යන්න කළින් ඇතුළට දාන්න !

මේක සෙත් පිරිතෙන්, යාතිකාවෙන්, යාඥාවෙන් අවදිවෙන රටක්. මේක සෙත් පිරිතෙන්, යාතිකාවෙන්, යාඥාවෙන් නින්දට යන රටක්. මොන දේ කරන්න ගියත් සුබ මුහුර් ථ බලන රටක්. මේ සිංහල අපගේ රටයි… පෙරදිග මුතු ඇටෙයි… ඉඳලා රට ගැන කප්පරක් කයිවාරු අප අහලා තියෙනවා. වසර දෙදහසක ලිඛිත ඉතිහාසය ගැනත්, පැය කිහිපයක් තුළ අත්දැකිය හැකි දේශගුණ වෙනස්කම් සහිත කලාප සහිත රටේ ප්‍රෞඩත්වය මෙන්ම, අතීත සභ්‍යත්වයේ සිට සිරිලක අසිරිය ගැනත් කතා රචනා කොතරම් අප අසා කියවා තියෙනවද? එහෙම රටක් ගැන මේ කියන්න යන කතාව කට කැඩුවත් නොකියම බැරි කතාවක්. ඒ කතාව අපි මෙහෙම පටන් ගමු..!

පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ කඩිනමින් විදේශ ආයෝජන මෙරටට ළඟාකර ගැනීමට හැකි පරිදි විශේෂ පැකේජයක් ඉදිරිපත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවයි.

ඒ වගේම අමාත්‍යවරයා තවත් කතාවක් කිව්වා. ඒ තමයි විදෙස් ආයෝජකයන්ට බියෙන් හා සැකෙන් තොරව සිටීමට අවස්ථාව ලදහොත් පමණක් ඔවුන් මෙරට ආයෝජන කටයුතුවල නිරත වන බව. ඒ වගේම ඉන්දියාව, චීනය, වියට්නාමය ආදී රටවල විදෙස් ආයෝජකයන් සඳහා ආරක්ෂණ පහසුකම් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකට මෙහෙම කියන්න නිමිත්ත වුණේ, මෙරට කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ආයෝජකයකු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ බලපෑම් හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම සම්බන්ධව මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයක්.

‘අල් ඔබේදාන්’ නම් මේ කියන ඇඟලු‍ම් කර්මාන්ත ශාලාව තිබුනේ දිවුලපිටිය ආසනයට අයත් කටාන හල්පෙ ප්‍රදේශයේ. 350කට ආසන්න පිරිසක් එහි රැකියා සිදු කළා. ඒ අතරේ පසුගිය මාර්තු 30වෙනිදා මේ කර්මාන්තශාලාවේ හිමිකරු ඇතුළු කිහිපදෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙම ප්‍රහාරය එල්ලකර තියෙන්නේ රාජ්‍ය ඇමතිවරයාගේ හිතවතකු බව කියන පුද්ගලයකු‍ එම ආයතනයට කුලී පදනම මත වාහනයක් සැපයීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසයි. මේ සිද්ධිය සම්බන්ධ‍යෙන් ඊට පසු දිනම පුද්ගලයන් තිදෙනකු බඩල්ගම ‍පොලිසිය අත්අඩංගුවට ගැනුණු නමුත් පහරදීම සම්බන්ධ‍යෙන් ‍කෙ‍රෙන පරීක්ෂණ විධිමත් නැති බවට එල්ල වූ ‍චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් ‍පොලිසියට පැවරෙනවා. කොහොම නමුත් අදාළ සිදුවීම සම්බන්ධව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නෑ කියලා, මේ ආයෝජකයා කම්හල වසා දමන්න තීරණය කරනවා. ඒ වෙනුවෙන් සේවක මණ්ඩලයට මාසයක වැටුපක් පවා ගෙවනවා. ඒ සමඟ රැකියා අවධානමේ වැටුණු සේවක සේවිකාවන් 350ක් විතර රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක් පවත්වනවා. ඒ මැයි මස 08 වෙනිදා.

මැයි 09 වෙනිදා ඇඟලු‍ම්හලේ හිමිකාර ඕමාන ජාතික ආයෝජක කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, කළමනාකරණ නියෝජිත යසීර් ලහීර් සමග මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වනවා. එහිදී අමාත්‍යවරයා ආයෝජකයාගේ වගේම කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව ගැන සහතිකයක් දී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම සඳහන් කරන ආකාරයට මේ ආයෝජකයා සමඟ ජනාධිපතිවරයා ඇතුළු අදාළ අංශයේ නිලධාරීන් සාකච්ඡා කර ආරක්ෂාව සම්බන්ධව සහතික වී තිබෙනවා. නමුත් තවදුරටත් කටාන – හල්පෙ ප්‍රදේශයේ කර්මාන්තශාලාව පවත්වාගෙන යනවාද යන්න සම්බන්ධව ආයෝජකයා ඉන්නේ අතීරණයක. ඒ නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ඕනෑම කර්මාන්ත කලාපයක හෝ ආයෝජන කලාපයක මේ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා නොමිලේ ඉඩමක් ලබාදීමට මෙන්ම අවශ්‍ය අනෙකුත් සියලු‍ පහසුකම් ද නොමිලේ ලබාදීමටත් පොරොන්දු වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම සඳහන් කරනවා.

අන්තිමට කොහෙවත් යන රාජ්‍ය ඇමතියෙකුගේ තුට්ටුදෙකේ හෙංචයියන්ගේ වැඩ නිසා ජනාධිපතිවරයාට පවා මේ ප්‍රශ්නවලට මැදිහත්වෙන්න සිද්ධ වෙනවා. ආයෝජකයන් කැඳවා ගන්න සැලසුම් කිරීමට යොදවන්න තියන කාලය, ඇමති පවර් අරගෙන දඩාවතේ යන සුනඛයන්ගෙන්
ආයෝජකයන් පරිස්සම් කරන්න යොදවන්න වෙලා තියෙනවා. දැන් කොහොම නමුත් මේ ආයෝජකයා දිගටම මෙරට රැඳී සිටින්න තීරණය කර තිබීම සැනසීමට හේතුවක් වුණත්, මේ ආකාරයට ආයෝජකයන් වැනසීමට කෙරෙන කටයුතු නවත්වන්න වගබලා ගන්න වෙනවා. එතැනදී පිස්සුව නටන්නේ ඇමතිද කුක්කද කියලා නොබලා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න වෙනවා. මොකද කොච්චර දියුණු යෝජනා ගෙනාවත්, මොන දියුණු ප්‍රතිපත්තිය ගෙනාවත්, ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කළේ නැත්නම්, ඔවුන් මේ රටේ රැකෙන්නේ නෑ. ඊට අදාළව කිසියම් හෝ අගතිදායක යමක් දේශපාලන බලපුළුවන්කාරකම්වලින් සිදුවෙනවා නම්, ඒ මට්ටමින්ම එය පාලනය කිරීමට අවශ්‍ය වෙනවා. රට මුහුණදී ඇති තත්වය ගැන අබමල් රේණුවක හැඟීමක් නැත්නම්, ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට අකුළක් වෙනවා නම්, මැතිද ඇමතිද නොබලා තීන්දු තීරණ ගන්න වෙනවා.
ඒ වගේම අපේ රටේ තියෙන තවත් නරක ජාතික පුරුද්දක් තමයි, යම් ප්‍රදේශයකට කර්මාන්ත ශාලාවක්, සංවර්ධන ව්‍යාපෘතියක් එන විට ඒ ප්‍රදේශයේ දේශපාලන බලඅධිකාරියට, චණ්ඩින්ට එයින් කෝටාවක්, නැත්නම් කප්පමක් දෙන්න සිදුව තිබීම. නැත්නම් ඒ වැඩේ බකල් කරනවා. මේක දෛනික ජීවිතයේ අංගයක් බවට සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට පවා තියෙනවා, “‍ගමට එනවා නම් අපිටත් මොනවා හරි ගන්න අයිතියක් තියනවා”‍ වගේ මානසිකත්වයක්. ඒ නිසා හැමදේටම දේශපාලනයට බනින ජනතාව මෙතැනදී මුලින්ම වෙනස් වෙන්න ඕන. සිස්ටම් වෙනස් කරන්න යන ගමන් ග්‍රාම්‍ය ආකල්පත් වෙනස් කරගන්න වෙනවා.

ඒ බව හොඳින් තහවුරු කෙරෙන ක්ෂේත්‍රයක් තමයි සංචාරක කර්මාන්තය. පසුගියදා මාධ්‍ය කිහිපයක් විසින්ම අනාවරණය කර තිබු ආකාරයට, 2023 වසරේ ගතවූ මාස 4 ඇතුළත මෙරටට පැමිණි විදේශ සංචාරකයන්ගේ 113 දෙනෙකු තමන්ට මෙරට දී අත් විදින්නට සිදු වූ ලිංගික අඩත්තේට්ටම්, මංකොල්ලකෑම්, සොරකම්, පහරදීම් හා වංචාවන් සම්බන්ධව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

මෙයින් බහුතරයක් මුහුණපා තියෙන්නේ දකුණු පළාතේ දී. ඒ කියන්නේ සංචාරක කර්මාන්තයේ මර්මස්ථානයක. මේ අතරින් පැමිණිලි 65ක්ම සොරකම් හා කොල්ලකෑම් සම්බන්ධවයි. මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මහමගදී හා හෝටල් කාමරවලදී කොල්ලකෑමට ලක්ව තිබෙනවා. ඒ වගේම මෙම මාස හතරට මෙරට තුළ දී ශ්‍රී ලාංකිකයින්ගේ අතින් දූෂණයට හා ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වූ විදේශීය කාන්තාවන් ගණන 13ක්. ඉන් 9ක් යුරෝපා ජාතික කාන්තාවන්. තවත් විදේශිකයන් දහතුන් දෙනෙකු පහරදීම්, තුවාල සිදු කිරීම් හා බැන තර්ජනය කිරීම සම්බන්ධව පැමිණිලි කර තිබෙනවා. සංචාර අතරේ රවටා සිදු කළ වංචාවන් හා විවිධ ජාවාරම් සම්බන්ධව පැමිණිලි විස්සකට අධික ප්‍රමාණයක් ද ලැබී තිබෙනවා.

මෙතැනදී “‍දෙදහස් පන්සීයක ඉතිහාසයේ සභ්‍යත්වයද මේ?”‍, වගේ ප්‍රශ්න අහලා තේරුමක් නෑ. මෙතැනදී අවධානය දෙන්න ඕන කාරණය තමයි මේ සියල්ල සිදුවන්නේ 2023 මාස 4ක් තුළවීම. ඒ වගේම මේ වසරේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ නිසාම විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ කවුළු කිහිපයක් පවා විවෘත කර තිබෙනවා.

2022 ජනවාරියේ මෙරට විදෙස් සංචාරක පැමිණීම 82,327 ක් වුණත් 2023 ජනාවාරියේ එය 102,545 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2022 ට සාපේක්ෂව 24.6%ක වැඩිවීමක්. 2022 පෙබරවාරි මෙරට සංචාරක පැමිණීම 96,507ක් වෙනකොට 2023 පෙබරවාරියේ 107,639ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ 2022ට සාපේක්ෂව 2023දී 11.5%ක වැඩිවීමක්. 2022 මාර්තුවේ මෙරට විදෙස් සංචාරක පැමිණීම 106,500ක් වන විට 2023 මාර්තුවේ එය 125,495ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය 2022ට සාපේක්ෂව 17.8%ක වැඩිවීමක්. 2022 අප්‍රේල් මාසයේ විදෙස් සංචාරක පැමිණීම 62,980ක් ලෙස වාර්තා වෙනකොට, 2023 දී එය 105,498ක් ලෙස සටහන් වෙනවා. ඒ වගේම 2022 මැයි මෙරට විදෙස් සංචාරක පැමිණීම විදිහට වාර්තා වෙන්නේ 30,207ක්. නමුත් 2023 මැයි මාසයේ 01 වනදා සිට 07 වනදා දක්වා පමණක් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 18,401ක්. 2022 වසරේ සමස්ත විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 719,978ක් වන විට 2023 වසරේ මැයි 07 වනදා දක්වා පමණක් විදෙස් සංචාරක පැමිණීම 459,578ක් වනවා.

මෙයින් පැහැදිළිව පෙන්නුම් කරන්නේ සංචාරක කර්මාන්තයේ හිස එසවීමක් සිදුවෙමින් ඇති බවයි. එවැනි පසුබිමක ඒ ආශ්‍රිත විවිධ අපරාධවල ඉහළයාම කොහෙත්ම යහපත් ප්‍රවණතාවයක් නොවෙයි. එනිසා කඩිනමින් දැඩි විනයක් සහිත අණ පනත් ගෙනැවිත් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කර සංචාරක පොලිසිය සක්‍රීය තත්වයට ගෙන ඒම ඇතුළුව ඔවුන්ගේ ආරක්ෂාව, නිදහස තහවුරු කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

වැටුණු රට ගොඩනැගීමේ වැඩපිළිවෙල වගේම ජනාධිපතිවරයාගේ 2048 බලගතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වන උපාය මාර්ගික වැඩපිළිවෙල සාර්ථක කරගන්නටත් විදෙස් ආයෝජකයන්ගේ පැමිණීම වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒක හැමෝම දන්න දෙයක්. නරකම දේ තමයි, හොඳින්ම දන්නා දේවල් සම්බන්ධව නොදන්නවා වගේ හැසිරීම. ඒ වගේම රටට ඕනම දේ නැති කරන්න, විනාශ කරන්න කටයුතු කිරීම. ඒක අපරාධයක්. දඬුවම් දෙන්නම ඕන අපරාධයක්.

  • කල්ප අනුත්තර ලියනගේ