ආත්ම විශ්වාසය අහිමි වූ අයෙකුට තවත් අහිමි වීමට දෙයක් නැත

0

ආත්ම විශ්වාසය යනු පුද්ගල පෞරුෂය, පුද්ගල සබඳතා, වෘත්තීය නිපුණතාව හෝ සාර්ථකත්වය වගේම සමස්ත ජීවිත තෘප්තිය ඇතුළුව පුද්ගලයෙකුගේ ජීවිතයේ විවිධ දිශානති කෙරේ බලපෑම් කරන මානසික යහපැවැත්මේ වැදගත් අංගයකි. ඕනෑම පුද්ගලයකු සතු ආත්ම විශ්වාසය උස් පහත් වීම් පැවතීම සාමාන්‍ය ලක්ෂණයකි.
එය එසේ වුවද අයෙකුගේ ආත්ම විශ්වාසය නැතිවීම යනු මහා සාගරය මැද ඔහු සතු එකම මාලිමා යන්ත්‍රය අහිමි වූවා සේය.. එවිට සහජ බුද්ධිය විශ්වාස කිරීමට නොහැකිව, අනෙකා ගැන වගේම තමා ගැනම අවිශ්වාසයෙන්, අවිනිශ්චිත බවකින් කටයුතු කිරීමට පෙළඹෙනු දැකිය හැකිය.
අපි මේ කියන්න යන්නේ, මහා සාගරය මැද මාලිමා යන්ත්‍රයක් අහිමි කරගත් අයකු පිළිබඳව නොව, මාලිමාවක් නිසා සිය ආත්ම විශ්වාසය බින්දුවට බස්ස ගත්ත පුද්ගලයකු ගැනය. හේ අන්කවරකුවත් නොව වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. නැතහොත් සමගි ජන බලවේගයේ නායකතුමාය.
කතාව මෙහෙමය, සජිත් ප්‍රේමදාස යනු 1994න් පසු දේශපාලනයට අත්පොත් තැබූ පිය උරුමය කරපින්නාගත් සාම්ප්‍රදායික දේශපාලකයෙකි. සජිත් යනු ගෙවුණු කාල සීමාව තුළ ලංකා දේශපාලනයේ විශේෂ චරිතයක් නොවුණ නමුත් ඔහු විසින් හැමවිටම සිය පිය උරුමය මත තමන් විශේෂිතයෙක් යැයි ඒත්තු ගැන්වීමට උත්සාහ කළේය. ඒ පදනමින්ම ඔහු සිය පක්ෂයේ නායකයා වූ රනිල් වික්‍රමසිංහට එරෙහිව විවිධ කුමන්ත්‍රණ සිදුකළේ පක්ෂ නායකත්වය අපේක්ෂාවෙනි. කෙසේ නමුත් ඔහුට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට උරුමකම් කීමට නොහැකි විය. නමුත් 2019 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් බහුජන සංවිධානයක් නිර්මාණය කර එහි ජනාධිපති අපේක්ෂකයා බවට සජිත්ව පත් කළේය. ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු එකී බහුජන සංවිධානය පක්ෂයක් බවට පත් කොට එහි නායකයා බවට පත් විය.
පක්ෂ නායකයෙක් වූ පමණින් ඔහු රටට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීමට අපොහොසත් විය. ඒ ඔහුගේ ආත්ම විශ්වාසයේ අඩුකම වගේම දේශපාලන නොමේරුකම නිසාය. එකී දේශපාලන නොමේරුකමේ දිග පළල මෙසේය.
සජිත්ට තමන් සජිත් නම් පුද්ගල පෞර්ෂය නොව ප්‍රේමදාසගේ පුතා ලෙස තමන් විසින් තමන්වම සමාජගත කිරීම හරහා ඔහුට, ඔහුව අහිමි වී තිබේ. ඒ නිසාම විටෙක ඔහු මහින්ද රාජපක්ෂ වගේ සිංහල බෞද්ධ ජාතිවාදියෙකු ලෙස පෙනී සිටි. තවත් විටෙක මහා ඉංග්‍රිසි ප්‍රාඥයෙකු යැයි පෙන්වීමට පරණ විදග්ධ ඉංග්‍රීසි වචන පාවිච්චි කරයි. තවත් විටෙක මහා රාජතාන්ත්‍රිකයකු ලෙස හුවා දක්වමින් රනිල් වික්‍රමසිංහ වගේ වෙන්නට තැත් කරයි. තමන්ටත් වීදි සටන් කරන්න පුළුවන් බව පෙන්වන්න අනුර කුමාර වගේ කඳුළු ගෑස් කකා නාගෙන එනන යයි. තමන්ටම කියා දැක්මක්, ආත්ම විශ්වාසයක්, පෞර්ෂයක් නොමැති වූ කළ කවරෙකු වුවද අනෙකාට අඳින හෝ තමන්ගේ මනසේ මවාගන්නා වූ පරමාදර්ශ යැයි සැලකෙන චරිත කෙරේ රූපාන්තරණය වීමට උත්සාහ ගැනීම වැලැක්විය නොහැකිය. සජිත්ට සිදුවී ඇත්තේද එයමය.
අරගලයෙන් පසු සමයේ රටේ නායකත්වය භාරගෙන කරන්න යැයි යෝජනා කරද්දී ඔහු කර ඇරියේය. ඒ නිසාම එකල පක්ෂ විපක්ෂ දේශපාලන රැලි හමා එද්දී ඊට එරෙහිව “රැල්ලට බය නම් වැල්ල පාගන්න එන්නෙ නෑ“ කියා එකී රැලිවලට එරෙහිව ජනතාව සංවිධානය කරන්නට සජිත්ගෙ හයියට ළඟින් සිටි හරීන්ලා ඔහුව අතහැර ගියේය. දැන් සජිත්ගේ ළඟ ඉන්නේ, සදාකාලික දේශපාලන පරාජයන්ට පමණක් උරුමකම් කියූ තිස්සලාය.
එය එසේ වෙද්දී එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනා ලකලෑස්ති වෙමින් සිටිති. විපක්ෂයේ දේශපාලන රැල්ල අනුර කුමාර ප්‍රමුඛ මාලිමාව වටා හමා යමින් තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. එසේ හමා යන මාලිමා රැල්ලට බයවුණු සජිත් නිරන්තරයෙන් ජන සමීක්ෂණ කෙරේ උනන්දු වෙමින් සිටින බව පෙනේ. කෙසේ නමුත් ජන සමීක්ෂණවලින් ද සජිත්ගේ බය තවත් වැඩි වී ඇති බව ඔහුගේ වැඩ තේරීම හරහා තේරුම් ගන්නට පුළුවන.
මේ මෑතක සිදුකළ සමීක්ෂණයකට අනුව අනුර ජනපති වෙනවාට කැමැති ප්‍රමාණය 46%ක් බව මාලිමාවේ සමාජ මාධ්‍ය ප්‍රචාරකයන් විසින් සියලු මාධ්‍ය අවකාශයක් හරහාම ප්‍රචාරය කරන්නට විය. ඒ සමීක්ෂණයට අනුව සජිත් ජනපති වෙනවාට කැමති පිරිස 37%ක් යැයි ද මාධ්‍ය තුළ වාර්තා විය. එකී ජන සමීක්ෂණය සිදුකර ඇත්තේ මාලිමාව විසින්ය. ඊට අනුව අනුර ජනපති වෙනවාට අකමැති පිරිස 54%ක් වෙද්දී සජිත් ජනපති වෙනවාට අකමැති පිරිස 63%ක් බව දැනගත් සජිත් සිය අපේක්ෂාභංගත්වයේ සීමා මායිම් ළකුණු කරගන්නට විය.
මුලින්ම මාලිමාව වටා එකතුවන ජනතාව මෙන් පෙනුමට සෙනඟක් තමන්ගේ රැස්වීම්වලට එකතුකර ගන්න නොහැකි වීම ගැන පසුතැවිලි වී
රැස්වීම්වලට වඩා දෙතුන් සියයක් දාලා කරන උද්ඝෝෂණ කරන්නට තීන්දු කළේය. ඒ අතරෙම ඔහුගේ මානසික ව්‍යාකූලතාවය මනාව පෙන්නුම් කරමින් පාසලෙන් පාසලට බස්රථ ප්‍රදානය කරමින් යන අතර එහි හය හතර නොදන්නා පුංචි දරුවන් ඉදිරියේ, ජාත්‍යන්තර ණයකරණය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විදෙස් වෙළඳාමේ න්‍යායික පදනම වගේ බරසාර ආර්ථික විද්‍යා දේශන පවත්වමින් සිටියි.
ඔහුගේ තරම ඔහුට නොපෙනුණාට ඒ කුඩා දුවා දරුවන්ට මැනවින් පෙනේ. ඒ නිසාම ඔහු කියන මෙලෝ හසරක් නොතේරුනාට ගුරුවරු කලින් දැනුම් දී ඇති අත්පුඩිය ගසන්නට ළමයින් අමතක කරන්නේ නැත. ඒ අත්පුඩි හඬින් ස්වයං ප්‍රමෝදයට පත්වන සජිත් තවත් පාසලක මේ විගඩම එලෙසම සිදුකරන්නේය. සාම්ප්‍රදායික දේශපාලකයන් එදා ලැට් කටවල්, ටකරන්, උදලු තල බෙදලා ගම පුරා පෝස්ටර් ගහපු එකයි, අද ලොකු ෂෝ එකක් දාලා, ලෝකෙටම පේන්න ඔන්ලයින් දීලා සජිත් බස්, ලැප්ටොප් බෙදන එකයි අතර මහා ලොකු වෙනසක් නැත. රට බංකොලොත් කළ සහන මළු දේශපාලනය හැර සජිත්ට තේරෙන වෙන දෙයක් නැත. කවදාක හෝ සජිත් සජිත් ලෙස රූපාන්තරය වන තාක් මේ මනෝ ව්‍යාධියෙන් ඔහුට ගැලවීමක් ද නැත.
නිරන්තර දේශපාලන ෆෝබියාවකින් පෙළෙන සජිත් ඊළඟට තමන් වටා තමන් වෙනුවෙන් ඉන්න පිරිස සැක කරන්නට ගත්තේ ය. ඒ නිසාම ඔහුට තම පක්ෂයේ පවුරු පදනම්, න්‍යාය දර්ශන පවා අමතක විය. එසේ නොවන්නට දක්ෂිණාංශික කඳවුරක සාමාජිකයන්ගෙන් සැදුම් ලත් සිය පක්ෂයට අරගලය හමුවේ අති බහුතරයක් ජනතාවකගෙන් ප්‍රතික්ෂේප වූ සහ සජබ දේශපාලනයේ අනෙකා ලෙස හංවඩු ගැසූ, අන්ත ජාතිවාදී ආගම්වාදී ළදරු දේශපාලන න්‍යායචාර්යවරු සිය
රැකවරණය පිණිස කැඳවා ගනීද? ඔවුන්ට සිය පක්ෂයේ ඉහළම තනතරු ලබාදෙන බවට පොරොන්දු දෙයිද? ජීඑල් පීරිස් අගමැති කරන්නට සජබ කිසිවකු කැමැති යැයි මෙතෙක් පවසා නැත. එසේම නාලක ගොඩහේවා, චන්න ජයසුමනලා සිය උපදේශකයන් කරලා ළඟට ගත්තාට ජාතික දේශපාලනය ගැන යම් හෝ අදහසක් තියෙන සජබයේ සියලු දෙනාම පාහේ විරුද්ධය. පරස්පර විරෝධී දේශපාලන අන්ත දෙකක ඉන්න පිරිසක් ළංකර ගැනීම, සිය දේශපාලන අනාගතයට වල කපා ගැනීමක් බව කියන්නට ගොස් සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඉල්ලා අස්වී ගෙදර යන්නට වුණේය.
ඒ අතරම අර්ජුන රණතුංග සජබ ගම්පහ නායකයා බවට පත්කිරීමක් ගැන ගම්පහ ෆොන්සේකා, රාජකරුණා වගේම මාන්නප්පෙරුම ද දැඩි කනස්සල්ලෙන් පසුවෙයි. තවද සජිත් දැන් වැඩ තෝරන්නේ, මෑතක දී සිය ආර්ථික න්‍යායාචාර්ය බවට පත්කරගත් ගොඩහේවා කියන පදයට වීම නිසාම හර්ෂ, කබීර් වගේම එරාන් ද ඉන්නේ නොසතුටිනි. එසේම මෙතෙක් ප්‍රසිද්ධ දේශපාලනයේ කතා බහට ලක් නොවූ කුලවාදයක් ද සජිත් විසින් පසුගිය දිනවල නිර්මාණය කළේය. ඒ ශාන්ලා, තිසේරලා සජබ ගොඩවැඩිකර ගැනීම වෙනුවෙන් ළංකර ගැනීම හරහාය. ඒ ගැන ද සජබ අභ්‍යන්තරයේ ඇත්තේ, දැඩි අර්බුදකාරී නිහඬ විරෝධයකි.
මේ සියලු තීන්දු තීරණ සජිත්ගේය.
ඒ ඔහුගේ මානසික ආතතිය, ව්‍යාධිය සමාජය ඉදිරියේ පෙන්නුම් කළ ආකාරයය. එහි උත්සන්නතම අවස්ථාවක පසුගිදා පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කර සිටියේය. ඒ තානාපතිවරුන්ට විරුද්ධව චෝදනා කිරීම හරහාය. සමාජ මාධ්‍ය හරහා එය නම්කර තිබුණේ, අනුරගේ ගැටයකට සජිත් අහුවුණා කියාය. රනිල් සජිත් එකතුවක් වෙනුවෙන් තානාපති කාර්යාල බරටම වැඩ කියා ගිය වට්ස්ඇප් පෝස්ටුවක් පාදක කරගෙන සජිත් මේ අශෝභන හැසිරීම පෙන්නුම් කර සිටියේය. ඒ සම්බන්ධයෙන් තානාපති අංශවල නිලධාරීන් කතා වෙලා තියෙන්නෙ, සමාජ මාධ්‍ය ගොසිෆ් එකකට පාර්ලිමේන්තුවෙදි මේ වගේ අශ්ලීල විදිහට ප්‍රතිචාර දක්වන්න තරම් බොළඳ දේශපාලනයක් කරන මනුස්සයෙක් ජනාධිපති වෙන්න තියා විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුලුවන් විපක්ෂනායක කෙනෙක්වත් වෙන්න සුදුසු නෑ කියලාය.
ආත්ම විශ්වාසය අහිමි වූ මෙවන් දේශපාලකයකුගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීම විහිළුසහගතය. එනිසාම පක්ෂයේ ඇතැමුන් දැන් දැන් ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය පවා උදුරා ගැනීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ. ඇතැම් විට දැන් දැන් හැදෙන නානාවිධ සන්ධාන හරහා එවැන්නක් සිදුනොවේවි යැයි දැන්ම කියන්නට කල් වැඩිය. එය එසේ වුවහොත් ඇතැම් විට එය සජිත් ප්‍රේමදාසගේ වාසනාවක් ද විය හැකිය.

……නවන් පතිරත්න…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *