ප්‍රචණ්ඩත්වයට ආවඩන ඡන්දයක පෙරනිමිති…
ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඕනෑම මිනිස් සමාජයක, තීරණාත්මක අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රයෝගික පරීක්ෂාවට ලක්කෙරෙන සුවිශේෂී අවස්ථාව නම් මැතිවරණයයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ලෙස සැලකෙන මැතිවරණය යනු දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිඹිබු වන සජීවී අත්දැකීම ද වෙයි. එනම් පුරවැසියා තමන් සතු මහජන බලය, රටේ අභිවෘද්ධිය සහ මහජන සේවය පිණිස තනි පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට නීත්‍යානුකූලව පවරනු ලබන අවස්ථාවයි. මේ තුළ රටේ ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙයි. ඒ සර්වජන ඡන්ද බලය හරහාය. එනම් රටක සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන්ට, ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළ හිමිකම , උපත, උපන් ස්ථානය හෝ ස්ත්‍රී පුරුෂ භාවය ආදී කිසිඳු වෙනස්කමකින් තොරව පාලන බලයට හවුල්වීමේ අයිතිය හෝ ඒ වෙනුවෙන් තමන්ගේ නියෝජිතයින් පත්කර ගැනීමට ඇති අයිතියයි. මෙමගින් සිදුවන්නේ, රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය ජනතාව සතු වීම පිළිඹිබු වීමයි. .
1931 මැයි 13 පටන් දින 07ක් පුරා පැවැත් වූ ලංකාවේ පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ සිට 2020 අගෝස්තු 05 වෙනිදා පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා වූ කාලය පුරා ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මහ මැතිවරණ, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ 42ක් අවස්ථා 80ක දි පවත්වා ඇත. එකී මැතිවරණ බොහොමයක් ඉතිහාසය පුරා ලියවී ඇත්තේ, ප්‍රචණ්ඩත්වය හා බැඳුණු මැතිවරණ ලෙසිනි. එනිසාම ගෙවී ගිය ඉතිහාසයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම වෙනුවෙන් අවස්ථා ගණනාවකදී විවිධ අණපනත් උපාය උපක්‍රම මෙන්ම විවිධ සංවිධාන ආයතන ද පිහිටුවා නා නා විධ සංශෝධනයන් ද සිදුකරමින් ඉදිරියට ආ ගමනකි. එසේ වුවද නුදුරේ දී මෙරට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ද ප්‍රජාතන්ත්‍රවාදය සුණුවිසුණු කරනු ලබන ප්‍රචණ්ඩකාරී මැතිවරණයක් වීමට නියමිත බවට මේ වන විට විවිධ පාර්ශ්වයන් ඉඟි පළකරමින් සිටී.
සෞභාග්‍යයේ අර්බුදය
සෞභාග්‍යයෙන් පිරුණු රටක් පිළිබඳ මහත් බලාපොරොත්තු සහගතව මේ රටේ අති බහුතරයක් ජනතාව යහපාලන ආණ්ඩුව පරාජය කොට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට පත් කළේය. කෙසේ නමුත් ඉතාම කෙටි කාලයක් තුළ සමාජ, ආර්ථික හා දේශපාලනමය වශයෙන් නොසිතූ වීරූ අයුරින් පිරිහීමකට ලක් විය. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයේ කිසිදා අප අත්නොවිඳි දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව පසුගිය වසර 2-3 තුළ රට ගැඹුරු ආර්ථික අගාධයක ගීලී ගියේය. කුප්‍රකට බදු සහන, ආර්ථික කළමනාකරණයේ දුර්වලතා, කාබනික පොහොර අර්බුදය ආදී කරුණු මේ අර්බුදයේ මූලික පියවරයන් විය.
එකී අර්බුදයේ පරිමාණය සරලව ගතහොත්, 2021 ජූලි මාසය වන විට රටෙහි පැවති ඩොලර් බිලියන 4 ක සංචිතය ඔක්තෝබර් මස දක්වා පමණක් ප්‍රමාණවත් වූවකි.ඒ අනුව රජය සතු ඩොලර් සංචිත ප්‍රමාණවත් වූයේ ඉදිරි මාස 4ක පමණ කාලයකට පමණි. තවදුරටත් රට කරගෙන යාම සඳහා ආණ්ඩුවට තිබූ එකම විසඳුම වූයේ චීනයෙන් හෝ වෙනත් රටකින් හෝ සංවිධානයකින් ණය මුදලක් ලබා ගැනීමය. දැවැන්ත අර්බුදයක් ඇති තත්වයක් තුළ තවත් ණය ගැනීම යනු ගොඩගැසී ඇති ණය කන්දරාවට තවත් ණය පංගුවක් එකතු වීමක් පමණි. එසේ වුවද විශ්වාසවන්තව තවත් ණයක් ගැනීමට තරම් හැකියාවක් හෝ සක්‍යතාවයක් එදා ආණ්ඩුව සතුව නොවීය. කෙසේ නමුත් රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් අලුතින් මුදල් මුද්‍රණය කිරීම හැර වෙනත් විකල්පයක් සොයාගැනීමට ද අසමත් විය.
මේ සියල්ල මධ්‍යයේ කොරෝනා අර්බුදය විසින් රට පුරා සෞඛ්‍ය ගැටළුවලට අමතරව තවත් සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය කළේය. එය තවත් තීව්‍ර කළේ පැවැති පාලනයේ කළමනාකරණ නොහැකියාව හෝ අසමත්කම විසිනි. මේ සමස්තය විසින් දිනෙන් දින එකින් එක පෙළ ගැසුණු සමාජ ආර්ථික ගැටළු එකතුවෙන් මුළු මහත් සමාජයම බරපතළ ව්‍යසනකාරී අර්බුදයක ගිල්වා දැමුණි. එය මෙරට ජීවත් වන දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම මිනිසකුම අර්බුදයේ ගොදුරක් බවට පත්කළේය.
දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන හිඟකම හා ගෑස් නොමැති වීමෙන් රට පුරා දිග පෝලිම් නිර්මාණය වීම විසින් පොදුවේ ජනතා තීරණය බවට පත්වූයේ ආණ්ඩු විරෝධය එළිපිට ප්‍රකාශ කිරීමයි. විශේෂයෙන් මැද පංතික ජනතාව ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කිරීමට විරෝධතා පුවරු සහිතව මහ මග පෙළගැසෙන්නට විය. එහි උච්චතම අවස්ථාව ලෙස 2022 අප්‍රේල් 03 දින පටන් ගෝල්ෆෙස් ප්‍රදේශය අරගල බිමක් බවට පරිවර්ථනය විය.
අර්බුදයේ අරගලය
ආර්ථික අර්බුදයෙන් උපන් ගෝල්ෆෙස් අරගලය ආරම්භයේ පටන් මාස තුනකුත් දින 06ක් අවසානයේ මෙරට දැවැන්ත මහජන බලයකින් පත්වූ හත්වන විධායක ජනාධිපතිවරයා සිය ධූරයෙන් පළවා හැරීමට සමත් විය. ආරම්භයේ දී එය ආදරයේ අරගලයක් විය. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර සියලු ජාතිකත්වයන් එකතු කළ අරගලයක් විය. නිර්පාක්ෂිකත්වයට මුල් තැන දුන්, එකම සටන් පාඨයක් වටා රොද බැඳුණු සාමකාමී අරගලයක් විය.
එසේ එක්වෙමින්, දියවෙමින් නමුත් හෙමින් ඉදිරියට ඇදී ගිය අරගලයට, මැයි 09 වෙනිදා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් සිදුකළ අමානුෂික පහරදීම විසින් ආදරය අරගලයේ මානය දිශානතිය වෙනස් මගකට යොමු විය. එය තවදුරටත් ආදරයේ අරගලයක් නොව ම්ලේච්ඡ ප්‍රචණ්කාරී අරගලයක් බවට පත්විය. එය හුදු අහම්භයක් ලෙස සිදුවූවක් නොව, මනා දැනුවත්භාවයකින් යුතුව අරගලයේ හවුල්කාර වාමවාදී කණ්ඩායම් විසින් සිදුකළ සැලසුම්ගත වැඩපිළිවෙලක් අනුව සිදුවූවකි. ඒ බව එවකට සමාජ මාධ්‍ය පිරික්සීමෙන් මනාව තේරුම් ගත හැකිය. එහි ප්‍රතිඵලය වූයේ මිනිස් ජීවිත ගණනාවක් අමු අමුවේ ඝාතනය වීම සහ රට පුරා නිවාස දේපළ රැසක් ගිනි අඟුරු බවට පත්වීමය.
එපමණකින් නොනැවතුණ ප්‍රචණ්ඩකාරී අරගලයකරුවන් විසින් භීතිය සමාජගත කිරීමට හැකි සෑම අවස්ථාවක දීම පියවර ගනිමින් සිටියේය. එසේම ජූලි 09 දා දැවැන්ත ජන සහභාගීත්වයකින් සිදුකළ අවසන් අරගලය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබිය දී අරගලය අවසන් කරනවා වෙනුවට ඒ වන විට අග්‍රමාත්‍ය ධූරයට පත්ව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට ද පියවර ගත්තේය. එය ද හුදු අහම්භයක් නොව සැලසුම්ගතව සිදුකළ සාහසික අපරාධයකි.
ආරක්ෂක අංශ විසින් නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ලෙස හුවාදක්වමින් ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා විරෝධතා උද්ඝෝෂණය කරන පිරිස් අතර විශේෂයෙන් වාමවාදී කල්ලි කණ්ඩායම් විසින් මහජනතාව ප්‍රචණ්ඩත්වයට යොමුකරමින් කටයුතු කළ බව දැකගන්නට ලැබුණි.
අරගලයේ නිදහස
නිර්පාක්ෂිකව පොදුවේ ජනතාව විසින් නිර්මාණය කරන ලද ආදරයේ අරගලය ක්‍රමයෙන් වාමවාදී ග්‍රහණයට නතුවීමෙන් පසු ම්ලේච්ඡ ප්‍රචණ්ඩකාරී අරගලයක් ලෙස වැඩී වර්ධනය වූ බව දක්නට ලැබුණි. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු දින කිහිපයක් ඇතුළත අරගල බිම නිදහස් බිමක් බවට පත් විය. එය එසේ සිදුවූවා සේම රට තුළ අර්බුදයෙන් අර්බුදයට යමින් තිබූ ගැටලු ගණනාවක් එකින් එක ලිහමින් සාමාන්‍යකරණය කිරීමට අවශ්‍ය කටයුතු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළේය.
ඒ අනුව එතෙක් පොදුවේ සියලු රටවැසියන්ට ඍජුව බලපෑ රටපුරා පැවැති තෙල් පෝලිම් අහෝසි වීම ද ගෑස් පෝලිම් අහෝසි වීම ද විදුලිය කප්පාදු කළ පැය ගණන ක්‍රමයෙන් අඩු කිරීම ද විසින් අරගලකාරී විභවය අහෝසි කිරීමට සමත් විය. එපමණක් නොව ජනපති රනිල්ගේ ආණ්ඩුව විසින් ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත්, සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයටත්, ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමටත්, සමාජ සුබසාධන ක්‍රමවේදයන් ශක්තිමත් කිරීමටත් සැලසුම්ගත වැඩපිළිවෙලක් සහිතව අවශ්‍ය පියවර ගැණිනි.
මේ හමුවේ විපක්ෂ කණ්ඩායම් හා අරගලයේ වාමවාදී කල්ලි කණ්ඩායම් සමාජ ප්‍රශ්න අතහැර මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු ඔස්සේ සිය විරෝධය නඩත්තු කරන්නට විය. එහි තවත් ඉදිරි පියවරක් වූයේ මැතිවරණයක් ඉල්ලා සිටීමය. රටේ ජනතාව තවදුරටත් ආර්ථික අර්බුදයෙන් මුලුමනින්ම නිදහස් නොවූ වටපිටාවක මැතිවරණයක් අවශ්‍ය වූයේ, රටේ ජනතාවට නොව ආණ්ඩු විරෝධී බලලෝභී විපක්ෂ පක්ෂවලටය.
නිදහසේ මැතිවරණය
අරගලකාරී සමාජ වාතාවරණය අවසානයේ සංසුන් වූ සමාජ පසුබිම තුළ බලලෝභී විරුද්ධ පක්ෂ කල්ලි කණ්ඩායම්වලට වුවමණා වූයේ හැකි ඉක්මණින් බලය ඩැහැගැනීමට කුමන හෝ පියවරක් අනුගමනය කිරිමට ය. ඒ සඳහා සුදුසු අවස්ථාව ලෙස ඔවුන් තෝරා ගනු ලැබූවේ ආර්ථික අර්බුදයක් හමුවේ විවිධ විසඳුම් සොයමින් සිටින ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා එල්ල කරමින් සිය බලය තහවුරු කරගැනීමට අවශ්‍ය සමාජ පසුබිම සකසා ගැනීම හරහා ය. එහි ඊළඟ පියවර වූයේ හැකි ඉක්මණින් මැතිවරණයකට සමාජය යොමුකර ගැනීමය.
2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එවකට පැවැති සමාජ ආර්ථික අර්බුදය හමුවේ වසරකින් කල් දැමීමට ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව 2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත ය. කෙසේ නමුත් විපක්ෂය විසින් පළමුව චෝදනා කළේ ජනපති රනිල් විසින් මැතිවරණ සිතියම හැකිලීමට කටයුතු කරන බවය. ඒ මැතිවරණයක් පැවැත්වීමට තරම් සුදුසු සමාජ ආර්ථික පසුබිමක් තවමත් ගොඩනැගී ඇද්ද යන ගැටලුව පිළිබඳ කතිකාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් නිර්මාණය වීම නිසාය. සියල්ල එසේ සිදුවෙමින් තිබියදී මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා කැඳවා මැතිවරණ දිනයක් ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී.
සමාජ අර්බුදය තවත් උත්සන්න කෙරෙන ගැටලුව මතු වෙමින් ඇත්තේ, මේ පසුබිමේය. එනම් මැතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම අරගලයේ නමින් ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දුන් වාමවාදී කල්ලි කණ්ඩායම් තමන්ගේ වෛරී සහගත ප්‍රකාශයන් සමාජ මාධ්‍ය හරහා සමාජගත කිරීමට කටයුතු කිරීමය. එහි සැබෑ අරමුණ වෛරී සහගත සමාජ මානසිකත්වයක් නිර්මාණය කොට තමන්ගේ විරුද්ධ පක්ෂිකයන් අර්බුදයට යවා, දැඩි සමාජ පීඩාවකට ලක්කොට තමන්ගේ බලය තහවුරු කරගැනීමට අවශ්‍ය විනාශකාරී පරිසරය ගොඩනගා ගැනීමය.
සමාජ වෛරය වැපිරීමේ නිර්ලජ්ජිත උත්සාහය පෙන්නුම් කෙරෙන උදාහරණ කිහිපයක් ගෙන තවදුරටත් විමසා බැලීම තුළ වාමවාදීන්ගේ සාහසිකත්වයේ නරුමකම වඩාත් පැහැදිලි කරගත හැක.
”මුලු රටම පෙරුම්පුරන්නේ, ඡන්දෙ දාන්න නෙවෙයි පොහොට්ටුවට කැන්වසින් යන එවුන් දැකගන්න….”, ”පොහොට්ටු අපේක්ෂකයන් කැන්වසින් එන දිනයන් දැනගැනීමට මහජනතාව අතර විශාල උද්යෝගයක්”, ”අපිට පලිගන්න මාර්තු 9 චන්දයක් එනවා”, ”අපේ ගෙදරම දැන් 7ක් න්‍ඪඡ ඒකයි ඹභඡ. ඒකත් සීයා. පොරට එදාට පාරට බහින්න දෙන්නෙත් නෑ”, ”ළඟදිම ඇසෙන නිව්ස්.. චන්දය ඉල්ලන් ගමන ආ අලි පොහොට්ටු අපේක්ෂකට ගුටි පූජාවක්….”, ”අලි පොහොට්ටු හෙලිකොට්ටන්ට අහුවෙන්න එපා ගහලා එලවමු. මේ අරගලේ දිනමු.”
මේ සමාජ මාධ්‍ය ප්‍රකාශ හරහා පුද්ගල වෛරය ගොඩනැගීමේ සාහසික උත්සාහය පැහැදිලිවම වාමවාදී ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් සිදුකරනු ලබන්නකි. මේ අතර ජවිපෙ නායක අනුර කුමාර විසින් මාර්තු 10 වනදා රනිල්ව පළවාහරින බවට හැඟවෙන ප්‍රකාශයක් සිදුකර තිබිණි. එහි අදහස යළි ප්‍රචණ්ඩ අරගලයක් මඟින් සිදුකරන විනාශයක් ගැනය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණය ඉල්ලා සමාජය ඉදිරියේ කිඹුල් කඳුළු හෙළූ වාමාංශිකයන් මැතිවරණයට මුවා වී නැවතත් සමාජය ප්‍රචණ්ඩත්වයට ඇදගෙන යාමට උත්සාහ කරමින් සිටින බව පැහැදිලිය. හෙට දවස ගැන සුබවාදී බලාපොරොත්තුවක් සහිත කිසිදු මිනිසකු මෙම වාමවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රචණ්ඩකාරී වෛරී ප්‍රකාශයන් නොපිළිගන්නා අතර එය පිළිකුළෙන් බැහැර කරනු ඇත.