තත්වයන් නැවත භයානක වීමට පෙර ඔබ සිටිය යුතු තැන තීරණය කරන්න.
පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ සන්ධාන බලමුළු ගන්වමින් උසිගන්වන බල පොරය එක් පැත්තකින් දියත් වෙමින් පවතී. අනෙක් පැත්තෙන් ආර්ථිකයේ මුදුන් මුල් බිඳී ගොස් බරපතල අර්බුදය රැසක සැඩ සුළඟට හසුව රට අනතුරුදායක තත්වයකට පත්ව තිබේ.
මේ සියල්ල අබිමුවේ ජනතාවට සහන සැලසීමේ රජයේ වගකීම ඉටු කිරීමටද රජය අනේක විධ වැඩපිළිවෙල දියත් කරමින් පවතී. මේ සියල්ල එකවර දරා ගැනීමට නම් රාජ්‍යයක මූල්‍ය කළමණාකරණය අනිවාර්යයෙන්ම ශක්තිමත් විය යුතුවේ.
පසුගිය කාලය තුළ තඹ දොයිතුවකට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් හෝ අනාගතය සම්බන්ධයෙන් වගකීම් විරහිතව වැඩ කළ පිරිස් මහා භාණ්ඩගාරය බින්දුවටම හින්දුවේය. මෙහි ප්‍රතිවිපාක අමුතුවෙන් කිව යුතු නැත. මේ අත්දැකීම් විඳවමින් සිටින රටක ජනතාව ගිනි පෙල්ලෙන් බැට කෑ විට කණා මැදිරි එළියටත් බය වීම අනිවාර්යෙන්ම සිදු වන්නකි.
එහෙත් බලයට කෑදර පිරිස් ජනතාව විදි දුක් ගැන අබමල් රොණක තැකීමක් නොකොට බල බලු පොරයට ඇද වැටී රටේ ඇති තඹ දොයිතුවද විනාශ කිරීමේ සැලසුම් දියත් කරමින් සිටී. ප්රජාතන්තවාදී පාලන තන්ත්රයක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වීම විය යුතුය. නමුත් ඊට පෙර ජනතාවගේ නිදහසද ජීවත්වීමේ අයිතිය ද තහවුරු විය යුතුය.
ප්රජාතන්ත්රවාදය අර්ථවත් වන්නේ ඉන් පසුවය. එසේ කළ හැකි වන්න නම් රටේ ජනතාව සුඛිතව තැබීම විය යුතුය. මේ සියල්ල සදහා ආර්ථික පදනම ශක්තිමත් විය යුතුය. එය වඩාත් කාර්යක්ෂම ලෙස සහ නිවැරදිව කළමණාකරණය විය යුතුය.
එහෙත් එය බරපතල තත්වයක ඇති බවත් 2023 වර්ෂයේ රාජ්‍ය වියදම් පාලනය කිරීම නොකළහොත් දැවැන්ත අර්බුදයකට මූල්‍ය ක්ෂේත්‍ර යෙන් රට පත්වීම වැලැක්විය නොහැකි බවත් යථාර්ථයකි.
රාජ්‍ය මූල්‍ය දෘෂ්ටි කෝණයෙන් බැලූ විට මැතිවරණ වියදම් තවදුරටත් රාජ්‍ය මූල්‍ය තත්ත්වයන්ට ඉතා අහිතකර බලපෑම් ඇති කරනවා මෙන්ම මැතිවරණය සඳහා සම්පත් උපයාගැනීම භාණ්ඩාගාරයට ඉතා අසීරු අභියෝගාත්මක කරුණක් බව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විභාග වන මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පෙන්වා දී ඇත.
ඔහු එහිදී මතු කරන කරුණු අතිශය වැදගත් වනුයේ විපක්ෂයේ මහා ආර්ථික පතාකයින් විසින් මේ පවතින තත්වය සුළු කොට තකමින් ගෙනයන සෙප්පඩ විජ්ජා කයිවාරු ගැසීම් කෙළවර වන්නේ නැවත වටයකින් දැවැන්ත මූල්‍ය අර්බුදයක් රටේ ඇති කරමින් බව ඒත්තු ගැන්වෙන නිසාය.
පක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා නිරන්තරයෙන් උපුටා දක්වන්නේ අය වැය මඟින් රාජ්‍ය වියදම් වෙනුවෙන් බිලියන 7900 ක් වෙන් කර ඇති බවත් මැතිවරණට සඳහා අවශ්‍ය බිලියන් 10 ක් මුදලත් වෙන්කිරීමකුත් ඒ තුළ පවතින නිසා රජය මැතිවරණයට මුදල් නැතැයි කීම බොරුවක් බවය. එහෙත් මේ ආර්ථික ඔස්තාර්ලා සිතා සිටින්නේ රජය, රාජ්‍ය වියදම් වෙනුවෙන් එසේ මුදල් වෙන් කරන්නේ ඒ මුදල් ප්‍රමාණය භාණ්ඩාගාරයේ ගොඩ ගසා අවසානයේ දී බවය. නමුත් ඇත්ත කාරණය භාණ්ඩාගාරයේ එක් රුපියලක්වත් නැති බවය.
රජය ගනන් හදන්නේ ඉදිරියේදී ලැබිය හැකි රාජ්‍ය ආදායම් සහ ණය මත උපකල්පනයක සිටය. ඒ නිසා මේ වසරේ කළ යුතු වැඩ වෙනුවෙන් අවශ්‍ය මුදල වෙන් වෙන්ව සටහන් කළද ඒ කිසිවක් කිරීමට හැකි වන්නේ ආදායම් සහ ණය අපේක්ෂා කළ ලෙස ලැබේ නම් පමණි. ඒ අනුව මැතිවරණ කළ හැකි වන්නේ ඊට සරිලන ආදායමක් ලැබේ නම් පමණි. එයත් රටේ අනෙකුත් අවශ්‍යතාවයන් සපුරාලීමේ ප්‍රමුඛතාවයට යටත් කරය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන ආකාරයට විදේශ මුදල් සහ අභ්‍යන්තර මුදල් ගලා ඒමේ මාර්ග සියල්ල අඩපණ වී ඇති තත්වයක් තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වර්තමානයේ අතිශයින් බැරෑරුම් කාර්යයක් බවට පත්ව තිබේ. 2022 වර්ෂය තුළ රාජ්‍ය සේවයේ සාමාන්‍ය මාසික වැටුප් ගෙවීමේ වියදම රුපියල් බිලියන 90ක් ද විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා සඳහා රුපියල් බිලියන 28ක් ද පුනරාවර්තන ඖෂධ සැපයුම්, පොහොර වෙනුවෙන් රුපියල් බිලියන 28ක් ද වශයෙන් මසකට රුපියල් බිලියන 145ක් පමණ වැය බරක් රජය විසින් දැරිය යුතුයි.
මේ කරුණු සංසන්දනාත්මකව බැලූ විට මාසික රාජ්‍ය ආදායම රජයේ මුදල් ප්රවාහයන්ට අනුව රුපියල් බිලියන 163ක් පමණ වන බවත් ඒ අනුව ඉතිරි රජයේ සියලු වියදම් සඳහා ඉතිරිව ඇත්තේ රුපියල් බිලියන 18ක් පමණි. මීට අමතරව රජය විසින් දැරිය යුතු අනෙකුත් වියදම් වශයෙන් 2022 වසර තුළ මාසයකට පොලී ගෙවීම් වශයෙන් රුපියල් බිලියන 114ක් පමණ ද ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් බිලියන 31ක් පමණ ද ණය ආපසු ගෙවීම් වශයෙන් රුපියල් බිලියන 169ක් පමණ ද වී ඇත.
ඒ අනුව, මාසික සාමාන්‍ය මුදල් හිඟය රුපියල් බිලියන 296ක් පමණ වේ. මෙම විශාල මුදල් හිඟතාව විදේශ ණය මුදල් නැවත ගෙවීම නවතා තැබීමේ තත්ත්වයක් තුළ පවා රජය විසින් 2022 අප්‍රේල් මස තුළ වාර්තා කර ඇත. එම තත්ත්වයක් තුළ පවා මෙසේ මාසික සාමාන්‍ය මුදල් හිඟය රුපියල් බිලියන 296ක් වීමෙන් පෙනී යන්නේ වියදම් සඳහා ප්රමුඛතාවයන් තීරණය කිරීමේදී අතිශයින් කල්පනාකාරී විය යුතු බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශයේ සදහන් වේ.
ඔහු මේ තත්වයන් පැහැදිලි කොට ඇති විය හැකි අර්බුදය පිළිබඳ දැනුවත් කොට ඇති අතර එහි සදහන් කරුණු මේ රටේ සාමාන්‍ය ජනතාව අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණකි. මන්දයත් මැතිවරණයක් අල්ලාගෙන උඩ පනින ජනතාවවත් තමන් පය ගසා සිටිනා තැන සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයක් නොමැති බවද සදහන් කළ යුතුය. ඔහුගේ කරුණු දැක්වීමම ගතහොත් ඉතා සුළු ගිලිහීයාමකින් පවා රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තියට සහ රටේ සමස්ත මහ ජනතාවට ඉතා දැඩි බලපෑමක් ඇතිවිය හැකිය.
මේ ආර්ථික තත්වයේ බිහිසුණු බව පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නියමිත වේලාවට ගෙවීම පවා අතිශයින් දුෂ්කර විය හැකි බව පෙනී යාම නිසාය. මේ වන විටත් වාර දෙකකදී වැටුප් ගෙවීමට සිදුව ඇත. විශේෂයෙන් 2023 වසරේ මුල් මාස කිහිපය තුළ වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා නව පන්නයේ ක්‍රම සොයා ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇත.
මේ අතර ම, වර්තමාන දුෂ්කර සහ පීඩාකාරී තත්ත්වය මත දැඩි බලපෑමට ලක්ව සිටින දුප්පත් සහ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් මුදල් වෙන් කිරීමේ අවශ්‍යතාවක් ඇත. ඒ අනුව රජය විසින් ඉහත කී කොටස් සඳහා අතිරේක සහන, මූල්‍යමය වශයෙන් සහ ආහාරමය වශයෙන් සැපයීමට තීරණය කර ඇත. මීට අමතරව 2022 වසර අවසානය වන විට පැවැති රුපියල් බිලියන 100ක පමණ නොගෙවූ බිල්පත් ප්‍රමාණය ද 2023 මුල් මාස කිහිපය තුළ ගෙවා නිදහස් කළ යුතුව ඇත.
ඉහත තත්ත්වය තුළ 2023 වසර තුළ මූල්‍ය තත්ත්වය පාලනයෙන් ගිලිහී යාමේ ඉහළ සම්භාවිතාවක් පවතින අතර එය වැළැක්වීම සඳහා රාජ්‍ය වියදම් පාලනය කිරීම අතිශයින් වැදගත් වේ.
පවතින තත්වය දැන් පැහැදිලිය. උඩුබිරුම් ලන්නන්ට විනාඩියක් දෙකක් ගෙන මෙම පැහැදිලි කිරීම කියවා ගන්නේ නම් ඔවුන් ජනතාව පැත්තේද නැතිනම් ජනතාවගේ රීරි මංස උරා බී හෝ බලය තර කරගැනීමට කටයුතු කරන්නේද යන්න කල්පනා කිරීමට හැකිය. නැතහොත් ජනතාවක් ලෙස සැවොම එක්ව නැවත පෝලිම් පිට පෝලිම්වල සිටීමටත් ආහාරයක් ඉල්ලා පාර තෝටේ ඇවිදීමට සිදුවන අතිශය දුෂ්කර වකවානුවක් ගත කිරීමට සුදානම් විය යුතුය. තීරණය ඇත්තේ ජනතාව අතේ බව මෙසේ ලියා තබමු.
බිම්සර කහටපිටිය
Chatham Street Journal පුවත්පතේ 2023.01.22 දින පළ වූ ලිපියකි.