කෘෂිකර්ම නවීකරණය කටින් බතල හිටවීමක් නොවේ

0

පහුගිය සති කිහිපය තුළ එළවළු‍ මිල ගණන්වල ඉහළ යාම දරුණුවට සිදුව තිබිණි. විශේෂයෙන්ම කැරට් මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යෑම ගැන සැලකිය යුතු කතා බහක් සමාජයේ තිබිණි. කැරට්වලට හැමදාමත් වෙළඳපොළේ ඉල්ලු‍මක් තිබෙන ජනප්‍රිය ආහාරයක් වීම මත මෙම මිල ඉහළ යාම ගැටළුකාරී විය. ඇතැමුන් මෙය වැට් සමඟද සම්බන්ධ කරගෙන ආණ්ඩු විරෝධී පුවත් ප්‍රචාරයට යොදාගෙන තිබිණි.
සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ දී එළවළු‍ මිල තරමක් ඉහළ යෑම වෙයි. ඒ මෙම කාලයේදී එළවළු‍ නිෂ්පාදනය අඩුවීමක් වන නිසාය. එහෙත් මෙවර තරම් එළවළු මිල ඉහළ යාමක් වාර්තා වී නොතිබිණි. කොහොම නමුත් එළවළු මිල ඉහළ යෑමට බලපා තිබුණේ අයහපත් කාලගුණික තත්වයය. මාසයකට වඩා වැඩි කාලයක් වගා බිම් ආශ්‍රිත ප්‍රදේශවලට ඇද හැලු‍ණු දැඩි වර්ෂාව ඊට හේතුව තිබිණි. කැරට් වැනි බෝග වගාවන් නුවරඑළිය ආශ්‍රිතව සාම්ප්‍රදායික ගොවිබිම්වල සීමාසහිතව සිදුකිරීමත් එම වගාබිම් විනාශ වීමත් කැරට් මිල වේගයෙන් ඉහළ යෑමට හේතු විය. අතරමැදියන්ගේ ගසා කෑම ද වැට් වැඩි වීම නිසා පොදුවේ වූ මිල වැඩිවීම් ආදිය ද ඊට බලපෑවා විය හැකිය.
කැරට් අල සංවර්ධනය
කෙසේ නමුත් මෙරට කෘෂිකාර්මික රටක් ලෙස අවුරුදු දහස් ගණනාවක් තිස්සේ හැඳින්වූවත්, කෘෂිකර්මයෙන් රටේ ආර්ථිකය ගොඩ දමාගැනීම ගැන කතා වුණත්, බලයට පත්වූ සෑම රජයක්ම කෘෂිකර්මාන්තයට විශාල මැදිහත් වීමක් කළත්, අව්ව වැස්ස හෝ වෙනත් මොනයම්ම හෝ හේතුවක් මත රටේ අවශ්‍යතාවයට සරිලන සහ ලාබදායක මිලක් යටතේ කෘෂි නිශ්පාදනවල සැපයුම නිසි පරිදි කරගැනීමට හැකිව නැත. මේ නිසා මිල ඉහළ යෑම මෙන්ම මිල අඩුවීම, නිෂ්පාදනය වැඩිවීම හෝ අඩුවීම ආදී තත්වයන් මත ගොවියාද, වෙළෙන්දාද, අතරමැදියාද, පාරිභෝගිකයාද විටින් විට අර්බුදයට තල්ලු‍ කරයි. එපමණක් නොව දේශපාලන අධිකාරියද එම අර්බුදයේම කොටස්කාරයන් බවට පත්වනු ලබයි.
එහෙත් මෙම ගැටලු‍ අවසන් කරගැනීමට ගෙන තිබෙන පියවරයන් පවා ඒ මොහොතට අදාල තාවකාලික පැලැස්තර විසඳුම්වලින් එහාට ගියේ නැත. ඇතැම් විට ගන්නා පියවරයන් ක්‍රියාත්මක කිරීමට ඇතැම් දේශපාලන බලවේග හෝ ගොවි ප්‍රජාව, ව්‍යාපාරික ප්‍රජාව හෝ විරුද්ධ වූ අවස්ථා තිබිණි.
පසුගිය යහපාලන යුගයේදී මෙරට පළමු කෘෂි ශීතාගාර සංකීර්ණය, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන වැඩි අස්වැන්න ගබඩා කිරීම වෙනුවෙන් දඹුල්ලේ ගොඩනැගීමට ගත් තීරණය පසුව පත්වූ පාලනය විසින් අහෝසි කිරීමද ඒ එක් අවස්ථාවකි. මෙහි මෙටි්‍රක් ටොන් 5,000ක එළවළු සහ පලතුරු ගබඩා කිරීමේ හැකියාව තිබිණි.
මේ ආදී තත්වයන් මත මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනීමේ ගැටලු‍ව හැමදාමත් තිබිණි. එහෙත් මෙවැනි ගැටලු‍ තිබෙන බව පෙර පැවැති කිසිදු රජයක් නොදැන සිටියා නොවේ. ප්‍රශ්න විසඳීමට දුන් පොරොන්දුද ටොන් ගණනකි. නමුත් අවශ්‍ය විසඳුම් නිසියාකාරව ක්‍රියාත්මක නොවීය.
වැළ යන පැත්තට මැස්ස ගැසීම
මෙරට කෘෂිකර්මාන්තය පවතින සාම්ප්‍රදායික පිළිවෙතින් ඉවත්ව නවීකරණය කළ යුතුය කියන අදහසත් බොහෝ පැරණිය. විටින් විට ගත් එවැනි නවීකරණ විසඳුම් පවා නියමාකරයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වීම සීමාසහිත විය. නිදහස ලැබෙන යුගය වන විට මෙරට කෘෂිකර්මාන්තය නඟා සි‍ටුවීමට මහා පරිමාණ වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක විය. ගල්ඔය ව්‍යපාරය, මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරය වැනි දේ ක්‍රියාත්මක විය. එදා එමඟින්
වගාවට අවශ්‍ය ඉඩම් සහ ජලය පිළිබඳ ගැටලු‍ විසඳීමට උත්සහ කරන ලදි. පසුව රසායනික පොහොර හඳුන්වා දීම සහ සහනාධාර යටතේ ලබා දීම සිදුවිය. එමෙන්ම මහවැලි ව්‍යාපාරය හරහාද වාරිමාර්ග සංවර්ධනය සිදුකරමින් වගාබිම් ප්‍රමාණය වැඩිකරන ලදී. එසේම කෘෂිකර්මය වානිජ්‍යමය කිරීම වෙනුවෙන්ද පියවරයන් ගන්නා ලදී. ඒ අනුව එදා හඳුනාගෙන තිබුණු පරිදි ගොවිතැනට වූ මුලික ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම සිදුවිය. එහෙත් එය කිසිසේත්ම රටේ සිදුවන වර්ධනයන් හමුවේ ප්‍රමාණවත් වූයේ නැත. එමෙන්ම එතැනින් එහාට තවදුරටත් ගොවිතැන සඳහා පහසුකම් ලබාදීම සීමාවිය. උග්‍ර වූ ඉඩම් හා ජලය පිළිබඳ ප්‍රශ්නයට එම පහසුකම් ලබාදීමෙන් විසඳීමේ හැකියාව අවමවිය. සිදුවිය යුතුව තිබුණේ කෘෂිකර්මාන්තයේ පිරිවැය අවම කරමින් ඵලදාව වැඩි කිරීම සඳහා පියවර ගනිමින් සහ කෘෂි ව්‍යවසායකත්වයන් ගොඩනගා ගෙන ඉදිරියට යෑමය. එහෙත් පසු කාලීනවද වැව් දහසක් වැනි ව්‍යපෘති, පොහොර සහනාධාර ආදිය මඟින් වැඩි අවධානයක් යොමු කළේ අලුත් ප්‍රශ්නයට පරණ පිළිතුරු සෙවීම වැනි සම්ප්‍රදායික දේවල්ය.
අසූව දශකයේ ආරම්භයෙන් පසුව මෙරට කෘෂිකර්මාන්තය සියයට දහසකින් පමණ මේ වන විට විශාල දියුණුවක් ලැබුවද රටේ අවශ්‍යතාවයට එය ප්‍රමාණවත් නැති අතර ඉහතදී විස්තර කළ පරිදි ඉල්ලු‍මට සරිලන සැපයුමක් ලබාදීමේ විවිධ බාධාවන් සිදුවිය. නිෂ්පාදන මිල උච්චාවචනය නිසා තවත් ගැටලු‍ ඇතිව තිබේ.
මෙම ගැටලු‍ විසඳාගෙන කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ ක්‍රමවත් අඛණ්ඩ වැඩපිළිවෙලක් රටට අත්‍යාවශ්‍යය. මේ වෙනුවෙන් විශාල මැදිහත් වීමක් සිදුකිරීමට රජය මේ වන විට පියවර ගෙන තිබේ. පසුගිය කාලයේ කිහිප වතාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළ කරුණක් වූයේ මෙරට ආර්ථිකය ගොඩනැංවීම සඳහා කෘෂිකර්මාන්තයට තවමත් විශාල ශක්‍යතාවයක් තිබෙන බවත් එයින් නිසි ප්‍රයෝජනය නොගෙන ඇති බවත්ය. ඒ නිසා එම ක්ෂේත්‍රයේ සංවර්‍ධනයක් අත්පත් කරගත යුතු බවය. ඒ වෙනුවෙන් අවශ්‍ය නවීන පියවරයන් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවය. ඒ කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු‍ කාර්යක්ෂමව විසඳාගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ අතර කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කළේය.
එසේම කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට සැලසුම් කර ඇත. දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගතකර නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසයි.
මේ අනුව කෘෂි නවීකරණ වැඩ සටහන මේ වන විට නව ජවයකින් ආරම්භවීම සිදුව ඇත. නමුත් කෘෂිකාර්මික නවීකරණය යනු කුමක්ද යන්න ගැන තිබෙන අවබෝධය බොහෝ විටම නවීන යන්ත්‍රසූත්‍ර, තාක්ෂණය යොදාගැනීමකට සීමාව පවතී. නමුත් එය ඊට එහා විශාල පුළු‍ල් පරාසයකට විහිදෙන්නකි.
පෙරදිග ධාන්‍යාගාරයේ තරම
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වැවිලි නොවන සහ වැවිලි අංශය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. දළ වශයෙන් හෙක්ටයාර් මිලියන 2.5 ක් පමණ වන කෘෂිකාර්මික ඉඩම්වලින් සියයට 80ක් භාවිතා කරන්නේ වැවිලි නොවන ආහාර භෝග සඳහා වන අතර, සහල්, පලතුරු, එළවළු භෝග ගණනාවක් මූලික වශයෙන් කුඩා ඉඩම් හිමියන්ගේ ගොවිපලවල වගා කෙරේ. කුඩා ඉඩම් හිමියන් යනු සාමාන්‍යයෙන් හෙක්ටයාර 2කට අඩුවෙන් වගාකරන මිලියන 1.65ක් පමණ වන පිරිසකි. මේ අය සමස්ත වාර්ෂික ආහාර නිෂ්පාදනයෙන් සියයට 80කට දායක වේ. මේ අතරිනුත් අක්කර කාලකට වඩා අඩු ඉඩම්වල වගා කරන පිරිස මිලියන 1.5කට ආසන්නය. අක්කර කාලත් අක්කරයත් අතර 50,000ක් පමණ පිරිසක් සිටිති.
ලංකාවේ එළවළු මිල ගණන් ඉහළ යෑමට විශාලම බලපෑම සිදුව ඇත්තේ මේ කුඩා වතු හිමියන්ගේ නිෂ්පාදන වියදම් ඉහළ යෑම මතය. විශේෂයෙන්ම සමස්ත වියදමෙන් සියයට 50කට වඩා ශ්‍රමය වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබේ. නිශ්පාදනය අඩුවීම, ඵලදායිතාවය අඩුවීම සහ වියදම් වැඩිවීම නිසා වැඩි ලාභයක් අත්පත් කරගැනීමට නොහැකි වීම මත මේ පිරිස් අතර දරිද්‍රතාවයද වැඩිය. ඒ නිසා ඉතුරුම් නැත. වගාවන් වෙනුවෙන් ප්‍රාග්ධන ආයෝජනය සිදුවන්නේ ඉතා සුළු වශයෙනි. එසේම නිෂ්පාදන අළෙවි කරගැනීමේ ගැටලු‍වටද මුහුණ දෙන අතර අතරමැදියන්ගේ ග්‍රහණයට හසුවීම විශාල වශයෙන් සිදුවේ. අනෙක් බරපතලම දේ ඔවුන්ගේ ණය ගැතිභාවයය. මේ නිසා ආයෝජනය වෙනුවෙන් බැංකු ණයක් හෝ ලබාගැනීමද අසීරු වී ඇත. ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටළුව උග්‍රවීම සිදුවීමටද මේ තදින් බලපා ඇත. එසේම නිෂ්පාදන ආදායම් පවා නැවත ආයෝජනයට වෙන් කිරීම වෙනුවට වෙනත් අත්‍යවශ්‍ය නොවන වුමණාවන් සපුරාගැනීමේ ප්‍රමුඛතාවය සිදුවේ. විශේෂයෙන්ම අධිපාරිභෝජනයේ නාස්තිකාර වියදම්වලට පෙළඹවීම්ද දකින්නට ඇත. එසේම මේ කුඩා ගොවි ප්‍රජාව අතර සංවිධානාත්මක එකමුතුව අවමය. ගොවි සමිති ලෙස බොහෝ විට ක්‍රියාත්මක වන්නේ යම් ස්ථාවරයක් සහිත මහ ගොවියන්ය. මේ නිසා අමතර ගැටලු‍ ගණනාවකට මෙම කුඩා පරිමාණ ගොවියන් මුහුණ දෙයි. රටේ බෝග නිෂ්පාදනයෙන් සියයට 80 කට දායක වන මේ කුඩා ගොවියන්ගේ ගැටළු සියල්ල අස්වනු ආදායමෙන් පිරිමහ ගැනීමට සිදුවන නිසා එහි ප්‍රතිඵලය වන්නේ නිෂ්පාදන වියදම කිහිප ගුණයකින් වැඩිවී පාරිභොගිකයාට අධි මිලත් ගෙවීමට සිදුවීමය.
කෘෂිකර්ම නවීකරණය යනු මේ කාලන්තරයක් මුළු‍ල්ලේ වන ගැටළු විසදීමට වැඩි ප්‍රමුඛතාවයක් සහිත වැඩපිළිවෙලක් ගොඩනගා ක්‍රියාත්මක කිරීමය.
වැටත් නියරත් ගොයම කා නම්
මේ අනුව කෘෂිකාර්මික ඵලදායිතාව, විවිධාංගීකරණය, වාණිජකරණය, අගය එකතු කිරීම තුළින් එම අංශය නවීකරණයවීම නොවෙන්නේ නම්, මෙම ආදායම් ලාභ තිරසාර නොවිය හැකි අතර අවදානම දිනෙන් දින ඉහළ යෑම පමණක් වෙනු ඇත. නමුත් මේ අවදානම් තවදුරටත් රටට දැරිය නොහැක. මේ නිසා ආහාර භෝග නිෂ්පාදන ව්‍යුහයන් විවිධාංගීකරණයකර ඉහළ වටිනාකමක් ඇති කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීමට සහ කෘෂිකාර්මික අපනයන ප්‍රවර්ධනය කිරීමට ඇති අවස්ථාව වඩාත් උපායශීලීව ප්‍රයෝජනයට ගත යුතුය.
මෙම ව්‍යුහාත්මක වෙනස අනාගත ආදායම් වර්ධනය තිරසාරව පවත්වා ගැනීමට, දරිද්‍රතාවය අඩු කිරීම වේගවත් කිරීමට සහ අසමානතාවය ඉහළ යාමේ ප්‍රවණතාවය ආපසු හැරවීමට ඉතා වැදගත් වේ. මෙරට බොහෝ පලතුරු සහ එළවළු ඉහළ ආදායමක් උපදවනවා පමණක් නොව, කෘෂිකාර්මික අංශයේ රැකියා වර්ධනය සඳහා ද සැලකිය යුතු විභවයක් ඇත. අද මෙම ක්ෂේත්‍රයට යොමු වන පිරිසේ අඩුකම නිසා ද විශාල ගැටළුවක් තිබේ.
එසේම මෙම නවීකරණය තුළ අපනයන කෘෂිකර්මාන්තය වඩාත් ස්ථාවර සහ හිතකර වීමට රජය දේශපාලනික වශයෙන්ද කල්පනාකර මෙරට කෘෂි හා වෙළඳ ප්‍රතිපත්ති සකස්කිරීම විය යුතුය. ජනාධිපති රනිල් අවධාරණය කරමින් පවසන්නේ ඊට රජය පියවරයන් ගන්නා බවය.
වැළ යන පැත්ත වෙනස් කිරීම
ආර්ථික සහ තොරතුරු දත්ත සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය නිසිලෙස සැලකිල්ලට ගෙන, ප්‍රතිපත්ති සහ නියාමන සක්‍රීය පරිසරයක් තීරණාත්මක ලෙස කෘෂි නවීකරණය සඳහා පදනම් විය යුතුය. වඩාත් තරඟකාරීව වෙළඳපොළ ඉල්ලු‍මට ප්‍රතිචාර දක්වන තිරසාර නව ප්‍රතිපත්ති නිර්දේශ කිරීම විය යුතුය. ඉහළ වටිනාකමක් ඇති අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික වෙළඳපොළ විශ්ලේෂණ සිදු කිරීම සහ බාධක ඉවත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, නියාමන සහ ආයතනික රාමුවේ හෝ රාජ්‍ය ආයෝජනවල අවශ්‍ය වෙනස්කම් විශ්ලේෂණය කිරීම විය යුතුය. ප්‍රතිපත්ති සහ රාජ්‍ය සේවා ප්‍රතිපාදන, රාජ්‍ය වියදම්වල කාර්යක්ෂමතාව, සඵලතාවය වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ තිබිය යුතුය. අධීක්ෂණ සහ ඇගයීම් කාර්යයන් තිබිය යුතුය. කෘෂිකර්මාන්තයේ අවදානම් නිරීක්ෂණ වැඩිදියුණු කිරීම සඳහා දත්ත රැස් කිරීම සහ කළමනාකරණය සඳහා ජාතික කෘෂිකාර්මික තොරතුරු පද්ධතිය සක්‍රීයව සැකැසීම විය යුතුය.
එමෙන්ම කෘෂි නවීකරණය සාක්ෂාත් කරගැනීම සඳහා රටේ විවිධ ප්‍රදේශ සඳහා ඊට ගැලපෙන විවිධ උපාය මාර්ග ද අවශ්‍ය වේ. විශේෂයෙන්ම උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල කෘෂිකාර්මික ව්‍යාප්තිය සහ ඵලදායිතා වර්ධනය සඳහා මෙතෙක් යොදා නොගත් විශාල වපසරියක් තිබේ.
එමෙන්ම අගය එකතු කිරීම සඳහා වානිජ බෝග කෘෂි ව්‍යාපාරවල වඩාත් ශක්තිමත් ආයෝජනය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම, විවිධාංගීකරණය කිරීම තුළින් ඉහළ වටිනාකම් දාමයන් වෙත ගොවියා සම්බන්ධ කිරීම වැදගත් වේ. විවිධාංගීකරණ ආදර්ශයන් තුළින් කුඩා වතු හිමියන්ට තරඟකාරීව අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට, වෙළඳපොළ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීමට සහ වැඩි වාණිජකරණයක් කරා ගමන් කිරීමට සහායවීම වියයුතුය. පුද්ගලික අංශයේ පර්යේෂණ සහ සංවර්ධන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමද වියයුතුය,
ඉඩම්, ජලය සහ කෘෂිකාර්මික ඇතුළු සම්පත් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තුළින් කෘෂිකාර්මික ඵලදායිතාව, තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ඊට පහසුකම් සැලසීම ද අවශ්‍යය.
මෙහිදී මාර්ග හා ප්‍රවාහන පහසුකම් සැලසීමද මීට අයත්ය. කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා නවීන තාක්ෂණය සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම, බෝග අපද්‍රව්‍ය කොම්පෝස්ට් කිරීමේ පහසුකම්, ශීතාගාර ගබඩා හා සාමාන්‍ය ගබඩා පහසුකම් සහ සහ නිෂ්පාදන හැසිරවීමේ පහසුකම් ආදිය සැකසිය යුතුය. අවදානමට ලක්විය හැකි ගොවියන් සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය, එමගින් පසුගාමී ග්‍රාමීය ප්‍රදේශවල ආදායම් මාර්ග සහ ජීවනෝපාය සුරක්ෂිතභාවය වැඩිදියුණු කිරීම වියයුතුය.
ස්මාර්ට් ගොවිතැන
වෙළඳපොළ තොරතුරු, ජල හා වාරිමාර්ග තොරතුරු, බෝග වගා උපදේශන, ගංවතුර, නියඟ කළමනාකරණ දත්තයන් ආදිය සහිත ස්මාර්ට් (ඩිජිටල්) කෘෂිකාර්මික ප්‍රවේශයක් හරහා වැඩිදියුණු කළ දායකත්වයක් අත්‍යවශ්‍යය. ණය, රක්ෂණ, පසු අස්වනු කළමනාකරණය වැනි ඩිජිටල් සේවා සැපයීම ද වියයුතු අතර මේ වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම්, ඩිජිටල් සාක්ෂරතාව ගොවි ප්‍රජාවට අත්පත් කරදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක විය යුතුය.
මේ වන විට කෘෂිකර්ම නවීකරණය සම්බන්ධ ඩිජිටල්කරණය වෙනුවෙන් Bill and Melinda Gates පදනම සමඟ ශ්‍රී ලංකා රජය එක්වී කෘෂි ක්ෂේත්‍රයේ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation -IDAT) වැඩපිළිවෙල ආරම්භ කර ඇත. මෙහිදී කෘෂිකාර්ම, ධීවර, වාරිමාර්ග, වැවිලි කර්මාන්ත, ඉඩම්, තාක්ෂණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ සහ ඒවාට සම්බන්ධ සියළු ආයතන එක් කරගෙන මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකය. මෙම ඩිජිටල් ක්‍රියාදාමයේ සාර්ථකත්වය මෙරට කෘෂිකර්මාන්තය පිමි ගණනාවකින් ඉදිරියට තල්ලු කරනු ඇත.
මේ අනුව කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම යනු ඉතා පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරන සංකීර්ණතා බහුල කලාපයකි. වසර දහස් ගණනක් තිස්සේ සාම්ප්‍රදායික ගොවිතැනින් වෙනස්ව නව ලෝකයට ගැලපෙන ලෙස එය වෙනස් කරගැනීමට නොහැකි වීම නිසා අද හිටි හැටියේ මේවා වෙනස් කිරීම සිදු කළ නොහැක. මේවා සම්බන්ධයෙන් වුව ඕනෑ තරම් විරෝධතා උද්ඝෝෂණ ආදිය සිදු විය හැකිය. මේ ක්ෂේත්‍රය තුළද ක්‍රියාත්මක ජාවාරම්කාරී ආර්ථිකයක් තිබේ. මාෆියාවන් තිබේ. විශේෂයෙන්ම මෙරට ක්‍රියාත්මක පටු අවස්ථාවාදී දේශපාලනය විසින්ද නවීකරණ අවස්ථාවන් තමන්ගේ බල ලෝභිත්වය වෙනුවෙන් කඩාකප්පල් කිරීම්ද සිදුවෙනු ඇත. ඒ කෙසේ නමුත් කවර බාධා එල්ල වුවත් අධිෂ්ඨානශීලී නායකත්වයක් විසින් රට මුහුණ දුන් ආර්ථික අර්බුදය ගොඩදැමීමට සමත් වුවා මෙන් මෙම කෘෂි නවීකරණය ද විය හැකි බවට බාලාපොරොත්තු විය හැකිය. එසේම රට බතබුලතින් සරු වන්න නම් මේ සඳහා කෘෂි ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම ගොවි ජන ප්‍රජාවගේ අවංක සහයෝගය ලැබිය යුතුය.

…….ජයතුංග බණ්ඩාර…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *