චැතම් ස්ටී්‍රට් උත්තර නැති ප්‍රශ්න ඇසීම ගැන ජාජබය උරණ නොවිය යුතුය

0

දේශපාලනය බලය අත්පත් කරගැනීම සටනක් වන විට ඒ සටනේ ප්‍රබලම ආයුධය වන්නේ දේශපාලන කණ්ඩායමක් සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් දරණ මතවාදයය. ඒ මතවාදය හසුරුවන ආකාරය ගොඩ
නැගෙන්නේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලෙහි ශතක්තිමත්භාවය සහ නිවැරදිභාවය මතය. හරි හමන් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් නැති විට මොන මතවාදය දැරුවත් දේශපාලනයෙදි ලැබිය හැකි ජයග්‍රහණයක් නැත. කුමක් හෝ අහම්බයකින් බලය අත්පත් කරගත්තත් ඒ බලය පාාවිච්චිකිරීම හෝ රැකගැනීම කළ නොහැකි වනු ඇත. පසුගිය ගෝඨා පාලනය කියන්නේ එවැනි අවස්ථාවකි. ඒ ගෝඨා පාලනය බිහිවීමත් සමඟ බලාපොරොත්තු වූ ලෙසම රට හතර ගාතෙන් ඇද වැටුණි.
ඉන් පසුව රට මුහුණ දුන් සහ තවමත් තිබෙන ආර්ථික සමාජීය දේශපාලන අභියෝග හමුවේ, රටේ දේශපාලන බලය අපේක්ෂාකරන පිරිස් ඊට ලබාදෙන විසඳුම් පිළිබඳ සාකච්ඡාව වැදගත් වන්නේ, පසුගිය
පාලනය කාලය තුළ සිදුවූ කඩා වැටීමට ප්‍රධාන හේතුව වූයේ එහිදී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් වන නිසාය.
විශේෂයෙන්ම 2019ට පෙර පැවැති යහපාලනය තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයද ඇතිව ක්‍රියාත්මක කරගෙන ආ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අත්හිටුවා, මුග්ධ ජනප්‍රිය තීන්දු තීරණ රැගත් ආර්ථික පිළිවෙතකට මාරුවීම අර්බුදයට හේතුව ලෙස පැහැදිලි විය. ඒ අනුවත් යළි රට ගොඩනැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා නම් ප්‍රතිපත්ති ගැන සාකච්ඡාව මඟ හැරිය නොහැක. වැදගත්ම දේ එයය. මේ අනුව දේශපාලන බලය වෙනුවෙන් අරගල කරන කණ්ඩායම්වල ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ඉදිරිපත් කරන විසඳුම් අතිශය වැදගත්වීම වැලැක්විය නොහැක.
සුපුරුදු සාම්ප්‍රදායික දේශපාලනය තුළ ප්‍රතිපත්තිවලට වඩා පක්ෂය, ප්‍රතිරූප, සිල්ලර ජනප්‍රිය පොරොන්දු ආදිය බලය ලබාගැනීම වෙනුවෙන් වඩා ප්‍රමුඛ කොට සැලකීම නිසා, ප්‍රතිපත්ති සකච්ඡාවල වැදගත්කම බහුතර ජනතාව සැලැකුවේ නැත. එහෙම පුරුද්දක්, පරිචයක්, බුද්ධිමය සංස්කෘතියක් රට තුළ තිබුණේ නැත. ජනප්‍රිය රැළිවලට ලොකු අවස්ථා නිර්මාණය වන්නේත් ඒ අනුවය.
කොහොම නමුත් වඩා නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින “චැතම් ස්ටී්‍රට්” අප නිරන්තරයෙන්ම අවධානය යොමු කළේ මේ දේශපාලන මතවාද ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල සම්බන්ධයෙනි. ඒ අප විශ්වාස කරන ලෙස රට යළි ගොඩනගන්නම් නිශ්චිතවම නිවැරදී ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් අනුව වන දෘඪ ක්‍රියාකාරිත්වයක් අවශ්‍යව තිබේ.
වත්මන් ආණ්ඩුවේත්, විපක්ෂයේ බලය ඉල්ලා වැඩිම බලපෑමක් කරන සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය අප යොමු කළේ එබැවිනි. සමගි ජන බලවේගය මුලධාර්මික වශයෙන් ජනාධිපති රනිල්
අනුගමනය කරන දක්ෂිණාංශික පිළිවෙතට සමගාමී එමෙන්ම ජනපති රනිල්ගේ විසඳුම්වලට සමීපතම ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබිණි. විශේෂයෙන්ම සජබයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පාදනය කළ හර්ෂ ද සිල්වා වැනි අය ජනපති රනිල් සමඟ හෝ ආණ්ඩුව සමඟ හෝ ගැටුණේ එම රජයේ ප්‍රතිපත්ති වඩා හොඳින් සිදු කිරීම වෙනුවෙනි.
ඒ අනුව ඒ සමඟ අපට මහ ලොකු සංවාදයක් නැත. නමුත් ගැටළුව වූයේ ඔවුන් එම ප්‍රතිපත්ති බැහැර කර යළි රාජපක්ෂ චින්තනයට අනුගත වෙමින් වාම ජාතිකවාදී පිස්සු විකාරයක් වෙතට පල්ලම් බැසීමය. ගෝඨාභයගේ වියත්මඟ කණ්ඩායමේ ගොඩහේවලාගේ රාජපක්ෂලට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙමින් සට්ටැම්ඹිකම් කළ ජී.එල්.ලාගේ ප්‍රතිපති වැළඳගැනීම දැන් සිදු කරමින් තිබේ. එහෙත් අපට ඒ ගැනත් සංවාදයක් නැත. මන්ද ඒ මුළු‍මනින්ම අසාර්ථක බව ඔප්පු කෙරුණු ප්‍රතිපත්තියක් නිසාය. එයට රටක් බංකොලොත් කිරීම හැර වෙනකක් කළ නොහැකි නිසාය. මේ අතර සජබයත් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන බව පවසා ඇත. ඒ අලුත් එක සමඟ අපට ඉදිරියේදී සාකච්ඡා කරන්න සිදුවෙනවා නම් මැනවි.
ජාතික ජන බලවේගය සමඟ බරපතල ප්‍රතිපත්ති ගැ‍ටුමක් අපට වූයේ ඔවුන් ලිබරල් මතවාදයන් ප්‍රකාශ කරමින් වාමාංශික ජාතිකවාදී වැඩපිළිවෙලක් ගැන දොඩවමින් එහෙටත් නැති මෙහෙටත් නැති විගඩමක් නටමින් කරන ජනප්‍රිය සිල්ලර දේශපාලනය තුළ විශාල අනතුරක් පෙන්නුම් කළ බැවිනි. ඔවුන් තමන්ගේ ප්‍රතිපත්තිවලින් හැර මේ රට ගොඩදැමීම කළ නොහැකි බව පැවසීය. නමුත් මේ ප්‍රතිපත්ති මොනවාද යන්න ගැටළුවක් තිබිණි. උදාහරණයකට ගතහොත් මේ කණ්ඩායම මුලදී දැඩිව කියා සිටියේ රටේ අර්බුදය විසඳන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගැනීමට විරුද්ධ බවය. ඒ කොන්දේසිවලට යටත් වීම නොවිය යුතු බවය. පසුව කීවේ ගියාට වැඩක් වෙන් නැති බවය. IMF ගිහින් ගොඩගිය රටක් නැති බව කීවේය. රජය මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට ඒවා විරුද්ධව පාරවල් දිගේ උද්ඝෝෂණ විරෝධතා දියක් කළේය, වැඩවර්ජන කරමින් රට අකර්මණ්‍ය කළේය. එහෙත් ජනාධිපති රනිල් සිය ප්‍රතිසංස්කරණයන් සාර්ථක කරගනිමින් රට අර්බුදයෙන් ගොඩයන
මාර්ගයට ඇද දැමීමෙන් පසුව ජාජබය ප්‍රතිපත්ති මාරු කරමින් IMF සමඟ වැඩකිරීමට එකඟ බව ප්‍රකාශ කෙරිණි. ඔවුන් සමඟ සාකච්ඡාවන්ටද ගියේය. එම වැඩපිළිවෙල කඩාකප්පල් නොකරන බවට ඔවුන් පොරොන්දු ද දුන්නේය. දැන් IMF එකයි මේගොල්ලයි මචං ලෙවල් එකෙන් ගනුදෙනු කරන තත්වයටද පත්ව ඇත.
මේ අනුව මේ අමුතු ප්‍රතිපත්තිය කුමක්ද? රටේ අර්බුදයන්ට ජාජබයේ ඇත්තම විසඳුම් කුමක්ද ප්‍රශ්න කරන විට කීවේ ඔවුන්ගේ ප්‍රතිපත්ති කියවා සංවාදයට එන ලෙසය. ඒ නිසා අපට ඒවා අමාරුවෙන් සොයාගෙන හැදෑරීමට සිදු විය.
ඒ අනුව ජාතික ජන බලවේගයේ දේශපාලනය ප්‍රශ්න කරන්න තරම් දේවල් ඒ තුළ ඇති පදමට තිබෙනවා දු‍ටුවෙමු. අප ඒ අනුව ජාජබ ආර්ථික ප්‍රතිපත්තිය ගැන පසුගිය ජනවාරි 24 වන දින මේ ගැන මුලික කරුණු දැක්වීමක් කළෙමු. එසේම යළි යළිත් ප්‍රශ්න කළෙමු. ලිපි ගණනාවකින් ජාතික ජන බලවේගයේ අමුතු ලිබරල් මතවාදයත් සහ ජනතා විමුක්ති පෙරමුණෙ වාම-ජාතිකවාදයත් ප්‍රශ්න කළෙමු. ඒ දෙකේ සංවාසය ගැනත් ඒවායේ ඇති බොරුව
රැවටිල්ල තක්කඩිකම ගැනත් අප ප්‍රශ්න කළෙමු. එහෙත් මේ සාධනීය විවේචනයන් සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබුණේ නැත. අප නැගු ප්‍රශ්නවලට පිළිතුරු නොවීය.
පසුගියදා එජාප ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ සජීවී රුපවාහිනි සංවාදයකදී කෙළින්ම ජාජබයේ නායකයෙකු වන චතුරංග අබේසිංහගෙන් මේ ගැන ප්‍රශ්න කළ විට ඔහුට එය මඟ හැර යාමට හැකි වුයේ නැත. තමන්ගේ ප්‍රතිපත්ති නිවැරදි බව, තාර්කික බව, විද්‍යාත්මක බව හෝ කිසිවක් ඔහුට පෙන්වා දීමට හැකි වූයේ නැත. ඒවා වැරදියි කියා පිළිගැනීමට සිදුවිය. ඒ ගැන නම් අගය කළ යුතුය. වැරදි දේ නිවැරදි කරමින් කතා කරන්න යන තක්කඩියන්ට වඩා මෙය නම්බුකාර වැඩකි. එසේම මේ වැරදි නිවැරදි කරන බවත් කියා තිබිණි. එහෙත් ඊට පහුවදා යළි ෆේස්බුක් සටහනක් යොදාගෙන වැරදියි කිවු ප්‍රතිපත්ති නිවැරදි බව කියන්න විකාර උත්සහයක් ගෙන තිබිණි. එමඟින් සිදු වූයේ කලින් දවසේ තිබුණ නම්බුකාරකම, විලිලැජ්ජා නැතිව විනාස කර ගැනීමකි. ඒ අතර ජාජබයේ තවත් නායිකාවක් වන සරෝජා පෝල්රාජ් තවත් රූපවාහිනි වැඩසටහනකදී කීවේ, එම ප්‍රතිපත්ති ලේඛනය කූට ලේඛනයක් බවත් එහෙම ඒවා පක්ෂය ප්‍රකාශ කර නැති බවත්ය. තමන් එවැන්නක් දැක නැතිබවය. එයත් අවංක ප්‍රකාශයක් ලෙස සැලකිය හැකිය. මන්ද ජාජබයේ සහ ජවිපෙ සමාජිකයන් පවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එතෙක් දැක තිබුණේ නැත. දැක තිබුණා නම් පිටකවරය පමණක් බවද ඔවුන්ගේ ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලි විය.
කෙසේ නමුක් මෙම ප්‍රතිපත්තිවල අවුල එකින් එක හෙළිදරව් වෙමින් සමාජයේ ප්‍රශ්න කිරීම් වන විට ඒවා හෙමින් සීරුවේ ඉවත් කරගන්නා තැනට පත්වෙමින් තිබේ. මේ වන විට තමන්ගේ වෙබ් අඩවියෙන් කාන්තා සම්බන්ධ ප්‍රතිපත්තිය මුළුමනින්ම ගලවා ඉවත් කිරීමද සිදුව තිබේ. එහි ඇති බරපතල වැරදි අඩුපාඩු සහ ආගමික වර්ගවාදයන් අවුළු‍වන සුළු කරුණු අඩංගු නිසාය.
කෙසේ නමුත් අප විසින් මතුකළ මුලික කාරණා වූයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙනි. ආර්ථික පදනම නිවැරදිව ගොඩනගා ගැනීමට නොහැකි නම් අනෙක් සියල්ලම වරදින බවත් ඒ මත කඩා වැටෙන බවත් අමුතුවෙන් කිවයුතු නැත.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු ඉලක්කම් මුද්‍රණ දෝස කියා පැන යාමට නොහැකිය. මන්ද මෙය ආචාර්ය මහාචාර්ය ආර්ථික විශේෂඥයන් බරගානක් එකතු වී සකස් කළ එකක් නිසාය. අවසන් පිටපත සංස්කරණය කරමින් අනුමත කළේද ඔවුන්ය. සෝදුපත් බැලුවේ ඔවුන්මය. එය මුද්‍රණය වන්නේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේය. එමෙන්ම එම ප්‍රතිපතිවල නිවැරදි භාවය වෙනුවෙන් ඔවුන් මේ ඊයේ පෙරේදා වන තෙක් පෙනී සිටි නිසාය.
මෙහි ඇති විවාදාත්මක කරුනු කාරණා අතර අප මතුකර පෙන්වූයේ කිහිපයක් පමණි.
බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස විදුලි උපකරණ භාවිතය වලක්වා පොල්කටු, දර ලිප් ප්‍රවර්ධනය කිරීම. විදේශ වෙළදාමේ ලෝක පංගුවෙන් 2% ලංකාව ලබාගැනීම.
සෘජු විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් 10%ක් කිරීමත් නව ලිබරල්වාදී ප්‍රතිපත්තියකට මාරු නොවී Ease of Doing Business Index එකේ 25ට පැමිණිම. ඒ අතර දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට රාජ්‍ය සම්පත්ය කියන කිසිදු දෙයක් ලබා නොදීමේ තීරණය. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයටවලට දළ දේශීය නිෂ්පාදනයෙන් 11%ක් වෙන් කිරීම. රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් 25%ක් කිරීමත් වක්‍ර සහ සෘජු බදු අනුපාතයන් 40 යි 60යි ලෙස ගෙන ඒමත් ඒ සමඟ බදු සහන දීම. රජය ව්‍යාවසාය 400ක් පමණ නඩත්තු කිරීම බරපතල ගැටළුවක්ව තිබියදී තවත් රාජ්‍ය කර්මාන්ත ශාලා 100ක් ගොඩනැගීම
ආදී කරුණු සම්බන්ධයෙන් අපගේ විවේචනය පැහැදිලිව සටහන් කළෙමු.
මෙම ප්‍රතිපත්ති 2019- 2020 මැතිවරණ වෙනුවෙන් සැකසූ ඒවා කියා ජාජබයට දැන් කිව හැකි වුවත් මේ වන තෙක්ම සිය ප්‍රතිපත්ති ලෙස පෙන්වූයේ මේවාය. අපට කියවා එන ලෙස යෝජනා කළේ මේ ලේඛනයන්ය. ඒ නිසා මේවා බැහැර කළ නොහැකි. අද වගේම එදත් ඒ වැරදි වැරදිමය.
ඒ සියල්ලටත් වඩා වැදගත් වන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා යෝජනා කරන කඩිනම් අත්‍යාවශ්‍ය පියවරයන් ගැන කිසිවක් මේ වැඩපිළිවෙලෙහි නොමැතිවීමය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හෝ වෙනත් ජාත්‍යන්තර පාර්ශ්වයක සහය ලබාගැනීමක් ගැන හෝ නැත. මුලික අර්බුදය විසඳා ගැනීමකින් තොරව එනම් පදනම ශක්තිමත් කරගැනීමකින් තොරව රට හදනවා කියා කියන කිසිවක් යථාර්ථයක් වන්නේ නැත. මේ වැදගත් කරුණ ජනාධිපති රනිල් ද එජාපයේ කුලියාපිටිය රැස්වීමේ දී පෙන්වා දෙනු ලැබීය.
2020 මහ මැතිවරණය වන විටත් රට අර්බුදයට මුහුණ දීමේ අනතුරුදායක තත්වය රනිල් තේරුම් අරගෙන ඒ වැලැක්වීම සහ ආර්ථික ගොඩනංවන පියවරයන් එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කරතිබුණ නිසා රනිල්ට එය විවේචනය සිදුකිරීමේ සාධාරණ පදනමක් තිබිණි.
කොහොම නමුත් ජාජබය අදත් මුහුණ දෙන අර්බුදය වන්නේ තමන් සතුව නිශ්චිත මතවාදයක් ප්‍රතිපත්තියක් නැති වීමය. මැතිවරණ වේදිකාවලදී තමන් සතුව මාර මැජික් විසඳුමක් තිබෙන බව කෑගසා කීවද සත්‍ය ලෙසම කිසිවක් නැත. බුරන බල්ලෝ වැඩිපුර බුරන්නේ තමන්ගේ නොහැකියාව වසාගන්නය. එහෙම බල්ලෝ හපන්න කරන්න යන්නේ නැත. වැඩ පෙන්වන්න දක්ෂ නැත. කලින් වතාවේ වැඩකරන විරුවෙකු ගෙනත් වරද්ද ගත්තේ බුරන බල්ලා වැඩ පෙන්වාවි යැයි විශ්වාසයෙනි. ණය අර්බුදය විසඳන්නේ කෙසේදැයි ඇසු විට අයියාගෙන් අසන්න යැයි කියන විටත් මේ වැඩකට නැති එකෙක් යැයි බහුතරයක් පිළිගත්තේ නැත. ජාජබය ගැනත් කියන්න තියෙන්නේ එයමය.
ජාජබයේ දේශපාලනික බංකොලොත් බව ඔවුන්ගේ විකාර ප්‍රතිපත්තිමය ස්ථාවරන්ගෙන්
දැන් පැහැදිලිය. ඔවුන් හැමෝටම වෙන් වෙන්ව පොරොන්දු දීගෙන යයි. පරණ ජේවීපිකාරයාට කියන්නේ සමාජවාදය ගොඩනගන බවය. මධ්‍යම පාංතිකයාට කියන්නේ ලිබරල් විසඳුම් දෙන බවය. තවත් අයෙක් ඒකාධිපති මර්දනකාරී පිළිවෙත් ගැන කියයි. එකෙකු රාජ්‍ය ව්‍යවසයන් ගොඩ නැගීම ගැන කියන විට අනෙකෙකු රජය ව්‍යාපාර නොකළ යුතු බව කියයි. ගණිකා සේවයය නීතිගත කරනවා කියන කොට තවකෙකු කිසිසේත්ම එය නොකරන බව කියයි. නිදහස් වෙළඳපොළ ක්‍රමය හොඳයි කියනකොට අනෙකෙක් ඊට විරුද්ධව රාජ්‍ය ඒකාධිකාරය යෝජනා කරයි. මෙලෙස ජාජබ නායකයන් එකිනෙකට පරස්පර අඩුපාඩු සහිත විකාර විහිළු සහගත මුග්ධ ප්‍රකාශයන් එක පිට එක කරමින් සිටී. මේ අනුව ජාජබය රට හදන්න ඉල්ලන්නේ තම පක්ෂය තුළවත් ප්‍රතිපත්ති වැඩපිළිවෙළ ගැන එකඟතාවයක් නොමැතිව බව පැහැදිලිය.
මේ තත්වයන් යටතේ ජාජබය ආණ්ඩු බලයක් ලබාගැනීම මොන තරම් අනතුරුදායක ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. ජාජබයටත් වඩා අලංකාරික රැසක් සමඟ විශාල ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ ගෝඨාභයත්, ඒ ආණ්ඩුවේ පළපුරුදුකම් සහිත දේශපාලනඥයනුත් රට බංකොලොත් වෙන තැනට පත්කරගත්තා නම් ජාජබයේ මේ විකාර ප්‍රත්පත්ති යටතේ විය හැකි දේ අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැත.
ජාජබයට උත්තර නැති ප්‍රශ්න ඇසීමට අපට සිදුවීම අපේ දේශපාලන නරුමකමක් ලෙස මාලිමා පාක්ෂිකයන් නොගත යුතුය. මන්ද අපට අවශ්‍ය වූයේ රටට හොඳම දේ ඇත්තේ කා ළඟදැයි සෙවීමටය.

……….ජයතුංග බණ්ඩාර……….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *