කළ පුරුද්ද හා පළ පුරුද්ද නොතැකූ ක්‍රිකට් සිහිනය

0

එක් වරක් නොව සිය වරක් එක දිගට පැරදුනත් ක‍්‍රිකට් මැච් බලන ප්‍රේක්ෂකයන් සිටින රටක් ලෙස මෙරට හැඳින්විය හැකිය.

පසුගිය දිනවල පැවැති 2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලද දරුණු පරාජයත් සමඟ එදා මෙදා කතා නොවූ තරමට ක‍්‍රිකට් ගැන කතා වන්නට පටන් ගත් පසුබිමක් මේ වන විට රට තුළ නිර්මාණය වී ඇත.

තත්වය කෙතරම් බරපතළ ද කිවහොත් අද වන විට අප රටට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් ද පනවා ඇත.

ලෝකයේ අනෙක් රටවල් හා සැසඳීමේ දී ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවක් නොමැති නමුත් තර`ගාවලියට අදාළව ගත්කළ අත්දැකීම් අතින් ශ‍්‍රී ලංකාව තරමක් පසුපසින් සිටිති.

පසුගිය වසර කිහිපයේ පැවති ආසියානු කුසලානය (ඔ – 20) ජයග‍්‍රහණය කිරීම, ආසියානු අනුශූරයන් බවට පත්වීම (එක් දින* 20-20 ලෝක කුසලාන ත‍්‍රිත්වයක අවසන් පූර්ව වටය ආසන්නයට පැමිණීමට සමත්වීම මගින් වත්මන් ක‍්‍රිකට් කණ්ඩායමේ ශක්‍යතාවය මනාව පෙන්වා ඇත.

වර්තමානයේ ලෝකය පුරා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අති විශාල දියුණුවකට පත්ව ඇති මොහොතක ඊට සරිලන ආකාරයේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අපට අවශ්‍ය ය. අද වන විට ලෝකයේ අනෙක් කණ්ඩායම් පිළිබඳව සොයා බැලීමේදී පැහැදිලි වන්නේ ශක්තිමත් මෙන්ම පරිණත පහරවල් එල්ල කළ හැකි ක‍්‍රීඩකයන් කණ්ඩායම් ජයග‍්‍රහණය කරවීමට ප‍්‍රධාන සාධකය වී ඇති බවයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩා ඉතිහාසයේ එවැනිම වූ හැකියාවන් ප‍්‍රදර්ශනය කළ කි‍්‍රඩකයන් සිටි බව අමතක නොකළ යුතුය. ඔවුන් තමන්ගේ දක්ෂතාවය අනුව පිටියේ හිස් තැන් සොයමින් ආක‍්‍රමණශීලී ලෙස ලකුණු ලබාගත් පිතිකරුවන් ය. ඇතැම් අවස්ථාවල ලෝකයේ ප‍්‍රවේගකාරී පිතිකරුවන්ට වඩා ඔවුන් ලකුණු ලබා ගනිමින් තරගාවලිය අනිත් පැත්ත හැර වූ අවස්ථා  ඕනෑතරම් තිබේ. පන්දු යවන්නන් ද එසේමය.

ලකුණු පනස් ගණනකට ඉන්දීය කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අවස්ථාවෙන් පසුව ක‍්‍රිකට් විචාරකයන් මෙන්ම ඇතැම් පේ‍්‍රක්ෂකයන් ද කියා සිටියේ 1996 ලෝක කුසලාන ජයග‍්‍රාහී කණ්ඩායම,  ඉන්දියානු කණ්ඩායම සමඟ ක‍්‍රීඩා කළත් ලකුණු පනහකට වැඩි ප‍්‍රමාණයක් ලබා ගන්නා බවයි.

ඔව්, එය එසේ විය හැකියි. 1996 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේ ශතකයක් ලබා ගනිමින්, අවසාන තරඟයේ වීරයා සම්මානය ලබාගත් අරවින්ද ද සිල්වා 96 ලෝක කුසලාන ජයග‍්‍රහණය කරන විට 1984 පටන් වසර 12ක් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෙකි.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට දක්ෂතාවය පමණක් නොව ඒ සඳහා අත්දැකීම් ද බහුල විය යුතුය. වර්තමානය වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක‍්‍රීඩකයන් අතර අත්දැකීම් බහුල ක‍්‍රීඩකයන් සිටින්නේ එක් අතක ඇ`ගිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවකි.

එහිදී පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න (එක්දින තරඟ 48* සහ කුසල් ජනිත් පෙරේරා (එක්දින තරඟ 109* හැඳින්විය හැක. එහෙත් කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිට කණ්ඩායමට එක් වන්නේ වසර කිහිපයකට පසුවය. අවාසනාවකට දිමුත් කරුණාරත්න ද ඒ වන විට ලකුණු අතර නොසිටි ක‍්‍රීඩකයෙකි. තුන්ඉරියව් ක‍්‍රීඩකයින් අතර අත්දැකීම් බහුල ක‍්‍රීඩකයෙකු වන්නේ ඇන්ජලෝ මැතිව්ස් (එක්දින තරඟ 221* පමණි. ඔහුද කණ්ඩායමට එක් වන්නේ වසර කිහිපයකට පසුවය.

අන් සියලූම ක‍්‍රීඩකයන් සීමිත ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාවකට පමණක් ක‍්‍රීඩා කර සිටි අත්දැකීම් අඩු ක‍්‍රීඩකයන් ය.

වයස අනුව ගත්තද අවුරුදු 20, 23, 25, 26 යන වයස් කාණ්ඩවලට අයත් ක‍්‍රීඩකයන් ය.

ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන ප‍්‍රධාන පෙළේ අනෙකුත් රටවල්වල ක‍්‍රීඩකයන් පිළිබඳව සොයා බැලීමේදී 2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ අද්දැකීම් අඩුම කණ්ඩායම ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම හැඳින් වුවද වරදක් නැත.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහීත් ශර්මා එක්දින ක‍්‍රිකට් තරඟ 251 ද විරාට් කෝලි තරඟ 281 ද රවීන්ද්‍ර ජඬේජා තරග 186 ක් ද ක‍්‍රීඩා කර ඇත.

 ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් නායක පෙට් කමින්ස් එක් දින තරඟ 77 ද ග්ලේන් මැක්ස්වෙල් තරඟ 129ද ස්ටීව් ස්මිත් තරඟ 145ක් ද ඬේවිඞ් වෝනර් තරඟ 150ක් ද ක‍්‍රීඩා කර ඇත.

නවසීලන්ත කණ්ඩායම් නායක කේන් විලියන්සන් තරග 160 එකක්ද ටීම් සවුති තරඟ 157 ද බ්‍රෙන්ට් බෝල්ටි තරඟ 104 ද ක‍්‍රීඩා කර ඇත.

පාකිස්ථාන කණ්ඩායම් නායක බාබර අසාම් එක් දින තරඟ 108 ද ශදාබ් ඛාන් තරඟ 64ද මොහොමඞ් රිස්වාන් තරඟ 65ක් ද ක‍්‍රීඩා කර ඇත.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ඬේවිඞ් මිලර් තරග 160ක් ද කගිසෝ රබාඩා තරඟ 91ද ක්වින්ටන් ඩි කොක් තරඟ 145ක් ද ක‍්‍රීඩා කර ඇත.

ඉහත කී කණ්ඩායම් හා සැසදීමේදී අත්දැකීම් සහ පරිණතභාවය අතින් ගත් කල අප ක‍්‍රීඩකයන් ඔවුන් සියල්ලන්ගේ පසුපසින් සිටින බවට හොඳම උදාහරණය ලංකා කණ්ඩායමේ ආරම්ක පිතිකරු පැතුම් නිශ්ශංකය. ඔහු අදටත් එක් දින තරඟ 50කට සහභාගී වී නොමැති වයස අවුරුදු 25ක තරුණ කී‍්‍රඩකයෙකි.  

එය එසේ වුවද තරුණ කී‍්‍රඩකයන්ගේ හැකියාව හා දක්ෂතා මත අවස්ථා ගණනාවක තරඟ ජයග‍්‍රහණය කිරීමට සමත්වූ බව අමතක නොකළ යුතුය.

එසේම 2022 වසරේ දී වයස අවුරුදු දහ නමයෙන් පහළ කණ්ඩායම නියෝජනය කළ දුනිත් සහ මතීෂ වැනි ක‍්‍රීඩකයින් දැනටමත් ජාතික කණ්ඩායමට එක්ව සිටීම හොඳ ආයෝජනයකි.

කෙසේ නමුත් පසුගිය කාලයේ ක‍්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇති වූ මොහොතක මෙරට උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධනගේ යෝජනාව අනුව ආරම්භ කළ යෝග්‍යතා සම්බන්ධ වැඩපිළිවෙළට දැනට වසර එකහමාරක් පමණ එකහමාරක් පමණ ගතව තිබේ. ආරම්භයේ ඊට විරෝධතා එල්ල වුවද මේ වන විට එයට හොඳ ප‍්‍රතිචාර හිමිව තිබේ.

කණ්ඩායම් නායකත්වය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ප‍්‍රධාන සාධකයක් වන අතර පසුගිය කාලයේ දසුන් ශානකගේ නායකත්වය යටතේ අප තරගාවලිය කිහිපයක් ජයග‍්‍රහණය කර තිබුණ ද ලෝක කුසලානයේ ආරම්භක තරගයේ සිට දසුන්ගේ නායකත්වයේ යම් පසුබෑමක් දක්නට තිබුණි. පසුව එම ස්ථානය කුසල් මෙන්ඩිස්ට ලබා දුන්නද සැලකිය යුතු වෙනසක් සිදු කර ගැනීමට නොහැකි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන වරක් කියා සිටියේ.

‘‘මට හැම වෙලාවකම හිතෙන්නේ හිතෙන්නේ නායකයා පළමුව ක‍්‍රීඩකයෙක් කියලා. ඔව් මෑත අතීතයේ පැහැදිලිවම අපිට ක‍්‍රීඩක සංයෝජන සමග යන්න සිදු වුණා. ලෝක කුසලානයට ආසන්න වැඩි නිසා අපිට විශාල තීරණ ගන්න බැරි වුණා. දසුන් අවාසනාවන්ත ලෙස අසාර්ථක කාල සමයක් ගත කළත් ඔහු හැරෙන්නට විශිෂ්ට ක‍්‍රීඩකයෙක් හොයාගන්න අපහසුයි’’ කියාය.

මීට අමතරව අනාගත නායකයෙකු වෙනුවෙන් එක් ක‍්‍රීඩකයෙකු නොව ක‍්‍රීඩකයන් දෙතුන් දෙනෙකුම සූදානම් කිරීමට කටයුතු සිදු කළ යුතු බව මහේලගේ අදහසයි.

ලෝකයේ සියලූ වාර්තා තැබූ ක‍්‍රීඩකයන් බිහිවූයේ පරිණත ක‍්‍රීඩකයන් යටතේ උපදෙස් ලබමින් අත්දැකීම් ලබමින් පරාජයන් ලබමින් ඒවායේ සිදු වූ වැරදි අඩුපාඩු හදා ගනිමිනි. ඒ සඳහා උදාහරණ  ඕනෑතරම් සැපයිය හැකිය.

අවාසනාවකට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට වර්තමානය වන විට අත්දැකීම් ලබා ගැනීමට සිදුව ඇත්තේ කිසිදු අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් නොමැති පරිසරයක ය. ඒ හෙමින් නමුත් මේ යන ගමන අනාගත මහත් ආයෝජනයක් බව තතු දන්නෝ හොඳාකාරව ම දනිති.

අපට දක්ෂයෝ  ඕනෑ තරම් සිටිති. නමුත් ලෝකය සෙලවීමට, ලෝක කුසලාන තර`ගාවලි ජයග‍්‍රහණය ලබා ගැනීමට නම් දක්ෂතාවය හා සමානවම ක‍්‍රීඩකයින්ට අත්දැකීම් ද ලැබිය යුතුය.

මේ අප ගෙවමින් සිටින්නේ කරුණ ක‍්‍රීඩකයින් අත්දැකීම් ලබන කාලයයි. නුදුරු අනාගතයේ දීම අපට එහි ඵල නෙලාගත හැක.

එය එළැඹෙන ලෝක කුසලානය ද විය හැක…

නිහජ ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *