“උරුමය” ඉඩම් අයිතිය පැවරීම ජනවාරියේ

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලියේ සඳහන් “උරුමය” වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍ර දස දහසක් ලබන වසරේ ජනවාරි මස අවසන් වන විට ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා.

1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ලබා දීම සිදු කෙරෙනු ඇති.

ඔවුනට එම ඉඩම්වල අයිතිය නොමැති වීමෙන් ඒවා තම අවශ්‍යතා සහ සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමේදී සහ ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

එම ගැටලු අවම කර ගොවි ජනතාව ප්‍රමුඛ ජනතාවට අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත සංවර්ධනය කර භුක්ති විඳින ඉඩම්වල පරම අයිතිය පවතින නීති රාමුව තුළ ඉටු කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙවර අය වැය මඟින් ඉදිරිපත් කළ අතර මෙම වැඩසටහන සඳහා  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබිණි.

ලබන වසරේ ආරම්භ කෙරෙන මෙම වැඩසටහන වසර කිහිපයක් තුළ ඉටු කිරීමට අපේක්ෂා කෙරේ. එම අනුමැතිය පරිදි උරුමය වැඩසටහන මඟින් ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබා දී ඇති ඉඩම්වලට කොන්දේසි සහිතව නිකුත් කර ඇති අවසර පත්‍ර සහ දීමනා පත්‍ර වෙනුවට නිදහස් ප්‍රදාන පත්‍රයක් නිකුත් කිරීම අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. මේ වන විටත් අයැදුම් කර ඇති අය සඳහා ලබන ජනවාරි මස ප්‍රදාන පත්‍ර නිකුත් කෙරෙනු ඇති.

මෙම ක්‍රියාවලිය සඳහා දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල, අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලවල “උරුමය ඒකක” ස්ථාපිත කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *