ජනතාවට සෙතක් කරන්න තිබුණ අවස්ථාව විපක්ෂය මඟ හැරියා

0

ජනපති රනිල් වික්‍රමසිංහ වසර දෙකකට පසු දේශපාලන වේදිකාවකට පළමුවරට ගොඩ වූවේ ඉකුත් ඉරිදා කුලියාපිටියේදීය. එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් සංවිධානය කළ “සැබෑව” ජනරැළියට ඔහු සහභාගීවූවේ එක්සත් ජාතික පක්ෂයේ ආරාධනයෙනි. ජනපති එහිදි සට්ටැඹිරාළ කෙනෙකු හා ගොඩ පෙරකදෝරුවෙකු ගැන කීවේ වත්මන් විපක්ෂයට සිදුව ඇති ව්‍යසනය ගැන සිහිපත් කරමිනි.
එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගිය හැටිත් නව පක්ෂයට රිංගා ගත් දේශපාලන අනාථයින් නිසා පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිදුව ඇති හානියත් ඔහු එහිදි ගෙන හැර පෑවේය. ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට තිබූ පක්ෂ ප්‍රතිපත්තිය පසෙකලා රාජපක්ෂ ආණ්ඩුවේ සට්ටැඹිකම් කළ අය සමඟ කටයුතු කරන ආකාරය ගැන ඔහු කීවේය. එසේම ජවිපෙ, ජාතික ජනබලවේගය බවට පත්වූ පසු ඔවුනගේ ප්‍රතිපත්ති වෙනස් වී ඇති ආකාරයත් ජනපති රනිල් පෙන්වා දුන්නේ යූ.එන්.පී කාරයන්ගේ හයියද කියා පාමිනි.
රැළිය නිමවා කුලියාපිටියේ පිහිටි අකිලගේ මහගෙදරට ගිය ජනපති දිස්ත්‍රික් සංවිධායකයින් සමඟ සුළු වේලාවක් සාකච්ඡා කොට තේපැන් සංග්‍රහයද භුක්ති විදීමෙන් අනතුරුව ඉන් පිටත්ව ගියේය. කොළඹ පැමිණි ජනපති රනිල් සදුදා පෙරවරුවේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් මුණ ගැසී සාකච්ඡා කළෝය.

IMF රහස් ගිවිසුම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ආණ්ඩු පාර්ශ්වය සමඟ එක්ව මුණගැසීමට ජනපති රනිල් විපක්ෂයට කළ ආරාධනය පිළිගෙන තිබුණේ දෙමළ සන්ධානය පමණකි. දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පැමිණ සිටි බැවින් ජනපති රනිල් ඇතුළු පිරිස ඔහු හා සාකච්ඡා කළේය. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලු‍ සියලු‍ ලේඛන ඔහු වෙත පිරිනැමීමට ජනපති රනිල් එකඟතාවය පළ කළේය.
මේ අතර මෙරට තානාපතිවරයෙකු ලෙස පත්වීම් ලැබ පැමිණි තායිලන්ත තානාපතිවරයාගේ හා පකිස්ථාන මහකොමසාරිස්වරයාගේ අක්ත පත්‍ර බාර ගැනීම සිදුවූවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ය. එය නිමවා පැමිණි ජනපති රනිල් ඇමති මණ්ඩල හමුවට යාමට පෙර මැති ඇමතිවරු පිරිසක් මුණ ගැසී සාකච්ඡා කළේය.
අයි.එම්.එෆ් වැඩසටහන ගැන කතා කරන්න ආරාධනා කළත් විපක්ෂය කර ඇරීම ගැන මෙහිදි මැති ඇමතිවරු ජනපතිගෙන් විමසන්නට වූහ.
“විපක්ෂය හැමදාම කිව්වේ රහස් ගිවිසුමක් අපට තියෙනවා කියලනේ. ඒක ඇත්තද නැත්තද කියලා හරි දැන ගන්න තිබුණා මෙතනට ආවා නම්. ජනතාව ලඟට ගිහින් එකක් කියනවා එන්න කිව්වාම මඟ හරිනවා.” ඇමති බන්දුල කීවේ සෙසු පිරිස දෙස බලමිනි.
“හර්ෂ, එරාන් වගේම කබීර් පවා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක හැමෝම එකතු වෙලා කතා කරන්න ඕනා කියලා. ජනාධිපතිතුමා එන්න කිව්වාම දැන් බෑ කියනවා. එයාලව මෙතනට එන එක නවත්තන්නේ පොහොට්ටුවේ ඉදලා ගිය කණ්ඩායම.” ඇමති ශෙහාන් කීවේය.
“සජබේ ඇතුළේ දැන් යු.එන්.පි කාරයන්ට ඉඩක් නෑ. ජනාධිපතිතුමා කුලියාපිටියේදි කියපු කතාව ඇත්ත.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූවේය.
“ආණ්ඩුව එක්ක වාඩි වෙලා තතා කළා නම් රටක් හැටියට අයි.එම්.එෆ් එකට මීට වඩා බලපෑමක් කරන්න තිබුණා. ජනතාවට සෙතක් කරන්න තිබුණ අවස්ථාව ඒ අය මඟ හැරියා.” ජනපති රනිල් කීවේ කණගාටුවෙනි.
“එයාලා වෙනම හම්බ වෙනවා කියන්නේ.” එහි සිටි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක ද අලු‍ත් පුවතක් ලබා දුන්නේය.
“එකතු වෙලා කතා කළා නම් බලය වැඩියි. වෙන වෙනම තතා කරන්න ගියා කියලා අයි.එම්.එෆ් එක වෙනස් වෙන්නේ නෑ. මෙකෙන් එයාලත් හිර වෙන එක තමයි වෙන්නේ.” ඇමති ශෙහාන් සේමසිංහ කීයද්දී සියල්ලෝම හිස සැලූහ.

ගුවන් හමුදාවට උතුරේ ඉල්ලුමක්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා කළේ ඉන් අනතුරුවය. කොළඹ වෙස්ලි විද්‍යාලයට අවුරුදු 150 ක් සපිරීම වෙනුවෙන් පැවැති උත්සවයට ජනපති එක් වූවේ එදින සවසය. අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක මණ්ඩලය මුණ ගැසුණු අතර එහිදි හමුදා භාරයේ තිබෙන උතුරේ ජනතාව සතු ඉඩම් නැවත ඔවුන්ට ලබාදීමේ ක්‍රමවේදය ගැන ද සාකච්ඡා කළෝය.
හමුදා සතුව තිබූ ඉඩම් අක්කර 109 ක් ඊට දින දෙකකට පෙර ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක අතින් ජනතාවට බෙදාදුන් ආකාරය ගැන ද මෙහිදි කතා බහ කෙරිනි. ගුවන් හමුදා 73 වෙනි සංවත්සරයට සමගාමීව යාපනයේ පැවැති ප්‍රදර්ශනය ගැන ද මෙහිදි සිහිපත් කෙරිනි. ජාතික ආරක්ෂක උපදේශක සාගල කීවේ තමන් එහි යද්දී ගුවන් හමුදාවට බැදෙන්න උතුරේ දරුවන් 250 ක් අයදුම් පත් යොමු කර තිබූ නමුත් තමන් ඉන් පිටව එද්දී එය 450 දක්වා ඉහළ ගොස් තිබූ බවටය.
ජනපති රනිල් කොටුව කාර්යාලයට පැමිණි පසු ඔහු මුණ ගැසීමට ලේකම් සමන් ඒකනායක ගොස් කොළඹ ජාතික රෝහලේ අඩුපාඩුවක්ව පවතින සී.ටි ස්කැනර් යන්ත්‍රය ගැන කතා කළේය. ආසියානු සංවර්ධන බැංකුව හා කතා කොට එය ඉටු කළ හැකි බව දැනුම්දීමෙන් පසු ජනපති උපදෙස් මත ලේකම් සමන් ඒකනායක මැදිහත්වී ඒ.ඩි.බි ආධාර යටතේ එම යන්ත්‍රය ජාතික රෝහළට ලබාදීමට කටයුතු කර තිබුනි.

ආණ්ඩුකාරතුමාට දේශපාලනය බෑ

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව එදින සවස ජනපති මුණ ගැසුණේ කොටුව කාර්යාලයේදීය. කුලියාපිටිය රැළිය ගැන කතා කළ අතර එහිදි ද සට්ටැම්ඹි රාලගේ කතාව ඇදී ආවේය. “මගෙන් බොහෝ දෙනෙක් අහනවා සට්ටැඹිරාල කියන්නේ කවුද කියලා” වෙනත් කටයුත්තකට එහි පැමිණ සිටි නීතිඥ දිනේෂ් විදානපතිරණ විමසා සිටියේ කාගේත් සිනා හඩ මධ්‍යයේය.
රැළියට හරීන් ප්‍රනාන්දුගේ නොපැමිණිම ගැන කතා කරද්දී හරීන් කීවේ තමන්ට යෙදුනු වෙනස් කළ නොහැකි කටයුත්තක් නිසා පැමිණීමට නොහැකි වූ බවය. තව අයෙක් මතු කළේ නවීන් දිසානායකට කතාවක් නොදීම ගැන ඔහු සමාජ මාධ්‍යයට යොමු කළ පණිවුඩය ගැනය.
“ආණ්ඩුකාරතුමෙකුට මම ඉන්න දේශපාලන වේදිකාවක කතා කරන්න මම කොහොමටත් ඉඩ දෙන්නේ නෑ. මේක දේශපාලන රැළියක්.” ජනපති කීවේ දැඩි ස්වරයෙනි.
පක්ෂය විසින් සංවිධානය කර තිබූ අනුරාධපුර තරුණ දේශපාලන හමුව ගැනත් නුවර වෘත්තිකයන්ගේ රැලිය ගැනත් කතා බහ කෙරිනි. එහිදි ජනපති උපදෙස් දුන්නේ මෙය නිදහස් තැනක පවත්වන ලෙසය. තරුණ හමුවක් බැවින් පක්ෂයකට සීමා නොකර සියලු‍ පක්ෂවල තරුණයන් එකතු කරගත් හමුවක් පවත්වන ලෙස ද උපදෙස් ලැබිනි.
පක්ෂයේ ආසන හා කළාප සංවිධායකවරුන් පත් කිරීම ගැන කතා බහක් ඇතිවූ පසු රංගේ කීවේ අලු‍ත් මුහුණු දැමිය යුතු බව බොහෝ අය කියන බවය. එමෙන්ම කොට්ඨාශ හා කළාප සංවිධායකවරුන් 1000 ක පිරිසක් ලබන සතිය වන විට පත් කළ හැකි බවද මහලේකම් කීවේය.
ඔවුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වගකීම රංගේ හා මනූෂට පැවරු ජනපති මැයි දිනය ගැනද විමසා සිටියේය. ඊට දීර්ඝ පිළිතුරක් හරීන් ප්‍රනාන්දු විසින් ලබා දුන්නේය.

නිකං ඉල්ලන්න ඕන නෑ

යුනයිටඩ් තරුණ එකමුතුව සංවිධානය කළ සාකච්ඡාවකට ද ජනපති රනිල් සහභාගීවූවේ එදින සවස් යාමයේය.
කාලයක් ජනපති රනිල්ගේ හිටපු ලේකම්වරයෙකු වූ සුදත් චන්ද්‍රසේකර මෙය සංවිධානය කර තිබුනි. එම සාකච්ඡාවේදි තරුණයෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපති කීවේ නොමිලේ ඩේටා දිය නොහැකි බවය. සාකච්ඡාවෙන් පසුව පැවැති සුහද හමුවේදි ජනපති ඔහු අසලට ගොස් “රටට හොද ආර්ථිකයක් හැදුවට පස්සේ ඔයාලට කාගෙන්වත් නිකං දේවල් ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නෑ.” කියා කියද්දී තරුණයින් අත්පොලසන් දුන්හ.
තරුණ තරුණියන් ඔහු සමඟ සෙල්ෆි ඡයාරූපවලට පෙනී සිටීමට දැඩි උනන්දුවක් දැක්වීම නිසා ජනපති රනිල්ට වැඩි වේලාවක් එහි ගත කීරීමට ද සිදුවිය. රාත්‍රී ආහාරය ද තරුණ තරුණියන් සමඟ එක්ව ලබාගත් ජනපති ඉන් පිටව ගියේ මාධ්‍යම රාත්‍රියට ද ආසන්න වේද්දීය.
බදාදා දහවල් ඇමති රමේෂ් පතිරණ ගේ ආරාධනයෙන් ගාල්ලට ගිය ජනපති රනිල් පරිසර උද්‍යානයක් විවෘත කරමින් සංචාරක කර්මාන්තයේ දියුණුව ගැන කතා කළේය. එදින සවස ඉදිකිරිම් ක්ෂේත්‍රයේ පිරිසක් හා ඔවුන්ගේ ගැටලු‍ සාකච්ඡා කළ ජනපති රනිල් කෘෂිකර්ම ඇමති ඇතුළු නිලධාරින් හා සාකච්ඡාවේදී වී මිලදී ගැනීමට රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට වගබලා ගත්තේය.

ගුරා ගෝලයා යටතේ වැඩකරලා

බ්‍රහස්පතින්දා පුරුදු පරිදි මුදල් අමාත්‍යාංශයට පැමිණි ජනපති රනිල් එහිදි වත්මන් ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කළෝය. එහි පැමිණි මහාචාර්ය ආශු මාරසිංහ කුලියාපිටියේදි කී කතාවට මහාචාර්ය ජී.එල් පීරිස් දුන් පිළිතුර ගැන විමසා සිටියේ ජනපතිගෙනි.
“ගෝලයා අගමැති කාලේ ගුරුතුමා කැබිනට් එකේ ගෝලයා යටතේ වැඩකලානේ.” යැයි කී ජනපති රනිල් ඉන් නික්ම ගියේ කට කොනකට සිනහවත් ද නගාගෙනය.
දේශපාලන කැබිනෙට්ටුවෙන් පත් කළ මැතිවරණ මෙහෙයුම් අනුකමිටුව මගින් නව සන්ධානයට නම හා ලාංජනය සකස් කිරීම ගැන කළ සාකච්ඡාවේ විස්තරයක් ජනපතිට ඉදිරිපත් කළේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකය.

…….Mediaman…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *