යුනිවර්සිටි පොලිසි දාන්න යෝජනාවක් ඇවිත්
ජැනට් යෙලන් ගෙන් රනිල්ට ඇමතුමක්
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ජනපතිට දුරකතන ඇමතුමක් ගත්තේ සදුදා රාත්‍රියේය. ඇය ජනපතිට දැනුම් දුන්නේ රටේ ආර්ථිකය යථාවත් කිරීමට ගන්නා උත්සාහය අගය කරන බවකි. ඉන් නොනැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට සහාය දෙන බව ද ඇය ජනපති රනිල් හමුවේ කීවාය.
ඊට පෙර ජනපති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටීනා ජොර්ජ්ජිවා ද සූම් යෙදවුම ඔස්සේ කතා කර තිබිණි. මේ සියලූ සාකච්ඡාවල ප්‍රගතිය පාර්ලිමේන්තුවට දැනුම්දීමට තීරණය කළ ජනපති රනිල් ඉකුත් අගහරුවාදා එහි ගොස් විශේෂ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමතවීම ගැන ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත නොවීමට ප්‍රධාන බාධකය වූ චීන එක්සිම් බැංකුවේ ලිපිය පෙර දින රාත්‍රියේ ලද බව කී ජනපති රනිල් මුදල් ඇමතිගේ හා මහ බැංකු අධිපතිගේ අත්සනින් යුතු එකඟතා ලියවිල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත රාත්‍රියේම යොමු කළ බවද කීවේය.
ජනපතිගේ ප්‍රකාශය විපක්ෂයේ මන්ත්‍රීන් අගයයි
පාර්ලිමේන්තුවේදී ජනපති කළ ප්‍රකාශය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසකගේ ඇගයීමට ලක්වූහ. මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ නියෝගයට එරෙහිව වරප්‍රසාද පැනයක් ප්‍රේමනාත් සී දොලවත්ත විසින් ඉදිරිපත් කළ ආරංචිය මන්ත්‍රීවරයෙකු ජනපතිට කීවේ පාර්ලිමේන්තු ලොබියේදී ය.
” අධිකරණ දෙකකින් නියෝග දෙකක් ඇවිල්ලා. ඒක තමයි මෙතන තියෙන ප්රශ්නය.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේය.
” ක්‍රියාකාරි අය වැය ප්රකාශනය (activity budget statement) වෙබ් එකට ගිහින් කියෙව්වා නම් ඇත්ත මූල්‍ය තත්ත්වය ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්.” ඇමති බන්දුල කීවේ ජනපති දෙස බලමිනි.
ජනපති ඇතුළු මන්ත්‍රීවරු සිටි ස්ථානයට පැමිණි දොලවත්ත මන්ත්‍රීවරයා කීවේ සිය වරප්‍රසාද ප්රශ්නය කතානායකතුමා වරප්‍රසාද කමිටුව වෙත යොමු කළ බවකි. මේ අතර එහි පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග ” ඩොලරය වේගයෙන් අඩු වෙනවා. බඩු මිලත් ඒත් එක්කම අඩු වෙනවා.” යැයි කීවේය.
” මේක අහලා දැන් විපක්ෂය හොදටම කලබල වෙලා. එයාලා හිතුවේ නෑ ජනාධිපතිතුමා මේ තරම් ඉක්මණට රුපියල ශක්තිමත් කරයි කියලා.” ඇමති කාංචන ද කතාවට එකතු වූවේය.
” අනේ ඔව් බඩු මිලත් දැන් ටික ටික අඩුවෙනවා වගේම උද්ධමනයෙන් දෙවෙනි ස්ථානයේ හිටපු අපි දැන් ඒ ලේඛනයේ 16 වෙනි තැනට ඇවිල්ලා. මේ අවුරුද්ද අන්තිම වෙන කොට තවත් පහලට එනවා. ඒකයි මේ අය මෙච්චර දගලන්නේ.” ඇමති චාමර සම්පත් කීවේ එවැන්නකි.
මේ සියල්ල අසා සිටි ජනපති කීවේ ” දැන් අපිට ඩොලර් එනවා. බැංකුවලින් ණයවර ලිපි විවෘත කරන්න පුළුවන්. දැන් අපිට වී තියෙනවා. දැන් අපිට ඉන්ධන තියෙනවා. පැය 24 ම විදුලිය තියෙනවා. ජනතාවට අවශ්‍ය මූළික පහසුකම් දැන් සම්පූර්ණයි. ඇකිලූණු ආර්ථිකය දැන් විස්තාරණය වෙලා තියෙන්නේ.” යනුවෙනි.
” හැබැයි සර් ගිය අවුරුද්දේ මේ කාලේ නම් පෝලිම් තමයි තිබුණේ.” වජිර කී දේ ඇසු ජනපති සිනාසෙමින් එතනින් පිටත්ව ගියේය.
වැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩ නැගීමට උපකාර කළ කාන්තාවන් තිදෙනෙකු පිළිබඳව ජනපති රනිල් සිහිපත් කළේ කාන්තා දින වැඩසහනට එක් වෙමිනි. ඉන්දියාවේ මුදල් ඇමති නිර්මලා සීතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා ජෝර්ජිවා යනු ඔවුන් තිදෙනාය.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වූ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසිනි. එම උත්සවය අවසන් වන තුරු ඔහුට එහි රැදී සිටීමට නොහැකි වූවේ පවුලේ අවමංගල්‍යයකට සහභාගීවීමට යාමට තිබූ නිසාවෙනි.
පිටත්වීමට පෙර ජනපති රනිල් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ අසලට ගොස් ” ඔබතුමියගේ කතාව අහන්න ඉන්න වෙන්නේ නෑ. ඒත් මම රටට හිතැති කාන්තාවන් තිදෙනෙකු ගැන ඔන්න මම කිව්වා.” යැයි කියමින් ඉන් පිටත්ව ගියේය.
මෙයාලා බොරුවට කෑ ගහනවා විතරයි
වෝටර්ස් ඒජ් හෝටලියේ පැවැති ජාත්‍යන්තර කාන්තා දින උත්සවය අවසන් කොට ජනපති රනිල් කෙලින්ම පැමිණියේ සිය ආදර”ය බිරිදගේ මෑණියන්ගේ අවමංගල්‍යය පැවැති මල් ශාලාවටය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ මෑණියන්ගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුනි.
පැය 24 ක් තුළ අවසන් කටයුතු කරනා ලෙස ඇය කර තිබූ ඉල්ලීමට අනුව අවසන් කටයුතු එදිනම අවසන් කරනු ලැබූවේ නාවල පොදු සුසාන භූමියේදී ය. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. මහනාහිමිවරුන් ඇතුළු පක්ෂ නායකයින් දුරතනයෙන් අමතා සොව පළකර තිබුනි.
මල් ශාලාව වෙත විපක්ෂ නායක සජිත් පැමිණියේ මන්ත්‍රී හර්ෂන රාජකාරුණා සමය. විපක්ෂ නායකවරයා හා ජනපති එහි අසුනකට බර දෙද්දී ඇමති සුසිල් ප්‍රේමජයන්ත ද එහි පැමිණියේය ” මෙතුමලගේ වැඩ හින්දා අපට නිදහසේ පාර්ලිමේන්තුවෙන් එළියට එන්න විදියක් නෑනේ.” සුසිල් ජනපති හා විපක්ෂ නායක දෙස බලමින් කීවේය.
“විපක්ෂය කියන්නේ ඒක තමයි. විපක්ෂය කියන්නේ ආණ්ඩුව නෙවෙයිනේ.” විපක්ෂ නායක සජිත් ද පෙරළා කීවේය.
” මෙයාලා ඉතින් බොරුවට කෑ ගහන එක විතරනේ.” ජනපති ද සරදමක් කළේය.
අවමංගල්‍යයක් වුව ද දේශපාලඥයන් රැසක් එහි එක්වීම හේතුවෙන් මෙය දේශපාලන කතා මණ්ඩපයක් වූවේය. වැඩිවේලාවක් එහි රැදී නොසිටි සභානායක සුසිල් ඉන් පිටත්වූවේ පාර්ලිමේන්තු කටයුතු ඇති බව ජනපතිට සිහිපත් කරමිනි.
” සභානායකතුමා කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මම කළ යෝජනාව පිළිගන්නවා කියා කියපු එක ඇත්තටම අගය කරන්න ඕනේ.” සජිත් කීවේ පිටව යන සුසිල් දෙස බලමිනි.
” ඒක හොද යෝජනාවක්.” ජනපති ද ප්‍රචාරද දැක්වීය.
” ඒකට මම ස්තූති කරනවා.” සජිත් කීවේ ජනපති දෙස බලමිනි.
” ඒක අගය කිරීම ගැන සතුටුයි.” කී ඇමති සුසිල් ඉන් පිටව ගියේය.
මුදල් කාරක සභාවේ මූලාසනය ගැනීම ගැන පාර්ලිමේන්තුවේ ඇතිවූ කතා බහෙන් පසුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වාට මන්ත්‍රී වජිර අබේවර්ධන මුහුණට මුහුණ මුණ සැසුනේ මෙම අවමංගල්‍ය ශාලාවේදීය.
මට සභාපතිකම දෙන්නේ නැද්ද ?
” ඔබතුමා ඉතින් මට විරුද්ධයිනේ.” හර්ෂ කීවේ වජිර දෙස බලමිනි.
” අපෝ නෑ. මම ඔබතුමාට විරුද්ධ නෑ. මම පාර්ලිමේන්තුවේදි කීවේ මුදල් කාරක සභාව ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ගැන විතරයි.” වජිර ද පිළිතුරු දුන්නේය.
” ඔබතුමාලා සභාපතිකම මට දෙන්නේ නෑනේ.” හර්ෂ කීවේය.
” ඒ ගැන නම් ඔබතුමා ආණ්ඩු පක්ෂයේ කට්ටිය එක්ක කතා කර ගන්න වෙනවා.” වජිර කීවේ හර්ෂ පිටත් වෙද්දීය.
මේ අතර විපක්ෂ නායක සජිත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්ට ද සරදමක් කළේ ජනපති ඉදිරියේ ය.
” මෙතුමා ඉන්නේ අපිත් එක්ක.” සජිත් කීවේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක දෙස බලමිනි
” එයා තීරණය කරන්න ඕනේ ආණ්ඩුවත් එක්ක ද ඉන්නේ විපක්ෂයත් එක්ක ද ඉන්නේ කියලා” ජනපති කියද්දී සජිත් කීවේ මම විහිළුවක් කළේ කියාය.
මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ ආර්යාවගේ මෑණියන්ගේ දේහය ඔවුන් විසින් සුසාන භූමියක් වෙනුවෙන් රජයට පරිත්‍යාග කළ ඉඩමක පිහිටි පොදු සුසාන භූමියේදි සිදු කෙරුණේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් ඉතාම චාම් අයුරිනි.
ජනපති රනිල් බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයට පැමිණියේ පවතින ආර්ථික තත්ත්වය හා ඉදිරි කටයුතු ගැන කතා කරන්නටය. මේ අවස්ථාවට මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටියේය. භාණ්ඩාගාර ලේකම් ආරක්ෂක මණ්ඩලය වෙත නොගිය බවට පාර්ලිමේන්තුවේ දි විපක්ෂය කී කාරණය නිලධාරියෙකු විසින් මෙහිදි මතු කළේය.
” එතුමා ආරක්ෂක මණ්ඩලයේ හිටියා. මමයි අගමැතිතුමයි සාකච්ඡාව අවසන් කරලා පාර්ලිමේන්තුවට ආවට නිලධාරීන්ගේ සාකච්ඡාව අවසන් වූනේ නෑ. ඒක තිබුණා. මොකද ආරක්ෂක අංශවල මුල්‍ය කටයුතු ගැන එහිදි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න තිබුණා.” ජනපති කරුණු පැහැදිලි කළේ එලෙසිනි.
රමසාන් උත්සවය වෙනුවෙන් රට ඉදි සඳහා පනවා තිබූ කිලෝග්රෑමයකට රුපියල් 200 ක් වූ විශේෂ වෙළෙද භාණ්ඩ බද්ධ රුපියල දක්වා අඩු කිරීමට ජනපති රනිල් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එහෙත් එය අදාළ වන්නේ රාමසාන් වෙනුවෙන් එවන රට ඉදි පමණක් බවට ද උපදෙස් දුන්නේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් කණ්ඩායමක් ජනපති මුණ ගැසුණේ පක්ෂ කටයුතු ගැන මෙන්ම රටේ පවතින තත්ත්වය ගැන සාකච්ඡා කරන්නටය. මෙහිදි පැන නැගුණු මාතෘකාවක් වූවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය විරෝධතාවයන්ය.
විශ්වවිද්‍යාල ඇතුලේ වෙනම රාජ්‍යයක්
” විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල ඇතුළට ගිහිල්ලා පොලිසිය පහර දුන්නා කියලා කියනවා. තව පැත්තකින් විශ්ව විද්‍යාල තුලට උපකුලපතිගේ අවසරයකින් තොරව යන්න බෑ කියලාත් කියනවා. මොකක්ද මේ කතාව.” ශමල් සෙනරත් විමසුවේ එහි සිටි පිරිසගෙනි.
” මම දන්න තරමින් නම් නීතිය හා සාමය රකින්න ඕනෑම අවස්ථාවක. ඕනෑම් ස්ථානයකට යන්න පොලිසියට අවසර තියෙනවා. ඒක ගැන කාගෙන්වත් අහන්න ඕනේ නෑ.” මහලේකම් රංගේ බණ්ඩාර කීවේ හිටපු පොලිස් නිලධාරියෙකු ලෙස නීතිය මතක් කර දෙමිනි.
” විශ්ව විද්‍යාල කියන්නේ වෙනම රාජ්‍යයක් නොවෙයි. උප කුලපතිගෙන් අවසර අරන් යනවා කියන එක මා දන්නා තරමින් සම්ප්රදායක්. උප කුලපති කැදෙව්වත් නැතත් නීතිය හා සාමය කඩවෙනවා නම් පොලිසියට ඇතුළට යන්න පුළුවන්.” සභාපති වජිර පැහැදිලි කළේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජිවිතය මතක් කරමිනි.
” වෙනත් රටවල යුනිවර්සිටි පොලිස් කියලා වෙනම පොලිසි තියෙනවා.” ජාතික සංවිධායක සාගල ද කතාවට එකතු වූවේ විදෙස් විශ්ව විද්‍යාල ගැන විස්තරයක් ද සහිතවය.
ලංකාවෙත් ඒ වගේ යුනිවර්සිටි පොලිසි දාන්න යෝජනාවක් ඇවිත් තිබෙනවා නේදැයි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන කියද්දී ජනපති එය හිස සලා තහවුරු කළේය.
ජනාධිපතිවරයා ඉකුත් සිකුරාදා කොළඹින් බැහැරට ගියේ පෞද්ගලික සංචාරයක් සඳහාය.
MEDIAMAN