ආණ්ඩුව ඡන්දවලට බයද?

0

ජනාධිපතිවරයාත් ආණ්ඩුව ඡන්දවලට බය බවත් ඒ නිසා ඡන්ද කල් දැමීමට උපක‍්‍රම පාවිච්චි කරමින් සිටින බවත් මේ දිනවල විපක්ෂය උස්සාගෙන යන සටන් පාඨයක්ව තිබේ.

ඡන්දයක් කියන්නේ ජනතාවට රාජ්‍ය පාලනය වෙනුවෙන් තමන්ගේ අභිලාෂයන් නියෝජනය කිරීම සදහා තමන් කැමති, තමන් විශ්වාසය රදවන, වඩාත්ම හොදම නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රම සහිත රටවල යොදා ගන්නා ක‍්‍රමවේදයයි.

මේ ක‍්‍රමවේදයට පාලකයන් බය විය යුත්තේ ඔවුන් වෙතින් ජනතා අභිලාෂයන් මුදුන්පත් කරවන වැඩසටහන ක‍්‍රියාත්මක කළ නොහැකිව අසරණ වී ඇති නම් පමණි. නමුත් වත්මන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් සිටින්නේ එවැනි අසරණ භාවයක නොවේ.

බංකොලොත්ව කරකියා ගන්න බැරි තැනට රටත් ජනතාවත් ඇද වැටුණු තැනින් ගොඩගැනීමට සමත් වූ ජනාධිපතිවරයකුට සහ ආණ්ඩුවකට එසේ බිය වීමට හේතුවක් නැත. විශේෂයෙන්ම එම අභියෝගය භාරගැනීමට විපක්ෂය කර හැර තිබුණු මොහොතක එය භාරගත්තේ ජනාධිපතිවරයාය.

එසේම ඔහුගේ වැඩපිළිවෙල දිගින් දිගටම කඩාකප්පල් කරන්න මේ විපක්ෂය ගත් සියළු උත්සාහයන් පවා පරාජය කරමින් ජනතා අභිලාෂයන් සපුරාලන්නට ගත යුතු පියවරයන් ගැනීමට රජයට හැකිව තිබිණි. එපමණක් නොව අනාගත සංවර්ධනය වෙනුවෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග පවා මේ වන කොට තෝරා අවසන්ය. රට සංවර්ධනය සදහා රැගෙන යායුතු මාර්ගයට ඇද දමා අවසන්ය.

ඒ අනුව ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට ඡුන්දවලට බිය වීමට හේතුවක් නැත. එහෙත් ඡන්දවලට ජනතාව බිය විය යුතුය. මන්දයත් මේ රටේ පවතින ඡන්ද ක‍්‍රමය මගින් රටට සිදු වී ඇති අවුල නිසාය. ඡන්දයක ප‍්‍රතිඵලය කුමක් වුවත් අවසානයේ අවුල් ජාලවකට රට ඇද දමා එය කෙළවර වීම ගැන අත්දැකීම් එමට තිබේ.

ඡන්ද මගින් සියල්ල නිවැරදි කරන්නේ නැත. යළි යළි එකම ගොහොරුවට රටත් ජනතාවත් ඇද දැමෙනවා නම් ජනවරම යන්නද ඒ ගොහොරුවේම විකාරයකි. මහජන ඡන්ද විමසීමකදී රටට වඩාත් ගැලපෙන එනම් රටේ අභිවෘද්ධියට ගැලපෙන, ඒ වුවමණාවන් සපුරන ආකාරයේ මහජන නියෝජිතත්වයක් අදාළ ආණ්ඩු කරන දේශපාලන ආයතනවලින් නියෝජනය විය යුතුය. එසේම මහජන නියෝජිතයන් තෝරාගැනීම වඩාත් සාධාරණ පදනමකින් විය යුතුය. එහෙම වූවත් එම ආයතන ව්‍යුහයද රටේ අනාගත අරමුණු සාක්ෂාත් කරන ව්‍යුහාත්මකව නිවැරදි ක‍්‍රමවේදයකට සකස් විය යුතුය.

පුරවැසි ජනතාව සමස්තයක් ලෙස ගෙන නිවැරදිම ලෙස තීන්දු තීරණ ගැනීමේ හැකියාව සහිත විය යුතුය. එපමණක්ම ප‍්‍රමාණවත් නැත. මෙම දේශපාලන ආයතන සහ මහජන නියෝජිතයන් ක‍්‍රියාත්මක විය යුතු පිළිවෙලක්ද තිබිය යුතුය. එය රටත් ජනතාවත් මුල් කරගත් ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් විය යුතුය.

ප‍ටු දේශපාලනික වුවමණාවන්ට, බලය පිළිිබද කෑදරකමට කරන සරළ ජනප‍්‍රිය දේශපාලනය වෙනුවට වගකීම් සහගත ලෙස රට ගැන ජනතා ගැන තීන්දු තීරණ ගන්නා අවකාශයක් බවට මෙම ආයතන සකස් විය යුතුය.

මේ කිසිිවක් ගැන යම් තහවුරුවක් නොමැතිව තවත් ඡන්ද කෙරුවාවකින් විය හැකිව තිබෙන විශ්මකර්ම වැඩ ඇත්තේ නැත. බලයට පැමිණෙන්නේ කවුද කියන එක මෙතැන වැදගත් නැත.

කවුරු බලයට ආවත් නිවැරදි පිළිවෙලක් ක‍්‍රියාත්මක වන බවට සහතිකයක් තිබිය යුතු වීම වැදගත්ම කාරණයය. අඩුම තරමින් තමන් පත් කරන නියෝජිතයා තමන් කෙරෙහි වගකීම් සහගතභාවය හෝ ප‍්‍රදර්ශනය කිරීම ජනතාවට අපේක්ෂා කළ හැකි විය යුතුය.

පසුගිය දිනවල හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නසීර් අහමඞ්ට මන්ත‍්‍රීධුරය අහිමිවීමේ සිද්ධිය පදනම් කරගෙන පක්ෂ මාරුකිරීම වැලැක්වීම ගැන සංවාදයක් ඇතිව තිබිණි. නමුත් මේ සදහා මීට පෙර අවස්ථාවල නීති පැනවීමට ගත් උත්සාහයට හෝ පාර්ලිමේන්තු මහජන නියෝජිතයන් සහය දුන්නේ නැත.

මේ සම්බන්ධයෙන් පොදු සමාජ කියවීම වන්නේ පක්ෂයක් නියෝජනය කරමින්, ප‍්‍රතිපත්තියක් නියෝජනය කරමින්, ජන කොටසක් නියෝජනය කරමින් හෝ පත්වුවා නම් ඒ වගකීම ඉටුකිරීමට අදාළ නියෝජිතයා බැදී සිටිය යුතුය, තම පෞද්ගලික වුවමණාවන් හෝ හෘද සාක්ෂිය මත පදනම්ව හෝ කියමින් පක්ෂ මාරු කිරීම නොවිය යුතුය, කණ්ඩායමක් නොමැති තනි නියෝජිතයකුට එවැනි තීරණයක් ගත හැකි නමුදු කණ්ඩායම් නියෝජනයකදී ඒ සදහා අවස්ථාව තිබිය යුත්තේ යළි මහජන කැමැත්ත විමසීමකදී හෝ අදාළ කණ්ඩායම ගන්නා පොදු තීන්දුවක් අනුව පමණක් විය යුතුය යන්නය.

නමුත් මේවා මෙසේ සිදු නොවන බව සුලබ අත්දැකීමය. පෞද්ගලික ලාබ අපේක්ෂාවන් මත පක්ෂ මාරුකිරීම් සුලබය. එසේම මනාප ක‍්‍රමයේ අවුල ගැන තවදුරටත් විවාද කරන්න දෙයක් නැත. එය වෙනස් කළ යුතුය. තමන්ගේ මැතිවරණ කොට්ඨාශයට වෙන්වූ මන්ත‍්‍රීවරයකු නොමැතිවීමේ මැසිවිල්ලද පරණ එකකි.

එය තවමත් වෙනස් කරගැනීමට හැකි වුණේ නැත. මේ ආදී වශයෙන් පවතින අවුල් සහගත තත්වයන් රැසක් තිබේ. මේ ගොහොරුවම තවදුරටත් පවත්වාගෙන යමින් ඡුන්ද පැවැත්වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභයක් රටට නැත. කොහොම නමුත් මේ අඩුපාඩු සැකසීම ගැන බොහෝ කාලයක සිට සාකච්ඡාවන් පැවැත් විණි. මැතිවරණ ක‍්‍රමය ගැන කොමිසම් වාර්තා, කමි‍ටු වර්තා කප්පරක් තිබිණි. සිදු කළ වෙනස්කම්ද තිබිණි.

වෙනස්කම් නිසා ගැටළු‍ තවදුරටත් අවුල් වීමත් සිදුව තිබිණි. මේ තත්වයන් මත මැතිවරණ ක‍්‍රමය මුළු‍මනින්ම පාහේ දූෂිත මෙන්ම විකෘතියක් බවට පත්වීම සිදුව තිබේ. රජයේ පාර්ශ්වයෙන් මේ ක‍්‍රමය වෙනස් කිරීම ගැන අදහසක් ප‍්‍රකාශයට පත්වෙනවාත් සමඟවිපක්ෂයේ කලබලය තේරුම් ගත හැකිය.

ඒ මෙම දූෂිත සහ විකෘති ක‍්‍රමය තමන්ගේ පැවැත්මට නැති නම් තමන්ගේ බල වුවමණාවට අවශ්‍ය බව ඔවුන් පිළිගෙන තිබෙන බවය. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස සියල්ලටම කලින් තමන්ගේ කලබලය පෙන්වා තිබිණි. ”සෘජු හා සමානුපාතික ක‍්‍රමයට මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීම සඳහා දැනට පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම හා ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට අගමැතිවරයා ආරාධනා කර ඇති බවත්, පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය කල් දමමින් ජනතාවගේ ඡුන්ද අයිතිය හා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම උල්ලංඝණය කර ඇති වත්මන් රජය සමඟ සමගි ජන බලවේගය කිසිඳු අවස්ථාවක මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවකට නොයෙන බවත්, යම් හෙයකින් මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නේ නම් එය සිදු කළ යුත්තේ විධිමත් ජනවරමකින් පසුව බවත්, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.” මේ ඔහුගේ පාර්ශ්වයෙන් නිකුත් කෙරුණ නිවේදනයක කොටසකි. විපක්ෂ නායකයා කියන විදිහට දැන් මෙම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම මැතිවරණයකින් පසුව වන විධිමත් ජනවරමකින් විය යුතුය.

සජිත්ගේ මේ පටු තේරුම් ගැනීම සිදුවන්නේ තමන් මිළඟමැතිවරණයෙන් බලයට පත්වෙනු ඇතැයි කියන සිතුවිල්ල නිසාය. එය ජාතික ජන බලවේගයේ අනුර කුමාරටත් ඇති සිතුවිල්ලකි. මොකද ඔහුත් මේ හා සමානම අදහසක් දරණ නිසාය. මේ දෙදෙනාම බලාගෙන සිටින්නේ මීළඟ ජනාධිපති වීමටය. මීළඟ ආණ්ඩුව පිහි‍ටු වීමටය.

එහෙත් මේ දෙදෙනාටම එකවර එය සිදු කළ නොහැක. දිනන්න පුළුවන් එක් පාර්ශ්වයකට පමණි. එය ඔවුන්ද නොදන්නා කාරණයක් නොවේ. මේ අනුව පැහැදිලි කාරණය මැතිවරණ ප‍්‍රතිපලය ගැන දැන් පූර්ව නිගමනයකට පැමිණෙන්න නොහැකි බවය. එය අවිනිශ්චිතය. සමහර විට මේ වන විට ආණ්ඩු බලයේ සිටින කණ්ඩායමම වුවත් බලයට පැමිණිය හැකිය. එසේම එජාපයට තනිවම බලයට පැමිණිය හැකි වීමද සිදු විය හැකිය. නැති නම් වෙනත්ම කණ්ඩායමක් හෝ බලයට පැමිණිය හැකිය.

එසේත් නොවී කිසිවකුට බහුතර බලයක් නොමැතිව හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමක්ද සිදු විය හැකිය. වත්මන් දේශපාලන තත්වයන් අනුව වඩාත්ම ආසන්න ප‍්‍රතිපලය විය හැක්කේ එයය. එවැනි මෙහොතක විපක්ෂ නායකවරයා පවසන විධිමත් ජනවරම ප‍්‍රකාශවන්නේ කෙසේද යන්න ගැටළුවකි. කොහොම නමුත් තමන් බලයට පැමිණෙන්නේ යැයි සිතන ප‍ටු උපකල්පනය මත සිට රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය නිරවද්‍ය ලෙස ප‍්‍රකාශ කිරීමට බාධා කරන පවතින මැතිවරණ ක‍්‍රමයේ අවුල වෙනස් කිරීමට ගෙන තිබෙන පියවර පරාජය කිරීමට විපක්ෂය තීන්දු කිරීම මොන තරම් සැහැසි තීරණයක්ද කියන එක පැහැදිලිය.

වැරදි දේ නිවැරදි දේ බවට පත්කර ගැනීමකින් මිසක් ඉදිරියට යෑමක් වන්නේ නැත. ඒ සදහා අවස්ථාව එළඹ ඇති විට එය කළ යුතුය. හැමදාමත් විවිධ පාර්ශ්වික දේශපාලනික වුවමණාවන් මත කල් දැමීම, කඩාකප්පල් කිරීම හෝ දිගටම සිදු වීමේ ප‍්‍රතිඵල අත්විදිමින් 75 වසරක් මුළුල්ලේ කෙරුවේ මොනවාදැයි ප‍්‍රශ්න කරන මෝඩ පිළිවෙත දැන්වත් වෙනස් විය යුතුය. පසුගිය සතියේදීත් අප මෙම තීරුවෙන් මතු කළ කාරණය වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට රජය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනවා කියන රාවයට ඊට සහය නොදී සිටිමට විපක්ෂ දේශපාලන පක්ෂ ගත් තීරණයත් මෙවැනිම මුග්ධ සහ බලලෝභය පදනම් කරගත් දෙයක් බවය.

විපක්ෂයේ දේශපාලනය එතරම්ම සිල්ලර ප‍්‍රාථමික මුග්ධ තැනකට වැටි තිබුණත් ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ රට ගැන වන දැඩි වගකීම් සහගත බවකිනි. ඔහු තමන්ගේ පාර්ශ්වික දේශපාලන අපේක්ෂා නොතකා රටේ අනාගතය සුබවාදී තැනකට ගෙන ඒමටත් ජනතාවගේ අභිලාෂයන් තෘප්තිමත් කරන තැනකටත් රටේ ආර්ථිකය හසුරුවමින් සහ ජාතන්තර දේශපාලනය තුළ මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු නොකළ මට්ටමේ බරපතල මැදිහත් වීමක් කරමින් රටට දේවල් දිනා ගැනීම වෙනුවෙන් ප‍්‍රශස්ථ කර්තව්‍යයක යෙදී සිටී. ඔහු මේ වන විට රටේ ආර්ථිකය සකස් කිරීම වෙනුවෙන් ඉදිරිපත්කර තිබෙන වැඩපිළිවෙල, සෑම ක්ෂේත‍්‍රයක්ම ආවරණය වන සමස්ත ක‍්‍රමපද්ධතියේ පූර්ණ වෙනසක් කිරීම වෙනුවෙන් සැකසුනකි.

පැලැස්තර කෙටිකාලීන ජනප‍්‍රිය විසඳුම් වෙනුවට දුෂ්කර සංකීර්ණ තත්වයන් කළමනාකරණය කරමින් දීර්ඝ කාලීනව ප‍්‍රතිලාභ ලැබෙන ක‍්‍රම පද්ධතියක් සැකසීම ඔහුගේ වුවමනාව වී ඇත. මේ අනුව එකින් එක සම්බන්ධ වන සියලූ‍ ක්ෂේත‍්‍රයන් සමගාමී වෙනස්කමකට ලක්කරමින් රට ගෙන යන්න හදන්නේ ඉහළ පිම්මක් පැන්නීමට බව පැහැදිලිය.

ඒ දෙස බැලිය යුත්තේ සමස්ත චිත‍්‍රය ගැනම විමසමිනි. එතැනින් මෙතැනින් කෑලි අල්ලාගෙන සමස්තය දැකිය නොහැක. විපක්ෂයට සිදුව ඇත්තේ මේ කෑල්ලක් දෙකක් අල්ලාගෙන සමස්තය ගැන අදහසක් ප‍්‍රකාශ කරන්න යෑමේ අවුලය. බොහෝ විටම එය විපක්ෂයේ නොදැනුම අනවබෝධයන් අනුව ඒ ඔවුන්ට පහසු විය හැකිය. නැතිනම් මේවාට කන් දෙන මිනිස්සු නොමඟයෑවීම තමන්ගේ ජරාජීර්ණ දේශපාලනයට වාසි සහගත බව කල්පනා කිරීම නිසා හිතා මතාම බොරුව සමාජගත කරනවාද විය හැකිය.

කෙසේ නමුත් රටේ යම් දේශපාලනික ප‍්‍රතිසංස්කරණයක් ගැන ජනාධිපතිවරයා අදහස් දක්වන්නේ එමඟින් රටේ ආර්ථිකයට වන බලපෑම ගැන තක්සේරුවක් ඇතිවය. ආර්ථිකය ගැන දෙයක් යෝජනා කරන්නේ රටට අවශ්‍ය දේශපාලනික ස්ථාවර බව සහතික කරගැනීම ගැන ගණන් බලමිනි. මේවා එකිනෙකට සම්බන්ධ කරුණුය. පසුගිය කාලය පුරා සිය විධායක බලතල පවා අත් හරිමින් පාර්ලිමේන්තුවට ආණ්ඩුකරණය සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ වැඩි වගකීමක් පවරමින් ඔහු සිදු කළේ ආර්ථිකයත් දේශපාලනයත් සමබරව තබා ගනිමින් රට බංකොළොත්භාවයෙන් මුදවා වඩා හොදම තීන්දු තීරණ මගින් ජනතාවගේ අභිලාෂයන් යථාර්ථයක් කිරීම විය යුතු නිසාය. රට මේ මොහොතේ පවතින්නේ බල දේශපාලනයේ පිස්සු කෙළීම්වලට ඉඩදිය යුතු අවස්ථාවක නොවේ.

ආණ්ඩුවත් විපක්ෂයක් වඩාත් වගකීම් සහගත වෙමින් රට සුරක්ෂා කරගත යුතු තැනකය. නමුත් විපක්ෂයට එලෙස අපේක්ෂාවක් නැති බව ඔවුන්ගේ පටු අවස්ථාවාදී කියුම් කෙරුම්වලින් අදත් ඔප්පු කරමින් සිටින සත්‍යය වේ.

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *