“එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව ඇරඹේ.

0

“එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) බීජිං නුවර මහජන මහා ශාලාවේ දී ආරම්භ වුණා.

ඒ රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් හමුදා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබුවා.

සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා සඳහන් කළේ එකිනෙකාට එරෙහිව යමින් අනෙකා යටපත් කරනු වෙනුවට සියලුදෙනා අත්වැල් බැඳ ගනිමින් එකිනෙකාගේ සහයෝගය ඇතිව නැඟී සිටිම “එක් තීරයක් – එක් මාවතක්” සංකල්පයේ මුලික පදනම බවයි.

“එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ බවයි චීන ජනාධිපති ෂී ජින්පින් මෙහිදී අවධාරනය කළේ.

එම රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නව මාවත් රැසක් විවර වූ බවත් චීන ජනාධිපති ෂී ජින්පින් පෙන්වා දුන්නා.

සාමය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කර ගනිමින් ආරම්භ කෙරුණු “එක් තීරයක් – එක් මාවතක්” ප්‍රයත්නය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බවත්, මෙමගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බවත් චීන ජනපතිවරයා මෙහිදී සදහන් කළේ.

අනාගතයේ දී “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගන්නා අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ජාත්‍යන්තර බහු පාර්ශ්වීය ජාලයක් නිර්මාණය කිරීම, ජගත් විවෘත ආර්ථිකයක් සඳහා සහාය දැක්වීම, සහයෝගීතාව උදෙසා ප්‍රායෝගික ප්‍රවේශයක් සැකසීම, හරිත සංවර්ධනය දිරිමත් කිරීම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සඳහා අවස්ථා සැලසීම, අන්තර් පුද්ගල සබඳතා ශක්තිමත් කිරීම, “එක් තීරයක් – එක් මාවතක්” සාමාජික රටවල් අතර නොබිදෙන සබඳතාවන් දිරිමත් කිරීම සහ එම රටවල් අතර ආයතනික සබඳතා ශක්තිමත් කිරීම එකී අට වැදෑරුම් ප්‍රතිපත්ති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *