ගජමෑන්ට පන දුන් කැමිලස් පෙරේරා දිවි ගමනට සමු දෙයි.

0

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය.

මියයන විට අවුරුදු 84 වියේ පසු වූ කැමිලස් පෙරේරා මහතා 1939 දෙසැම්බර් 01 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වනවා.

මෙරට පුවත්පත් පාඨකයන්ගේ රුචිකත්වය ඉතාව මැනවින් හඳුනාගත් ඔහු සමාජීය ගැටලු හාස්‍ය හා උපහාසය මුසුව රසවත්ව චිත්‍ර කතා මගින් ඉදිරිපත් කළ අති දක්ෂයෙකි.

කැමිලස් පෙරේරා හට දශක ගණනාවක් පුරා ඔහුගේ අනන්‍යතාව රැක ගනිමින්, කාටූන් සහ චිත්‍ර කතා ශිල්පියෙකු ලෙස පෞරුෂයක් ගොඩනගා ගන්නට හැකි විය.

කැමිලස් පෙරේරා මහතාගේ කාටූන් නිර්මාණයක් මුලින් ම පුවත්පතක පළ වී ඇත්තේ 1964 වසරේ දී ලේක්හවුස් ආයතනයෙහි ‘සරසවිය’ පුවත්පතේ යි.

තවද 1965 වසරේ සිට ‘දවස’ පුවත්පත වෙනුවෙන් දිනපතා කාටූනයක් නිර්මාණය කිරීමට ඔහුට අවස්ථාව උදාවිය.

ඒ සඳහා ඔහු නිර්මාණය කළ කාටූන් චරිතය වූයේ ‘තෙපානිස්’ චරිතය යි.

1966 වසරේ සිට ඔහු දිනපතා නිකුත් කෙරෙන ‘ජනතා’ පුවත්පත සඳහා ‘දොන් සේතන්’ නමින් කාටූන් චරිතයක් නිර්මාණය කළ අතර දොන් සේතන් චරිතය සමග සේතංගේ බිරිය සිමෝනා, දියණිය මෙරායා සහ බාල දරුවා ලපයා, දියණියගේ පෙම්වතා ගොඩ්ඩින් අයියා ආදී එවකට අතිශය ජනප්‍රිය වූ චරිත රැසක් ඔහු බිහි කිරීමට කැමිලස් පෙරේරා යන නිර්මාණ කරුට හැකි විය.

පසුව ඔහු ලේක්හවුස් ආයතනය පළ කළ මිහිර පුවත්පතට ‘ටික්කා‘ නමින් කාටූනයක් ද එහි ම ක්‍රීඩා පුවත්පතට ‘සෙල්ලං සේන’ චරිතය ද නිර්මාණය කළා.

ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත ලෙස සැලකෙන ‘සතුට’ පුවත්පත වෙනුවෙන් ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රිය ම කාටුන් චරිතය වූ ‘ගජමෑන්‘ නිර්මාණය කරන ලද්දේ 1972 වසරේ දී යි.

එහි අතිශය ජනප්‍රියත්වය නිසා ම ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වෙනුවෙන් ද යොදා ගන්නා ලද්දේ ගජමෑන් චරිතය යි.

එම චිත්‍රපටයෙහි කැමිලස් නිර්මාණය කළ චරිත රැසක් ඇතුළත් විය.

පසුකලෙක ඔහු ‘සතුට’ පුවත්පතින් ඉවත්ව මල්ටිපැක්ස් ආයතනය නිකුත් කළ ‘සිත්තර’ පුවත්පත හා සම්බන්ධ වූ අතර එම පුවත්පත එවකට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබිණි.

1982 වසරේදී මල්ටිපැක්ස් ආයතනයෙන් ඉවත්වූ කැමිලස් ඔහුගේ ම ආයතනයක් පිහිටුවා, ‘කැමිලස්ගේ ගජමෑන් සමග සත්සිරි’ නමින් පුවත්පතක් එළිදැක්වීය. එය අතිශයින් ජනප්‍රිය වී අලෙවි වාර්තා බිඳ දැමීමට සමත් වූ අතර, ඔහුගේ ව්‍යාපාරික දැනුම ද ඉන් දිස්විය.

2002 වසරේ දී ‘ගජමෑන්’ චරිතයෙහි 30 වන උපන් දිනය සැමරූ අතර ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *