ගෝඨාට කඩේ ගිය සුදාලාගේ ඊළඟ තේරීම අනුර වීම.

0

”‍තුන් හෙළේ ගිනි අවුලා

ඒ ගින්නේ අපි දැවෙනා

ලක් මවගේ ඇස් වහලා

මගේ රටම ගිනි තැබුවා

ඒ සියලු‍ ගිනි දැල් නිව නිවා

රන් දිය අරන් ආවා

රට මුදාලන රජිදා

හෙළ දෙරණ මත පිපුණා

දියසෙන්..!”‍

ඒ පසුගිය 2019 ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රචාරක ගීතයක්ය. රචනය නළුවෙකු වූ සුදත්ත තිලකසිරිගේය. සමූහ ගීයක් ලෙස එදා මෙය ප්‍රචාරය වූ අතර, ඒ සේනානායක වේරලියද්ද, එඩ්වඩ් ජයකොඩි, ප්‍රදීපා ධර්මදාස, ඇතුළු ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන්ය. ගීතයේ පද රචනයට සීමා නොවුණු සුදා, සරමද කැහපොට ගසාගෙන එහි වීඩියෝ පටිගත කිරීම් කරන ආකාරයද එදා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය විය. ඒ රංගන කෙසේ වුවත් ගීතයේ ඉලක්කය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැත. ඉලක්කය එවකට විපක්ෂයේ අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයය.

එතෙක් සමාජය හමුවේ, “‍බයියෙක්”‍ ලෙස හැඳින්වීම සැලකුවේ අවමානයක් ලෙසය. බයියන් නිර්වචනය වී තිබුණේ, ජාතිවාදය – ජාතිකවාදය මුල් කරගෙනය. රට හදන්න, සංවර්ධනය කරන්න නම් බටහිර දේශපාලන ආර්ථික ආදර්ශයන් වෙනුවට දේශීයත්වය, සිංහල – බෞද්ධ ප්‍රමුඛතාව ඇතුළත් සියලු‍ ආසියාතික වැඩවසම් අගතීන් සහ පුද්ගල බද්ධ ආකෘතියක් යෝජනා කරමින්ය. 2019 විශේෂත්වය වූයේ “‍බයියන්”ට අදාළ නිර්වචනය පවා අහෝසි කර නායකත්ව පෞරුෂය පමණක් ඉදිරියට ගැනීමය. එයත් දේශපාලන අපරිණත බවම ජනාධිපති ධුරය සඳහා මූලික සුදුසුකම ලෙස හුවා දක්වමින් ය. පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පවා මේ බලවේග නිර්දේශ කර සිටියේ, පළපුරුදු දේශපාලනඥයින් වෙනුවට ගෝඨාභයට සහය දක්වන උගත් වියතුන් පමණක් පාර්ලිමේන්තු එවන ලෙසය. දේශපාලන අත්දැකීම් නොමැති, මෙම රට හදන දියසෙන් බලකාය සෞභාග්‍යයේ ලියවිල්ල ප්‍රකාරව රට ගොඩනගනු ඇති බවය.

එදා සුදාලා ගීත ලියා, සරම් කැහැපොට ගසාගෙන වීඩියෝ හදා, 2019න් පස්සේ හැදෙන මාරම රට ගැන ධීර වීර කතා කිව්වේ ඒ ගැන වූ ආගමික විශ්වාසයක් ඇතුවය. එදා යහපාලනයට ගෑවුණු ගෑවුණු පිරිසෙන් ඇට්ටි හැලෙන්න ගේම ඉල්ලු‍වේ ඒ නිසා විය යුතුය.

 එදා සුදාලා ද මැදිහත්ව බයි දේශපාලනය ඔසවා තැබුවේ “‍අපි බයියෝ තමයි… ඇයි මොකද ඩෝ”‍ තැනටය. සමාජ මාධ්‍ය තුළ පවා කුමන අදහසක් පළවුණත්, ඊට පහළින් වූ ප්‍රතිචාරවල දැක්වුණේ “මොනවා වුණත් අපි පොහොට්ටුවට”‍, “ඒත් අපි පොහොට්ටුවට”‍, “කතා වැඩක් නෑ… අපි පොහොට්ටුවට”‍ ලෙසින්ය. සමාජ මාධ්‍ය තුළ එය පුද්ගල සම්බන්ධතා පවා තුවාලකර තලා දැමුණේ, “බයියන් නොවන, පොහොට්ටුවේ නොවන උන් මිතුරු ලැයිස්තුවෙන් ඉවත් වෙන”‍ ලෙස දැක්වෙන සටහන්වලින්ය.

කෙසේ හෝ වේවා සුදාලාගේ ද සහය ඇතිව දියසෙන් වීරයා ජන්දය ජයගත් බව ඇත්තය. නමුත් ඒ සාර්ථකත්වයෙන් වසර දෙකකට පසුව රටට අත්වූ ඉරණම කුමක්ද? මෙරට මිලියන 22ක ජනතාවට ලැබුණේ කුමක්ද? ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. ඒ වෙනුවෙන් මේ රටත් මිලියන 22ක ජනතාවත් අදටත් වන්දි ගෙවමින් ඇත. එහෙත් එම වන්දිය අවම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මිහිමත අපායක් වෙන්න ගිය මේ රට එම තත්වයෙන් යම් ප්‍රමාණයකට මුදවා ගෙන ඇති බව සත්‍ය නමුත් එය තවමත් සම්පූර්ණ නැත.

එහෙත් ඒ පසුබිමේ සුදාලා සිය ඊළඟ දේශපාලන ව්‍යාපෘතිය ද දියත්කර ඇත. ඒ ජවිපෙ ප්‍රමුඛ ජාජබ සමඟය. ඒ හමුවේ පෙනෙන්නට ඇති ලස්සනම දේ නම් එදා “මොනවා වුණත් අපි පොහොට්ටුවට”‍ වන ප්‍රතිචාරය “මොනවා වුණත් අපි මාලිමාවට”‍ ලෙස පමණක් වෙනස් වි තිබීමය. සුදාලාද 2019 දී සිදු කළ ආකාරයටම මෙවර මේ දේශපාලනයද ඔසවා තබමින් සිටීමය. ඒ හැර වෙනත් කිසිවක් මෙතන වෙනස්වී නැත.

මේ හමුවේ සුදාලාගෙන් මුලින්ම අහන්න ඇත්තේ, ඔවුන් 2019 වසරේ රට හදන්න කියා ගෙනා “දියසෙන්”‍ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පුරෝකථනය කළේ කෙසේද යන්නය. එසේත් නැතිනම්, “සුදාලා කියූ ඒ යහපාලනය ගිනි තැබුණු රට නිවාලන්නට” ‍රන් දිය අරන් ආවා… රට මුදාලන රජිදා… හෙළ දෙරණ මත පිපුණා… දියසෙන්…”‍ ව්‍යාපෘතිය ඔබින බව තක්සේරු කළේ කොහොමද කියාය. ඒ විශ්වාස කිරීමට පෙළඹුණු කාරණා මොනවද කියාය. ඒ මොහොතේ රට තිබූ තත්වය ගැන දැනසිටියාද කියාය. නැත. ඒ කිසිවක් තිබුණේ නැත.

හිටපු ජනාධිපති ගෝඨාභයට, උදේ හවස “අපි ගෙනාපු පිස්සා”‍ කීම, හිටපු ජනාධිපති මහින්දට “හොරා” කීම 2019 ව්‍යාපෘතියට අදාළව වූ වැරැද්දට සුදාලාට ඇති දේශපාලන පාපෝච්චාරණය වන්නේය. ඒ පාපෝච්චාරණය ජවිපෙ – ජාජබ ව්‍යාපෘතියට එක්වීමට ප්‍රමාණවත් වෙන්න පුළුවන. නමුත් පෙරළා නැඟෙන ප්‍රශ්නය වන්නේ 2019 ව්‍යාපෘතියේ සහ 2024 වෙනුවෙන් දියත්කර ඇති ඒ.කේ.ඩී. ව්‍යාපෘතියේ වෙනසක් නොමැති වීමය.

2019 ව්‍යාපෘතිය මුළුමනින්ම සකස් කෙරුණේ රාජපක්ෂවරුන්ට අහිමි වූ බලය යළි අත්පත් කරගන්නටය. ඒ වෙනුවෙන් යහපාලනය සහ එහි සිටි කැපී පෙනෙන නායකයා වූ රනිල් දුෂ්ඨයා කෙරිණ. ඒ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූයේ සජිත් වුවත් රාජපක්ෂවරුන් පහර දුන්නේ සහ ජනතාව අතර අවිශ්වාසය ගොඩනැගුවේ රනිල් ප්‍රමුඛ පිරිසේ වැඩපිළිවෙළ කෙරෙහිය. මන්ද ඇත්ත තත්වයන් ජනතාව අවබෝධ කරගත හොත් රාජපක්ෂ කඳවුරට නැගිටීමක් නොමැති බවට වන තක්සේරුවක් ඔවුන්ට තිබූ නිසාය.

ඒ අනුව මෙරට ලොකුම අර්බුදය ලෙස ඔවුන් ඉදිරිපත් කළේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ වැඩපිළිවෙළය. එය පරාජය කිරීම පමණක්ම ඔවුන්ගේ මැතිවරණ සටන විය. ඒ බව තහවුරු කිරීමට 2019 ජයග්‍රහණයෙන් පසුවද කරන්න සිල්ලර ජනප්‍රිය වැඩ රැසක් ඔවුන් යෝජනා කර තිබිණ. රට 2022 වන විට බංකොලොත් වූයේ ද, රනිල් වෙනුවට ගෙනා මෙම සිල්ලර ජනප්‍රිය වැඩපිළිවෙළෙහි වූ අසාර්ථකත්වය නිසාය. එය ලත් තැනම ලොප් විය.

සැබවින්ම සුදාලා වැනි මෝඩ මයින්නු සරම් කැහැපොට ගහගෙන ජවුසම් නැටුවේ මේ කිසිම අලබෝලයක් ගැන නොදැනය. ඔවුන් ද හසුවී සිටියේ රට වෙනුවෙන් වූ රනිල්ගේ ව්‍යාපෘතිය පරාජය කරන්න ගෙනා රාජපක්ෂ ව්‍යාපෘතියටමය. ඒ කියන්නේ නාගලෝකයේ නයි රජෙකු කැළණි ගඟෙන් මතුවූ බව විශ්වාස කළ මෝඩ උපාසක උපාසිකාවන් සහ සුදාලා අතර කිසිම වෙනසක් නැත. සුදාලා අද කිසිවෙකුත් නැති තරම් රාජපක්ෂ විරෝධයක සිටින්නේ මෙන්න මේ නොදැනීම හමුවේ සරම කඩාගත් නිසාය. සරම උස්සගෙන අන්නාසි වතු මැද්දෙන් දුවන්නේද වේදනාවෙන් ලැජ්ජාව මකා ගන්නටය.

එහෙත් අවාසනාව කියන්නේ සුදාලාගේ 2024 තෝරාගැනීමත් 2019ට නොදෙවෙනි වීමය. ඒ අනුව ජවිපෙ – ජාජබ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ අනුව රටේ අර්බුදයට හේතුව රාජපක්ෂවරුන්ය. ඒ ඔවුන් කොල්ලකෑ ධනය නිසාය. ඒ නිසා ඒ ධනය යළිත් අත්පත් කරගන්න නම් ජවිපෙ – ජාජබ ආණ්ඩුවක් බලයට පැමිණිය යුතු අතර රට ගොඩගන්න දූෂණය වැළැක්වීමත් ප්‍රමාණවත්ය. මේ වැඩපිළිවෙළට රාජපක්ෂවරුන් සමඟ බලය හුවමාරු කරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බාධාවක් වන එබැවින් රාජපක්ෂවරුන් සමඟ ඔහුවද පරාජය කළ යුතුය.

2019 පොදුජන පෙරමුණ සිදු කළ ආකාරයටම, 2024 ජවිපෙ – ජාජබ සිය දේශපාලන අඩංගුව සංශෝධනය කර ඇත්තේ එසේය. එදා රට රකින්න දියසෙන් ගෙනා සුදාලා, මෙදා දූෂණය පිටුදැකීමට ඓශ්චර්යමත් ඉසිවරයා ගෙන එන්න සරම කැහැපට ගසාගෙන යළි තමන් හාපු කුඹුරට බැස ඇත.

ඒ හැර ජවිපෙ – ජාජබ වැඩපිළිවෙළ කුමක්ද යන්න සම්බන්ධයෙන් සීරියස් කියවීමක් නැත. එදා පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන ජාතික ආරක්ෂාව පෙරමුණේ තබා ගිල්ලවූ ලනුව මෙවර ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ඊනියා දූෂණ විරෝධයක් හරහා ගිල්ලවන්න යන බව තේරුම් ගන්න තරම් පරිණත භාවයක් මේ මයිනන්ට නැත.

වඩාත් සුන්දරම දසුන වන්නේද අනුර ප්‍රමුඛ ජවිපෙ – ජාජබ ඉතා කැමැත්තෙන් මෙවැනි මයිනන් එකතු කිරීමට පෙළඹී තිබීමය. ඒ වෙනුවෙන් ඔවුන් දූෂණ විරෝධය සහ රාජපක්ෂවරුන් හොරාගත් ධනය නැවත අත්පත් කරගැනීමට අමතරව රට හදන උපාය මාර්ග සඳහා මේ ලෝකයේ නැති කතන්දර ද කියන්න ගෙන ඇත.

“ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උක් වවලා, කන්තලේ කර්මාන්ත ශාලාවේ සීනි හදලා මුළු ආසියාවට ම දෙන්න පුළුවන්”‍,

“විදෙස් සංචිත අර්බුදය විසඳීමට සුළු වැඩයි කරන්න තියෙන්නේ, විදෙස්ගත ශ්‍රමිකයන්ට කියනවා ඔය එවන මුදලට වඩා ඩොලර් 500ක් වැඩිපුර එවන්න කියලා”‍, “අපි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවීම අත්හිටුවනවා… ඔවුන් කොහොමටත් ආයෝජනය කරන්නේ අවධානම දැනගෙන”‍ මේ එහෙම කියන කතන්දරවලින් තුනක් පමණය.

ඒ අනුව ජවිපෙ ඉස්සර එකතු කළේ සීරියස් දේශපාලන හාදයන් ය. දැන් එකතු කරන්නේ පිස්සු මයිනන්ය. මේ වෙනසට හේතුව නම්, රාජපක්ෂවරුන් අත්හදා බලා අත පුච්චගත් ජනප්‍රියවාදී සිල්ලර දේශපාලනය අද ජවිපෙ – ජාජබ අත්හදා බලන්න ගෙන ඇති තීරණය නිසාය. ඊට අවශ්‍ය වන්නේ දේවල් ප්‍රශ්න කරන, අලු‍තින් සිතන, තාර්කිකව සිතන කාඩර්වරුන් නොවේය. ඊට අවශ්‍ය සුදාලා වැනි සිතීමට අසමත් සහ සිතීම නැවතුනු කයිවාරු කාරයන්ය. අවශ්‍ය මතුපිට පහුරුගා කන් පැලෙන්න මොරදෙන පිස්සු මයින්නු ය.

කොහොම නමුත් හොඳකට ඇත්තේ මේ රටේ නිහඬ බහුතරය මේ ගැන හොඳම අවබෝධය ඇතුව සිටීමය. ඒ නිහඬ බහුතරය ගෝඨාභය ගෙදර යැව්වේ සහ රනිල්ව භාරගත්තේ ආයෙත් අනුර වගේම සජිත් කියන්නේද විකල්ප නොව විකාරබව ප්‍රත්‍යක්ෂ කරගෙනය. මෙරට නිහඬ බහුතරය සිදු කළ ඒ තේරීම නිවැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කෙටි කාලය තුළ ඔප්පු කර ඇත. එහෙත් ඒ කර්තව්‍යය අවසන් නැත. ඒ නිසා ඔවුන්ගේ ඊළඟ තේරීමත් රනිල් ය. ඒ කියන්නේ සුදාලාට කවදාවත් අනුරට “‍අපි ගෙනාපු පිස්සා”, “අපි ගෙනාපු කයිවාරු ගෝතයා” කියාගෙන, සරම කැහැපොට ගහගෙන අන්නාසි වතු මැද්දේන් දුවන්න වෙන්නේ නැති බවය. සුදත්ත තිලකසිරිට වගේම රැවුල් සුදාලාගේ සිට වෙන්ඩ සුදාලාටත් කියන්න තියෙන්නේ ඔය ටිකය.

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *