“ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දන්නේ ‘බෙදන්න විතරක්’ බව මේ රටේ සීමිත පිරිසක් රට වටේ කිය කියා යනවා..ඒ අයට කියන්න ඇත්තේ සජිත් ප්‍රේමදාස බෙදන්නේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට මිස තමන්ගේ හිතවතුන්ට හෝ පවුලේ අයට නවෙයි…ජනතාව වෙනුවෙන් කිසිත් නොකරන කයිවාරු ගහන ඒ පුද්ගලයන් වැඩක් කරන්නට තියා හිතන්නෙවත් නෑ.. ඔවුන් බොරු බේගල්වලින් කයිවාරුවලින් ජනතාව රවටමින් සිටිනවා..” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දිනවල නිතර කියන කතාවකි. වරක් මහින්ද රාජපක්ෂ අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කර අවසානයේ උජාරුවෙන් පැවැසූවේ කොහොමද බයියන්ගේ වැඩ කියාය. මහින්ද එදා කළෙත් මෙහෙම රාජ්‍ය ආදායමෙන් ජනතාවට පංගුවක් බෙදන එකය. තමන්ගේ දේශපාලනික ජනප්‍රියත්වය පවත්වාගෙන ගියේ ඒ අනුවය. ඔහු ජයග්‍රහණය කළෙත් ඒ නිසාය. මහින්ද වගේ නොවී ජයගන්න බැරි යැයි දේශපාලනයේ කතන්දර හැදුනෙත් ඒ අනුවය.

ජනතාවට දේවල් බෙදිල්ලේ පුරුද්ද නිකම්ම දේශපාලනයට ආවා නොවෙයි. ඊට සුදුසු පරිසරයක් රටේ තිබිණි. නිකම් දෙනවා නම් දෙමළ පත්තරේ වුණත් කමක් නෑ..යනුවෙන් සිංහල කියමනක් තිබේ. ඒ වගේම නිකම් දෙන අස්සයාගේ දත් ගනින්න යන්න ඔනෑ නෑ.. යනුවෙන් කියවෙන්නේද නිකම් දෙන දේ ප්‍රශ්න නොකර ගන්න පුරුදු වෙන්න කියන එකටය. බෙදා හදාගෙන කෑමත් ආගම සංස්කෘතිය විසින් පුහුණු කර ඇති නිසා හම්බු නොකර, ඒ වෙනුවෙන් මහන්සි නොවී නිකම් කන්න පුරුදු ජාතියක් මේ ද්වීපය තුළ සිටීම එහෙමට පුදුම වෙන්න දෙයක් නැත. ඒ පුරුද්ද නිසා නිකම් දෙන දේ පොර කකා ගත්තා පමණක් නොවී නිකම් නොදෙන විට අරගල කර ඒ ලබාගැනීම දක්වා රට හැඩ ගැසිනි. මේ ඓතිහාසික පුරුද්ද මත රටට අත්පත් කරදී තිබෙන තත්වය අද සෑම සියළු දෙනාම බුක්ති විඳිමින් තිබේ.

2021 වර්ෂයේ දෙසැම්බර් 31වන විට රජයේ මුළු ණය (දේශීය හා විදේශීය ) ඩොලර් බිලියන 100.9 ක් වී තිබුණා. වැඩි විස්තර සඳහා ය https//www.cbsl.gov.lk.update.to.creditors වෙත පිවිසෙන්න . ඉන් ආසන්න වශයෙන් ”ඩොලර් බිලියන 60ක් විදේශීය ණය”.

බෙදපු බෙදිල්ලට රාජ්‍ය ආදායමත් මදි විය. 2021 වර්ෂයේ දෙසැම්බර් 31වන විට දේශීය හා විදේශීය රජයේ මුළු ණය ඩොලර් බිලියන 100.9 ක් විය. විදේශයන්ට ණය වී කළෙත් බෙදන එකය. අද ලංකාව ලෝකෙට ඩොලර් බිලියන 60 කට ආසන්නව ණය වී සිටී. මේ ණය කන්දරාව පාලකයන් විසින් කොල්ල කෑව යැයිද කතන්දර තිබේ. එහෙම නොවුණා කියන්න බැරිය. එහෙත් ඇත්තටම ඒවායෙන් වැඩි පංගුව කෑවේ බිව්වේ කළේ පුරවැසියාය. මෙචච්ර දැවැන්ත මුදලක් ණය වෙලත් රටේ සංවර්ධනයක් වී නැතැයි බොහෝ පිරිස් චෝදනා ද කරයි. 75 වසරක් තිස්සේ මොනවද කළේ කියා අසයි. පෙනෙන්න දෙයක් නැත. ඒක ඇත්තය. මොකද පාරිභෝජනය කළ දේවල් පෙන්වන්න බැරිය.

කොහොම වෙත්ත අදත් විදේශයකින් ණයක් ආධාරයක් නොලැබුණොත් කන්නවත් විදිහක් නැත. රාජ්‍ය බදු ආදායම් වලින් රජයේ වැටුප් සහ සමෘද්ධි ආදීය ගෙවනවා හැර වෙන කළ හැකි බිකක් නැත. ඒවා කරන්න බැරි වුණොත් වරද ආණ්ඩුවේය. වැරැද්දක් නොවෙන්න ණය ගන්නේත් ආණ්ඩුවය. ඒ සල්ලි වලින් පුරවැසියාට කන්න බොන්න දෙන්නේ ආණ්ඩුවය. ණය ගෙවීමත් ආණ්ඩුවේ වැඩකි. ණය ගෙවා ගන්න තරම් ආදායමක් උපදවා ගැනීමත් ආණ්ඩුවේ වැඩකි. ආදායම් නැතිවී ඒ ණය ගෙවා ගන්න ආපසු ණය ගන්නෙත් ආණ්ඩුවය. බැරි වුණොත් ඒකට මුහුණ දෙන්න වෙන්නේත් ආණ්ඩුවටය. බැණුම් අසන්නෙත් ආණ්ඩුවය. ඊට පස්සේ මිනිස්සුනට කන්න දෙන්න බැරි ආණ්ඩුවකින වැඩක් නෑ කියා මිනිස්සු එකතු වී ආණ්ඩු පෙරළා දමති. අලුත් ආණ්ඩුවක් හදති. ඒ ආණ්ඩුව කරන්නේත් පරණ විදිහටම කොහෙන් හෝ ණයක් හොයාගෙන මිනිස්සුනට කන්න දෙන එකය. ඒක බැරි වුණොත් කලින් ආණ්ඩුවටම වෙච්ච දේ සිදුවෙයි. හැමදාම වුණෙු ඒකය.

එහෙත් හැමදාම මේ ගැටලුව විසඳාගන්න කොයි තරම් කතා කළත් ගොනා බැඳි කණුව වටේ කැරනෙවා සේ එතැනින් එහාට යෑමක් නැත. රට කැරකුණේ එකම තැනය. නමුත් දැන් එහි අවසානයට පැමිණ තිබේ. කණුව වටේ ලණුව එතී දැන් බෙල්ලටම හිරවෙන තැනට පත්ව තිබේ. ගෝඨා පාලනනය නැතිනම් රාජපක්ෂ ක්‍රමය විසින් ඒ අවසන් තැන සළකුණු කරන ලදී.

මේ අනුව සජිත්ගේ වත්මන් දේශපාලනය ගැන කතා කිරීමේ වැදගත් කමක් දැන් නැති නමුත් මේ තේරුම්ගැනීමට නොහැකි වීමෙන් තවමත් විශාල පිරිසක් නොමඟ යමින් තිබෙන බව පෙනෙයි. මං බෙදනවා බෙදිල්ලක්.. යැයි සජිත් කියන විට ඊට හුරේ දමන විශාල පිරිසක් එක් රොක් වීම විසින් කියන්නේ ඒ තවමත් ඉතිරිව තිබෙන තකතීරුකම ගැනය. සජිත්ගේ දේශපාලනය යනු කුමක්ද යනුවෙන් යමකු ප්‍රශ්නකරයි නම් ඊට ඇති සරළම සහ පැහැදිලිම පිළිතුර සජිත්ට අවශ්‍ය මහින්ද රාජපක්ෂ කෙනෙකු වීමය. නැතිනම් එහි ආසන්න ස්වරූපයටවත් වීමය. නමුත් කොහොමත් ඔරිජිනල් එකම හැදෙන්නේ නැත. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන් කමක් වෙන කිසිවකුට නැත. ඩුප්ලිකේට් මහින්ද කෙනෙකු වීමේ හැකියාව නම් තිබේ. සජිත්ගේ උත්සාහය එයය. සජිත් වඩාත්ම විහිළුවක් බවට පත්ව ඇත්තේත් මේ නිසාය. නමුත් මේ අවස්ථාව දැන් සජිත්ගෙන් ගිලිහෙමින් පවතී. සජිත් පරක්කු වැඩිය.

මහින්ද ජනප්‍රිය වීමට යොදා ගත් උපක්‍රමය වුයේ මිනිසුන්ගේ සහජ ආශාවන්ට, සිරිත් විරිත් වලට ගැලපෙන සහ එය උත්කෘෂ්ඨකරන සේ දේශපාලන චර්යාවක් නඩත්තු කිරීමය. දූපත් මානසිකත්වයෙන් සිටින මිනිසුන්ගේ පටු කල්පනාවන්ට ගැලපෙන රජකු නැතිනම් වීරයෙක් ලෙස වෙස්වලා ගැනීමය. රජාගේ සංදර්ශනවලින් දන්සැල් වලින් අඩුවක් කළේ නැත. මේවා කරන්න රට උගසට තබා හෝ මිනිස්සුනට දේවල් බෙදන්න සිදු විය. සහන මළු දේශපාලනය ග්‍රාමීය මට්ටමෙන් මහා පරිමාණයෙන් යොදා ගැනීනි. ඒ අතරේදී ප්‍රාදේශීය දේශපාලනයෙහි නියුතු පාක්ෂිකයන්ට රිසි සේ රාජ්‍ය සම්පත් වලින් යැපුම් මාර්ග සකසා දී තිබිණි. රාජ්‍ය සේවය රැකියා දන්සැලක් කෙරිනි. ජාතික සම්පත් කියා ගරා වැටුණු පාඩු පිට පාඩු ලබන රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කළේය. ජාතිය සහ ජාතික කෑල්ල තමන්ගේ සහ පුරවැසියාගේ පැවැත්මේ කොටසක් බව අවධාරණය කෙරිණි. තමන්ගේ තම පවුලේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාවෙන් ආවරණය කරගෙන තිබිණි. රටට ඔරොත්තු නොදෙන දැවැන්ත ප්‍රදර්ශනාත්මක සංවර්ධනය රාජ්‍ය ප්‍රතිපත්තිය විය. මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට දරිද්‍රතාවයට ලක්වූවන් දක්වාම සහනාධාර ලබා දීම සිදුවිය. තමන්ගේ බලය පවත්වාගෙන යෑම සහ හිතෛෂී සෙස්සන් නඩත්තුව පිණිස රාජ්‍යයම දුෂණ යාන්ත්‍රණයක් බවට පත් කෙරිණි. මේ සියල්ල මහින්ද චින්තනය නමින් ලේබල් වුණු රාජපක්ෂ ක්‍රමය ලෙස හැඳින්විය හැකිය. නැතිනම් මහින්දගේ හඳුන්වාගැනීම අනුව මේ බයියන්ගේ වැඩය නැතිනම් බයි දේශපාලනයය. ඒ අතර රාජපක්ෂ හිතෛෂී බයියෝ සියළු දෙනා සංතෝසයෙන් නටමින් ගයමින් සිටියේය. හරියට දිය සැලියේ කකුළුවන් නැටුවා සේය. ගෝඨා පාලන සමයවන විට දිය සැලිය නටන්නට ගත්තේ රත් වූ පෙන බුබුළු ගොජ දමමිනි. බයි දේශපාලනයේ අවසන් පරිච්ඡේදය ඒ අනුව සනිටුහන් කර තිබේ.

සජිත් දැන් ලොකුම බයියාට ඇඳගෙන සිටියත් මේ ගෙවෙන්නේ බයි දේශපාලනයේ අවසන් පරිච්ඡේදයේ අවසන් පිටු කිහිපය පෙරළෙන මොහොතකි. බොහෝ විටම තමන් ‘අවසන් බයියා‘ ලෙස සජිත් ප්‍රේමදාස මෙරට දේශපාලන ඉතිහාසය තුළ සළකුණු කරනු ඇත. එතකොට ජාතික ජන බලවේගය් තුළ මේ බයි ලක්ෂණ නොමැතිද? තිබේ. එයද ඒ බයි දේශපාලනයේම තවත් කොටසකි. අනුරත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වීමට බොහෝ වෙහෙසක් ගනිමින් තිබේ. මාලිමා දේශපාලනය හැඩ ගැහුනේ ඒ අනුවය. අනුර හා සජිත් අතර අද තිබෙන තරගකාරිත්වය මේ ඩුප්ලිකේට් මහින්ද වන්නේ කව්ද කියන තීරණය කරගැනීම ගැනය. එහෙත් අනුර සිටින්නේ සජිත්ට වඩා පිටුපසිනි. එයට හේතුව අනුර තමන් බයියෙක් නොවේ යැයි පෙන්වන්නට උත්හසා ගැනීමය. මේ නිසා බයි රේස් එකෙන් සජිත් ඉන්නේ ඉදිරියෙනි. සජිත් තමන් නියම බයියෙක් බව ප්‍රසිද්ධියේ පෙන්වා දෙන්න උත්සහ ගනියි. ඒ අතර විමල් අනුරට තරගයක් දෙන්න වෑයම් කරයි. විමල් ඔරිජිනල් බයියෙකි. නමුත් රාජපක්ෂ කඳවුරේ ඇද වැටීම නිසා ඔහු පැත්තකට වීසී විය. ජාතිවාදය හැර ඔහු සතුව වෙනත් බක්කක් නැති නිසා අසරණව සිටින්නෙකි.

පසුගිය අරගලය කවර වුවමණාවත් මත පැන නැඟුනත් එය කවරක් දිනා ගත්තා හෝ පරාජය ලැබුවා හෝ අරගලය විසින් ගොඩනැඟු දේශපාලන කතිකාව වූයේ බයි දේශපාලනය අවසන් විය යුතු බවය. සිස්ටම් එක නැතිනම් එතෙක් පැවැති රාජපක්ෂ ක්‍රමය අවසන් විය යුතු බවය. රාජපක්ෂවරුන්ගේ දේශපාලන අවසානයට එය ලඝු වූයේ නැත. දේශපාලන ආර්ථික සමාජ සහ සංස්කෘතික වෙනසක් එය විසින් ඉල්ලා සිටියේය. එය නොතකා තවදුරටත් රටට ඇත්ත ඉදිරිගමනක් නැති බව අවධාරණය කෙරිණි. ඒ වුවමණාව අද විලිරුදාවක් මෙන් පවතින නමුත් වෙනස්වීම අසීරු දුෂ්කර තැනක තිබේ. ඒ බයි දේශපාලනයේ බලපෑම තවදුරටත් පැවැතීමය. අද සජිත්ලා අනුරලා දේශපාලන සවිඥානක සමාජය ඉදිරියේ දුර්වලයන් මුග්ධයන් ලෙස මතුවී පෙනෙන්නේත් මේ වෙනස අත්පත් කරදීමට ඔවුන්ගේ බයි දේශපාලනය අසමත් වන නිසාය.

කොහොම නමුත් මේ බයි දේශපාලනයට එරෙහි අරගලයක් සමාජයේ තිබිණි. එය ටොයියන්ගේ දේශපාලනය ලෙස වර නැඟී තිබිණි. ඊට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහය. සිස්ටම් ඡේන්ජ් එකක් වෙනුවෙන් අද පැහැදිලිවම පෙනී සිටින්නේ රනිල් පමණය. රටට ජයග්‍රහණය ගෙන දිය හැකි මාවතක සිටින්නේ ඔහු පමණය. රාජපක්ෂ වරුන්ගේ බයි දේශපාලනය අවසන් තැනකට පත්ව රාජපක්ෂ සාටකයේ එල්ලී සිටිය බහුතරයත් නැවත මේ ටොයි කඳවුරට ඇතුළත් වෙමින් තිබේ. රටේ පැවැත්මට තිබෙන මඟ ඒ බව වටහා ගනිමින් තිබේ. බයි කඳවුර අද ඇත්තේ පරාජිත මාවතකය. ඊට නිශ්චිත නායකත්වයක් දැන් නැත. ඉදිරිගාමී දියුණු දේශපාලනයක් තෝරාගැනීමට ඇති අසමත්කම නිසා සජිත්ට සිදුව ඇත්තේ මේ පාරාජිත කඳවුරේ දේශපාලන නායකත්වයට සටන් කිරීමටය.

සජිත් මෙතැනට පත් වුයේ අද ඊයෙක් නොවේ එජාපයේ සිටියදීමය. රාජපක්ෂවරුන්ගේ අඛන්ඩ ජයග්‍රහණය මත් එජාපයටත් මහින්ද කෙනෙකුගේ අවශ්‍යතාවය තිබෙන බවට මතයක් විය. ඒ අනුව රනිල්ව මහින්දට ඇන්දවීමටද ඇතැමුන් උත්සහ කර තිබිණි. රනිල් ඒ ලණුව කෑවේ නැත. ඉන් පසුව තෝරාගැනීම වූයේ සජිත්ය. එජාප නායකත්ව සටන ඇවිළුනේත් ඒ අනුවය. එජාපය දිනවන්න නම් සජිත් එජාප නායකයා කළ යුතු විය. නමුත් බයි දේශපාලනයට එජාපය තුළ ඉඩක් නැතිවීම මත සජිත්ට එජාප බයියන් සමඟ ඉවත්වන්නට සිදු විය. බොහො අය සිතුවේ සජිත් රනිල් අභිබවා යනු ඇතැයි කියාය. එජාපය එක් පාර්ලිමේන්තු අසුනකට සීමා වූවද එජාපය දේශපාලනිකව පොහොසත් නූතනවාදී පක්ෂයක් ලෙස අදත් පවතී. රනිල් සිටින්නේ කිසිවකුට ආසන්න විය නොහැකි ඉහළම දේශපාලන ස්ථරයක් මතය. රනිල් මත යැපෙන්නට අද රටටම සිදුව තිබේ. කොටින්ම අද රටේ ඇත්තම දේශපාලනය කරන්නේ රනිල් පමණය. රට වෙනස් කරන්න වැඩ කරන්නේ ඔහුය. ජනතාව වෙනස් කරන්න වැඩ කරන්නේ ඔහුය. මේ රටේ තිබුණු බරපතල ගැටළුව වුයේ ජනතාව බයිකරණයෙන් ගලවා ගැනීමය. අද සජිත්ලා අනුරලා විමල්ලා ඊට බාධාකාරී දේශපාලනයක නිරතව සිටියත් සබුද්ධික ජනතාව සිටින්නේ රනිල් පෙන්වන බයිහරණය වූ අනාගත රට බාරගැනීමේ සූදානමින්ය. මේ අනුව බයි දේශපාලනයේ නායකත්වයට සටන් කරන් සජිත් ප්‍රේමදාස මේ රටේ අවසන් බයියා ලෙස ඉතිහාසගතවීම සිදුවීමට නියමිත වීම ගැන සැකයක් නැත.

  • ප්‍රභාත් ජයසුමන

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *