කයියෙන් රට කරවන පුතාණෝ සිහියෙන් අහන් පුරවැසියාණෝ

0

පසුගිය කාලය පුරා විශේෂයෙන් මැතිවරණ ඉලක්ක කරගත් වේදිකා තුළ ජනතාව සුඛිත මුදිත කරවන පොරොන්දු රාශියක් ඇසෙමින් පවතී. එකී පොරොන්දු දේශපාලනය තුළ වඩාත් හාස්‍යජනක කතා ඇසෙන තැනක් බවට සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාව නම් කළ හැකිය. සජිත් ප්‍රේමදාස මහතාගේ පොරොන්දු “එදාවේල ටුවර්ස්” පන්නයේ ඒවා වීම වඩාත් හාස්‍යජනක වී ඇත.
රජයේ වැඩපිළිවෙල යටතේ සිදුකරන්නා වූ ඕනෑම ක්‍රියාමාර්ගයක් දියත් කළ වහාම, ඊට දෙගුණ තෙගුණ පොරොන්දුවක් පසුදා වේදිකාවක තෙපර බෑම සජිත්ගේ විලාසය වී ඇත. පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා මයික්‍රොසොෆ්ට් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරුණු අතර, එහිදී පාසල් අධ්‍යාපනයට කෘත්‍රීම බුද්ධිය එකතු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ විය. මෙහිදී මයික්‍රසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් (Mr. Puneet chandok) මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ පාසැල් විෂය නිර්දේශයට කෘත්‍රිම බුද්ධිය විෂයක් ලෙස ඇතුළත් කිරීම විශිෂ්ට ක්‍රියාවක් බවත්, එවැනි පියවරක් ගත් දකුණු ආසියාවේ පළමු රට ලංකාව බවයි.
තත්වය මෙසේ තිබියදී පාසැල් වෙත බස් රථ බෙදා දෙමින් යන සජිත් ප්‍රේමදාස මහතා පාසැල් දරුවන් වෙත ප්‍රකාශ කරන්නේ තමන් ස්මාර්ට් අධ්‍යාපනයක් වෙනුවෙන් කටයුතු කරන බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ තමන් බලයට පත් වුවහොත් තොරතුරු තාක්ෂණය ඉගැන්විම 1 වැනි ශ්‍රේණියේ සිට සිදු කරන බවයි. සියලු‍ පාසැල් වෙත ස්මාර්ට් පන්ති කාමර ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තියක් තමන්ට ඇති බවත් සජිත් පාසල් වේදිකා ගානේ යමින් කියමින් ඇත.
එහෙත් සත්‍ය නම්, ඒ සඳහා සජිත් ප්‍රේමදාස ජනාධිපති වන තුරු බලා සිටිය යුතු නැති වීමය. එය දැනටමත් සිදු වෙමින් පවතී. ජාත්‍යන්තර තාක්ෂණික ආයතන නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක් කර ඇති අතර, ඊට අමතරව මේ වන විටත් ඉංග්‍රීසි මාධ්‍යයන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වන පාසැල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කිරීමට කටයුතු යොදා ඇති ඇත. ඉලක්කය වන්නේ 2025 වසර වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන් ප්‍රමාණය 200,000ක් දක්වා ඉහළ නැන්වීමයි. මේ වෙනුවෙන් අලු‍තින් ගුරුවරුන් 2,500ක් බඳවා ගැනීමටත්, එම ඉලක්කය සපුරා ගන්නා තුරු විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර තුනක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවාගැනීමටත් කටයුතු ආරම්භ කර ඇත.
මේ අතර පසුගියදා රජය පාසැල් සිසුන් වෙත දිවා ආහාරය ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ අතර, එදිනම සජිත්ගේ එදා වේල ටුවර්ස් ස්ටාර්ට් කරනු දක්නට ලැබුණි. “එදා හතළිස් තුන් ලක්ෂයක් දරුවන්ට නිල ඇඳුම් දුන්නා. දිවා ආහාරය දුන්නා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබාදුන් දිවා ආහාරය අද කප්පාදු කරලා. අපිට ආරංචියි දිවා ආහාරය ප්‍රාථමික සිසුන්ට විතරක් ලබාදෙන්න සීමා කරල කියලා. මං කියනවා ඒක ලැජ්ජා සහගත ප්‍රතිපත්තියක්. එකම පාසලේ දුදරුවන්ට දෙකට බෙදීම. අද ඉන්නවා හතළිස් එක් ලක්ෂයක් පාසල් දූ දරුවන්. මේ හතළිස් එක් ලක්ෂයක් පාසල් දු දරුවන්ට, සමස්ත සියලු‍ දෙනාට දිවා ආහාරය අනිවාර්යයෙන්ම මේ වසරේ අවසන් වෙන්න පෙර අපි ආරම්භ කරනවා“ යනුවෙන් කොටවාය මහා විද්‍යාලයේදී පාසැල් සිසු දරු දැරියන්ට පැවසීය.
කෙසේ වෙතත් හැමදේම දෙනවා කියන සජිත් ප්‍රේමදාස ඒවා දෙන්නේ කොහොමදැයි කියන්නේ නැත. මම දෙනවා, මම බෙදනවා, මම කරනවා කිවුවට ඒවා කරන්නේ කොහොමද කියා කීමට ඔහුට හැකියාවක් නැත. ඔහු කියන්නේ මං දානපතියන්ගෙන් අරගෙන දෙනවා වැනි සුරංගනා කතාය. රජයේ වැඩපිළිවෙලක් යනු වරක් දෙකක් කොට අතරමත නවතා දැමිය හැකි ක්‍රියාමාර්ග නොවන බව සජිත් දන්නේ නැත. ඒ වැනි බරපතල දෙයක් තේරුම් ගැනීමට තරම් සජිත්ගේ නොමේරූ බුද්ධියට හැකියාවක් නැති බව පෙනේ.
බෙදනවා යැයි කීවද ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය. පාසැල් සිසුන් වෙත දිවා ආහාරය ලබාදීමේ ජාතික වැඩපිළිවෙල වෙනුවෙන රජය විසින් කටයුතු සම්පාදනය කරනු ලැබුවේ ජාත්‍යන්තර සයෝගය සමඟිනි. මෙම වැඩපිළිවෙල වෙනුවෙන් ලෝක ආහාර වැඩපිළිවෙල, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) මූලිකත්වය ගෙන ඇති අතර, මේ සඳහා ප්‍රථම ප්‍රතිලාභීන් ලෙස නම් කෙරුණේ ප්‍රාථමික පාසැල් සිසුන් මිලියන 1.6කි. ඒ වෙනුවෙන් රජය ඉහත කී ආයතනවල මූල්‍ය දායකත්වයෙන් රුපියල් මිලියන 16,600ක ප්‍රතිපාදන මේ වන විටත් සෘජුවම පළාත් නවය වෙත වෙන් කොට අවසන්ය.
එසේම සජිත් පසුගියදා අපූරු කතාවක් ඇහැටුවැව විද්‍යාලයේදී ප්‍රකාශ කළේය. “ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් ඉන්න වැඩිහිටි පරපුරට, විශේෂයෙන් තමන්ගෙ ගිණුම්වලට ලැබුණු 15%ක විශේෂ පොලී ආදායම අද ඒක 6%-7%ට වැටිලා. මේ නිසා අසහනයට පත් වෙන වැඩිහිටි ජනතාවට අත්වන ඉරණම පිළිබඳ හිතන්න ඕනේ. දුප්පත්කමෙන් මිදෙන්න සැලසුම් සහගත වැඩසටහනක් අවශ්‍යයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවියට සමාන අලු‍ත් වැඩපිළිවෙලක් දියත් කරන්න අපි කටයුතු කරනවා.“ සජිත්ගේ ප්‍රකාශ එදාවේල ටුවර්ස් යනුවෙන් අප මීට පෙර සටහන් කළේ දිගින් දිගටම සජිත් ප්‍රේමදාස කරන්නෙ මෙවැනි කතා වීම නිසාවෙනි. වරෙක අස්වැසුම ගැන චෝදනා කරමින්, අස්වැසුම විවේචනය කරන සජිත් ප්‍රේමදාස තවත් විටෙක ප්‍රකාශ කරන්නේ තමන්ගේ පියාණන්ගේ නාමයෙන් පියාණන් කළ දේ කරන බවයි. එනම් ජනසවිය වැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන බවයි.
ජනසවිය යනු දුප්පතුන් වෙනුවෙන් වෙන් වූ සහන පැකේජයකි. එම පැකේජය හරහා දුප්පතුන්ට සවියක් වූ බව අවිවාදිතය. නමුත් එවන් ව්‍යාපෘතියකට ජනතාවට හිමිකම් කීමට සජිත් ප්‍රේමදාස ජනාධිපති වන තුරු බලා සිටිය යුතු නැත. මේ වන විටත් අස්වැසුම නමින් ක්‍රියාත්මක වන්නේ ජනසවියට වඩා ඉහළ ඵලදායිත්වයකින් යුත් ක්‍රියාවලියකි. මෙම අස්වැසුම සමාජ සුබසාධන ක්‍රියාවලිය හරහා රජයේ ප්‍රමුඛ අරමුණ වන්නේ දුප්පත් ජනතාවට සහනාධාර ලබාදීමම පමණක් නොවේ. එය දුප්පතුන් සවිබල ගැන්විම ඉලක්ක කරගත් ක්‍රියාවලියකි. ඒ හරහා දුප්පතුන් ඇති හැකි අය කිරීමත්, ඔවුන් නැවත දුගී බවට පත් නොවීමේ ඉලක්කයත් පෙරදැරි කර ගත් වඩා අර්ථාන්විත ක්‍රියාවලියකි. එය සජිත් ප්‍රේමදාසගේ එදා වේල ටුවර්ස් ප්‍රකාශයක් නොව. ජාතික ඉලක්කයක් සහිත වැඩපිළිවෙලකි.
මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක අවදියක තවමත් ගතානුගතික චින්තයෙන් ඔබ්බට යා නොහැකි වූ පියාණන්ගේ නාමයෙන් පියාණන්ගේ වැඩම කරන්න දත කන පුතාණෝ සහනාධාර ලබා දෙන බවට පොරොන්දු දෙන අතර තුර පවසන්නේ ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදවා ගැනීමට තමන් කටයුතු කරන බවයි.
“අනාගත අපේ රජයක් තුළ සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන කොට ඒ සහනාධාරය ගෘහයේ ඉන්න ගෘහණියට ලබා දෙන්න අපි කටයුතු කරනවා. කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ජනාධිපති කාර්ය සාධන බලකායක් අපි පිහිටුවනවා.“ යැයි කාන්තා සමුළුවේදී ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස තවත් වරෙක කියන්නේ මේ වසර අවසාන වෙන්න පෙර අනිවාර්යයෙන්ම දිවා ආහාරය ලබා දෙනවා ලබා දෙනවාමයි. හැබැයි ඕව කියන කොට මට කියනවා මම බෙදනවලු‍. මම සහන දෙනවලු‍. සහන යැපුම් සංකල්පයෙන් මිදී දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරනවා“ යනුවෙනි.
මෙය විහිළුවට එහා ගිය අඳ බාල කතාවකි. සහන බෙදීමම තමන්ගේ එකම ක්‍රමය කරගත් සජිත් ප්‍රේමදාස ඒ කියන ගමන් කියන්නේ යැපුම් සංකල්පය තමන්ගේ ක්‍රමය නොවන බවය. හැබැයි මේ අනිත් ක්‍රමය ගැන වගේ වගත් නැත. සජිත් දිගටම යෝජනා කරන සහන බෙදීම් අඩු තරමින් ජාතික වැඩපිළිවෙලක් හෝ නොවේ. දානපතියන්ගෙන අරගෙන බෙදීමකි. මේ හිතලු‍වලට ජාතික ඉලක්කයක් නැත. ඇත්තේ මැතිවරණ දීනීමේ ඉලක්කය පමණි. සමාජ සවිබල ගැන්විම ඔහුගේ ශබ්ද කෝෂයේ නැත. ඇත්තේ සහන බෙදීම පමණි. සජිත් ප්‍රේමදාස සහන යැපුම් සංකල්පයෙන් මිදී දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත්, සජිත්ගේ ක්‍රමයට ඔහුගේ ආණ්ඩුවකින් යැපුම් සංකල්පය අවසන් වීම නම් සිදු වෙනු ඇත. ඒ මේ කියන කිසිවක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි වීම අනිවාර්යයක් වන නිසාය.
එසේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වෙනුවෙන් ලබා දුන් ඉහළ පොලි අනුපාතය පහළ දමා ඇතැයි දුක් අඳෝනා දෙන සජිත් ප්‍රේමදාස පසුගිය කාලයේ හිටියේ ශ්‍රී ලංකාවේ නොවේදැයි අපට සිතේ. ශ්‍රී ලංකාව ආර්ථිකමය අතින් ඉතා පහළ මට්ටමට පත් වූ අතර, මේ වන විටත් ලංකාව යනු බංකොලොත් භාවයේ ඉවුර මත ඇති රාජ්‍යයකි. නැවත් ඇද වැටීමේ අවදානම තිබේ. වත්මන් රජය විසින් ගන්නා ලද ඉතා ප්‍රශස්ථ ආර්ථික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ නිසාවෙන් මේ වන විට වසර දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවා ඇති කරගැනීමට හැකි වූ අතර, ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමික වර්ධනයකට පියවර මනිමින් සිටී. එවන් ක්‍රියාවලියක් තුළ රජය විසින් ගන්නා ලද ආර්ථික ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් චෝදනා කරන සජිත් ප්‍රේමදාස ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වෙනුවෙන් ලබා දෙන පොලී ප්‍රතිශතය පහළ දැමීම ගැන චෝදනා කරනවා විනා, රට ගොඩ නැගීමේ පියවර ගැන කතා කරන්නේ නැත. පොළී අනුපාතය පහළ යෑම ආර්ථික සංවර්ධන වේගයේ ප්‍රතිපලයකි. මෙය තවදුරටත් පහළ යෑම සිදු විය යුතුව තිබෙන්නකි. එය ඉහළ නැංවීම යළි විය හැක්කේ රට බංකොළොත් තත්වයකට ඇද වැටුණොත්ය. අඩුම තරමේ ඔහුගේ ආර්ථික කමිටුවේ සාමාජිකයින් පවා රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ අගය කරමින් සිටින මොහොතක පුතාණෝ පියාණන්ගේ නාමයෙන් නොදන්නා ආර්ථිකයන් ගැන නන්දොඩවමින් සිටී.
පුතාණෝගේ මෙකී නොමේරූ කතාවට එපිටින් ගිය තවත් ගැටළුවක් ඇත. එනම් පසුගියදා ඔහු ප්‍රකාශ කළේ තමන් මිලියන ගණනින් වටිනා සමාජ මෙහෙවරක් සිදු කළ බවයි. “ලක්ෂ 4,142ක් වටිනා බස් රථ අපි පරිත්‍යාග කරල තියෙනවා. අද මම යනව 122 වෙනි සුහුරු පන්ති කාමරය ලබා දෙන්න. සම්පුර්ණයෙන්ම ලක්ෂ 1,212ක් අපි මේ වෙනුවෙන් ආයෝජනය කරල තියෙනවා. රජයේ රෝහල් 57කට ලක්ෂ 1,766ක් වටිනා රෝහල් උපකරණ අපි පරිත්‍යාග කරල තියෙනවා. ගර්භනී මව්වරුන් 2,500කට හාල් සලාක ලබා දුන්නා… මේක නිකං මාස හයකට සල්ලි බෙදල, මාස නමයකට සල්ලි බෙදල, අවුරුදු තුනකට මාස් පතා සල්ලි බෙදල, එහෙම ක්‍රමයක් නෙමෙයි. යැපුම් සංකල්පයකින් මිදිල, තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරල තියෙනවා.” තලාව මහා විද්‍යාලයේදී සජිත් ගහන මේ පම්පෝරිය තේරෙන්නේ මිනිස්සුන්ට ජීවිත කාලය පුරාම මේ සහන දෙන බවය. කලිනුත් පැවැසූ පරිදි සජිත් මේ කියන ‘යැපුම් සංකල්පයෙන් මිදෙනවාය’ කියන එකේ තේරුම දන්නේ නැති බවත් සහතිකය. එමෙන්ම මෙහෙම සහන බෙදන්න ඔහුට මුදල් ලැබෙන්නේ මොන දානපතියන්ගෙන් ද දැයි ඔහු මෙතෙක් ප්‍රකාශ කර නැත. මේ දානපතියන් මෙහෙම නිකම් සල්ලි දෙන්නේ පිං තකාද වෙන මොනවා හරි බලාපොරොත්තුවෙන්ද යන්න රට වැසියන් දැනගත යුතුය. මන්ද නැතිනම් මේවාට නැවත දෙතුන් ගුණයෙන් ගෙවන්න වෙනනෙත් පුරවැසියාටම නිසාය.
මෙවන් මහා පරිමාණ ව්‍යාපෘතින් සිදු කිරීමට ඔහු වෙනුවෙන් යමෙකු ආයෝජනය කරන්නේ අතලෙව කන්න දැයි අමුතුවෙන් කිව යුතු නැත. මක් නිසාද යත් යම් හෙයකින් වැරදී හෝ සජිත් ප්‍රේමදාස බලයට පත් වූ විගස මේ ආයෝජකයින් තමන්ගේ වුවමණාවන් සපුරාගැනීමට උත්සුක වීම අනිවාර්යයක් වන නිසාය.
එසේ නම් කටට එන්නං වාලේ නන්දොඩවන දෙඩවිල්ල අනුව ක්‍රියාත්මක වුවහොත් මේ රටේ බදු ගෙවන ජනතාවට දෙයියන්ගේ පිහිටය. ජනතාවගේ බදු මුදල් සංවර්ධන අරමුණක් නොමැතිව දේශපාලන සංදර්ශන වෙන්වෙන් නාස්ති කිරීම නිසා පසුගිය කාලයේ අප ගෙවූ වන්දිය සුළුපටු නැත. නැවතත් එවන් වන්දියක් ගෙවීමට ජනතාවට ශක්තියක් ද නැත.
එබැවින් සුරංගනා කතන්දර කියමින් රට පුරා කටින් රට කරවන්න වැයම් කරන පුතාණෝගේ කියුම් බහ කෙතරම්
ප්‍රායෝගිකද යන්න පුරවැසි ජනතාව නැවත නැවතත් සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතුව ඇත. එසේ නොවන්නේ නම් නැවත වටයකින් අර්බුදයකට වගකීමේ මහා පාප කර්මයට මෙන්ම ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ද ජනතාව සූදානම් විය යුතුය.

………..රිද්ම අනුරාධ ගමගේ…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *