයන්හි සාමාන්‍යය 15.04%කි. රටේ සාමාන්‍ය උද්ධමනය 6% ලෙස සැලකුවොත් ටෙලිකොම්හි මූර්ත ප්‍රතිලාභය 2.5%කි. එය ආයතනයේ නඩත්තුවට හෝ ප්‍රමාණවත් යැයි හෝ උත්කර්ශයට නැංවිය හැකි ආකර්ශනීය ප්‍රතිලාභ අනුපාතයක් නොවන බව පැහැදිලිය. ඊට සාපේක්ෂව ඩයලොග් සම්බන්ධයෙන් මෙම තත්වය මීට වඩා යම් සාධනීය අගයක් බව පැහැදිලිය. එනම් 10%කට වඩා මූර්ත ප්‍රතිලාභයක් ඔවුන් අත්කර ගෙන ඇති නිසාය.
මේ කරුණු සමස්තය සලකා බැලීමේ දී වඩාත් නිවැරදිව හඳුනාගත හැකි කරුණ නම්, ටෙලිකොම් ආයතනයේ නඩත්තුව සහ පැවැත්ම වෙනුවෙන් රජයේ බදු මුදලින් අතිරික්ත වත්කම් ප්‍රමාණයක් යොදවන්නේ නම් පමණක් මෙම තත්වය මෙසේ පවතින බවය. නැතහොත් ලාභ ලබනවා යැයි කියන ටෙලිකොම්හි පැවැත්ම ද අවිනිශ්චිත බව නිසැකය.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සිරිලක දේ සිරිසැප දේ, ජාතික සම්පත් රැකගනිමු, ජාතිකවාදය ආදී ආකර්ශනීය වදන්වලින් තවදුරටත් රටේ ආනාගතයට සුගතියක් අත් නොවන බව මෙවැනි සත්‍ය කරුණු වසන්කරමින් සිදුකරන උද්ඝෝෂකයෝ ද විරෝධතාකරුවෝ ද ඔවුන් පසුපස ගොස් සුරපුර පතන වෘත්තිකයෝ ද තේරුම් නොගන්නා තාක් තවත් අවුරුදු 100ක් ගත වුවද අපි මෙතැනමය.