දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ

2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්

විගණකාධිපති බලතල තවත් ඉහළට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි

රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ – රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු ප්‍රකාශයට

බදු නිදහස් කිරීම් ලබන සියලු සමාගම් ප්‍රසිද්ධියට පත් කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි පියවර කිහිපයක් අන්තර්ගත වන අතර 2023 වසරේ සම්මත කරගන්නා ලද දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම, මාස හයකට වරක් එකී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ක්‍රියාකාරී සැලැස්මට අවශ්‍ය ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන ලබාදීම සඳහා ද අවශ්‍ය විධිවිධාන එහි අන්තර්ගත වේ. 2025 – 2029 කාලරාමුව සඳහා පැහැදිලිව ජාතික දූෂණ විරෝධී සැලැස්මක් නිර්මාණය කිරීමටද මෙකී න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. තවද විගණකාධිපතිවරයා සතු නීතිමය බලතල තවදුරටත් පුළුල් කරමින් 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීමද මෙම ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි.

එම සංශෝධනයන්ට අනුව ප්‍රශ්න ගත විගණනයන්හි සම්පූර්ණ වාර්තාවන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ප්‍රථම එමගින් අනාවරණය කරගනු ලබන වංචා සහ දූෂණ පිළිබඳ සිදුකළ හැකි අපරාධමය විමර්ශනය සඳහා, නීතිය බලාත්මක කිරීමේ ආයතන සමඟ මූලික හෝ වෙනත් සොයා ගැනීම් හුවමාරු කර ගැනීමට විගණකාධිපතිවරයා වෙත අවසර ලබාදීමට යෝජනා කර තිබේ. එමෙන්ම අධීක්ෂණය සහ වගවීම පිළිබඳ නිසි වගකීම් ඉටුකිරීමට අපොහොසත් වන ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් ඊට අදාළ අධිභාරය අය කරගැනීම සඳහාද විගණකාධිපතිවරයා වෙත බලය පැවරීම ද මේකී දූෂණ විරෝධි ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

ඵලදායී හා විනිවිදභාවයෙන් යුතු වත්කම් ප්‍රකාශනයන් සහ බැඳියා පිළිගැටුම් කාර්ය ක්‍රමයක් ස්ථාපිත කිරීමටද මේකී ජාතික න්‍යාය පත්‍රය මගින් යෝජනා කර තිබේ. බැඳියා පිළිගැටුම් සම්බන්ධයෙන් නීති (Conflict-of-Interest Rules) සහ දූෂණ විරෝධී පනතේ සඳහන් වත්කම් ප්‍රකාශ කිරීම පිළිබඳව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාළ රෙගුලාසි බලාත්මක කිරීම, බැඳියා පිළිගැටුම් යන්න නිර්වචනය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, පිළිගැටුමක් කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සැපයීම, ඒවා කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දඬුවම් පැමිණවීම සහ මීට අදාළ කාර්ය සාධනය සම්බන්ධයෙන් වාර්තා කිරීමද ඇතුළත් කර ඇත.
එමෙන්ම දූෂණ විරෝධී පනතට අනුකූලව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා මෙකී වත්කම් ප්‍රකාශන නම් කරන ලද වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීමටද අවශ්‍ය විධි විධාන සලසා ඇති අතර වැඩපිළිවෙළෙහි අර්ධ වාර්ෂික හා වාර්ෂික ප්‍රගති සමාලෝචන සිදු කළ යුතු බවටද නියම කර තිබේ.

අපරාධ සහ මුදල් විශුද්ධිකරණය මගින් උපයා ගත් ධනය නැවත අයකර ගැනීම සඳහා ජාතික ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට ද කටයුතු කර ඇත. මේ සඳහා අල්ලස් කොමිසම වෙත ලබාදී ඇති නව බලතල අනුව නිසි අයුරින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම සහ නව විමර්ශන මගින් නිසි ලෙස නඩු පැවරීම සහ වරදකරුවන් කිරීම පිළිබඳවත්, දේශපාලනික වශයෙන් අනාවෘත වූ පුද්ගලයන් (Politically Exposed Persons)හඳුනා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමද මීට ඇතුළත් කර තිබේ.

දූෂණ නඩු සම්බන්ධ විමර්ශන හා ඊට නඩු පැවරීමට අදාළ කටයුතු ශක්තිමත් කිරීමටද මෙම ජාතික න්‍යාය පත්‍රය මඟින් කටයුතු සලසා ඇත. සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු සැපයීමට සහාය පළ කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමටත් විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා පොදු අර්ථලාභීන්ගේ ලේඛනයක් ස්ථාපිත කිරීමත් මීට අන්තර්ගත වේ.

රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් (Public Procurement Law) බලාත්මක් කිරීමත්, රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවල තොරතුරු ප්‍රකාශයට පත් කිරිමත් දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයේ සඳහන් වේ.
බදු නිදහස් කිරීමේ වටිනාකම් පිළිබඳ ඇස්තමේන්තුවක් සහිතව බදු නිදහස්කිරීම් ලබන සියලුම සමාගම් ප්‍රසිද්ධ කිරීම, ආයෝජන ප්‍රවර්ධන කොන්දේසි පිරිවැයකරණය හා යෝජනා ඇගයීම සඳහා නිසි ක්‍රියාවලියක් සකස් කරන තුරු ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත තාවකාලිකව අත්හිටුවීම, පුහුණ හා ස්වාධීන කාර්යමණ්ඩලයක් ඇති කිරිම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම සහ රජයට ආදායම් ලබාදෙන දෙපාර්තමේන්තුව තුළ කෙටිකාලීන දූෂණ විරෝධී පියවර ගැනීම වැනි සාධනීය පියවර ද මීට ඇතුළත් ය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෘජු කළමනාකරණය අවසන් කරනු ලබන සේවක අර්ථ සාධක අරමුදල සඳහා නව කළමනාකරණ කටයුතු ස්ථාපිත කිරීම, විධායක හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීම වැඩිදියුණු කිරීම මගින් රජයේ හිමිකාරීත්වය සහිත බැංකු සඳහා සංස්ථාපිත පාලනයන් ශක්තිමත් කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාව බලාත්මක කිරීම ආදී ප්‍රතිසංස්කරණද මෙම න්‍යාය පත්‍රයට ඇතුළත් වේ. දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශක්තිමත් කිරීම සම්බන්ධ විධිවිධානද ඇතුළත් කර තිබේ.

එමෙන්ම වත්මන් දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2024 මැයි මස 29 වැනි දින නිකුත් කරන ලද විස්තීරණ අරමුදල් පහසුකමෙහි දෙවන සමාලෝචනය මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් මේ රට සමස්ත දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීමට මෙම න්‍යායපත්‍රය මඟින් වැඩපිළිවෙළක් යෝජනා කර ඇත.

ඒ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පහසුකම් සැපයීම, රාජ්‍ය ආදායම් පරිපාලනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම යන අංශ ද ඇතුළත් වේ.